රොබට් නොක්ස්, ජෝන් ඩේවි, ඈපා අප්පුහාමි ,පීටර් විජේසිංහ කියන එදා අවුරුදු විත්ති | සිළුමිණ

රොබට් නොක්ස්, ජෝන් ඩේවි, ඈපා අප්පුහාමි ,පීටර් විජේසිංහ කියන එදා අවුරුදු විත්ති

මීට හරියටම වසර 90කට පෙර සිංහල අවුරුදු චාරිත්‍ර; ශුභාභූභ ඵල විස්තර; පරණ අවුරුදු සඳහා කටයුතු කළ සැටි; අලුත් අවුරුද්ද සඳහා සඳ බැලූ හැටි; වැඩ අත් හැරීම කළ හැටි හා පුණ්‍ය ක්‍රියාවල යෙදුණු; ආහාර පිසීම හා ගනුදෙනු කළ හැටි; ඉස තෙල් ගෑ හා ස්නානාය; ස්නාන ඖෂධ භාවිත කළ හැටි; රැකී රක්ෂාදිය සඳහා පිටත්ව ගිය හැටි; ආදිය ගැන විස්තරයක් 1929 අප්‍රේල් 12 වැනිදා දිනමිණ පත්‍රයේ පළ වී තිබුණි.

එදා “දිනමිණ” පුවත්පතේ පළ වූ අයුරින් ම මෙහි ඇතැම් කොටස් උපුටා දැක්වූයේ එදා පත්තරේ භාෂාව ගැන ද අද පාඨකයාට දැන ගැනීමේ සමාජ විද්‍යාත්මක අගය සලකා ය.

මෙසේ මීට වසර 80කට ප්‍රථම සිංහල අවුරුද්ද හා සම්බන්ධ ජ්‍යොතිෂ්‍ය කරුණු මුල් යුගයේ සිට ම ‘දිනමිණ’ හා ‘සිළුමිණ’ පුවත්පත්වල පළ වී ඇත. මේ ශුභාශුභ ඵල ජේ.ඩී.ප්‍රනාන්දු මහතුන් විසින් මුද්‍රිත පංචාංග ශිරෝමණි ලිතේ සහ ඈපා පංචාංග ලිතේ අවුරුදු චාරිත්‍ර ඒකාකාරව පවත්නා හෙයින් එකකින් එනම් ඈපා පංචාංගලිතෙන් ඒ චාරිත්‍ර උපුටා‍ ගෙන පහත බහලනු ලැබෙත්, යනුවෙන් සඳහන් ව තිබුණි. එය දක්වා තිබුණේ මෙසේය.

“ශ්‍රී ශාලිවාහාන ශත තාප වර්ෂ ප්‍රමාණයෙන් 1851 න් මතු බ්‍රහ්ම විංශතියට අයත් විෂ්ණු යුග පංචාබ්දයෙහි තුන් වන ඉඩාවත්සර හෙද නාමධාරි චන්ද්‍ර දෙවතාධිපති “ශූක්ෂල” නම් මේ සංවත්සරය වනාහි මේෂ රවි 1භාග වූ වූ බක්මස පුර ජලවක ලත් ශනි දින මධ්‍යම උදයාදි 14 පැය විනාඩි 49 ට (ස්වදේශ) ශුද්ධ සූර්යෞදයාදි 15 පැය විනාඩි 4ට හෙවත් ක්‍රිස්තු වර්ෂයෙන් 1929 ක් වූ අප්‍රේල් මස 13 වැනි දින දවල් ඔර්ලෝසුවෙන් 12 පසු වී මිනිත්තු 5 තප්පර 36 ට මිථුන ලග්නය, සඳු රාශ්‍යාධ් හෝරාවය. කුම්භ දෙකාර්ශය, ධනු සප්තාංශකය, මිථුන නවාංශකය, මීන දශාංශකය, මේ ෂථෘ දශාංශකය, ඊශ්වර ශොඩශාංශකය, තුලා ත්‍රිංශාංසකය, ධනු සප්තාංශකය, මිථුන නවාංශකය, මීන දශාංශකය, මේෂ බාධාශාංශකය, ඊශ්වර ශොඩශාංශකය, තුලා ත්‍රිංශාංසකය, ශුභ නම් ෂෂ්ට්‍යාංශකය යන මෙකී දශවර්ගයද සඳු ලත් කාල හෝරාවේ සඳු පංචම කාලය ද රෙහෙන නැකතේ විතිය වරණයද සෞභාග්‍ය යෝගය භාවිෂ්ධිකරණය ද සම්භවැ සුය්‍යර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිද්ධ වන ලැබේ.”

