පොහොට්ටුව ගොඩ ද? | සිළුමිණ

පොහොට්ටුව ගොඩ ද?

අවුරුදු දවස්වලට පංච දැමීම කලාතුරකින් වුවත් තාමත් දැකිය හැකිය. එය අපූරු සෙල්ලමකි. දෙපැත්තට දිවෙන, යම් තැනකදී මුහුණට මුහුණ මාරුවෙන ඉත්තන්, අන්තිමට ගොඩ යා යුතුය. මුලින් ම ගොඩ යන්නා දිනුම් ය. මෙහි විශේෂත්වය වන්නේ මොනතරම් වේගයෙන් ඉදිරියට ගියත්, තීරණාත්මක ව ප්‍රතිවාදියාගේ ඉත්තාගෙන් නොකැපී යන්නට නොහැකි වුණොත් සිදුවන්නේ නැවත මුල සිට පටන් ගන්නට ය. ඒ නිසා මුලින් වේගයෙන් පෙරට ගියා කියා ප්‍රතිවාදියා කලබල වන්නේ නැත. දේශපාලනෙත් එක අතකට ඒ වගේ ය. ශ්‍රීලනිපය හැදුවේ බණ්ඩාරනායක ය. එක්සත් ජාතික පක්ෂයට නොතිබුණ කොටස් ටිකක් එකතු කරගන්නට හිතාගෙන බණ්ඩාරනායක අලුත් පක්ෂයට ‘පංච මහ බලවේගය’ කියන තේමාව ගෙනාවේ ය. මෙරට ඉතිහාසයේ වෙඩි තබා ඝාතනය කළ පළමු පක්ෂ නායකයා සේම අගමැතිවරයාත් බණ්ඩාරනායක ය. බණ්ඩාරනායක හදපු ශ්‍රීලනිපය බණ්ඩාරනායකලාට අහිමි වෙන බවට බොහෝ දෙනා අනාවැකි කියද්දී මැතිණිය පැමිණ ඒ අනාවැකි බොරු කළා ය. ඊට පසු චන්ද්‍රිකා කුමාරතුංග එහි නායකත්වය ගත්තා ය. එහෙම බැලුවම ශ්‍රීලනිපයට බණ්ඩාරනායකලා එක්ක ගසට පොත්ත වගේ බැඳීමක් තිබේ. ඒ විතරක් නෙවේ, ශ්‍රීලනිප පාක්ෂිකයෝ ද තමන්ගේ පක්ෂයට මෙන්ම බණ්ඩාරනායකලාට ද බෙහෙවින් ම ආදරය කළහ.

එහෙත්, මහින්ද එය එහෙම පිටින් ම වෙනස් කළේ ය. ශ්‍රීලනිපය වෙනුවට පක්ෂය ‘මහින්ද රාජපක්ෂ’ පක්ෂය බවට පත් කළේ ය. ඊට උඩගෙඩි දුන්නේ හැත්තෑ ගණන්වල එජාප නියෝජිතයකු ව සිටි බැසිල් ය. 2005 ජනාධිපතිවරණය තිබ්බේ මහින්දගේ උපන් දිනේ දවසේ ය. ජනාධිපති වෙච්ච මහින්ද එතැන් සිට ශ්‍රීලනිපය දියකොට ‘මහින්ද පක්ෂය’ ගොඩනැඟුවේ ය. ඒ වෙනුවෙන් සෙසු සියලු පක්ෂ සෘජු ව සහ වක්‍ර ව කඩා තමන්ට අවැසි ඉත්තෝ බා ගත්හ. එමෙන්ම තමන්ට ‘එහෙයි’ කියා වන්දනා කරන අන්ධ භක්තිකයන් පිරිසක් ගොඩනඟා ගත්හ.

ඒ අනුගාමිකයන් ගැන වරක් රෙජිනෝල්ඩ් කුරේ අපූරු කතාවක් කීවේ ය. ‘මහින්ද ජනාධිපතිතුමා වටේ ඉන්න අය හිතනවා ගස්වල ගෙඩි හැදෙන්නේ, මල් පිපෙන්නේ, සිහිල් සුළං හමන්නේ, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුහසින් කියලා’. සියල්ල සිදු වූයේ ඒකාධිපති රටවල වගේ ය. උතුරු කොරියාවේ මෙන් සියලු ම ගොඩනැගිලිවලට ‘මහින්ද රාජපක්ෂ’ නම තබනු ලැබීය. 2005 ඔහු දින වූ කණ්ඩායම් දෙකක් විය. එකක් ජාතික කණ්ඩායම් ය; අනෙක ජාතිවාදී කණ්ඩායම් ය. ඒ දෙක ම එක ම අරමුණකට යෑමෙහි මාරු බවට පත් කරන්නට අපූරු බුහුටිකමක් මහින්දට තිබුණේ ය. එහෙත්, ජයග්‍රහණයෙන් පසු ඔහු තීරණාත්මක ව ඒ කණ්ඩායම් වීසිකොට දැමුවේ ය. ජනතා විමුක්ති පෙරමුණ වීසි කළේ සාහසික ලෙස එ් පක්ෂය කඩා දමමිනි. විමල් වීරවංශ ජාතිවාදී කෝවක දමා අලුතින් ඇඹීමෙහි නිර්මාපකයා මහින්ද ය. ඉන් අනතුරුව ඔහු ඔහු සමඟ සිටි සහ ඔහුට තීරණාත්මක හයියක් වූ හෙළ උරුමය එලවා දැම්මේය. ඒ වෙනුවට ඔහු ඔහුට ඡන්දයක් නොදුන් පක්ෂවලින් බිලි බා ගැනීම් පටන් ගත්තේය. අන්තිමට මේ ගිය ගමන කෙළවර වූයේ ‘විනාශයේ සුනාමිය’ කඩා වැදීමෙනි. අධික බලකාමය සේම අධික තක්සේරුව ද උරුම කරන්නේ ඛේදවාචකයකි. ශ්‍රීලනිපය දියකර දැමූ මහින්ද පරාජය වූයේ ද මහින්දගෙන් ගැලවී පැමිණ ඔහුට එරෙහිව ඡන්දය ඉල්ලූ මෛත්‍රීට ම ය.

