අප්‍රේල් මාසෙ ලබපු දවසෙ ඉඳන් අපට අවු­රුදු තමයි | සිළුමිණ

අප්‍රේල් මාසෙ ලබපු දවසෙ ඉඳන් අපට අවු­රුදු තමයි

අද සිංහල හා හින්දු අලුත් අවුරුදු දවසයි. එවැනි සුබ දිනයකට සෞභාග්‍යමත් කැදැල්ලක වගතුග ඔබ වෙත ගෙන එන්නට අපි සිතුවා. එවැනි කැදැල්ලක් සොයා අපි තලවතුගොඩ බලා පිටත්වූවා. අප යන මාර්ගය දෙපසම කඩිගුලක් ඇවිස්සුණාක් මෙන් මිනිස්සු එහෙ මෙහේ දුවයනු පෙනේ. වාහන තද බදයද එකදිගටය. ඒ සමග බක්මහ උළෙලක් ගැන නිවේදනය කරමින් යන රථයකින් මෙලෙස ඇසෙයි.

මේ අවුරුදු කාලේ

හිනා වෙයන් රාළේ

තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ...

ප්‍රවීණ ගායන ශිල්පී ලයනල් රන්වලයන් ගයන ගීතය කොයිතරම් සුන්දරද? මොවුන් අමතක කර කෙසේ නම් අවුරුදු සමරනු හැකිද? ඒ නිසයි ලයනල් රන්වලයන් ජීවතුන් අතර නැතත් ඔහුගේ පුත් සහන් රන්වලයන්ගේ කැදැල්ලට ගොඩවෙන්නට අප සිතුවේ.

'එන්න.. එන්න. කොහොමද අවුරුදු? මම මේ රූපවාහිනී වැඩසටහනකට සහභාගි වී ආවා විතරයි. අද පාන්දර දෙකේ හිටන් මේ අවදියෙන් ඉන්නේ..'

'සහන් බොහොම ළෙන්ගතු කමෙන් අප පිළිගනියි'

අලංකාර නිවෙසකි. විසිත්ත කාමරයේ විවිධ වර්ගයේ බෙර, තම්මැට්ටම් ඇතුළු වාදන භාණ්ඩ රැසකි. අනෙක් පස අලංකාර මල් බඳුන් පෙළකි. ඇත්තටම කලාත්මක නිවෙසකි. තරුණ, තරුණියන් කිහිප දෙනෙක්ම නිවෙසේ එහෙට මෙහෙට යුහුසුලුව ඇවිදියි' ශාන් කැමරාව ගෙන ඡායාරූප ගන්නට සැරසෙයි.

සහන් නැවතත් කතාවට මුල පුරමින් 'බය වෙන්න එපා අපේ ගෙදර හැමදාමත් මෙහෙම තමයි. කොහොමත් දවසට දහයක් විතර ඉන්නවා. ඒක අපේ තාත්තාගේ කාලෙ ඉඳන්ම මෙහෙමයි. අවුරුදු කාලෙට තවත් වැඩියි. මොකද රටපුරාම ප්‍රසංග පැවැත්වෙන නිසා ඒව හොයල බලල කරන්න කට්ටිය ඕන. ඒ කට්ටිය තමයි අපේ ගෙදර කොයි වෙලේත් ඉන්නේ'

ඇත්තටම සහන් රන්වල මෙතරම් කාර්ය බහුලව සිටියදී නළුවකු, වාදකයකු, නර්ථන ශිල්පියකු, දේශකයකු සහ තවත් භූමිකා රැසක කෙසේ නිරතවිය හැකිද?

'අපේ ගෙදර නිතරම කාර්ය බහුලයි. එය වෙනත් ගෙදරක කාර්යබහුලත්වයට වඩා වෙනස්. තාත්ත ඉන්න කාලයේ පටන්ම මිනිසුන් යන එන තැනක් තමයි අපේ නිවස. ගෙදර කට්ටිය නැත්නම් හරිම පාළුයි. දවස ගෙවා ගන්න බැහැ. සමහරුන්ට හිනා වෙලා, සතුටෙන් ඉන්න ඕන වුණාමත් අපේ ගෙදරට එනවා'

