විශ්ව­ය ම පවු­ලක් කරන අලුත් අවු­රුද්ද | සිළුමිණ

විශ්ව­ය ම පවු­ලක් කරන අලුත් අවු­රුද්ද

 

බක් මාසය යනු ශ්‍රී ලාංකික ජනයාට සුවිශේෂී වූ මාසයක් වන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සැමරීම යෙදෙන හෙයින් ය. අලුත් අවුරුද්ද මංගල්‍යයක් වීමට ජන සම්ප්‍රදාය හා පෙර සූදානම පමණක් නොව බක් මාසයේ ගස් වැල් පවා මලින් හා මලින් බර වෙමින් පරිසරය තුළ සිදුවන සුන්දර වෙනස්කම් ද හේතු වී ඇත. භාරතීය හින්දු සංස්කෘතිකාංග හා බුදු සමයේ එන සංස්කෘතිකාංග ගැබ් වී ඇති මේ උත්සවය ස්වභාව ධර්මයේ රිද්මය අනුව සැකසුණු සූර්ය සංක්‍රාන්තිය පදනම් කරගත් මංගල්‍යයකි.

සිංහල මාස ක්‍රමය අනුව අවුරුද්දේ මුල් ම මාසය බක් මාසයයි. ඍග් වේදයේ සඳහන් පරිදි ‘අදීති’ නම් වූ දෙවඟනගේ පුතුන් 12 දෙනා වෙනුවෙන් අවුරුද්දේ මාස 12 වෙන් වී ඇති අතර, ඔවුන් අතරින් ‘ආදිත්‍ය’ හෙවත් ‘භාග්‍ය’ නම් වූ දිව්‍ය පුත්‍රයාට හිමි මාසය බක් මාසයයි.

භාග්‍යයෙන් අග්‍ර වූ මාසය බැවින් බක් මාසය යන නම ලැබුණු බව තව මතයකි. බක් මාසය පිළිබඳ සටහන් විවිධ වූ පෞරාණික ලේඛනවල ද අන්තර්ගත වී ඇත. ශිලා ලේඛන සංග්‍රහය, සිඛ වළඳ විනිස, බුත්සරණ හා සිංහල යෝග රත්නාකරය මීට නිදසුන් ය. සීගිරි ගී අතර වූ ‘නව බක් ළසඳ දුටු පුරීසක්හු නොවජන්නයි’ ලෙස වූ සටහන ද මේ අතර වේ.

‘බක් මහ කෝණ මංගල්‍යය’ නමින් ද හැඳින්වෙන අලුත් අවුරුදු උත්සවය සූර්යාගේ මීන රාශියේ සිට මේෂ රාශිය වෙත සිදුවන සංක්‍රමණය නිමිති කරගත් කාල රාමුවේදී සමරනු ලැබේ.

අලුත් අවුරුදු මංගල්‍යය පිළිබඳ ජන ප්‍රවාදයේ අවුරුදු කුමරකු පිළිබඳව ද සඳහන් කරන්නේ කුමාරයකුගේ සපැමිණීම හා සම වූ විශිෂ්ටත්වයක් ආ‍රෝපණය සඳහා විය හැකි ය. මෙහිදී පැවසෙන්නේ මෘදංග බෙරයේ හිමිකරු ලෙස සැලකෙන ‘මිහිඟු’ නමින් උපත ලැබූ කුමරෙක් පිළිබඳ ව ය.

අවුරුදු උත්සවයේ ඓතිහාසික විකාශය වසර 5000 කට ඉහත බැබිලෝනියානු ශිෂ්ටාචාරය තෙක් දිව යන බවට වාර්තා වී ඇත. මේ උත්සවය සූර්යයා දේවත්වයෙන් සලකමින් සිදුකරන සූර්ය වන්දනාවට නෑකම් කියයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිරික්සීමේදී, වසර 3000 කට පමණ පෙර රාවණා රජ සමයේ ‘නැකැත් කෙළිය’ නමින් පැවැත්වූ හිරු මුල් කරගත් උත්සවය සිංහල අවුරුද්දේ මූල බීජය ලෙස සැලකිය හැකි ය.

