නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

පෙම් සුළඟ

ඈත එපිට සුන්දර ගම්මා­න­යකි.

එහි විසූ හුදී ජනයා අබි­බවා නැගී සිටි වැද­ගත් යැයි සම්මත පවු­ලකි. ඔවුහු ධන­යෙන්ද බල­යෙන්ද හෙබි­යහ.

ඇය ද ඒ පවුලේ දිය­ණි­යක ව උපන්නා ය. ඇය ලොකු මහත් වී නිසි කල ආ කල මාපියෝ ඇයට ගැළ­පෙන පුරු­ෂ­යකු සොයා කර­කාර බැඳ දුන්හ.

ඔහු ඇය කැන්දා­ගෙන ගියේ ය.

නව යුවළ සැපෙන් සතු­ටින් විසූහ. ඔවු­නට දරුවෝ දෙදෙ­නෙක් ද උපන්හ.

මේ තාක් කල් කිසිදු හැල­හො­ල්ම­න­කින් තොර වගලා ගිය මේ ළමා­තැනී ගේ ජීවි­තය ඇය නොසිතූ දිසා­ව­කට යොමු වූයේ ඉන් පසු ය.

ප්‍රේමය මඳ පව­නැල්ලක් සේ ය. එහි පහස විඳිනු හැර එය එන්නේ කොහි සිට ද යන්නේ කොතැ­නක ද සොයන්නෝ කව­රහු ද? ඉතින් එබඳු ප්‍රේම­යක් ඇය සොයා ද ආවේ ය. ඇය ද එහි එතුණා ය.

මේ රහස දැන­ගත් දා ඈ සැමියා තද තීන්දු­වක් ගත්තේ ය. ඔහු ඇය පලවා හළේ ය.

ශක්ති­මත් ආත්ම­යක් තිබූ ඇය ඔහු ඉදි­රියේ හඬා නොවැ­ටුණා ය. ‘ඔහේට මා එපා නම් මටත් ඔහේ එපා‘යැයි කිය­න්නාක් මෙන් ඇය දරු­වන් ද කැටුව පාරට බැස්සා ය.

ඇය මහ­ගෙ­දර සොයා ගියා ය. ඇය ගෙට ගොඩ­වෙ­න්න­ටත් පෙර ම එහි දොර වැසී ගියේ ය. ආපසු හැරුණු ඇය සොයුරු සොයු­රි­යන් ගේ ගෙවල් බලා ගියා ය. ඒවායේ ද දොර­වල් වැසිණ. ඇය නෑ සියන් ගේ ගෙවල් දෙස හැරුණා ය. ඒවායේ දොර­ක­වුළු ද වැසී ගියේ ය. ‘උඹ­ල­ටත් මා එපා නම්, මටත් උඹල එපා‘ කිය­න්නාක් මෙන් ඇය ඔවු­නට පිටුපා දරු­වන් ද සමඟ දන්නා­කි­යන පුංචි ගෙද­ර­කට ගියා ය.

එහි දොර නම් ඇයට වැසී නොගියේ ය. එහෙත් ඒ පුංචි ගෙදර තවත් පවු­ල­කට ඉඩක් නොවී ය.

ගෙට අල්ලා ගේ පිටු­ප­සින් යාල­ත්තක් බැඳිණ. එය පොල්අ­තු­ව­ලින් වට කැරිණ.

එතැන් පටන් ඇගේත් දරු­ව­න්ගේත් නිව­හන වූයේ එය ය. ඇය කුලී­මලී කොට දරු­වන් රැක්කා ය. ඔවු­නට ඉගැ­න්නුවා ය.

දරු­වන් ලොකු­ම­හත් වී විවාහ වූ කල ඇය අතු­පැ­ලෙන් සමු­ගෙන ඔවුන් ගේ ගෙවල විසුවා ය.

මෙකල අර පරණ පෙම් සුවඳ යළිත් ඇය සොයා හැමුවේ ය. ඇය ද ඒ සුවඳ දිගේ ඔහු සොයා ගියා ය. එහෙත් ඔවු­නට වැඩි දව­සක් විසිය හැකි නොවී ය.

ඇය ආපසු හැරුණා ය. යළි දරු­වන් සොයා ආවා ය.

කලක් ගත විය. බෙහෙ­වින් විය­ප­තක් වූ ඇය ඒ වන විට සිටියේ වැඩි­හිටි නිව­ස්න­යක ය.

දිනක් ඇය මරුවා සමඟ හිනැ­හුණා ය. ඇගේ නිසල වතට එබී බැලූ අයට එහි ළතැ­වි­ල්ලක සේයා­ව­ක්වත් සොයා ගත නොහැකි විය.