හේ කියාගෙන යද්දී බඩු මලු කිහිපයක් රැගෙන නිවෙසට ඇතුළුවන රුවැත්තිය අප දෙස බලමින් 'ටිකක් ඉන්න මම එන්නම් කියාගෙන උඩු මහළට පිය නගයි.' ඒ මගේ බිරිය මෙලනි. ඔය ගෙදරට උයන පිහන දේවල් ගේන්න මාර්කට් ගිහින් ආවේ. එයා තමයි මේ නිවෙසේ සියලුම වැඩ සොයා බලමින් කරන්නෙ'

'මොනවද සහන් අලුත් අවුරුද්ද වෙනුවෙන් කළේ'

අප්‍රේල් මාසෙ ලබපු දවසෙ ඉඳන් අපිට අවුරුදු තමයි. 'අවුරුදු තාලෙ රන්වල තාලෙ' වැඩසටහන සමග පසුගිය දිනවල නාළිකා දහයකම වැඩසටහන් කළා. මේ මාසෙ අග තවත් සංචාරයකට ආරාධනා ලැබී තිබෙනවා. ඒ වැඩත් එක්ක රන්වල පදනම මෙහෙයවන පාඨමාලාවල ඉගෙනුම ලබන සිසුන්ට විභාග පැවැත්වෙනවා. ඒවා ගාල්ල, කොළඹ, ගම්පහ පැවැත්වෙන්නෙ. ඉතින් ගෙදර කට්ටියට මම නැතිව අවුරුදු චාරිත්‍ර, වාරිත්‍ර කරන්න වෙන අවස්ථාත් තිබෙනවා.'

අපි කතා කරමින් සිටියදී සහන්ගේ මව සිනහමුසු මුහුණෙන් අප වෙත පැමිණ කතාවට එකතු වන්නීය.

'සහන්ගේ තාත්තා ඉන්න කාලෙත් අවුරුදු කාලෙට අපේ ගෙදර මෙහෙම තමයි. හැම වෙලේම කවුරු හෝ ඉන්නවා. මගේ ගම කොත්මලේ, මඩකුඹුර. මමත්, සැමියාත්, සහන් සහ චිරන්ත රැගෙන අවුරුද්දට ගමේ යනවා. පුංචි කාලෙ මේ දෙන්න හරිම කැමැතියි අවුරුද්දට කොත්මලේ යන්න' ඇය පුතු දෙස ආදරයෙන් බලයි. ' අපි ඉතින් පොත්වල තියෙන අවුරුදු දැක්කෙ එහෙ ගියාම තමයි. ගමේ මිනිස්සු අවුරුදු කියන්නෙ වැඩ කරල මහන්සිවෙලා ලබන ඉසිඹුවකට. අපි නම් හිතුවේ අවුරුද්ද කියන්නේ කෑම කන එක කියලා. අපේ පුතාලට එදා වගේ අවුරුදු සිරිය බලන්න තියෙන්නෙ මාධ්‍යයයෙන් විතරයි'

අම්මයි, පුතයි අවුරුදු ගැන කියද්දී මෙලනී පුතු සෙත් සමගින් අප සිටින ‍දෙසට පැමිණෙයි. 'සහන්ගේ කුඩා අවධියේ ඡායාරූප පෙළ සෙත් පුතුගේ ඡායාවක් වැනි යැයි මට හැඟෙයි. මොවුන් තිදෙනා එක්වී අවුරුදු සමරන්නට ක්‍රිඩාවකට සැරසෙයි.

' ඔළිඳ කෙළිය ලස්සන ක්‍රිඩාවක්.. මම පවසමි.

' අපේ පැරැණි ජන ක්‍රිඩාවක්.පුතා මාව පරද්දන්න කොච්චර උත්සාහ කළත් හරියන්නෙ නෑ. දැනටනම් පුතා මගේ අඩිපාරෙ යන බවක් පේනවා. ලොකුවෙන කොට මොනව කරයිද දන්නෙ නෑ. පුරා විද්‍යාඥයෙක් වෙනවා කියල නිතරම කියනවා'

සහන් කියාගෙන යයි.

මම පුතු දෙස බලා' ඇත්තද මේ කියන්නෙ' පුරා විද්‍යාඥයෙක් වෙනව වගේම සීයගේ 'රන්වල බළකාය', තාත්තගෙ 'පුදුම ස්කෝලේ' වගේ මගේ කියා අලුත් වැඩසටහනක් පටන් ගන්නවා'

ඇත්තටම අදහස කොයිතරම් වටිනවාද? අපේ රටෙන් වියැකී යන ජන ගී සම්ප්‍රදාය එක් රැස් කරමින් ජන සංගීතය ලෝකයටම ගෙන යමින් , ඒවා සංරක්ෂණය කරමින්, නව නාද රටා මවමින් මොවුන් කරන සද්කාර්යය අගේ කළ යුතුය.