දෛවයේ සරදම වන්නේ 2005 මහින්දගේ උපන්දිනය දා මහින්ද දිනද්දී 2015 බණ්ඩාරනායකගේ උපන් දිනය දා මහින්ද පැරදීම ය. ඊට පස්සේ මහින්ද යුගය හමාර විය. එහෙත්, පුංචි ඡන්දය දිනාගෙන ඔවුන් ආපසු අධිතක්සේරුවකින් සිටී. එහෙම සිටින පොහොට්ටුවට මතක්කර දෙන්නට උදාහරණ කොතෙකුත් තිබේ. 88 කියන්නේ එජාපය බලවත්ම අවදිය ය. පහෙන් තුනක බලයක් අරගෙන එජාපය ශ්‍රීලනිපය සෝදාපාළු කොට තිබුණේය. ඒ වෙනකොටත් පළාත් සභා ඡන්දය වර්ජනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දුකොට තිබිණි. ඒ මදිවට ජවිපෙ ‘පලා බබා අපිට එපා’ කියා පෙළපාලි ගියේ ය.

1988 ජනාධිපති මැතිවරණයට කල් තියෙද්දී ජේ. ආර්. දේශපාලන ‘අත්හදා බැලීමක් කළේ ය. ඒ අතුරු මැතිවරණ කිහිපයක් තබා බලය පිරික්සීමෙනි. රත්නපුර අතුරු මැතිවරණ ආවේ ඒ අතර ය. එක අතකින් ශ්‍රීලනිප බලකොටුවකි. අනෙක් අතින් ජවිපෙ සංහාර ප්‍රදේශයකි. මැතිවරණ ය තිබ්බේ ය;’ ජේ ආර් එලවන සටන අපි පටන් ගන්නේ රත්නපුරෙන්. ‘මිත්‍රවරුනි, ඒ සටනට එකතුවෙන්න’ මැතිනිය කීවේ එහෙම ය. එහෙම කී මැතිනියගේ ‘අත’ රත්නපුර දින්නේ ය. ‘වැඩේ හරි, ජේ ආර් ඉවරයි’ සියලුදෙනා සිතූහ. තමන් අතිශයෝක්තියෙන් සිටින්නේ ආසන අටට වැටුණු එජාපය ඉන් වසර 7ට පසු මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය උරුම කළ නායකයා සමඟ බව බොහෝ දෙනාට අමතක විය.‘ජනාධිපතිවරණෙට අපි එන්නේ තනියම’ මැතිනියගේ උපදෙශකයෝ කීවේ එහෙම ය. රත්නපුර දිනන්නට තිරේ පිටුපස හයිය දුන් ජවිපෙ පවා ඔවුහූ අමතක කළහ. තනියම ජනපති සටනට ආහ. ප්‍රතිවාදියා ප්‍රේමදාස ය. ‘උත්තරය තනි අතට ‘කට උත්තර නැති වීම ය. රත්නපුරෙන් උදම් වී අන්තිමට නතර වුණේ අන්ත පරාජයෙනි. මේ කතාව අද තියෙන පොහොට්ටුවටත් කදිමට අදාළ ය. පොහොට්ටුවේ අය කීවේ ‘අපිට කවුරුත් ලොකු නෑ. අපි පුංචි ඡන්දේ දිනුම්’ කියා ය.