ඇගේ දේහය අව­සන් ගෞර­වය පිණිස තැන්පත් කර තිබුණේ මල් ශාලා­වක ය.

හිටි­හැ­ටියේ ම මල්ශාලා දොර­කඩ රිය පෙළක් තැව­තිණ. ඒවා­යින් බට ඇත්තෝ මල්හ­ලට පැමිණ ඇය අව­සන් වරට දැක හැරී ආපසු ගියහ. ඒ ඈ පාරට වැටුණු කල­ දොර කවුළු වසා­ගත් නෑයෝ මිස අන් කව­රහු ද?

මේ කතාව මට කීවේ මගේ දුර මිතු­රෙකි.

‘මං මේ ඔයාට කතා කරන්නෙ මළ­ගෙ­ද­රක ගිහිං ආ හැටි­යෙ­මයි. මේ කතාව මං ඔයාට කියන්නෙ මට ඒක හිතේ දරා­ගෙන ඉන්න අමාරු හින්දයි. මිනිස්සු මේ ගෑනු මනු­ස්ස­යට ජීවිත කාල­යක් තිස්සෙ මේ තරම් දරුණු දඬු­ව­මක් දුන්නේ එයා මොන අප­රා­ධ­යක් කෙරු­වට ද? මිනී මැරු­වට ද? ආදරේ කෙරු­වට නේද? ආදරේ කරන එක ඒ තරම්ම අප­රා­ධ­යක් ද?‘ ඔහු මගෙන් ඇසුවේ ය.

මම ගොළු වීමි.

අන­න්‍ය­තාව හෙළි­කි­රී­මට අකැ­මැති සිළු­මිණ පාඨ­ක­යකු විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි. 


හරි දැක්ම

නිහඬ පවු­ලකි.

සැමි­යාත්, බිරි­යත්, දරුවෝ දෙදෙ­නාත්, බිරිය ගේ මවත් එහි වෙසෙති.

බතක් හා එළ­ව­ළු­වක් හෝ දෙකක් ඔවුන් ගේ දින­පතා අහර වේ. ඒ එළ­ව­ළුව ද වවා ගන්නේ ඔවුන් ම ය.

දිනක් ඔවු­න්ට මුහුදු මාළු­වක රස විඳීමේ ආසා­වක් ඇති විය.

උදේ දහ­යට පමණ මාළු වෙළෙන්දා කෑ ගසා­ගෙන පාරේ එනු ඇසිණ. සැමියා මැටි­බ­ඳු­නක් ද රැගෙන පාරට ආවේ ය. ඔහු දුටු මාළු වෙළෙන්දා නැව­තුණේ ය.

‘මොන­වද තියෙන්නෙ?‘

‘සාලයො තියෙ­න­නව. කළ­වම් මාළු තියෙ­නව... ‘

‘මං අතේ එක­සිය පන­හක් තියෙ­නව. පුළුවං විදි­හට සාලයො ටිකක් දෙන්ඩකො‘

මාළු ටික කිරූ වෙළෙන්දා එය බඳු­නෙහි තබා මුදල අතට ගත්තේ ය. සැමියා මාළු බඳුන ද රැගෙන ගෙදර ගියේ ය.

ඒ සමඟ ම මාළු ගන්නට ආ තව කෙනෙ­කුත්, මාළු වෙළෙ­න්දාත් අතර

මෙබඳු දෙබ­සක් ඇති විය.

‘ඒ මනු­ස්සෙ­යගෙ ඔළුව හොඳ මදි නේද?‘

‘ඇයි එහෙම කියන්නෙ?‘

‘ඔළුව හොඳ නං මාළු ගන්ඩ වළ­ඳක් ගෙනෙ­යියැ‘

‘වළ­ඳක් හරි වෙනින් භාජ­න­යක් හරි නොගෙ­නාව නං මට මාළු දෙන්ඩ වෙන්නෙ මේ පොලි­තින් බෑග් එකක දාල. කවු­රුත් ගෙදර ගියාම ඒක විසි­ක­රල දානව. ඔය විදි­හට පොලි­තින් බෑග් විසි­කළා ම වත්ත පිටිය පාර හැඩි වෙනව. ඕවයෙ පෝර රසේ­කුත් නෑ. ඕව ටික ටික එක­තු­වෙච්ච ම කුණු ගොඩ­වල් හැදෙ­නව‘

‘ඒක නං එහෙම තමයි‘

‘හිතට එක­ඟව වැඩ කරන කෙනාට හම්බ­වෙන නම්බු­නාමෙ තමයි ඕක. ඔළුව හොඳ නෑ කියයි. පිස්සු හැදිල කියයි. එහෙම නේද?‘

‘...!‘

හලා­වත,

එම්. ඩබ්ලිව්. අනුර ශාන්ත පීරිස් මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments