ඔට්ටුකාරයන් රෙද්දේ පල්ලේ දමාගෙන ක්‍රිකට් කුජීත කරන ක්‍රීඩකයන්ගේ මදන කුලප්පුව | සිළුමිණ

ඔට්ටුකාරයන් රෙද්දේ පල්ලේ දමාගෙන ක්‍රිකට් කුජීත කරන ක්‍රීඩකයන්ගේ මදන කුලප්පුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරග පාවාදීමේ චෝදනා පිළිබඳ කළ අයි.සී.සී. දූෂණ විරෝධි ඒකකයේ පරීක්ෂණවලදී ප්‍රධාන අතරමැදියා ලෙස කටයුතු කළ කොළඹ තුරඟ තරග පිටිය අසල අවන්හලක් සහ වෙ‍ෙළඳසලක් හිමි කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිව තිබේ.

දකුණු පළාතේ ව්‍යාපාරික කාන්තාවක් වන ඇය ඉන්දීය බුකීකරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ප්‍රධානතම අතරමැදියා ලෙස ක්‍රියා කළ බවට හඳුනාගෙන ඇති අතර ක්‍රීඩකයන් සහ මේ කාන්තාව අතර සබඳතාව ගොඩනඟා ඇත්තේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

36 හැවිරිදි මෙම කාන්තාව ක්‍රිඩකයින් කිහිපදෙනෙකු සමගම සමීප සබඳතා පවත්වා ඇති අතර මෑත කාලයේ හිටපු නායකයෙකු ද ඒ අතර සිටියි.

කඩුලු රකින්නෙකු සහ මෑත කාලයේ දකුණු අප්‍රිකාවේ තරග ජයග්‍රහණයකින් පසුව කටමැත දෙඩවූ පිතිකරුවෙකු ද මේ අතර සිටින බව වාර්තා වෙයි.

මේ අතර වත්මන් ජාතික කණ්ඩායමේ සිටින තමන්ගේ පෞද්ගලික ධනය වැයකර සමාජ ජාල ගිනුම් නඩත්තු කරමින් තම ප්‍රතිරූපය ඔසවා තැබීමටත්, කණ්ඩායම තුළ තමන්ට හෝ තම නායකත්වයට හෝ නායකත්ව සිහිනයට අභියෝගයක් විය හැකි ක්‍රීඩකයන්ට නිර්දය ලෙස පහර ගැසීමටත් කටයුතු කරන ක්‍රීඩකයෙක්ද ඒ අතර කැපී පෙනෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරග පාවාදීමේ චෝදනා පිළිබඳ මේ ආකාරයට කළ පරීක්ෂණවල තොරතුරු එකින් එක හෙළිවෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිරන්තර පරාජිය ලක්ෂණ පහළ කරමින් අාගාධයට ම ගමන් කරමින් සිටින බව පෙනේ.

මේ වත්මන් ශ්‍රී ලංකා පිල මුහුණ දෙන ගැටලු කිහිපයකි. ‘කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින කතාව සිහියට නැගෙන්නේ අප්‍රිකාවේදී ලද ටෙස්ට් ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිල නැවතත් සුපුරුදු පරාජයේ මාවතට අවතීර්ණ වීමෙන් පසුවය.

ලෝක කුසලාන තරගාවලියට පෙර තවත් එක්දින තරග දෙකක් පමණක් ඉතිරිව තිබියදී දකුණු අප්‍රිකාව හමුවේ පිට පිටම පස්වන එක්දින තරගයත් පරාජයෙන්ම අවසන් විය. එය සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රිකට් ළැදි ජනතාවගේ බලාපොරොත්තු නැවත නැවතත් මහ පොළවට සමතලා කර දැමීමකි. මේ වරක් දෙවරක් සිදු වූ දෙයක් නොවේ. එය පරාජයන් වැලක තවත් එක් පරාජයකි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහභාගීවූ අවසන් එක්දින තරගාවලි දහයෙන් ජයග්‍රහණය කර ඇත්තේ එක තරගාවලියක් පමණි. ඒ සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර වූ තුන්කොන් තරගාවලියයි. මෙම දත්ත අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් තරගාවලි ජයග්‍රහණ අනුපාතය 10 ට 1 කි. එහි ජයග්‍රහණ ප්‍රතිශතය අතින් ඉතාමත්ම දුර්වල අගයකි.

