මැරුණු කෙනා ගැන ආරංචි එන්නෙ කොහො­මද? | සිළුමිණ

මැරුණු කෙනා ගැන ආරංචි එන්නෙ කොහො­මද?

“ලංසි කෙල්ලො නම් ලස්ස­නයි තමා. ඒත් ඉතිං කෙල්ලො ලස්සන වෙලා විත­රක් හරි­යන්නෑ බ්‍රයන්.” “‍හා හා.. එත­කොට කෙල්ලො තමුසෙ වගේ හිතු­ව­ක්කාර... මෝඩ... පට්ට කපටි....” ඔහුට ඒ වැකිය හමාර කර­න්නට ඉඩ නොදෙන ඇය කඩා පනින්නේ කුපිත වූ ව්‍යාඝ්‍ර ධේනු­වක් පරි­ද්දෙනි. ඇගේ දෑතේ සවි ශක්තිය හොඳින් හඳු­නන ඔහු පැන දුවයි.

ඔවුන් වෙත පැමි­ණෙන තරු­ණයා ‍අත අයි­ස්ක්‍රී­ම­යකි.

“තාත්තා...”

කල්ප­ය­කින් සිය පියා දුටු­වාක් මෙන් කෑ ගෑ අෂේන් “අරයා මගෙ බෝලෙට පයින් ගැහුවා තාත්තා.” යි චෝදනා කළේය. එහෙත් අප­හ­සු­තා­වෙන් හැකි­ළෙන බ්‍රයන් දෙස නොව තරු­ණයා බලා සිටියේ බෝලය වෙත අත දිගු කරන යුව­තිය දෙසය. ඔහු අප­මණ විම­ති­යෙන් දෑස දල්වා ගත්තේය.

“අමා...” යි බ්‍රයන් කෑගෑවේ ඇගේ රැක­ව­ර­ණය පිළි­බඳ තැති ගත් බැවිනි.

විස්මිත නෙත් නොතැකූ අමාලි සිය කාර්යය නිමවා ගසින් බසි­න්නට පටන් ගත්තාය. ඇගේ අතැ­ඟිලි පහ­සින් කුල්මත් වූ කලෙක මෙන් ඒ රත් පැහැ බෝලය බිම පතිත වූයේ අයි­ස්ක්‍රී­ම­යද ඩැහැ­ග­නි­මිනි. තමා වෙනු­වෙන් ගෙන ආ අයි­ස්ක්‍රී­ම­යට අත්වූ ඉර­ණම පිළි­බ­ඳව කර­දර නොවූ අෂේන් බෝලය පසු­පස දිව්වේය. ඔහු­ගෙන් ‍හෝ ඔහුගේ පියා­ගෙන් ස්තුති­යක් තබා සිනා­ව­ක්වත් අපේක්ෂා නොකළ යුව­තිය යුහු­සුලු වූවාය.

යතු­රු­පැ­දි­යට නැඟි බ්‍රයන්ට නැව­තත් ගම­නා­න්තය විම­ස­න්නට වුව­මනා වූයේ නැත. රියැ­දුරු භූමි­කාව අමාලි පවරා ගත් බැවිනි.

“මේ.. තමුසෙ ඕන මඟු­ලක යනවා මාව ගෙද­රට ඩ්‍රොප් කරලා.”

ඔහු සිය නොම­නා­පය නොස­ඟවා පළ කළේය.

“තමු­සෙගෙ මේ කබලෙ මඟුලෙ නෙමේ අව­ම­ඟු­ලෙ­වත් යන්න බෑ..”

අඬදබ­ර­යේදී පසු නොබ­සින ඇය එසේ කී කල ඔහුට සිනා පහළ විය.

“ආ.. එහෙ­මද මැඩම්? එහෙ­නම් මගේ කබලෙං බැහැලා ඕන විදි­ය­කට යන එකයි ඇත්තේ..”

ඇය යතු­රු­පැ­දිය පාරේ පසෙ­කට කොට නව­තා­ලූයේ හිටි හැටියේ ගමන අත්හි­ටුවූ නිසා නොවේ. ඔහු වහා බිමට බැස්සේය. හිස් ආව­ර­ණය ගල­ව­මින් ඇයට මුහු­ණලා සිට ගත්තේය. ඇය තමා දමා යන්නට බැරි නැතැයි සැක­යෙන් යතුර ද ගලවා ගන්නට අම­තක නොක­ළේය. කිසි­වක් හෝ කිසි­වෙකු මායිම් නොක­රන මේ යුව­තිය සමඟ කට­යුතු කළ යුත‍්තේ කොත­රම් පරිස්ස­මි­න්දැයි ඔහු දැන­ට­මත් ඕනෑ­ව­ටත් වඩා පසක් කර­ගෙන සිටියි.

