ඇමෙරිකාවේ රථ ගාලකදී ගෝඨාභයට හදිසියේ ලැබුණු ලිපිගොනුවේ කතාව | සිළුමිණ

ඇමෙරිකාවේ රථ ගාලකදී ගෝඨාභයට හදිසියේ ලැබුණු ලිපිගොනුවේ කතාව

  • ලසන්තගේ දුවගෙන් සහ තවත් පුද්ගලයකුගෙන් නඩු දෙකක්
  • සිරියාවේදී ඝාතනය වූ මාධ්‍ය‍වේදිනිය වෙනුවෙන් ඩොලර් මිලියන 300ක් වන්දි දිනා දුන් නීතිඥයා ගෝඨාභයට එරෙහිව එයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිතර ඇමෙරිකාවට ගමන්-බිමන් යන්නෙකි. මේ ගමන්-බිමන්වල සුලබ බවට ගෝඨාභය මහතාගේ ඇමෙරිකානු පුරවැසි භාවයද එක් හේතුවකි. මේ ආකාරයට පසුගියදා ගෝඨාභය මහතා ඇමෙරිකාවට යන්නේ සිය බිරියද සමඟිනි. මේ ගමන ඔහුගේ හිතවතකු වන මාධ්‍ය ආයතන හිමිකරුවකුද සහභාගි වී ඇති බව කියවෙයි. ඇමෙරිකාවට ගිය ගෝඨාභය මහතා පසුගිය අප්‍රේල් 7 ඉරිදා කැලිෆෝනියාවේ පාසාදෙනාහි ට්‍රේඩර්ස් ජෝ නම් වෙළෙඳසලේ රථගාලේදී අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දෙන්නේය.

ඔහුගේ ගමන්-බිමන් ගැන දැඩි සෝදිසියකින් සිටි ප්‍රිමියර් ගෘෘප් ඉන්ටර්නැෂනල් නම් පෞද්ගලික විමර්ශන කණ්ඩායම “ඔබ නන්දසේන ගෝඨාභය නේදැ?“ යි විමසා ඔහුට විරුද්ධව පනවා තිබෙන නඩුව පිළිබඳ පැමිණිල්ලක් බාර දුන්නේ ඒ අවසථාවේදීය. මේ පෞද්ගලික විමර්ශකයන් මේ අවස්ථාව ඡායාරූපයටද නඟා සමාජ ජාලවලට මුදාහැර ඇති අතර, ඇමෙරිකාවෙන් ලැබෙන වාර්තා මඟින් කියවෙන්නේ එය සීල් කළ, පිටු 37කින් සමන්විත වාර්තාවක් බවයි. මේ වර්තාව සීල් කර ඇත්තේ එය භාර දීමට ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණේවිද යන සැකය නිසාය. කෙසේ වුවද මේ පැමිණිල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාට අතට පත් වුවද එහි අන්තර්ගත වන්නේ කුමක්ද? ඊට අදාළව කවර පියවර ගත යුතුද? යන්න පිළිබඳ යම් අදහස් ලබාගත හැක්කේ විවෘත කිරීමෙන් පසුවය. කෙසේ වුවද මෙය විවර කළ යුත්තේද අධිකරණයේදීය. එය විවෘත කිරීම ලබන සඳුදා සිදු වන බවට වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දෙකක් ඇමෙරිකානු අධිකරණයක් හමුවේ ඉදිරිපත්ව ඇති අතර‍, එයින් මෙරට වඩාත් කතබහට ලක් වන සිදුවීම වන්නේ ‘සන්ඩේ ලීඩර්‘ කර්තෘව සිටියදී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් ගෙනු කරන ලද නඩුවයි. ඇමෙරිකානු පුරවැසියකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් සැක කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව කියමින් ඇය නඩුවක් ගොනු කොට ඇත. මෙයට අමතරව ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට ගිය සාමනාදන් නමැති පුද්ගලයකුද තමන් අත්අඩංගුවට ගෙන අමානුෂික අයුරින් වද-හිංසා පමුණුවන ලද බව පවසමින් ඔහු අධිකරණය හමුවේ නඩුවක් ගොනු කොට තිබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේද විමර්ශන සිදු කෙරුණත් ඒවා ප්‍රමාණවත් අයුරින් සිදු නොවීමත්, තවමත් අදාළ නෛතික පියවර ගැනීමට ශ්‍රී ලකාවේ රජය මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන අපොහොසත් වීමත් පිළිබඳ අහිංසා සිටියේ කලකිරීමකිනි. ඇය මේ බව සඳහන් කරමින්, ගෝඨාභය රාජපක්ෂ මහතා තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් සැක කිරීමට අදාළ හේතු සාධකද සඳහන් කරමින් දීර්ඝ ලිපියක් මාධ්‍ය වෙත එවා තිබිණි. මේ අතර ඇය ඇමෙරිකානු අධිකරණයක පිහිට පතන්නට සිතන්නේ ගොඨාභය රාජපක්ෂ මහතාද ඇමෙරිකානු පුරවසියකු වීම නිසාය.

ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ මේ දිනවල දැඩි සේ කතාබහට ලක් වන අතර, එයට ප්‍රධාන හේතුවක් වන්නේ ඔහු ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට පවතින ඉඩකඩයි.

අහිංසා වික්‍රමතුංග මෙණෙවිය විසින් පවරන ලද නඩුවට අමතරව තමන් ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය සමයේ සිදු වූ අත්අඩංගුවට ගැනීමකදී සිදු වූ වද-හිංසා සම්න්ධයෙන් වූ නඩුව ගොනු කර ඇත්තේ කැනේඩියානු පුරවැසියකු වන රොයි සාමනාදන් නමැත්තාය. ඔහුගේ මේ නඩුව වෙනුවෙන් පෙනී සිටින්නේ නම දිනූ ඇමෙරිකනු නීතිඥයෙකි. ඔහු ස්කොට් ගිල්මොර්ය. සිරියාවේදී ඝතනය වූ ඇමෙරිකානු මාධ්‍යවේදිනියක වූ මාරි කැතරීන් කොල්වින් වෙනුවෙන් පෙනී සිට ඇමෙරිකනු ඩොලර් මිලියන 300ක වන්දියක් සිරියානු රජයෙන් ලබාගන්නට අවශ්‍ය නෛතික පියවර මෙහෙයවූයේ ගිල්මෝර්ය. ඔහු පවසා තිබුණේ මේ චෝදනා බොරු බවට නිසි ලෙස ඇමෙරිකනු අධිකරණය හමුවේ තහවුරු කරගනත නොහැකි වුව හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල වන්දි මුදලක් ගෙවන්නට සිදු වනු ඇති බවයි; එසේ නැති නම් ඔහුට අයත් ඇමෙරිකාවේ පවතින වත්කම්වලින් මෙය අය කරගැනෙන බවයි.

පසුගිය මාර්තු මස අග භාගයේදී ලන්ඩනය හරහා ඇමෙරිකාවට ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දින ගණනාවක් කැලිෆෝනියාවේ සිට ඇති අතර, පසුගියදා එතැන් සිට ඇමෙරිකාවේ නෙවඩා ප්‍රාන්තය කරා ගමන් කොට ඇත. විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසන්නේ ඔහු තවදුරටත් අධිකරණ චෝදනා එල්ල වේය යන සැකයෙන් උපක්‍රමිකව සිටින ස්ථානය වෙනස් කරමින් තම හිතවතුන් හමු වෙමින් කාලය ගත කරන බවයි.

ඔහු මේ වන විට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාළ කටයුතු ඇමෙරිකනු විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සිදු කරගෙන යන බවට ඔහුට හිතවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද යම් ඇමෙරිකානු පුරවැසියකුට තම පුරවැසිභාවය ඉවත් කරගැනීම ආවාට-ගියාට කළ නොහැකිය. මේ වන විට තොරතුරු සන්නිවේදන තාක්ෂණය කොතරම් උපරිම අයුරින් ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක වුවද යමකුට තම පුවැසිභාවය අහෝසි කරගැනීමට ඊ-මේල්-එකකින් හෝ වෙනත් ක්‍රමවේදයකින් ඉල්ලුම් කළ නොහැකිය.

ඒ සඳහා අනිවාර්යයෙන්ම ඔහු තමා ජීවත් වන රටේ ඇමෙරිකනු තානාපති කාර්යාලය මඟින් හෝ කොන්සල් ජනරාල් කාර්යාල මඟින් ඉල්ලීමක් කළ යුතුය. පුරවැසි භාවය අත්හැරීමට අදාළ පියවර ගන්නේ එයින් අනතුරුවය.

ඇමෙරිකානු අධිකරණයක් හෝ එරට නීතිය ක්‍රියාත්මක ආයතන හමුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට යෝජනා වීම ඔහුගේ පුරවැසිභාවය අහෝසි කිරීම කෙරෙහි යම් බලපෑමක් කළ හැකිය. කෙසේ වවුද ඒ පිළිබඳව තවමත් අපට පුරෝකථනයන් කළ නොහැකිය.

අදහස්