සෑම සිංහල අවුරුද්දක් ලබන විට, “ඈපා ලිතත්”, “ඈපා ලිත” මතක් වන විට නිරතුරුවම එහි ආරම්භක දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ද නිබඳව සිහිවේ.

1810 වර්ෂයේ බෙන්තර වලල්ලාවිටි කෝරළේ වැහිහේනේ දී උපත ලැබූ ඈපා අප්පුහාමි අනාගතයේ දක්ෂ ජ්‍යොතිශ් ශාස්ත්‍රඥයකු වීමේ ලක්ෂණ පළ කර ඇත. 1828 කොළඹට පැමිණ වෙදකම ඉගෙන වෙද හලක් අරඹා ඇත. යාපනේ සිට කොළඹ පැමිණ ගණෙශ දේවලයෙහි ප්‍රධානි වූ විශ්වනාථ ශිවාචාර්ය කුමාරස්වාමීතුමා අහුන්ගල්ලේ ගුරුතුමා සමඟ එක් වී 1776 වසරේ මුල්ම පඤ්චාඃග ලිතක් සම්පාදනය කළහ.

රාජකීය ජ්‍යොතිෂ් ශාස්ත්‍රාචර්යවරයකු වූ තංපෝවුර් මහරාජ වෙතින් ද, සින්න පට්ටමේ ජ්‍යොතිෂ් ශාස්ත්‍රාචාර්ය වරයාගෙන් ද ඉගෙන ගත් ඈපා අප්පුහාමී නොකඩවා වසර 37ක් ඈපා පඤ්චාංග ලිත 1891 මාර්තු 10 දක්වාම පළ කළ අතර ඉන් පසු තම පුත්‍රයා වූ දොන් ඩේවිඩ් ද සිල්වා අප්පුහාමි ඇතුළු ඈපා ඥාතින් විසින් අද දක්වා ම පළ කරනු ලැබේ.

ටී. ඇස්. ධර්මබන්ධු විසින් ලියන ලද “සිංහල වීරයෝ” හා කලුකොඳයාවේ පඤාශේඛර මහානායක ස්වාමින් වහන්සේගේ “සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය” ප්‍රථම කාණ්ඩයේ ඈපා අප්පුහාමිගේ තොරතුරු එයි.

අහුංගල්ලේ ගුරුතුමා ද ගල්කිස්සේ තම්බුඅප්පු ගුරුතුමා ද ඈපා අප්පුහාමිගේ සමකාලීන මිත්‍රයන් ය. මේ තිදෙනාම පඤ්චාංග ලිත් පළ කළ නමුත් “ඈපා ලිත” තවමත් නොකඩවා ප්‍රසිද්ධ කරනු ලබයි.

ගුණදොස සංග්‍රහවා භූගෝල ශාස්ත්‍රය, ජාතකරත්නය, රෝගාරිෂ්ඨ ආදි පොත පත ලියූ ඈපා අප්පුහාමි කොළඹ කොස්ගස් හන්දියේ ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ පාරේ “ඈපා මුද්‍රණාලය” පිහිටුවිය. අද එය කොළඹ ආනන්ද විද්‍යාලය අසල පවත්වා ගෙන යයි.