අලුත් අවුරුදු උත්සවය හා පෙර හෙළ රාජ්‍යත්වය අතර පැවැති අවියෝජනීය සම්බන්ධය පිළිබඳ රොබට් නොක්ස් මහතා විසින් රචිත එදා හෙළදිව කෘතිය සාක්ෂි දරයි. මැදින් මාසයේ සිට එළඹෙන බක් මස අවුරුදු සැණකෙළියට සූදානම් වන රජු සුවිශේෂී වත්පිළිවෙත්වල යෙදෙමින්, රාජ වෛද්‍යවරයාගේ හා රාජ දෛවඥයාගෙන් උපදෙස් පතමින් රටේ ජනතාව සමඟ අවුරුදු උත්සවය සැමරීම සිදුකර ඇත.

මහනුවර යුගයේ රාජ්‍යත්වය හා සබැඳි අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වර්ෂ 1815 න් පසුව අද දක්වා පවත්වාගෙන එනු ලබන්නේ දියවඩන නිලමෙතුමාගේ උපදෙස් පරිදි ය. ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ව සිදු කරනු ලබන සතර මංගල්‍ය අතර අලුත් අවුරුදු උත්සවයට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. මෙහිදී දියවඩන නිලමෙතුමාගේ මඟ පෙන්වීම අනුව නැකැත් මොහොට්ටිරාළ විසින් සකස් කරනු ලබන නැකැත් පත්‍රයට අනුව අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සම්ප්‍රදායයි.

අලුත් අවුරුදු උත්සවයේ වැදගත් අංගයක් වන හිස තෙල් ගෑම උත්සවය ද මේ අතර වේ. නානුමුර මංගල්‍යය නමින් ද හඳුන්වනු ලබන හිසතෙල් ගෑමේ උත්සවය ශ්‍රී දළදා මාලිගාවේ දී නානු සැකසීම, පෙරහරින් සතර දේවාල හා අනෙකුත් විහාර ආරාමයන්ට බෙදා හැරීම, කිරි උතුරවා ඉන් පසු කිරි ආහාර සැකසීම, කිරි ආහාර දළදා වහන්සේට පූජා කිරීම හා හිස තෙල් ගෑම යන අංගයන්ගෙන් සමන්විත වේ. මේ අයුරින් මහනුවර යුගයේදී ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කොටගෙන අලුත් අවුරුදු චාරිත්‍රවල අභිවර්ධනයක් සිදුවී ඇති බව පෙනේ.

අලුත් අවුරුදු උත්සවය 1885 දී ඉංග්‍රීසි පාලන සමයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය ලෙස නම් කර රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

මේ අඩිතාලම ඔස්සේ යමින් වර්තමානයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව විශේෂ දෛවඥ මණ්ඩල‍යක් මඟින් සම්පාදනය කරනු ලබන ‘අවුරුදු නැකැත් පත්‍රය’ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනතාවට දැන්වීම සිදු වේ. සම්ප්‍රදායික ‘බිත්ති ලිත’ පැරණි නිවෙස්වල අනිවාර්ය අංගයක් වූ අතර ඒ අනුව යමින් අලුත් අවුරුද්ද සඳහා සූදානම් වීමට ජනයා පෙලඹිණි.

අලුත් අවුරුදු මංගල්‍යය යනු ස්වභාව ධර්මය හා බැඳුණු විද්‍යා දෙකක් වන ජ්‍යොතිෂය හා ආයුර්වේදයේ අපූරු සංකලනයකි. ජ්‍යොතිෂය යනු ස්වභාව ධර්මය ප්‍රකාශය පත්වන සූර්ය සිද්ධාන්තය මත පදනම් වූ විශිෂ්ට විද්‍යාවකි. ආයුර්වේදය යනු මිනිසාට සිය දීර්ඝායුෂය වින්දනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්නා වූ ආයුෂය පිළිබඳ විද්‍යාවයි.

හිරු සඳු හා සුළඟ (වාතය) යම් සේ මේ පොළෝ තලය දරන්නේ ද එසේම වා, පිත්, සෙම් යන තුන් දොස් සිරුර දරන බව ආයුර්වේද මතයයි. ලෝකයේ පවතින ස්වභාවික සංසිද්ධීන් එසේ ම සිරුර තුළ ක්‍රියාත්මක වන බැවින් ශරීරය ‘සූක්ෂ්ම විශ්වයක්’ ලෙස ආයුර්වේද විද්‍යාවේදී සැලකේ.