මේකට අපූරු උත්තරයක් චම්පික දුන්නේ ය. ‘ඌව ඡන්දේ තියලා ඉවර වෙලා උදේ හතරහමාරට මහින්ද කතා කළා. බැසිල් ප්‍රසන්ටේෂන් එකක් කළා. පළාත් නවයෙ ම ප්‍රතිඵල ආවා. සන්ධානය ලක්ෂ 50යි. එජාපය ලක්ෂ 24යි. ජවිපෙ ලක්ෂ තුනහමාරයි. ෆොන්සේකගේ පක්ෂය තුන් ලක්ෂ හැත්තෑපන්දාහයි. දෙමළ සන්ධානය ලක්ෂ පහයි. මේක බැසිල් කීවම රාජපක්ෂ මහත්තයා කීවා ඉක්මනින් ජනාධිපතිවරණය තියනවා කියලා. පස්සේ මගෙන් මහින්ද මහත්තයා ඇහුවා ‘ඔයත් ගණන් කාරයනේ මොකද කතා නැත්තේ? කියලා ඇහුවා. මම කීවා ඔබ පරාදයි කියලා. එතුමා පුදුම වෙලා ඇහුවා, පිස්සුද කියලා. මම කීවා, ඔබ බලගතු වෙනසක් නොකළොත් පරාදයි. පළාත් සභා ඡන්දේ දෙන්නේ සීයට 60යි. ජනාධිපතිවරණෙදි සීයට අසූවයි. වැඩි වෙන සීයට විස්ස වෙනසක් පතන අය. දිනන්න ලක්ෂ හැටක් ඕන. ‘චම්පික කීවා වගේම මහින්ද පරාජය විය. චම්පික කීව ලක්ෂ විස්ස ගියේ මෛත්‍රීට ය. දැන් පොහොට්ටුවට මහින්ද නැත. ඔහු ජනපති සටනේ චරිතයක් නොවේ; ඊළඟට හිටියේ ගෝඨා ය. ඔහු දැන් ඉන්නේ දැඩි අවිනිශ්චිත තැනක ය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කරන්නේ ඔය අතර ය. ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසියකු වන අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ අධිකරණයක නඩු පැවරීමට ලසන්ත වික්‍රමතුංගගේ දියණිය යොමුව ඇත්තේ ඒ අනුව ය. මේ අතර, ඔහුට එරෙහිව තවත් නඩුවක් ගොනු වී තිබේ. ඒ අන්තර්ජාතික සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) සංවිධානය විසිනි. ඒ සංවිධානය කියා සිටියේ දෙමළ ජාතික තරුණයකු වද හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තම සංවිධානය ද කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පැවරූ බව ය. පෙළගැසෙන කාරණා සියල්ල ගොනුවෙමින් තිබෙන්නේ ‘ගෝඨාභය රාජපක්ෂගේ’ ජනාධිපතිවරණ සිහිනය සසල කරන ලෙසට ය.

මේ නඩු හරහා ඔහුට බලපෑමක් නොවන බව සමහරු පැවසුව ද, සත්‍ය නම් ‘සෙල්ලම පහසු නොවන බව ය’. මොන කයිවාරු ගැසුවත් මේ රටේ මිනිස්සුන්ට සංවේදීකමක් තිබේ. කාකි ඇඳුමට මිනිස්සු තවමත් බය ය. ගමක පොලිසියක් දානවටවත් අකමැති ය. අදටත් මිනිස්සු ජවිපෙ සැක කරන්නේ ඉතිහාසයේ මතක නිසා ය. එහෙව් එකේ ගෝඨා වගේ කෙනෙක් ජනපති කරන්න මේ රටේ මිනිස්සු කොහෙත්ම සූදානම් නැත. “හමුදා කාරයොන්ට මිනිස්සු දේශපාලකයන්ට වඩා ආදරෙයි. හැබැයි රටක් බාර දෙන්න බයයි.” වරක් එහෙම කීවේ මැතිනියයි. වරක් කීර්තිමත් රණශූර ජානක පෙරේරා එජාපයෙන් ඡන්දෙට ආවේ ය. උතුරු මැදින් පටන් ගන්නකොට එජාපය හිතුවේ ‘රැල්ල’ තමන්ට කියා ය. හැබැයි ප්‍රතිපලය ‘පරාජය’ ය.

ඒක පස්සේ ඔප්පු වුණේ රට වෙනුවෙන් ශරීරය පවා දන් දී, 30 වසරක යුද්දේ මෙහෙයවපු සරත් ෆොන්සේකා පවා ජනාධිපතිවරණයේදී පරාජය වීමෙනි. එහෙව් වීරයා පරාජය වූවා නම් යුද්දේ වෙනුවෙන් සීත කාමරවල සෙල්ලම් කළ ගෝඨා වැන්නෙක් ජනපති කරාවියැයි හිතන එක හීනයක් ය. දැන් පොහොට්ටුව අභතෝකෝටිකයක ය. ඊළඟ තේරීම බැසිල් ය. එහෙත් ඔහු තාමත් අමෙරිකන් ය. අනික මහින්ද පැරදුණු වෙලාවේ පැදුරටත් හොරා මත පුරවැසු බිමට දිවුව කෙනාය. තව විකල්පයක් තිබේ; ඒ චමල් ය. චමල් ගැන දන්නේ හම්බන්තොට පමණ ය. නාමල්ට වයස නැත; ඉතිරි ශිරන්ති ය. එහෙනම් ලාල්කාන්තගේ අනාවැකිය හරියයිද?. ඒක කියන්නට දැන්ම කලබල වියයුතු නැත.

අදහස්