පුරාණ කාලයේ අවුරුද්ද පැවැත් වූ හැටි ගැන තොරතුරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ පීටර් විජේසිංහ මහතා විසින් ලියන ලද අගනා ලිපියක් “ශ්‍රී ලංකා” සඟරාවේ පළ වී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත “ශ්‍රී ලංකා” සඟරාවේ (1952 – 1964) විජේසිංහ මහතා ලියන ලද ලිපි අතර මේ ලිපියට විශේෂ තැනක් ලැබේ. විජේසිංහ මහතාගේ දියණිය භද්‍රා ඉන්ද්‍රානී අමරකෝන් විසින් තෝරා ගත් ලිපි සංස්කරණය කොට “පැරණි සිංහල ජීවිත පුවත්” මැයෙන් නුගේගොඩ සරසවි ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මේ කෘතියේ “සිංහල අවුරුදු උත්සවය” ගැන ලිපිය පටන් ගන්නේ මෙසේය.

“ග්‍රහමණ්ඩලය හෙවත් ග්‍රහ චක්‍රය මේෂ ලග්නයෙන් පටන් ගනී. එය අවසන් වන්නේ මීන රාශියෙනි.

සූර්ය දිව්‍යරාජයා රාශි දොළහේ වටයක් සැරිසරා අන්තිම රාශියේ සිට මුල් මේෂයට සංක්‍රමණය වීම හිරු එළිය බලන සකල ලෝකවාසී හැමට උත්සව පැවැත්වීමට ඔබින සිදු වීමකි. පෙරදිග වාසීන්ට එය නිකම් උත්සවයක් ද වේ. විශ්වයෙහි නායකයා කොට සලකා සූර්යයාට පුද පුජා පැවැත්වීම පෞරාණිකයන්ගේ සිරිත විය. ලෝක වාසී මනුෂ්‍යයන්ට කොයි කවරදාත් දෙවිවරුන්ගේ පිහිට උවමනා විය. මේ න්‍යාය අනුව ආදිම මනුෂ්‍යාව සිටි අසහාය දෙවියා නම් සූර්ය දිව්‍ය පුත්‍රයාය.”

විජේසිංහ මහතාගේ ලිපියේ සිංහල ලිත් වර්ෂයෙහි මුල් ම මාසය වූ බක් මාසයට කෝණයක් හරස් වන බව සඳහන් වෙයි. මේ නිසා කෝණයෙහි කන මඟුල් තුලා ගැන ටිකක් පරෙස්සම් වීමට පැරණි සිංහලයෝ කල්පනා කළ බව ද කියයි.

දො‍ළොස් මාසයටම කවි ගෙතු ගැමි කවීහු අවුරුදු මංගල්ලය යෙදෙන බක් මහ සහ එම කෝණත් ගැන සඳහන් කරමින් කවියක් නිදසුනක් ලෙස දක්වයි.

වෙසක් මහ පොසොන් ඇසළද නිකිණි මැදේ

බිනර එවප් ඉල් උඳුවප් දුරුතු මැදේ

නවම් මැදින් දින බක් මස කෝණ යෙදේ

කියම් දෙළොස් මස සිව්පද සමඟ ඉදේ

සිංහලයන්ගේ අවුරුදු මංගල්ලය කොටස් තුනකට බෙදිය හැකි බව විජේසිංහ මහතා සඳහන් කරයි. එනම් පරණ අවුරුද්ද, අලුත් අවුරුද්ද, සහ තෙල් ගාන අවුරුද්ද යන වශයෙනි.

පරණ අවුරුද්ද, අලුත් අවුරුද්දත් අතර ඇති කාලය පුණ්‍ය කාලය නොහොත් නොනගතය වශයෙන් සලකනු ලබනු ලබන බවය. කාලය දඹදිව් වැසසන් ධර්මානුෂ්ඨාන සමය හැටියට එය බව කියන විජේසිංහයෝ සිංහල අවුරුදු මංගල්ලයෙහි තවත් උපාංග කිහිපයක් නම් අලුත් අවුරුද්දට නව සඳ බැලීම, ඉසතෙල් ගෑම සහ ජලස්නානයත් බව කියති.