“කරු­ණා­ක­රලා බහින්ඩ. මගේ කබල මට දෙන්න...”

ඔහු අධි­රං­ග­න­යක යෙදෙන නළු­වෙකු විය මොහො­ත­කට.

“සල්ලි තියෙ­න­වද?”

“මොකක්?”

ඒ අන­පේ­ක්ෂිත පැන­යෙන් ඔහු විපි­ළි­සර විය.

“මං අහන්නෙ ඔය කෙහෙ­ල්මල් පර්ස් එකේ සල්ලි කීයක් විතර තියෙ­න­වද කියලා..”

“ඇයි?”

ඇය තමාගේ යතු­රු­පැ­දි­යට පම­ණක් නොව විදේ­ශ­ගත ඥාති­යෙකු එවන ලද අගනා පසු­ම්බි­යට ද අව­මන් කරන බව සිත­මින් ඔහු රවා බැලු­වේය.

“මා ළඟත් තියෙ­නවා දාහක් විතර.”

“මරුනෙ..” බ්‍රයන් සොම්න­සින් ඉපි­ළු­ණේය.

“පීසා හට් යන්න නම් හිත­න්වත් එපා.”

“එහෙනං කොහෙද යන්නෙ?”

ඔහු මෝදු­වන කන­ස්ස­ල්ලෙන් ඇසු­වේය.

“අපි අම්මගෙ ගමෙයි තාත්තගේ ගමෙයි හෙව්වට වැඩක් වුණේ නෑ‍ෙන්...”

තමා බැරෑ­රුම් යමක් කතා කර­න්නට සූදා­නම් වන බව හුවා දක්ව­න්නට මෙන් ඇය හිස් ආව­ර­ණය ගලවා දැමු­වාය. කොලුවෙකු මෙන් දිස්වන කෙල්ල දෙස ඔහු බලා­ගත් වනම සිටි­යේය.

“අපි හරි මෝඩයි බ්‍රයන්...”

“අපි නෙමේ... ඔයා...ඔයා මෝඩයි කියන්න. මෝඩ නැත්තං අර බෝල­යක් හිංදා ගස් නඟීද...?”

ඇගේ වියළි දෙතොල’තර සිනා­වක් නැඟිණ.

“බෝල­යක් හිංදා නෙමේ බ්‍රයන්... අර පොඩි එකා හිංදා...”

“ඒ වුණාට අමා ඔහොම කර­න­වද කිසිම කෙල්ලක්...? මටත් මාර සවු­ත්තු­වනෙ... පොඩි එකාගේ තාත්තා හිතන්න ඇත්තෙ ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. කෙල්ල ගස් නඟිද්දි කොල්ලා බලන් ඉන්නවා... ෂික්..”

ඇය හඬ නගා හිනැ­හු­ණාය. ඔහුගේ සිත වෙලා­ගත් කණ­ස්ස­ල්ලද වියැ­කිණ.

“නඟින්න නඟින්න... පරක්කු වෙනවා..”

සැණෙ­කින් ඇය පෙර රළු පරළු බවින් ම අණ කළාය.

“කොහෙද යන්නේ?”

* * * *

කුඩා ලී මැස්ස මත වූ පල­තුරු අත­රින් වඩාත් කැපී පෙනුණේ කොමඩු ගෙඩි කන්ද­රා­වය. එහෙත් ඔහු ප්‍රිය කළේ තැඹිලි ගෙඩි­යක් බොන්න­ටය.

“ගෙඩි­යම බොන්න එපා. මටත් බාග­යක් ඉතුරු කරන්න.” යි ඇය අණ කළේ ඔහු කුඩා කොලු­වෙකු සේ සල­ක­මිනි.

“ඔයාට ඕන කීවෙ කොම­ඩුනෙ..”

පල­තුරු වෙළෙ­න්දිය කොමඩු ගෙඩි­යක් කැබ­ලි­ව­ලට කප­මින් සිනා­වක් පෑවාය. මෙවන් ආදර දබර ඇගේ සිතට සතු­ටක් ගෙන එයි.

“මගේ කොමඩු ගෙඩි­යෙන් බාග­යක් දෙන්නෙ ඔයාගෙ තැඹිලි ගෙඩි­යෙ­නුත් මට බාග­යක් දුන්නොත් තමා..”

