අවු­රුදු සිරිත් විරිත් කුමක් සඳහා ද? | සිළුමිණ

අවු­රුදු සිරිත් විරිත් කුමක් සඳහා ද?

සිංහල අලුත් අවුරුදු උත්සවය සිංහලයාගේ අනන්‍යතාව පිළිබිඹු කරන සංස්කෘතික උලෙළකි. විවිධ සංස්කෘතික අංග එකතු වීමෙන් ජාතියක් අර්ථ පූරණත්වයට පත් වෙයි. සංස්කෘතිය යනු හැදියාවයි; සැකැස්මයි. සංස්කෘතිය යනු සමාජික ක්‍රියාවන්ට පසු පසින් ඇති බලවේගයකි. සිංහල අවුරුද්ද සිංහලයාගේ යටගියාව ලොවට හෙළි කරන උත්සවයකි. මේ උත්සවය නිහඬව කියා දෙන පාඩමක් ඇත. එය නම් රට ජාතිය හා ජන ජීවිතය හැඩ ගස්සවන මෙහෙවරයි.

අලුත් වචනය තුළින් සිංහලයන්ගේ සෑම දෙයක්ම අලුත් වෙයි. ඒ නිසා නැවුම් බවකින් ප්‍රබෝධයකින් ලැබූ වසර තුළ නව හැඟීම් ඉටුකර ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය ලබාගනියි. මිත්‍ර සම්බන්ධකම් තරකර ගැනීම, මවුපිය වැඩිහිටියන්ගේ ආශීර්වාද ලබා ගැනීම, නෑදෑකම් තව තවත් සමීප කර ගැනීම, සම්බන්ධතා අලුත් කර ගැනීම, අලුත් හිතවත්කම් ඇති කරගැනීම යනාදිය මේ අලුත් ජීවිතයත් සමග සිදුවේ.

ග්‍රහ මඩුල්ලේ රජු වන සූර්යයා හා බැඳුණු මේ වසන්තයේ බක්මහ නැකත් කෙළිය නිර්මාණය වීමට පාදක වී ඇත්තේ කෘෂිකර්මය, ආයුර්වේදය සහ ජ්‍යොතිෂය යන ත්‍රිකෝණයයි. අනාගත පරම්පරාවට මෙම සිරිත් විරිත්වල ඇති වටිනාකම කියාදී හුරු කිරීම අප ජාතියේ භාග්‍යයට හා රටේ සෞභාග්‍යයට හේතු වනු ඇත.

අඹු සැමියන් අතරත් පවුලේ අනෙක් සාමාජික සාමාජිකාවන් අතරත් සමගිය සුහදතාව උදා වන කාලයකි අලුත් අවුරුදු සමය. නිවස හා අවට පරිසරය පිරිසිදු කිරීම, නි‍ෙවස අලුත්වැඩියා කිරීම, සුහද සාකච්ඡා ඇති වීම, අඹු සැමි සෙනෙහසේ නව පිබිදීම, දරුවන් හා දෙමවුපියන් අතර සහජීවනය, එකිනෙකා අතර ඇතිවන සහයෝගීතාව, එකම මේසයක ඉඳගෙන ආහාර අනුභව කරන අසිරිමත් අවස්ථාව හෙවත් සාමූහිකත්වය සහ සුහදතාව වඩවන සමෘද්ධිමත් නැවුම් ජීවිතයකට අඩිතාලම වැටීම නිතැතින්ම සිදුවේ. බෞද්ධ දර්ශනයේ හරය විදහාපාන ජන ක්‍රීඩාවලින් සාමූහික ක්‍රියාකාරිත්වය, ඉවසීම, කැපවීම වැනි ලක්ෂණයන් ජීවිත තුළට කිඳා බැසීම අගනා දෙයකි.

වර්ෂය යන්න හැඳින්වෙන වචනය අවුරුද්ද. “වත්සර” යනු සංස්කෘත වචනයෙන් කියැවෙන්නේත් “අවුරුද්ද” යන්නයි. වසරක් සම්පූර්න වීමෙන් සංවත්සර යන නාමය සංවච්ඡර

හවජර හවරජ හවුරුජු අවුරුදු යනුවෙන් සිංහල භාෂාවට එකතු වී ඇත. “අවුර්” යනු හිරුට නමකි. ඉද්ද යනු මුදුන්වීමයි. වර්ෂයකට වරක් සිදුවීම “අවුර් ඉද්ද” අවුරුද්ද බවට පත්වී ඇත. අවුරුද්ද සූර්ය මංගල්‍යය යනුවෙන්ද හැඳින්වේ. හිරුගේ බලපෑම කාලානුරූපව ශාක සහ සත්ත්ව ප්‍රජාවට කෙළින්ම බලපාන්නකි. පෘථිවියට බලපාන දෙවන උප ග්‍රහයා වන්නේ චන්ද්‍රයාය. හිරුගේ ආලෝකය පරාවර්තනය කරන්නේ චන්ද්‍රයාය.