ජ්‍යොතිෂයට අනුව සූර්යයා යනු ග්‍රහ මණ්ඩලයේ බලවත් ම ග්‍රහයා වේ. සියල්ල නිර්මාණය සඳහා ප්‍රධාන වන බැවින් පීතෘකාරක ග්‍රහයකු ලෙස සැලකේ. සඳු සෞම්‍ය භාවය හා ජල ස්වභාවයට අධිපති වන අතර මාතෘකාරක වේ.

ශරීරයේ නිරෝගී භාවය පවත්වා ගැනීම සඳහා තුන්දොස් සමතුලිතව පැවතිය යුතු අතර හිරු සඳු හා බැඳි ලෝක ස්වභාවයේ වෙනස්කම් නිසා මේ සමතුලිත බව බිඳ වැටීමෙන් පුද්ගලයා රෝගී වේ.

නිරෝගී බව රැක ගැනීම තුන් දොස් සමතුලිත බව රැකගත යුතු වේ. ඒ සඳහා ස්වභාව ධර්මයේ වෙනස්කම්වලට ගැළපෙන පරිදි අපගේ ආහාර හා ජීවන රටාව සකස් කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. ජ්‍යොතිෂය හා ආයු‍ර්වේදය සමඟ අලුත් අවුරුද්ද තුළින් මේ සඳහා මිනිසා පොලඹවයි‍. සූර්යයා මීන රාශියේ අවසන් අංශකයේ සිට මේෂ රාශියේ පළමු අංශකයට සිදුවන සංක්‍රමණය සඳහා ගතවන කාලය නොනගතය යි. මෙය පුණ්‍ය කාලය ලෙස ද හැඳින්වේ.

පුණ්‍ය කාලයේ පූර්ව භාවය හා අපර භාගය ලෙස කොටස් දෙකකි. නොනැකත යන්න නොනගතය වූ බවත් මෙය නැකැත් නොමැති කාල සීමාවක් බව භාෂා විද්වතුන්ගේ මතයයි. පුණ්‍ය කාලයේ පූර්ව භාගය මෙසේ නැකැත් නොමැති වූත්, අනතුරුදායක වූත් කාල පරාසයක් ලෙස සලකා ඊට පෙර ආහාර ගෙන ළිප ගිනි නිවා දමා සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සම්ප්‍රදායයි.

නොනගත කාලය කුඩා දරුවන්ට සුළු අපහසුවක් දනවන කාලයකි. එහෙත් මෙම කාලය පුණ්‍ය කාලය ලෙස නම් කරමින් වටිනාකමක් දී ඇත්තේ එහි පවතින සුවිශේෂී ප්‍රයෝජන රැසක් සලකමිනි. ඔබ කථා කරන, ලියන වචන වල අරුත වැටහීමට හිඩැස යම් සේ වැදගත් වේද, ජීවිතයේ සාර්ථකත්වය සඳහා විවේකී බව අත්‍යාවශ්‍ය වේ. වසර පුරාවට දැල්වෙන ළිපට ද මඳ ඇසිල්ලක් සලසමින් අම්මාට විවේකය ලබා‍දෙන මේ මොහොත වටිනිනේ ඒ නිසාය.

ඉන් අනතුරුව ආහාර අනුභවය අරඹන්නේ මව හෝ පියා මූලික වෙමින් දරුවන්ට කිරිබත් කැවීමෙනි. නොනගතයට පෙර හිස් වූ උදරයට සෞභාග්‍යයේ සංකේතය වන කිරිබත් නව වසරේ මුල් ම ආහාරය වැටේ. මේ ආකාරයට මූලික චාරිත්‍ර ඉටු කරන ගැමියා ඉන් පසු කාලය තුළ අසල්වැසියා සමඟ ද ගනුදෙනු කරයි.

මෙමඟින් අමනාපකම් දුරුවී නෑ සබඳතා අලුත් කර ගැනීමට අවකාශ සැලසේ. උඩරට සම්ප්‍රදාය අනුව අවුරුද්දට පෙර අසල්වැසියන් සමඟ ගනුදෙනු කෙරේ.

අවුරුදු උත්සවයේ මූලික චාරිත්‍ර වාරිත්‍ර තුළින් පවුල් ඒකකය තුළ පවතින සම්බන්ධතාවය වැඩි දියුණු වීම හා අසල්වැසියන් සමඟ පවතින සාමාජීය සබඳතා වර්ධනය වීම සමාජ සංවර්ධනය සඳහා මහඟු රුකුලකි.