ඔහු නොදන්නා සහ­ගත බැල්මක් හෙළු­වේය.

“කොමඩු ගෙඩි­යක් තනි­යම කන්න පුළු­වංද..?”

“ඇයි බැරි..? මොන­වද ඔට්ටු...?”

ඔට්ටු අල්ල­න්නට ඇය දක්වන කැමැත්ත සිහි­පත් කළ ඔහු නිහඬ විය.

“අද වහියි වගේ” යි ඔහු බැරි වෙලා­වත් කී කල ඇය එක හෙළා එරෙහි වෙයි.

“අද වහින්නෑ... මොන­වද ඔට්ටු”

පසු­ම්බියේ කල දවස යහ­පත් නම් ඔහුද මහත් උන­න්දු­වෙන් ඔට්ටු අල්ලයි.

“රුපි­යල් සීයක් ඔට්ටුයි. අද වහින එක වහි­න­ව­මයි.”

ඇය මුව කොන නටවා හිස දෙප­සට සලයි.

“සීයට ඔට්ටු අල්ලන්නෙ කව්ද හලෝ... පන්සී­යක් ඔට්ටුයි.”

ඔහු හෙළන්නේ සැක මුසු බැල්මකි.

“හරි දැං ඔයා ළඟ රුපි­යල් පන්සී­යක් තියෙ­න­වද?”

“දැන් නැති වුණාට ඔට්ටුව දිනන්නෙ මමනෙ. එත‍කොට ඉතිං පන්සී­යක් මා අතේ තියෙයි..”

කෝක­ටත් කියා ඇය ඔහුගේ අතට අසු­වන මායි­මෙන් මඳක් ඈතට වී සිටි­න්නට වග බලා­ග­ත්තාය.

“තමුසෙ වගේ කපටි කෙල්ලක් නං මං දැකලා නෑ කව­දා­වත්...”

“ඕගොල්ලො දකින්නෙ ඉතිං බෝනි­ක්කියෝ වගේ ලස්සන කෙල්ලොනෙ..”

ඔහු සාඩ­ම්බ­ර­යෙන් සිනා­සෙයි.

“අපේ ගර්ල්ස්ලා ලස්ස­නයි තමා”

ඇගේ අවඥා සහ­ගත බැල්මෙන් ඔහුගේ සාඩ­ම්බර සොම්නස උදු­රා­ග­නියි.

“ලංසි කෙල්ලො නම් ලස්ස­නයි තමා. ඒත් ඉතිං කෙල්ලො ලස්සන වෙලා විත­රක් හරි­යන්නෑ බ්‍රයන්.”

“‍හා හා.. එත­කොට කෙල්ලො තමුසෙ වගේ හිතු­ව­ක්කාර... මෝඩ..., පට්ට කපටි....”

ඔහුට ඒ වැකිය හමාර කර­න්නට ඉඩ නොදෙන ඇය කඩා පනින්නේ කුපිත වූ ව්‍යාඝ්‍ර ධේනු­වක් පරි­ද්දෙනි. ඇගේ දෑතේ සවි ශක්තිය හොඳින් හඳු­නන ඔහු පැන දුවයි. හඹා ගොස් අල්ලා ගන්නට අපො­හො­සත් වූ කල ඇය හති­ල­මින් බැණ වදියි. ඉනි­ක්බිති දින කීප­යක් ම ඇය හමු වීමෙන් ද ඇගේ ඇම­තු­ම­කට ප්‍රති­චාර දැක්වී­මෙන් ද වැළකී සිටින තරු­ණයා විපි­ළි­සර කර­ව­මින් ඇය ඔහු සොයා ගෙද­රට එයි.

“මං නෑ කියන්න මමා.. මං නෑ කියන්න..” යි කිය­මින් ඔහු කාම­ර­යට දුවයි.

“කෝ ආන්ටි බ්‍රයන්?”

නොපැ­කිළ ප්‍රශ්න කරන යුව­තිය දෙස ශ්‍යාමලී හෙළන්නේ විම­සි­ලි­මත් බැල්මකි.

“වාඩි වෙන්නකෝ දූ... අපි මොනා හරි බීලා ඉමු..” යි ඇය ඉල්ලා සිටින්නේ කොලු­වෙකු මෙන් දඩ­බ්බර කෙල්ල කෙරෙහි හට ගන්නා කරු­ණා­වෙනි. අමා­ලිගේ මව අතු­රු­ද­හන්ව සිටින බ ව දැන සිටි­යද කිසි විටෙ­කත් ඒ පිළි­බ­ඳව විම­ස­න්නට ඇය උත්සුක නොවෙයි.

