විදුලිය අර්බුදයට වැඩියෙන්ම වගකියන්න ඕනෑ දේශපාලකයනුයි | සිළුමිණ

විදුලිය අර්බුදයට වැඩියෙන්ම වගකියන්න ඕනෑ දේශපාලකයනුයි

විදුලිය අර්බුදයක් බවට පත් කිරීමට ඇත්තටම වගකිව යුත්තේ කවුරුද?

අද මෙයට චෝදනා එල්ල වනවා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට; එහෙම නැත්නම් මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ට. ඔවුන්ටත් යම් යම් වගකීම් තිබෙනවා තමයි. ඒත් රටට අවශ්‍ය විදුලිය නිසි කාලයට ජනනය කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ දේශපාලකයන් මේ තත්ත්වයෙන් 65%කට වගකිව යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.

ඇයි ඔබ එසේ කියන්නේ?

අප දන්නවා පසුගිය අවුරුදු කිහිපයේ -එනම්: 2012 පස්සේ- රටේ වැඩි වන විදුලිය ඉල්ලුම සපුරන ආකාරයට විදුලිය උත්පාදනය කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙලා නෑ. මේ සැලසුම් සකස් වී තිබුණත් ඒවා ක්‍රියාත්මක නොවුණේ පිට කොන්දක් නැති අදාළ දේශපාලකයන් නිසයි. වසරකට මෙ.වො. 300ක පමණ ඉල්ලුමක් අලුතෙන් නිර්මාණය වනවා. පසුගිය කාලය තුළ පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය මඟින් මෙ.වො. 760ක් පමණ නිපදවුණත් මේ වන විටත් අදාළ ඉල්ලුම සමඟ සැසඳීමේදී මෙ.වො. 1500ක පමණ හිඟයක් තිබෙනවා.

ඔබ පොරොන්දු වූ ආකාරයට පසුගිය 10 වැනිදායින් පසු විදුලිය කැපීම නවත්වන්න හැකි වුණා. ඇයි මේ පියවර කලින්ම ගන්න බැරි වුණේ?

විදුලියේ අර්බුදයක් ඇති වන බව කවුරුත් දැනගෙන හිටියා. ඒත් ප්‍රශ්නේ තිබෙන්නේ: එකපාරටම නොරච්චෝලේ විදුලි බලාගාරයත්, කොළඹ වරායේ නවත්වා තිබෙන පාවෙන විදුලි බලාගාරයත් දෙකම අක්‍රිය වීම. ඒ අතරේ ඇතැම් ජලාශවල විදුලිය නිපදවන්න තරම් ප්‍රමාණවත් ජලය තිබුණත් ඊළඟ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිදහස් කරන්න තිබෙන නිසා මහවැලිය මේ ජලය නිදහස් කළේ නැහැ. මේ සියලු හේතු නිසා ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙලා විදුලිය කපන තැනකට ආවා.

දැන් කොහොමද ප්‍රශ්නය විසඳුණේ?

ඒ පිළිබඳ බොහෝ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන් ඉදිරියේදී අප විවිධ රටවල් සමඟ රාජ්‍ය මට්ටමින් සම්බන්ධ වී, මේ අර්බුදයට කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමට කටයුතු කරගෙන යනවා. ඒ අතර පෞද්ගලික විදුලි බලාගාර කිහිපයකින් විදුලිය මිලදීගන්න අවශ්‍ය කටයුතු කළා. ස්වාරක්ෂක විදුලිය සැපයුමක් කෙටිකාලීනව ලබාදීමේ අරමුණින් මේ වන විට පාවෙන විදුලිය බලාගාරයකින් මෙ.වො. 500ක් ලබාගැනීමට අදාළ කටයුතු සිදුවෙමින් පවතිනවා.

මේ විදිහට විදුලිය ගැනීම විදුලිබල මණ්ඩලයට අලාබ නැද්ද?

අපට මේ අතිරේක විදුලිය මිලදීගැනීම් සඳහා ඒකකයකට වැය වන්නේ රු. 21- 24ත් අතර මුදලක්. ඒත් කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ සමහර බලාගාරවල විදුලිය ඒකකයක් නිපදවීමට රු. 41ක් විතර වැයවනවා, උතුරු ජනනී විදුලිය බලාගාරයේ ඒකකයකට රු. 69ක් වැය වනවා, සපුගස්කන්දේ පැරණි බලාගාරයකට රු. 38ක් විතර වැයවනවා. ඒ අනුව බැලුවාම මේ අතිරේක විදුලය සැපයුම්වලට වැයවන්නේ සාපෙක්ෂව අඩු මුදලක්.