නක්ෂත්‍ර විද්‍යාවට අනුව සූර්යයා රාශි දාළහකට ගමන් කරයි. සූර්යයා එක් එක් රාශිවල ගත කරන කාලය එක සමාන නැත. සූර්යයා පැමිණෙන අවසන් රාශිය මීන රාශියයි. මීන රාශියේ සිට නැවත මේෂ නමැති රාශියට සංක්‍රමණය වීම නව වසරේ ආරම්භය ලෙස පිළිගනියි. මෙය සිදුවන්නේ බක් මාසයේදීය. බක් යනු භාග්‍යවන්ත මාසය ලෙසද බොහෝ දෙනා සලකති. මෙය සිංහල අලුත් අවුරුද්ද ලෙසින් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින චාරිත්‍ර වාරිත්‍ර මුල් කරගෙන උත්සවාකාරයෙන් සමරති.

ලෝකයේ පැවැත්මට අතිශයින් බලපාන හිරු දෙවියකු ලෙසින් නැමදීම පෙර සිට පැවත එන්නකි. හිරු මුල්වරට ඇදහූ ඉපැරණිම ජාතිය ජීවත් වූයේ මිසරයේය. ගොවිකමින් ජීවත් වූ මිනිසාට එම කාර්ය කර ගැනීමට සියලුම ශක්තිය දෙන්නේ හිරු බව දැනගෙන කරන කෘතවේදීත්වයයි, මේ අවුරුද්ද. සොබා දහමට කළගුණ සලකන ජාතියක් ජනිත වූයේ මේ යහපත් සංකල්පනාවෙනි. “ගණ දෙවි හෑල්ල” කාව්‍ය සංග්‍රහයේ එන මේ කවිය ඊට හොඳ උදාහරණයකි.

සූරිය කුල ඇති ඉරු දෙවියන්නේ

පදවිය අණසක ලොව පවතින්නේ

කාරිය සිතුම් සාදා දෙන්නේ

සූරිය දෙවියනි නුවණක් දෙන්නේ

අලුත් අවුරුද්දෙන් විදහා පාන්නේ සොබාදහමේ අසිරිමත් භාවයයි. මහිමයයි. අටු කොටු පිරී, සිත් තුළ සෞභාග්‍ය වැඩිවී තිබෙන විට කොහාගේ සුමිහිරි නාදයෙන් එය දෙගුණ වෙයි.

කෘෂිකර්මය ජීවනෝපාය කරගත් ජනතාවට ප්‍රීතිමත් කාල සීමාව අවුරුදු උත්සව සමයයි. රන් අස්වනු ගබඩා කර ගැනීම, අන්‍යයන්ට බත බුලතින් සංග්‍රහ කිරීම, සිදු වූ වැරදිවලට සමාව දීම, යහපත් ජීවිතයකට අවශ්‍ය උතුම් ආකල්ප කුඩා කල සිටම දරුවන්ගේ ජීවිතයට ඇතුළුවන නැවුම් චින්තනයක ඇරඹුමයි මේ සිරිත් විරිත්. සාම්ප්‍රදායික සිරිත් විරිත් නව පරපුරට දායාද කිරීම - ආගමට දහමට අනුව ජීවිතය ගෙන යාම සහ බෙදා හදාගෙන සමාන සාධාරණත්වයකින් මෙන්ම කරුණාබරව දිවි පෙවෙතක් ගෙන යාම අලුත් අවුරුද්ද දෙන ආභාසය ලොව වෙනත් සංස්කෘතියක නැති තරම්ය. අද සමාජයේ ප්‍රශ්න - ගැටලු උග්‍ර වී විනාශ මුඛය කරා ජනතාව රැගෙන යන්නේ සොබා දහමින් බැහැරව අස්වාභාවික කෘත්‍රිම තාක්ෂණික ජීවිතයට නැඹුරු වී මුදලට පමණක් තැන දී කටයුතු කරන නිසාය. පිරිහීම සිදුවී ඇත්තේත් සිදුවන්නේත් තම සංස්කෘතියෙන් බැහැර වීම නිසාය.