“නව වස්ත්‍ර?, නව ආභරණ ලැබීම නිසා ද කැවුම් කොකිස්, මුංගුලි, අග්ගලා, ආස්මි, කෙසෙල් ආදී රස කැවිලි හා බත් මාළු පිණි රසකොට පිසීම නිසා ද ලී කෙළි, අං කෙළි, රුවන් කෙළි, පංදු කෙළි, එළුවන් දිලි, ඉර පැනීම, කඹ ඇදීම, පොල් කෙට වීම, වළ කජු ගැසීම, වළ සල්ලි, නව වළ පෙරළීම, කල්ලි ගැසීම, අඹ ඇට පැනීම, චක් ගුඩු ඇල්ලීම, රබන් ගැහීම යනාදි නොයෙක් අන්දමේ විචිත්‍ර ජාතික කෙළි සෙල්ලම් නිසා ද මේ උත්සවය බාල මහලු කාටත් එකසේ ප්‍රීතිය ගෙන දෙන උත්සවයකි.

මේ සියලු කෙළි සෙල්ලම් අස්සේම ඕ‍ෙස් නැංවමින් වාරම් කිය කියා පදින උන්සිල්ලාවේ විනෝදය අති උත්කර්ෂවත් බවට පත් කෙරෙති.

අවරුදු ආවයි කොහ අඩද්දී

අරලිය එරබඳු මල් හිනැ හෙද්දී

අති රස ගෙයි තෙල් ලිපේ ඉදෙද්දී

අක්කා නාගෝ යති උන්සිලි පැද්දී

පීටර් විජේසිංහයන් පවසන්නේ සිංහල අලුත් අවුරුද්ද හින්දුන් විසින් ද පවත්වනු ලබන උත්සවයක් වුවද මෙහි සිංහලයන්ට ආවේණික වූ උත්සව ලකුණු එමට ඇති බවය. එයින් ප්‍රධානතම කරුණ ආගමික චාරිත්‍ර විධි මුල් කර ගැනීම නිසා හුදු විනෝද උත්සවයක ඇති සිහිල් බව වෙනුවට ගරු ගාම්භීර ලක්ෂණ කැවී තිබීමය. මේ හේතු කොටගෙන අවුරුදු මංගල්ලය ඓන ලෞකික හා පාර ලෞකික යන උභයාර්ථියෙහිම පිහිටි සර්ව නිර්දෝෂි උත්සවයක් පෙරළුණු බවය. තව දුරටත් විජේසිංහයන් මෙසේ ද පවසා ඇත.

“තවද මේ වකවානුව තුළ මව් පිය ගුරුවර වැඩිහිටියන් දැක වැඳ පුදා ඔවුන් කමා කරවා ගැනීමට ද පෙර සිංහලයන්ගේ සිරිත විය. එය “ගුරු චරණ සේවා පුජා විධිය” හැටියට සලකන ලදී. සිංහල අලුත් අවුරුදු මංගල්ලයේ මේ සුන්දරාති සුන්දර වූ සුන්දර වූ ලකුණු අද ලිහිල්ව ගොස් වෙරිමරගාතේ කට හරවා ගැනීම අභාග්‍යයකි. ඒ සුන්දර ජාතිකල් සිඳියා නොදී රැක ගැනීම අප සැමගේ යුතුකමයි.”

1660 ලංකාවේදී සිංහලේ මහ රජු යටතේ සිරකරුවකු ලෙස වරස 19ක කාලයක් ගත කළ රොබට් නොක්ස් විසින් 1681 වසරේ ලියන ලද Historical Relation of Ceylon (එදා හෙළ දිව) ග්‍රන්ථයේ සිංහලයන්ගේ සිරිත් විරිත් ගති ගුණ මෙන්ම උත්සව සැණකෙළි ගැන මෙන්ම සිංහල අවුරුදු උත්සවය ගැන මෙසේ සඳහන් කර ඇත. ඩේවිඩ් කරුණාරත්න විසින් පරිවර්තනය කළ “එදා හෙළ දිව” කෘතියේ මෙසේ සඳහන් වෙයි.