හැමදාම කතා කරන කාරණයක් තමයි විදුලිය ජනන සැලසුම් හරි ආකාරයට ක්‍රියාවට නැංවීම ප්‍රමාද වීම. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා හැටියට මොන වගේ පියවරක්ද අරන් තියෙන්නේ?

අපට 2030 වසර දක්වා දිවෙන සැලසුමක් තිබෙනවා. ඒ තුළ පුනර්ජනනීය බලශක්ති -එනම්: කුඩා පරිමාණ ජල විදුලි බලාගාර, සූර්ය බලාගාර වගේ දේවල්- තිබෙනවා. ඊට අමතරව ස්වාභාවික ද්‍රව වායු (එල්එන්ජී) බලාගාර 7ක්, ගල් අඟුරු බලාගාර කිහිපයක් සම්බන්ධයෙන් සැලසුම් තිබෙනවා.

ඒත් විදුලිබල මණ්ඩලයට තිබෙන ලොකු චෝදනාවක් තමයි සූර්ය බලශක්තිය වැනි මිල අඩු පුනර්ජනනීය බලශක්ති පිළිබඳ වැඩි අවධානයක් නොදැක්වීම...

එය වැරදි මතයක්. අප මුලින් ජල විදුලි බලාගාර ගැන කොපමණ විශ්වාසයක් තිබ්බාද? ඒත් අද බලශක්ති ඉල්ලුමෙන් ජල විදුලියට සපුරන්න පුළුවන් වෙලා තිබෙන්නේ 2%ක් විතරයි. සූර්ය ශක්තියත් වැඩියෙන්ම අපට ලබාගන්න පුළුවන් දහවල් කාලයේදී. බලශක්ති ඉල්ලුම වැඩි රාත්‍රි කාලයේදී එය නිසි ලෙස කළමනාකරණය කොට පරිහරණය අපහසුයි. මේ පුනර්ජනනීය බලශක්තිය වැදගත් වුණාට එය ස්ථිරසාර බලශක්ති ප්‍රභවයක් ලෙස සලකන්න අමාරුයි. එයින් ජාතික පද්ධතියට ශක්තියක් වුණාට අපට එය මතම රැඳෙන්න බැහැ. මේ වනවිට අපේ බලශක්ති සැලසුම්වල සූර්ය බලාගාර කිහිපයක්ම තිබෙනවා. පසුගියදාත් කැනඩාව සමඟ අපේ අමාත්‍යාංශය මාදුරුඔය ජලාශයේ මෙ.වො. 100ක පාවෙන විදුලි බලාගාරයක් ඉදිකිරීමට ගිවිසුම් අස්සන් කළා.

දැන් කොහොමද විදුලි බල මණ්ඩලයයි, මහජන උපයෝගිතා කොමිසමයි අතර තිබෙන විරසකය විසඳන්නේ?

ඒ ප්‍රශ්නය විතරක් නෙවෙයි; රටේ ජනතාවට ඉදිරියේදී අඛණ්ඩව විදුලිය සැපයීමේ කටයුත්තට අදාළ සියලු ගැටලු විසඳිය හැකි ආකාරයේ අමාත්‍ය කමිටුවක් පත් කිරීමට පසුගිය 9 දා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ අනුව ගරු අගමැතිතුමන්ගේ ප්‍රධාන්තවයෙන් ඒ සඳහා විශේෂ අමාත්‍ය කමිටුවක් පත් වුණා. මෙහි සාමාජිකයන් ලෙස මාත්, මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහාමාර්ග සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන කටයුතු අමාත්‍ය සාගල රත්නායක යන අමාත්‍යවරුත් සෙසු සාමාජිකයන් වනවා. මින් ඉදිරියට කිසිදු විදුලිබල ඇමතිවර‍ෙයකුට මේ ප්‍රශ්නය මම ඉතුරු කරන්නේ නෑ.

ඉදිරියේදී විදුලි බිල වැඩි වෙයිද?

නෑ. මේ අර්බුදය කිසිසේත් ජනතාව පිට පටවන්නේ නැහැ. අපට රජයක් ලෙස මේ තත්ත්වය කළමනාකරණය කරගන්න පුළුවන්. සමහරු කියනවා වෙසක් මාසයේ විදුලිය කැපීමක් වෙන්න පුළුවන් කියල. අපි අවධාරණයෙන් කියනවා මේ වසරේ වෙසක් උත්සවය වෙනදාටත් වඩා තොරණ, දන්සල් පවත්වලා කලඑළියට සමරන්න. ඊට අවශ්‍ය විදුලිය සපයන්න අප සූදානම්.

අදහස්