ඉහත කී තරගාවලි 10 තුලදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ඉන්දියාව, පාකිස්තානය, සිම්බාබ්වේ, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල් වලට එරෙහිව තරග 48 කට ක්‍රීඩා කළේය. ඒවායින් ජයලබා ඇත්තේ තරග 9ක් පමණි. මෙම තරග 48 ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට සහ සිම්බාබ්වේට පමණක් නොව ආධුනික ඇෆ්ගනිස්තානයට පවා පරාජයට පත්වී තිබීම මෑත කාලයේ කඩා වැටීමේ හරඹ කියාපෑමකි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවූ අවසන් එක්දින තරග 13 න් ජයග්‍රහණය කර ඇත්තේ එක තරගයක් පමණක් වීම තුලින් ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමේ කඩාවැටීම දිගින් දිගටම සිදු වෙමින් පවතින බව නම් සක් සුදක් සේ පෙන්නුම් කරයි.

ඉහතකී තරගාවලි හත තුළ නායකයන් හතරදෙනකු පමණ කණ්ඩායමට නායකත්වය ලබාදී තිබේ.

මෙවර දකුණු අප්‍රිකානු සංචාරය හැරුණුකොට, කණ්ඩායමට ක්‍රීඩා කරන ලද්දේද බොහෝවිට එකම ක්‍රීඩකයන් ගොන්නකගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. දිගින් දිගටම ලද පරාජයන් හමුවේ සහාය පුහුණුකරුවන් කළමනාකරුවන් ආදීන් වෙනස් වුවත් පුහුණුකරුවා වෙනස් නොවන සාධකය බවට පත්වී තිබේ.

පුහුණුකරුවා වශයෙන් චන්දික හතුරුසිංහ මසකට රුපියල් ලක්ෂ 70 ඉක්මවන, විශ්මය දනවන වේතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාගන්නා බව මේ පරාජයන් හමුවේ වාර්තා විය. එහෙත් ඔහු විසින් මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හෝ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකත්වය උදෙසා සිදුකර ඇති කාර්යභාරය ඔහු ගේ මාසික වැටුපට අලගු තැබීමටවත් තරම් නොවන බව බොහෝ දෙනාගේ මතයයි. මේ දක්වා ඔහු විසින් සකස් කරන ලද සියලුම සැලසුම් අසාර්ථකත්වයට පත්ව ඇති අතර ඔහු පුහුණුකරුවාගේ කාර්‍යභාරය ඉටුකරනවාටත් වඩා උනන්දුවක් දක්වනු ලබන්නේ තේරීම් කමිටුවේ කාර්‍යභාරය සියතට ගෙන කටයුතු කිරීමට බව තතු දන්නෝ පවසති. පසුකාලීනව තේරීම් කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට මෙය ‍ෙහ්තු විය.

අන් අයට පැවරී ඇති වගකීම්, ඔවුන්ගේ කලමණාකරන සීමාවට පැන සියතට ගෙන කටයුතු කිරීමට යාමෙන් සියල්ල අවුල් වන බව කළමණාකරනයේ මූලධර්ම පිළිබඳ නිසි අවබෝධයක් නොමැති හතුරුසිංහ නොදැන සිටීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් විය. චන්දික හතුරුසිංහ යටතේ රට වෙනුවෙන් ක්‍රීඩා කළයුතු ක්‍රීඩකයන් වෙනුවට පුහුණුකරු වෙනුවෙන් ක්‍රීඩාකරන ක්‍රීඩකයන් බිහිවී තිබීම ඉතාම ගැඹුරෙන් සිතා බැලිය යුතු කණගාටුදායක තත්ත්වයක් දක්වා වර්ධනය විය.

කිසියම් අන්තර්ජාතික ක්‍රීඩා කණ්ඩායමක පුහුණුකරුවා යනු එම ක්‍රීඩාවට අදාල තාක්ෂණික ඥානය සහ උපක්‍රම කණ්ඩායමට ලබාදී කණ්ඩායම පුහුණුවෙන් සන්නද්ධ කරන පුද්ගලයා වේ. කණ්ඩායම් නායකයා සමඟ එකමුතුව ක්‍රීඩා කළයුතු වන්නේ තම රට වෙනුවෙනි. සිය ජයග්‍රහණය හමුවේ තම රටේ ජාතික ධජය හෝ ලාංඡනය ඔසවමින් සතුට සහ අභිමානය අත්විඳින අන්තර්ජාතික ක්‍රීඩකයන් අප හට නිරන්තරයෙන් දක්නට ලැබෙනුයේ එ බැවිනි.

අනෙක් අතට රට පෙරට ගෙන කිසියම් කණ්ඩායමක් එක අරමුණකට යොමුකිරීම සාපේක්ෂව පහසු කටයුත්තකි. එය එසේ වන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රටක මිනිසුන් තමන් රට වෙනුවෙන් ක්‍රියාකරන අයෙකු ලෙස හඳුන්වනු ලැබීම ඔවුන් හට අභිමානයක් ඇතිකරවන්නක් බැවිනි.

