සන්ධානගත වීම් ආයෙත් වෙන්න පුළුවන් | Page 2 | සිළුමිණ

සන්ධානගත වීම් ආයෙත් වෙන්න පුළුවන්

අය-වැය පරාජය කොට ආණ්ඩුවට විසුරුවා හරින බව ඇතැම් මන්ත්‍රීන් පැවැසුවා. එහෙත් අය-වැය පරාජය කරන්න හැකි වුණේ නෑ නේද?

ඇතැම් මන්ත්‍රීන් අය-වැය පරාද කරනවා කියලා පෞද්ගලිකව යම් යම් ප්‍රකාශ කරලා තිබුණත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට වත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස සියලු දෙනා එකට එකතු වෙලා වත් අය-වැය පරාද කරන්න තීන්දුවක් ගෙන තිබුණේ නැහැ. අප දන්නවා ප්‍රායෝගිකව අය-වැය පරාජය කරන්න අපහසු බව. ටීඑන්ඒ ඡන්ද 17ක් තිබෙනවා. ඒ අනුව බැලුවාම විරුද්ධව ඡන්ද 102කට වඩා ගන්න හැකි වන්නේ නැහැ. ඒ ප්‍රමාණයෙන් ආණ්ඩුවක් පරාජය කරන්න බැහැ. 19 සංශෝධනයෙන් පසු අය-වැයක් නැති නම් මුදල් පනතක් පරාජය කළ පමණින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යන්නත් බැහැ. හැබැයි අය-වැය නැවත පාර්ලිමේන්තුවට ඉදරිපත් කොට සම්මත කරගන්න පුළුවන්. මෙයයි අලුත් සංශෝධනයේ වෙනස. ඒ නිසා ආණ්ඩු විරෝධි බලවේගයක් ගොඩනඟන්න මිස, අපට ඕනෑ වුණේ නෑ වෙනත් දේශපාලන පෙරළියක් කරන්න.

ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් අය-වැයේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂා සහගතව සිටියා. ඒත් ඔවුන් ඡන්දය දීමෙන් වැළකී සිටියා...

අය-වැය අවස්ථාවේ ඡන්දය නොදී සිටීම තුළම ආණ්ඩු විරෝධයක් ගොඩනැඟීමේ ප්‍රයත්නයක් ඒ අයට තිබෙන බව පැහැදිලියි. හැබැයි මීට වඩා හොඳයි, ඔවුන් අය-වැයට විරුද්ධව ඡන්දය දුන්නා නම්. පොදු වශයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් පක්ෂයක් හැටියට ගත යුතුයි. ඡන්දය නොදුන්නා කියලා අප දෙපාර්ශ්වය අතර කිසිදු විරසකයක් ඇති වී නැහැ. එහෙත් මේ සියලු කාරණා කතා කර පොදු බලවේගයක් ලෙස අප එකට එක් විය යුුතුය, කියන ස්ථාවරය අප දෙපාර්ශ්වයටම තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනඟන්න උත්සාහ කරන පුළුල් සන්ධානය පිළිබඳ මේ වන විටත් සාකච්ඡා වට තුනක්ම පවත්වා තිබුණත්, තවම එකඟත්වයකට ඇවිත් නැහැ නේද?

දේශපාලනයේ හැටි එහෙම තමයි. සාකච්ඡා වට තිහක්-හතළිහක් තිබිල වත් විසඳගන්න බැරි දේශපාලන ප්‍රශ්න තිබෙනවා. අනෙක් අතට දේශපාලන මතවාදමය වශයෙන් වෙනස් ස්ථාවරයන්හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එජනිස ප්‍රබලව සන්ධානගත වූ ඉතිහාසයක් අපට තිබෙනවා. එජාපය හා ශ්‍රීලනිපය සන්ධානගත වෙලා තිබෙනවා මෑතකදී. මම හිතන්නේ: සන්ධානගත වීම් සිදු වන්න පුළුවන්, ඒත් එයට කාලයක් ගත වනවා. සාකච්ඡා වට දෙක-තුනක් කියන්නේ ලොකු දෙයක් නොවෙයි; සාමාන්‍ය දෙයක්. තව-තවත් සාකච්ඡා සිදු වනවා. එකිනෙකාගේ මතවාදවලට ඇහුම් කන් දීම සාමාන්‍ය දෙයක්. එකිනෙකාගේ අදහස් උදහස් බලනවා. අනන්‍යතාවලට හානි සිදු වෙලා තිබෙනවාද බලනවා. ඒ නිසා සාකච්ඡා වට ගණනාවක් තිබීම ඉතා වැදගත්. පක්ෂ නායකයන් අදාළ තීන්දු ගත යුතුයි. ආණ්ඩු විරෝධි පොදු දේශපාලන බලවේගයක් ගොඩනඟන විට එයට අදාළ කොන්දේසි හා ප්‍රතිපත්ති තිබෙනවා. ඒ අනුවයි කටයුුතු කළ යුත්තේ.