“සිංහල අලුත් අවුරුදු උත්සවය වූ කලී ලක්වැසියන් ඉතා වැදගත් කොට සලකන උත්සවයකි. මේ දින රාජ මාලිගයේ දොරටුවක් පාසා තොරණ් බැඳ සරසති. සිංහල අවුරුදු මංගල්‍ය දා බල මුළු පෙළ සැදී මහ වාසල අරක් ගනිති. උදෑසනක් සේම අවදිවන රජතුමා මීට කලින්ද කියූ පරිදි ස්නානය පිණිස පැන්ගෙට ප්‍රවිෂ්ට වන්නේය.

එම උල් පැන් ගෙයි දිය වඩන නිලධාරියා රජුට මෙහෙ පිණිස සැරසී සිටී. රජ්ජුරුවෝ හිස් සෝදා නා පියා සර්වාභාරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව පෙළ සෑදී සිට ගත් බල සෙනඟ පරීක්ෂා කිරීම සඳහා මාලිගාවෙන් නික්මෙති. එම මොහොතෙහි ආචාර වෙඩි මුර කීපයක් තබනු ලැබේ.

ඉක්බිත්තෙන් අදිකාරම් දිසාපති ආදී රජයේ උසස් නිලධාරීහු තම තමන්ගේ ස්ථානාන්තර වශයෙන් ද රට හා දිශා වශයෙන් ද අලුත් පෙනුම් කත් සඳහා ගෙන එනු ලබන ද්‍රව්‍ය අතර රත්රන් ආභාරණ, ලෝහමය තැටි, අවි ආයුධ, පිහිය හා වස්ත්‍රාදිය ද වෙයි. මහ රජුට පරිත්‍යාග කිරීම සඳහා මෙබඳු නැති තැනැත්තෝ ඒ වෙනුවට මුදල් ප්‍රදානය කෙරෙති.”

ලංකාවේ බ්‍රිතාන්‍ය යුද්ධ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සේවය (1816-1820) කළ ජෝන් ඩේවි පසු කලෙක interior of Ceylon කෘතියේ අගනුවර අවුරුදු පතා මහ ජාතික උත්සව සතරක් පවත්වන ලද බව පවසයි. ඉන් පළමු වැන්න ලෙස ඔහු දක්වා ඇත්තේ අවුරුදු මංගල්ලේ හෙවත් අලුත් අවුරුද්දයි. ඇල්ලෙපොළ එච්.ඇම්. සෝමරත්න පරිවර්තනය කළ “ඩේවි දුටු ලංකාව කෘතියේ එහි විස්තර වන්නේ මෙසේය.

“අලුත් අවුරුද්ද එළඹීමට පෙර ඇතැම් කටයුතු ඉටු කිරීමට රාජ්‍ය වෛද්‍යවරයන්ගෙන් හා දෛවඥයන්ගෙන් අපේක්ෂිත විය. වනෞෂධ යුෂ යොදා කුඩා මුට්ටි දහසක් නාථ දේවාලයේ දී පිළියෙල කිරීම පිළිබඳ කටයුතු පරිපාලනය පළමු වැන්නන්ට භාර විය. මනාව වසා මුද්‍රා තබන ලද මේ මුට්ටි මාලිගාවට සහ අන් විහාර දේවාලවලට මහ පෙරහරින් යැවිය යුතුය.

දෛවඥයන්ගේ රාජකාරිය වූ කලි (1) අලුත් අවුරුද්ද පටන් ගන්නා දිනය හා නියම මොහොත (2) ඖෂධ යුෂය භාවිතා කොට හිස් සෝදා නෑමට සුදුසු නැකැත (3) ආහාර අනුභවයට සුදුසු නැකැත (4) වැඩ ඇල්ලීමට සුදුසු නැකැත සහ (6) රජුට තෑගි බෝග පිරි නැමීමට සුදුසු නැකැත ඇතුළත් නැකැත් වට්ටෝරුවක් සකස් කිරීමයි.