අලුත් අවුරුදු සිරිත්වලදී ඇති විශේෂිතම දේ තමයි, රටේ සියලුම දෙනා ඒකරාශීවීම - එය සිදුවන්නේ එකම වෙලාවට වැඩ නවතා - එකම වේලාවට වැඩ ආරම්භ කිරීම - එකම වේලාවට ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීම. මෙයින් සිදුවන ප්‍රතිඵලය කුමක්ද? එකමුතුකම - සමගිය ඇති කරන හැඟීම් සංවර්ධනය වීමයි. මේවා තමයි ජාතියක් වශයෙන් ඉදිරියට යන්නට අවශ්‍ය වන්නේ.

අවුරුද්ද ලස්සනයි. ඒ වගේම සුවඳයි. ඒ ගුණ සුවඳයි. එම සුවඳ සදෙව් ලොව දක්වා විහිදෙන්නකි. වර්තමානයේ බොහෝ මිනිසුන් ඒ සුවඳ කිලිටි කරගෙන ඇති බව හොඳින් පෙනෙන දෙයකි. දරුවන් යහමඟ යැවීමට මේ අලුත් අවුරුදු චාරිත්‍ර ඉතා අවශ්‍ය වන්නේය. අවුරුද්දෙන් අවුරුද්ද සිරිත් විරිත් අනුව සිංහලයන් උත්සහා කරන්නේ දීප්තිමත් අනාගතයකට සමගිය - සාමය සහ සෞභාග්‍යය සොයා යන ගමනට තවත් පිරිසිදු සිතින් තැබීමයි.

සාර්ථක දිවි පෙවෙතක් සඳහා ජීවන දර්ශනයක් අත්‍යවශ්‍ය දෙයකි. එය සාක්ෂාත් කර ගැනීමට යහපත් ආකල්ප අවශ්‍ය වෙයි. සාරධර්මවලින් පිරි ජීවිතයකට යහපත් ආකල්ප අත්‍යවශ්‍ය දෙයකි. යහපත් විනිශ්චයක් නොමැති තැන ශික්ෂාකාමී ජනතාවක් බිහි නොවේ.

අපේ පැරණියන් දරුවාට උපදෙස් දීමට සිව්පදය උපයෝගී කරගෙන ඇති අයුරු පහත සඳහන් රචනාවන්ගෙන් මනාවට පැහැදිලි වනු ඇත.

ඔංචිල්ලාව පදින තරුණියන්ට මෙසේ උපදෙස් දී ඇත.

පදින කලට අඟනෝ ඔංචිල්ලා

අඳින සළුව තදකර ඇඳගල්ලා

තදින් අතින් වැල් අල්ලා ගල්ලා

සොඳින් වරල බැඳගෙන පැදපල්ලා

ආකල්ප සංවර්ධනය උදෙසා;

වැස්සට කලින් දරටික ගෙට දාපන්නේ

ගන්නට කලින් දිය ළිඳවට බල පන්නේ

නින්දට කලින් ගේ දාර විමසා පන්නේ

යන්නට කලින් දීගෙක විමසා බලපන්නේ

කොවුලා හඬලන්නේත්, එරබදු මල් පිපෙන්නේත්, රබන් සුරල් ඇසෙන්නේත් අවුරුද්දකට එක පාරක් පමණි. අලුත් අවුරුදු පණිවුඩය අප දෙසවනට ලබාදෙන කොවුල් හඬ මහාචාර්ය සරච්චන්ද්‍රයන් යොදා ඇත්තේ, “කෝකිල හඬ කන් පිනවයි. රන් ස්වරයයි” යනුවෙනි. අපගේ නෙතට සහ සිතට අවුරුදු පණිවුඩය නිහඬව පවසන්නෙත් එරබදු මල්ය.

මිනිසා සොබා දහමින් ඈත්වීමේ ඵල විපාකය අද ලෝක බලවතුන්ගේ න්‍යාය පත්‍රයේ අංක එක බවට පත්වී ඇත. ඒ ගෝලීය උෂ්ණත්වයයි.

මානව සම්බන්ධතාව තහවුරු කරන මේ සොඳුරු කාල සීමාව ගැන යළි යළිත් සලකා බලන්නට සියල්ලන් සිතට ගත යුතුය. මේ අලුත් අවුරුද්දේදී ඔබ සැමට, සැප වඩා ජය වඩා ආවඩා ආයුබෝ වේවායි මම ඉත සිතින් පතමි.

අදහස්