ඔබ පවසන ආකාරයට මේ පුළුල් සන්ධානය ගොඩනැ‍ඟෙන්න බොහෝ කල් ගත වේවි වගේ...

එය කියන්න බැහැ. සමහර විට ආණ්ඩුව විසුරුවා හැරියාට පස්සේ එය සිදු වේවි; සමහර විට ඉන් පෙර සිදු වන්නත් පුළුවන්. දේශපාලනය චංචලයි; විවිධ අදහස් තිබෙනවා; විවිධ මතවාද තිබෙනවා. එකතු වීම්, කැඩීම්-බිඳීම් සිදු වන්න පුළුවන්; වෙන් වීම් එක් වීම් තිබෙන්න පුළුවන්. එය ඉදිරියේදී බලමු. අන්තිම මොහොතේ එකඟත්වයන් ඇති වීමක් සිදු වන්න පුළුවන්.

මෙය මැතිවරණ අරමුණු කරගෙන සිදු වන සන්ධානගත වීමක්ද?

මූලිකවම ආණ්ඩු විරෝධි බලවේගයක් හැටියටයි එය සිදු වන්නේ. ඒ වුවත් ඉදිරි අනාගතයේ රටේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලටත් අදාළවයි මේ සන්ධානගත වීම සිදු විය යුත්තේ.

2015 ජනාධිපතිවරණයේදී උතුරු නැ‍ඟෙනහිර පළාත්වල සුළු ජාතික ඡන්ද ශ්‍රීලනිප අපේක්ෂකයාගේ පරාජයට ප්‍රබල බලපෑමක් කළා. ඉදිරියේදී ඒ ඡන්ද දිනාගැනීම සඳහා පක්ෂයක් හැටියට පියවර ගෙන තිබෙනවාද?

ඒ මැතිවරණයේදී සුළු ජාතීන්ගේ ඡන්දය 90%ක් ප්‍රකාශ වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට විරුද්ධවයි. එහෙම වෙලත් ඡන්ද හාරදාස් ගානකින් තමයි අප ඒ ප්‍රදේශ පරාද වුණේ. ඒ සාධක නැතුවත් 2015දී දකුණේ ඡන්දත් අඩු වෙලා තිබෙනවා; ගම්පහ දිස්ත්‍රික්කය වගේ සුළුජාතික ඡන්ද නැති දිස්ත්‍රික්කත් පරාද වුණා. මේ තත්ත්වය මඟහරවාගන්න අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ගිලිහුණු ඡන්ද අප වෙත නතු කරගැනීමේ ව්‍යාපාරයකුත් ක්‍රියාත්මක වනවා. පොදු බලවේගයක් ලෙස ආණ්ඩු විරෝධි මතවාදයක් රටේ ඉස්මතු වෙමින් තිබෙනවා. එක්වර ඉස්මතු වන ඒ බලවේගත් සමඟ අපට ඉදිරියේදී මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් වේවියැයි විශ්වාස කරනවා.

පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීන් පවසනවා ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතාය කියලා. එහෙත් ශ්‍රීලනිපයේ සමහර මන්ත්‍රීන් ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ වෙනත් අයගේ නම් යෝජනා කරනවා...

ජනාධිපතිධුර අපේක්ෂකත්වය තාම තීන්දු කර නැහැ. ශ්‍රීලනිප - පොදුජන පෙරමුණු පොදු එකඟත්වයකදී එය තීන්දු වෙයි. එයට තව කාල-වේලා තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂවරයකු නම් කෙරුණ හොත්, ඒ සම්බන්ධව පොදු මතය කෙබඳුද?

පොදුවේ ගත් විට මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය නැතිව කිසිදු අපේක්ෂකයකුට මෙය දිනන්න අපහසුයි. එතුමා වේදිකාවට නැඟලා කියන්න ඕනෑ 'මේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න' කියලා. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන අපෙක්ෂකයකු සමඟ අප කටයුතු කරනවා. එතුමාගේ ආශීර්වාදය ඇතිව පක්ෂය තීන්දු කළ යුතුයි අපේක්ෂකත්වය. දැනට පවතින තත්ත්වය අනුව රාජපක්ෂ කෙනකු වඩා සුදුසුයි කියා අප සිතනවා.

ඔබේ පෞද්ගලික මතයත් රාජපක්ෂ කෙනකු වඩා සුදුසුයි කියලද?

ඔව්. මාත් ඒ මතයේ ඉන්නවා.

Comments