කෘත්‍රිම රසකාරක භාවිතයෙන් වළකින්න . | Page 2 | සිළුමිණ

කෘත්‍රිම රසකාරක භාවිතයෙන් වළකින්න .

උදාවන අළුත් අවුරුදු සමයේ කෘත්‍රිම රසකාරක භාවිතයෙන් වළකින්න .

අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද පවසයි.

උදාවන අළුත් අවුරුදු සමයේ ආහාර රස ගැන්විම සදහා  කෘත්‍රිම රසකාරක භාවිතයෙන් වැළකී දේශීය නැවුම් කුළුබඩුවලින් සකස් කරන ලද රසකාරක භාවිතයට ගන්නා ලෙස  අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියේය. 

අළුත් අවුරුදු සමයේදී රට තුළ කෘත්‍රිම  රසකාරක භාවිතය ඉහළ යන අතර එය ජනතාවගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අනාදිමත් කාලයක සිට පැවත එන දේශීය ආහාර සංස්කෘතිය තුළ අපගේ මුතුන් මිත්තන් ආහාර කල්තබා ගැනීමටත්, ආහාර රසවත් කර ගැනීමටත්, ඖෂධයක් හා සුවද කාරකයක් ලෙසටත් දේශීය කුළුබඩු යොදාගත් බව ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළේය. අළුත් අවුරුද්ද උදාවන විට එදා අපේ සාම්ප්‍රදායික ගෘහණිය කල්වේලා ඇතිව මුළුතැන් ගෙට අවශ්‍ය කුළුබඩු සකස් කරගත් අතර එය පවුලේ නීරෝගීභාවයට මහත් රුකුලක් විය. 

එබැවින් එම පාරම්පරික දේශීය කුළුබඩු සංස්කෘතිය නැවතත් දොරට වඩම්මවා ගත යුතු බවද ආචාර්ය හීන්කෙන්ද මහතා පැවසීය. කෘත්‍රිම  රසකාරක භාවිත කිරීම තුළින් දියවැඩියාව, පිළිකා ඇතුළු විවිධ වු බෝ නොවන රෝගාබාධ වැළදීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙන බවට වර්තමානයේ විවිධ පර්යේෂණ මගින් සොයාගෙන තිබේ. පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියෙන් ඈත්වීම මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වීමට බලපා ඇත.

ස්වභාවික කුළුබඩු යොදා සැකසූ සාමිප්‍රදායික ආහාර සංස්කෘතියට හුරුවීමෙන් මෙම තත්ත්වයන්ගෙන් වැළකීමේ හැකියාව තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කළේය.

(අකුරණ සමූහ ජේ. මොහමඩ් හාපීස්)

Comments