තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

කුමුදු නිශාන්තට අවුරුදු ජයයි

කුමුදු නිශාන්ත කියන්නේ මේ දිනවල රූපවාහිනී නාළිකා කිහිපයකම දකින්න ලැබෙන රංගන ශිල්පියෙක්. මේ දිනවල ඔහු ‘කළුම කළු මහත්වරු’ වේදිකා නාට්‍යය අරගෙන රට වටේ යනවා. ඒ සමඟම ඒකා සාක්කුවේ වේදිකා නාට්‍යයෙනුත් කුමුදුගේ වැඩ බලන්න පුළුවන්. උදාවුණු අලුත් අවුරුද්ද කොහොමද කියලා අපි ඔහු ගෙන් අහලා බැලුවා.

‘‘විශේෂ සූදානමක් නම් නැහැ. අලුත් අවුරුදු උත්සව සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒවාට මේ දින දෙක තුළ සහභාගී වුණු නිසා අලුත් අවුරුදු දිනදෙකේ ඒ කියන්නේ අවුරුද්දට මට ගෙදර ඉන්න පුළුවන් වුණා. මමයි බිරියයි විතරයි නේ ඉන්නේ. ඇයට කැවුම් හදන්න නම් බැහැ. ඒත් කොකිස් නම් රසට හදන්න පුළුවන්. ඒ නිසා කොකිස් ගෙදර හැදුවා. කැවුම් නම් අපි කඩෙන් ගත්තා. අපි අවුරුදු චාරිත්‍ර කරලා ගෙදර කට්ටියත් එක්ක ඇවිදින්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගෙදර ඉන්න ලැබුණු නිසා මට නම් මේ පාර අවුරුද්ද ජයයි. ‘


සුසන්තාගේ නි‍ෙවසේ අවුරුදු කුමාරයෙක්

සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න අතිදක්ෂ, අවිහිංසක ප්‍රවීණ රංගන ශිල්පිනියක්. කවුරුත් ආදරේ කරන තිසුරි යුවනිකාගේ මව ඇය යි. මෙවර අලුත් අවුරුද්දට වෙන අලුත් අවුරුදුවලට වඩා ගොඩක් සුවිශේෂියි කියලා අපට හිතුණා. ඒ ගැන ඇය විස්තර කළේ හරිම සතුටින්.

‘‘ඔව්. මේ අලුත් අවුරුද්ද අපිට ගොඩක් සුවිශේෂයි. ඒ අලුත් සාමාජිකයෙක් මේ පාර අවුරුද්දට ඉන්නවා. වෙනදා ඉතින් අපි තුන්දෙනා විතරයි අවුරුද්දට හිටියේ. ඉතින් මෙවර අපිට පුතෙකුත් හම්බ වෙලා ඉන්නවා අලුත් අවුරුද්ද සමරන්න. මේ තිසුරි බැන්දට පස්සේ එන පළමුවැනි අලුත් අවුරුද්ද. ඉතින් අපි කිව්වා දුවටයි පුතාටයි අපේ ගෙදර ඉඳන් අලුත් අවුරුද්ද සමරමු කියලා. වෙනදටත් වැඩිය ලොකු සතුටකින් තමයි අපි ඉන්නේ මේ අවුරුද්දේ. අපි සැලසුම් කරලා අවුරුද්ද සමරන අය නෙමෙයි. නමුත් චාරිත්‍ර වාරිත්‍ර ඒ විදියටම සිදු කරනවා. ඉතින් අවුරුද්දට තෙල් තාච්චිය ළිපේ තියන්න ඕන නේ. ඒ නිසා අපි ගෙදරම කැවිලි හැදුවා.‘‘


දිනිතිට මේ අවුරුද්දේත් රාජකාරි

නූතන පරම්පරාවේ දක්ෂ රංගන ශිල්පිනියක් නේ දිනිති කියන්නේ. ‘සිල්ලර සමනල්ලු’ හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිතැතින්ම ලැබෙන කෙනෙක් කියලා කියන්නම ඕන. රංගනය විනෝදාංශයක් විදියට කරගෙන ගියත් ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවක්. අලුත් අවුරුද්දට සූදානම ගැන අපි ඇයගෙන් අහලා බැලුවා.

‘‘මේ අලුත් අවුරුද්දට ගෙදර ඉන්න ලැබෙන්නෙ නෑ. මම අවුරුදු 7 ක්ම අලුත් අවුරුද්ද සමරලා නැහැ. ඒ හැම අවුරුද්දකම රටින් පිට හිටියේ රාජකාරි කටයුතු වෙනුවෙන්. අම්මා හැම අවුරුද්දකම අහන දෙයක් තියෙනවා. ‘පුතා, ඔයා අවුරුද්දට ගෙදර එනවා නේ?‘ කියලා. එන්නේ නැහැ කිව්වා ම අම්මට දුකක් දැනෙනවා. ඒත් දැන් ඒක ඒ අයට පුරුදුයි. අම්මා හැම අලුත් අවුරුද්දකම මගෙයි, අයියගෙයි බත් ගුලි දෙක වෙන් කරලා පහන ළඟින් තියෙනවා. මේ පාරත් අම්මා එහෙම කරයි.‘‘


අමිල ජර්මනියේදී අවුරුදු සමරයි

මේ දිනවල නිතර නිතර විදෙස්ගත වන ඔහු ලංකාවට පැමිණි අවස්ථාවක ඔහුත් සමඟින් කතා කරන්න පුංචි වේලාවක් ඉල්ලා ගත්තා. ඒ ලැබුණු වෙලාවේදී අලුත් අවුරුද්දට සූදානම මොනවගේද කියලා අහලා බැලුවා.

‘‘ඇත්තම කිව්වොත්, මම මාසයක් විතර ලංකාවේ හිටියේ නැහැ. දැන් ඇවිත් හිටියත් 11 වැනිදා ලංකාවෙන් යනවා. මේ පාර අවුරුද්දට මම ලංකාවේ ඉන්නේ නැහැ. අවුරුද්දට ලංකාවේ නැත්තේ අපිට wedding එකකට සහභාගී වෙන්න තියෙන නිසා. ඒ නිසා අපිට ජර්මනි යන්න වෙනවා. ඉතින් ඒකට මේ දිනවල සූදානම් වෙනවා. මේ දිනවල පැවැත්වෙන අවුරුදු වැඩසටහන් කිසිම දෙයකට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ අවුරුද්ද සමරන්න විදියක් නැති නිසා ඒ රටේදී යාළුවෝ, හිතමිතුරන් එක්ක අවුරුද්ද සමරනවා. ටෙලි නාට්‍ය කිහිපයකම වගේ රූගත කිරීම් 25 පටන් ගන්න නිසා අපි 22 ලංකාවට එනවා.‘‘

අදහස්