'අපේ තාත්ත නැතිවුණේ දෙදාහ ව‍සරේදි. මේ භූමිය ඉල්ලපු දේ තමයි තාත්ත රැකගෙන අනාගතයට ගෙනාවේ. මම උ.පෙළ කරන කාලෙ රන්වල බළකායෙ වගේම සෝමලතා සුබ සිංහගේ නාට්‍ය කණ්ඩායමෙත් සිටියා. විශ්වවිද්‍යාලෙ ගියා. ඉගෙන ගත්තා. සමහරවිට තාත්ත ජීවතුන් අතර සිටියානම් කලාවේ නියැළෙන එකක් නැති වෙන්නත් පුළුවන්. 2011 වසරේ චීනයේ ෂැංජියාජි නගරයේදි කණ්ඩායම් හැටක් සමග තරග කර ලෝකයේ හොඳම ප්‍රාසාංගික කණ්ඩායම වෙන්නට අපිට හැකිවුණා'

'‍රන්වල කැදැල්ලේ ගෘහණිය සමගද කතාකළ යුතුම වෙයි. සැබවින්ම ඇය නිහතමානීය. අනෙකුත් කතුන්ට ආදර්ශවත්ය.

දෙන්නා පාසල් කාලයේ සිටම පෙම්වතුන් නේද? මෙලනි සුන්දර සිනහවකින් කතාව අරඹයි.' අපි දෙන්නා පාසල් යන කාලයේ සිට හඳුනනවා. මගේ ගම නුගේගොඩ. පාසල් ගියේ ලින්ඩ්සේ බාලිකා විදුහලට. සහන් කොළඹ ආනන්දෙ. ඒ කාලෙ අපි පෙම්වතුන් වුණා. අද ඉතින් හය වසරෙ ඉගෙනුම ලබන පුතෙකුගේ මවුපියන්'

' සහන් කියන්නෙ කාර්යබහුල කලාකරුවෙක්, කොහොමද ගෙදර දොරේ වැඩ තනියම කරගන්නේ'සහන් ගෙදර ඇත්තෙම නැති තරම්. එයාගෙ අම්මයි, මමයි,පුතයි ගෙදර ඉන්නෙ. එයා කොතරම් ජන ගී සංදර්ශන කළත් ගෙදර වැඩක් කරන්න ගියාම මගෙන් උපදෙස් ඉල්ලනවා'

'කියන්න මම කොයි වෙලෙත් ඉන්නෙ ජන ගී ගැන කල්පනා කර කර කියලා. සමහර වෙලාවට මට මොනවහරි කිව්වම තමයි පියවි සිහියට එන්නෙ නේද මෙලනි? සැමියාගෙන් බිරියට ආදරණීය දෙබසකි.

අවුරුද්දට මොනවද රස කැවිලි හදන්නේ?

අපේ ගෙදර ඒ කාලෙ ඉඳන්ම නාරං කැවුම්වලට ප්‍රසිද්දයි. ගෙදරට එන හැමෝම වගේ අපේ ගෙදර හදන නාරං කැවුම් කන්න ආසයි. මෙදා පාරත් නාරං කැවුම් හැදුවා'

කොතරම් වේලාවක් සිටියත් මොවුන්ගෙන් සමුගෙන යෑමට නොසිතෙයි. ඒ තරමටම ඔවුන් ආගන්තුක සත්කාරයෙන් පිරිපුන්ය. එහෙත් සමුගෙන යායුතුය. ' ආපහු වෙලාවක ඇවිත් යන්න එන්න. මම ඉක්මනින්ම කාර්යබහුලකමෙන් මිදිල වැඩ අඩුකරගන්නවා. එදාට අපිට පුලුවන් ගොඩක් වෙලා කතාකරන්න. ලක්වාසි සියලු දෙනාට ලැබූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යමත් වසරක් වේවා යැයි පතනවා'යනුවෙන් ඔවුහු ආදරණීය රසික රසිකාවියන්ට සුබ පතන්නටද අමතක නොකළහ. 

 

අදහස්