පුණ්‍ය කාලයට සම්බන්ධ සිරිත් විරිත්වලට අමතරව පවතින හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉතා විශිෂ්ට වූ ප්‍රජා සෞඛ්‍ය කර්තව්‍යයකි‍. පරණ අවුරුද්ද සඳහා චාරිත්‍රානුකූල ස්නානය සිදු කිරීමෙන් අනතුරුව හිසට තෙල් ගෑම හෝ හිස සේදීම නොකරන ගැමියා හිස තෙල් ගැල්වීමේ නැකැතට අනුව තෙල් හා නානු හා ස්නානය සිදු කරනු ලැබේ.

ජ්‍යොතිෂයට අනුව හිසට හා පයට තබනු ලබන කොළ වර්ග තීරණය වේ. හිස තෙල් ගාන දිනයට ප්‍රථම දිනයට අදාළ ග්‍රහයාට හිමි කොළ වර්ගය පාදයට තබනු ලැබේ. හිසට තබන්නේ හිස තෙල් ගාන දිනයට අදාළ ග්‍රහයාට හිමි කොළ වර්ගයයි. මෙහිදී බැලිය යුතු දිශාව තීරණය වන්නේ චන්ද්‍රයා පවතින රාශියට හිමි දිශාව අනුවයි. සැරසී සිටිය යුතු ඇඳුමේ වර්ණය දිනයට අදාළ ග්‍රහයාගේ වර්ණයම වේ.

දිනයන්ට අධිපති ග්‍රහයා හිමි වෘක්ෂ හා වර්ණ පහතින් දක්වා ඇත.

ඉරිදා ඉරු ඉඹුල් රන්වන්

සඳුදා සඳු දිවුල් සුදු/මුතු වර්ණ

අඟහරුවාදා කුජ කොළොං රතු

බදාදා බුධ කොහොඹ කොළ/කහ

බ්‍රහස්පතින්දා ගුරු බෝ රන්වන්

සිකුරාදා සිකුරු කරඳ නිල්

සෙනසුරාදා ශනි නුග නිල්

ජ්‍යොතිෂ මත අනුව ග්‍රහයන්ගෙන් ශරීරයට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මෙම චාරිත්‍ර සම්පාදනය කර ඇති බව පැහැදිලි ය.

මෙහිදී සකස් කරනු ලබන තෙල් හා නානු දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රජා සෞඛ්‍ය සංකල්පය විදහා දක්වන්නකි. නානු සැකසීම සඳහා ගන්නා ඖෂධ විවිධ වෙනස්කම් පැවතිය ද ආයුර්වේද දෙපාර්තමේන්තු විසින් සකසන ලබන ඖෂධීය චූර්ණය ඖෂධ වර්ග 14 කින් සමන්විත ය.

කළාඳුරු අල, කුංකුමප්පු, සුදු හඳුන්, විෂ්ණුක්‍රාන්ති, ගෝ‍‍රෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරං මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලි මුල්, වෙනිවැල්ගැට හා ඊතණ යන ද්‍රව්‍ය තලා මුට්ටියක දමා පත අට දෙකට සිඳ එයට නිර්දේශිත ශාක වර්ගවල කොළවලින් සකසාගත් නානු ද, දෙහි ඇඹුල් ද යොදා මිශ්‍ර කොට ලබා ගන්නා දියරය නානු ලෙස හඳුන්වයි.

නානු හා තෙල් වර්ග යොදා නැවත සිඳගත් තෙල හෝ තෙල් මිශ්‍ර නානු හිසේ ගැල්වීම හිස තෙල් ගෑමේ නැකතට සිදු කරයි.

මේ නානු හා තෛල හිස ගැල්වීම බක් මහ උණුසුම නිසා හටගත හැකි රෝග වැළැක්වීම සඳහා හේතු කාරක වේ. මේ ඖෂධ සංකලන තුන් දොස් සමනය කරමින් රුධිරය පිරිසිදු කිරීම සිදු වේ.