19 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ අප රටෙහි විසු වෛද්‍ය ජෝන් ඩේවි එවකට ලංකාවේ ආණ්ඩුකාරයාව සිටි සර් රොබට් බ්‍රවුන්රිග් සමඟ රට පුරා ඇවිදීම නිසා සිංහල සිරිත් විරිත් ගැන අධ්‍යයනයක් කොට තිබිණ. සිංහල අවුරුදු නැකැත් වේලාවට ඇතැම් පවුල්වල තරුණියෝ දැල්වූ පන්දම් ගත් අත් ඇතිව හාල් සහ කහ වතුර සහිත රිදී තලියක් ගෙන රජුට මඳක් ඈතින් සිටි අතර රජතුමා ගිනි කොන දෙසට හැරී ඉඹුල් කොළ පාගාගෙන නුග කොළ අතැතිව ඖෂධ යුෂය හිසේ සහ සිරුරේ ගා ගත් විට තරුණියෝ අප මහ රජතුමාණෝ පස්වා දහසක් දිගා සිරි වලඳත්වා, ඉර හඳ පවත්නා තෙක් දිගාසිරි වලඳත්වා තෙවරක් ශුභ ප්‍රාර්ථනා කළ බව ඩේවි පවසා ඇත.

අලුත් අවුරුදු උත්සවය නියමිත ‍මොහොතේ රජතුමා සිය මේසය මත පිළියෙල කර “දින භෝජම” නම් ආහාරය පළමුව රස බලා එහි රැස් වූ නිලමේවරුන්ට ඉන් කොටසක් බෙදා දී ඇත. රජතුමා එදින රාත්‍රියේ භෝජන සංග්‍රහයට ද නිලමේවරුන්ට ආරාධනා කර තිබේ. අලුත් අවුරුද්ද පටන් ගැනීමේ නැකැත යෙදෙන මොහොත දක්වා වූ කාලය තුළ ගින්නෙන් පිසන ලද ආහාර අනුභවය තහනම් වී ඇත. එහෙත් මෙය වෙළෙඳාම පටන් ගැනීමට හොඳ ශුභ මො‍හොතකි.

මේ අවස්ථාවේ නිලමේවරුන් හාල්, පොල්, පලතුරු ආදිය මහ ගබඩාවට යැවූ අතර මේ මොහොතේදීම මිනිසුන් හැම දෙනම ඔවුනට තෑගි බෝග පිරි නැමූ බවත්, මහ ගබඩාව විවෘතව තිබූ හෙයින් මහජනයාට තමන් කැමති ලෙස බඩු මුට්ටු මාරු කර ගැනීමට අවසර ලැබී ඇති බවත් ජෝන් ඩේවි සිය කෘතියෙන් විස්තර කොට ඇත.

මහාචාර්ය රැල්ෆ් පීරිස් මහනුවර යුගය ගැන ලියූ “සිංහල සමාජ සංවිධානය” කෘතියේ පළමුවරට එනම් අලුත් අවුරුද්ද මුල දී රජතුමාට ගෙවිය යුතු අය බඳු ඔහු වෙත පමුණුවන අත්දර රොබට් නොක්ස් ගේ විස්තරයක් ආශ්‍රයෙන් දක්වා ඇත.

ඔවුන්ගේ අලුත් අවුරුදු දිනය සාමාන්‍යයෙන් මාර්තු මාසයේ 27,28 හෝ 29 යන දිනයකදී එළඹෙන බවත්, මේ කාලයේ නැකැත්කරුවන් ගේ උපදෙස් පරිදි තෝරා ගත් විශේෂ ශුභ දිනකදී රජතුමා ඉස සෝදන බව ද සඳහන් වේ. තවද උත්සවයේ අභිමානය නොක්ස් මෙසේ දක්වා ඇත.

“ඔවුන් අතර මෙය ඉතා ගම්භීර සිද්ධියකි. රජ වාසල තොරන් වලින් අලංකාර කෙරේ. මෙය පියකරු දර්ශනයකි.”

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

 

අදහස්