“අර ළම­යගෙ අම්මා ගැන ආරං­චි­යක් නැද්ද පුතා?” යි ඇය ඉඳ­හිට අසන්නේ සිය පුත්‍ර­යා­ගෙනි.

“මැරුණු කෙනෙක් ගැන ආරං­චි­යක් එන්නෙ කොහො­මද මමා?”

ශ්‍යාම­ලීගේ දෙනෙත මහත් සේ ඇරෙයි.

“මැරිලා..? ඔයා කොහො­මද එහෙම කියන්නේ..? ඔයා මොනා හරි දන්නවා නම් ඇයි ඒ ළම­යට නොකි­යන්නේ..?”

ඇය අප­මණ ශෝක­යෙන් අසයි.

“මැරිලා නැත්තං තමුන්ගෙ දුවට මොනා හරි පණි­වි­ඩ­යක් එව­න්නැ­තුව ඉන්න­වද මමා...?”

“මැරි­ලම කියල කියන්න බෑ නෙ පුතා.. සම­හ­ර­විට සිහිය වෙනස් වෙලා... ඒ කියන්නේ මොකක් හරි ඇක්සි­ඩන්ට් එකක් නිසා මත­කය නැති වෙලාද කවුද දන්නේ.”

මවගේ ඒ සැකය එක්ව­රම බැහැර නොක­රන බ්‍රයන් හිස සලයි.

* * * *

“මට පරක්කු වෙනවා ආන්ටි. මේ මෝඩ­යාට මම කොයි­ත­රම් කෝල්ස් ගත්තද... කෝ... ආන්සර් කර­න්නෙම නෑනේ...”

අමා­ලිගේ නෝක්කා­ඩු­වෙන් විම­ති­යට පත් ශ්‍යාමලී කිව යුතු යමක් සොයා තැත­නු­වාය.

“අල්ල­ග­ත්තොත් මම අද හොඳ වැඩක් කර­නවා..”

මේ ආග­න්තුක කෙල්ල මේ අන්ද­මින් තර්ජ­නය කරන්නේ තමාගේ පුත්‍ර­යාට බව සිහි­පත් වූයෙන් ඇය කැලඹී ගියාය.

“ඇත්ත­මයි ආන්ටි.. ඔන්න මා එක්ක තරහ වෙන්න නම් එපා.. මම අද ගහන එක ගහ­න­වා­මයි.”

බ්‍රයන් හා මේ යුව­තිය අතර ආදර සබ­ඳ­තා­ව­යක් ඇතැයි සැක­යෙන් පසු වූ ගැහැ­නිය අන්ද­මන්ද වූවාය.

“බ්‍රයන්.. බ්‍රයන්..” යි හඬ­ගා­මින් අමාලි විසිත්ත කාම­රය හරහා කඩි­න­මින් ගමන් කළාය. ශ්‍යාමලී ඇය පසු­පස ඇදුණේ හදි­සියේ ගිල­න් වූ­වකු ‍පරිද්දෙනි. පුත්‍රයා ඉල්ලා සිටි­යද බොරු­වක් පව­ස­න්නට ඇය අපො­හො­සත් වූවාය.

“පුතා... පුතා..” යි ඇය තත­නන කල අමාලි අනු­කම්පා සහ­ගත බැල්මක් හෙළු­වාය.

“ගෙදර නෑ කියන්න කියලා කීවද?”

ශ්‍යාමලී ගල් ගැසී සිටි­යදී යුව­තිය කාම­ර­යට ඇතුළු වූවාය.

“ඒයි.. මෝඩයා... නැඟි­ටි­නවා..”

සියො­ලඟ වැසෙන සේ පොර­වා­ගෙන හුන් පොරෝ­නය ඇද පසෙ­කට විසි කළ අමාලි මහ හඬින් අණ කළාය. දෑතින් දෙකන වසා ගත් බ්‍රයන් ඇඳ මත ගුළි විය.

“ඇයි මගෙ කෝල්ස්ව­ලට ආන්සර් නොකළේ? බැරිම තැන මම මැසේ­ජස් කීයක් නම් එව්වද... මොකෙක්ද මංදා...”

මේ කවර නම් ආදර සබ­ඳ­තා­ව­ය­ක්දැයි වටහා ගත නොහැකි වුවද ශ්‍යාමලී ඔවුන් අත­රට පැන්නාය.

ලබන සතියට‍...

අදහස්