විශේෂ දුම්රිය හා බස් 22 දා තෙක් | Page 3 | සිළුමිණ

විශේෂ දුම්රිය හා බස් 22 දා තෙක්

අලුත් අවුරුද්දට ගම්-බිම් බලා යන සහ අවුරුද්දෙන් පසු යළත් කොළඹ ඇතුළු නගර කරා එන ජනතාවගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන්වාර 65ක් හා බස් ගමන්වාර 1,500ක් පමණ යොදවා ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

විශේෂ දුම්රිය යටතේ අතිරේක දුම්රිය ගමන්වාර 61ක් හා දුම්රිය ගමනාන්ත හෝ ගමනාරම්භයන් දීර්ඝ කිරීම් 4ක්ද ඇතුළත් බව ඇමැතිවරයා පවසයි. ඒ විශේෂ දුම්රිය සේවා පසුගිය 10 දා සිට ආරම්භ වූ අතර එය 22 දා දක්වා පැවැත්වේ.

ඒ අනුව අද (14) පෙ.ව. 7.40ට හා පෙ.ව. 10.45ට මරදානේ සිට දකුණු කළුතර දක්වාද, පෙ.ව. 11.50ට මරදාන සිට ගාල්ල දක්වාද, පෙ.ව. 9.20ට හා ප.ව. 1.00ට දකුණු කළුතර සිට වේයන්ගොඩ දක්වාද, ප.ව. 12.25ට දකුණු කළුතර සිට වේයන්ගොඩ දක්වාද, ප.ව. 12.25ට වේයන්ගොඩ සිට දකුණු කළුතර දක්වාද, ප.ව. 4.00ට වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වාද විශේෂ දුම්රිය ධාවනය කෙරේ.

එසේම වවුනියාවේ සිට පැමිණෙන අංක 4004 දරන නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය අද අලුයම 3.00ට යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ගමනාරම්භය දීර්ඝ කර ඇත.

15 දා පෙ.ව. 9.25ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වාද, පෙ.ව. 11.50ට මරදාන සිට ගාල්ල දක්වාද, ප.ව. 2.55ට මාතර සිට මරදාන දක්වාද, ප.ව. 5.55ට ගාල්ල සිට මරදාන දක්වාද, රාත්‍රී 8.50ට යාපනය සිට ගල්කිස්ස දක්වාද විශේෂ දුම්රිය ධාවනය කෙරේ.

16 දා පෙ.ව. 7.05ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වාද, පෙ.ව. 8.00ට හා පෙ.ව. 10.10ට මරදාන සිට ගාල්ල දක්වාද, ප.ව. 2.25ට ගාල්ල සිට මරදාන දක්වාද විශේෂ දුම්රිය ධාවනය කෙරේ.

17, 19 දෙදින පෙ.ව. 9.25ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන අතර 18, 20 දෙදින පෙ.ව. 7.05ට බදුල්ල බලා දුම්රිය ධාවනය කෙරේ. එසේම 21 දා රාත්‍රී 7.00ට ගාල්ලේ සිට කොළඹ බලා විශේෂ දුම්රියක් ධාවනය කරනු ලබන අතර, 22 දා පෙරවරු 7.05ට ගාල්ලේ සිට තවත් දුම්රියක් කොළඹ බලා ධාවනය කෙරේ.

මීට අමතරව අධිවේගි මාර්ගයේ ඇතුළු අනෙක් සියලු මාර්ගවල ධාවනය වන බස් රථවල ගමන් වාර වැඩි කර ඇති අතර, දිනකට ගමන් වාර දෙකක් පමණක් ධාවනය කළ බස් රථවල ගමන් වාර 3ක් හෝ 4ක් දක්වා වැඩි කර ඇතැයිද ඇමැතිවරයා කීය.

15 දා දක්වා පිටකොටුව, කඩවත, කටුනායක, පිළියන්දල, මාකුඹුර, පාණදුර සිට ගාල්ල සහ මාතර දක්වා බස් රථ ධාවනය කෙරෙනු ඇත.

16 සිට 21 දක්වා ගාල්ල හා මාතර සිට එම ප්‍රදේශ කරා ආපසු පැමිණෙන බස් රථද යොදවා ඇතැයි ඇමැති වරයා කීය.

එමෙන්ම පිටකොටුවේ ගුණසිංහපුර හා බැස්ටියන් මාවතේ සිට විශේෂ බස් රථ සේවා රැසක් ක්‍රියාත්මක වන අතර, බැස්ටියන් මාවතේ පමණක් අලුත් බස් රථ ගමන් වාර 500ක් සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Comments