තත්ත්වය එසේ වුවත් මෙම පහසු ඉලක්කය පසෙක ලා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් එක් එක් පෞද්ගලික කල්ලි තුළට ගාල්කර තිබීම ඛේදවාචකයකි. එය කණ්ඩායම තුල කල්ලි වාදය නිර්මාණය වීමේ ආරම්භයයි. කණ්ඩායම තුළ කණ්ඩායම් හැඟීම විනාශ වී යෑමට හේතුවයි. කණ්ඩායමේ අසාර්ථකත්වයේත් පරාජයේත් අඩිතාලමයි.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මේ වනවිට මතුව ඇති සමාජ ජාලා සටන සම්බන්ධයෙන් සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබුණද ඔහුගේ කාලයේදී හෝ ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් නැත. ඒ අතරවාරයේදී පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ විසින් කරනු ලැබ ඇත්තේ ඉහත කල්ලි වලට එරෙහිව, කණ්ඩායම තුළ තම කල්ලිය නිර්මාණය කර තිබීම පමණක් බව පෙනීයයි.

කෙසේවෙතත් කණ්ඩායම තුළ සිය ස්ථානය තහවුරු කරගැනීම සඳහා මෙම කල්ලිවාදී ක්‍රීඩකයන් නොකරන්නේ දක්ෂතා දැක්වීම පමණි.

පුහුණුකරුගේ මුග්ධ ක්‍රියාකලාපය නිසා පමණක් නොව, නායකත්වයට නුසුදුසු ක්‍රීඩකයන් නායකත්වයට පත්වීමද වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීමට තවත් එක් ප්‍රබල හේතුවකි. ජාතික කණ්ඩායම මෙහෙයවන නායකයා දක්ෂ කලමනාකරුවෙකු විය යුතුමය. අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන මෙන්ම කුමාර සංගක්කාර ආදී සියලුම නායකයෝ අතිදක්ෂ කළමනාකරුවෝ වූහ.

සංගක්කාර සහ මහේල ජයවර්ධනගෙන් පසු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ඇති හිතවත්කම, ඉහල පරිපාලනයට කේලාම් කීම, පුහුණුකරුගේ හිතවතෙකු වීම ආදිය නායකත්වයට පත්වීමට සුදුසුකම් ලෙස සලකනු ලැබූ බව නොරහසකි. මෙවැනි අය, නායකයින් වශයෙන් පිටිය මැදදී අසරණ වන විට ඔවුන් පරිපාලනය ඉදිරියේ සහෝදර ක්‍රීඩකයන් විවේචනය කරමින් තමන්ගේ තැන රැකගැනීමට කටයුතු කරමින්, කණ්ඩායම් හැඟීම විනාශකර දමා ඇත.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, සුරංග ලක්මාල්, තිසර පෙරේරා මෙන්ම ලසිත් මාලිංග යන සියලුම නායකයන් තමන් නායකත්වයට නුසුදුසු බව යළි යළිත් ඔප්පු කරමින් සිටිති.

රට වෙනුවෙන් නොව, තමන් වෙනුවෙන් ක්‍රීඩා කරන එවැන්නන් කිසියම් විශේෂ දක්ෂතාවක් දක්වනු ලැබූ කල රටේ ලාංඡනය වෙනුවට තම ජර්සි අංකය හෝ නම හුවාදක්වනු ලැබූ අවස්ථා එමටය. එහෙත් තිලකරත්න ඩිල්ශාන්, මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයින් එවැනි අවස්ථාවලදී රටේ ලාංඡනය ගෙනහැර පෑවේ ඔවුන් එකල රට වෙනුවෙන් ක්‍රීඩා කළ බැවිනි.

කෙසේ වෙතත් ඉහතින් සඳහන් කළ වර්ගයේ නායකයන් කාලාන්තරයක් තිස්සේ තම හිතවතුන් කණ්ඩායමට ඇතුළත් කරන ලද නිසාද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අහිමිවී ගිය සහ අහිමි වෙමින් පවතින දක්ෂ ක්‍රීඩකයන් බොහොමයකි. මෙවැනි නායකයන් මෙන්ම පුහුණුකරුවාද තම තමන්ගේ අරමුණු ඉටුකරගැනීම සඳහා වාසි ලබාගත හැකි බාහිර පුද්ගලයන් විවිධ උපක්‍රම මගින් සිය ග්‍රහණයට නතුකරගෙන තිබීමත් ඛේදවාචකයකි.

අදහස්