හිස තෙල් ගැල්වීමෙන් ආයුෂ ස්ථිර වීම, හිස රුජා දුරු වීම, කෙස් ශක්තිමත් වීම, බුද්ධි වර්ධනය, පංච ඉන්ද්‍රිය ශක්තිමත් වීම, සම පැහැපත් වීම හා සුව නින්දක් ලැබෙන බව ආයුර්වේද මතයයි.

එසේ ම ජ්‍යොතිෂයට අනුව, සෙ‍ෟභාග්‍යය, ප්‍රීතිය, බලය වර්ධනය, ග්‍රහ අපල දුරු කිරීම හා බාධක අවම කිරීම අරමුණු කරගෙන නැකැත් අනුව හිස තෙල් ගැල්වීමෙන් අපේක්ෂා කරයි.

මේ චාරිත්‍ර වාරිත්‍රවලට අමතරව අවුරුද්ද හා බැඳුණු ක්‍රීඩා ජන සංස්කෘතිය හා බැඳුණු ඉතා වටිනා තවත් අංගයකි. මේ ක්‍රීඩා පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය අපේක්ෂාවෙන් රෝග නිවාරණය අරමුණු කරගත් ක්‍රීඩා වීම විශේෂත්වයකි.

පොර පොල් ගැසීම, අංකෙළිය, ඔළිඳ කෙළිය, ඔන්චිලි වාරම් ආදී ගැමි ක්‍රීඩා ශාරීරික, මානසික, සමාජීය යන තුන් ආකාර වූ පූර්ණ සෞඛ්‍ය සංවර්ධනයකට හේතු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශාරීරික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික යන සියලු පැතිකඩයන්ගේ යහපත් බව නි‍රෝගී භාවය සංකේතවත් කරයි.

අලුත් අවුරුද්ද යනු සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවගේම සෞඛ්‍ය සංරක්ෂණය හා ප්‍රවර්ධනය අරමුණු කරගත් උත්සවයක් ලෙස පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ශාරීරික සෞඛ්‍ය සඳහා නිවස හා ඒ අවට පිරිසිදු කිරීම, නිසි ‍කලට ස්නානය, හිස තෙල් ආලේපන, නොනගත කාලයේ සිදු කරන උපවාසය, නිසි පිළිවෙළට ආහාර සැකසීම හා ආහාර අනුභවය වැදගත් වේ.

මානසික සෞඛ්‍ය සඳහා

* නව සඳ බැලීම

* පුණ්‍ය කාලයේ සිදු කරන

ආගමික වතාවත්

* අවුරුදු ක්‍රීඩා

* ඉෂ්ට දේවතා අනුස්මරණ

* මනස සුවපත් කරන වර්ණ භාවිතය ආදිය දැක්විය හැකිය.

සාමාජීය සෞඛ්‍ය රැක ගැනීමට ඉවහල් වන කරුණු ලෙස නිවසේ පිරිසිදු බව, මුළුතැන්ගෙය පිරිසිදු කිරීම, පවුලේ සියලු දෙනා එක් වීම, අසල්වැසියන් සමඟ සබඳතා වර්ධනය කර ගැනීම හා ජන ක්‍රීඩා දැක්විය හැකිය.

ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා මේ සියලු කර්තව්‍යන් සඳහා ලබාදී ඇති පුණ්‍යමය අගය හේතු වන අතර හොඳ ආකල්ප ජීවිතයට එක් කර ගැනීමට කුඩා දරුවන් පවා පෙලඹෙයි.

ආගම ධර්මය කුමක් වුවද, ජ්‍යොතිෂය පිළිබඳ මතය කෙබඳු වුව ද රටේ බහුතරයක් ජනයා සිංහල - හින්දු අලුත් අවුරුදු උත්සවය සැමරීම අප ර‍ෙට් සාමයේ හා සහජීවනයේත්, සුඛනම්‍ය හෙළයාගේ මනසේ මනා පිළිබිඹුවක් වේ.

මුළු ශ්‍රී ලාංකීය ප්‍රජාවම එකම මොහොතක, එක පවුලක් ලෙසින් එක්ව කරන මෙම කර්තව්‍යය ‘මුළු විශ්වයම එක පවුලක්’ (වාසුදේව කුටුම්බකම්) යන සංස්කෘත පාඨයෙන් කියැවෙන ශ්‍රේෂ්ඨ සංකල්පයේ ජීවමාන උදාහරණයකි.

අදහස්