නීලක මහ­ත්තය අඳු­නන්නෙ කොහො­මද? | සිළුමිණ

නීලක මහ­ත්තය අඳු­නන්නෙ කොහො­මද?

රාත්‍රිය නිහඬ බවින් යුතු ය. හමන සුළ‍ඟේ සිසිල් බවක් ඇත. ඉන්දියාවේ සංචාරය කළ හැකි සුන්දර ස්ථාන ඇත. ඉන්දියාව හා සසඳන විට ලංකාවේ සුන්දර ස්ථාන රැසක් තිබේ. තාර්, රාජස්ථාන, පොදුපූර්, හිමාචල් වැනි කාන්තාර නැත. ජම්මූ, කාෂ්මීර් වැනි හිම වැටෙන පෙදෙස් නැත.

බාහිර කරදර නැති හොඳ ගමනාන්තයක් ලෙස තහවුරු වූයේ ලංකා සංචාරයෙන් පසුවය. උඩුදුම්බර හෝටලයේ නතරව සිටින විට සිතට දැනුණේ සතුටකි. ගමනේදී මහාරාජා නීලක පිළිබඳව අවධානයෙන් බලා සිටියේ ය. හෝටලයේ ඉහළ මාලයේ සිට බලන කල හෙල්මැලි ක්‍රමයට වගා කරන ලද කුඹුරු යාය පෙනේ.

“මෙහෙ ඉන්නෙ ගොවියොද?”

“ඔව් සර්ත. මේ හරියෙ ඉන්නෙ වී ගොවියො. ඔය ඈතින් පේන්නෙ මඩුගල්ල. ඉස්සර මිනිස්සු ගිහින් තියෙන්නෙ පයින්. දැන් පාරෙ බස් වැඩ කරනවා” බණ්ඩාර කීවේය.

“දැන් ඉන්න නීලක මහත්තය අඳුනන්නෙ කොහොමද?”

“නීලා සර්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. උත්සවවලට යන ගමන් මෙහෙ එනව.”

“මොනවද මෙයා කරන්නෙ.”

“සර් සද්ද නැතිව හිටියට හොඳ කරාටි බ්ලැක් බෙල්ට් මාස්ටර් කෙනෙක්. ඒ විතරක් නෙමේ දක්ෂ අංගම්පොර ශිල්පියෙක්.”

“හ්ම්... ඒකයි මෙයා සද්ද නැතිව ඉන්නෙ.”

“මම හිතුවෙ සර් අංගම්පොර කණ්ඩායමක් එක්ක ආවා කියලයි. සර් කිව්වොත් සෙල්ලම් කරන හැටි පෙන්වයිද?”

“ඇයි මේක සෙල්ලමක් කිව්වා නේද?”

“සර් අංගම්පොර සටන් ක්‍රම ප්‍රසිද්ධියේ පෙන්වන්නෙ නෑ. ඉංග්‍රීසි ආණ්ඩුව අංගම්පොර සටන් තහනම් කළා”

“ඒ මොකද?”

“විශේෂයෙන් ඌව වෙල්ලස්ස සටන්වලදී අංගම්පොර හටන් භටයන් ඉදි‍රියෙන් ගියා. නිරායුධ අංගම්පොර හටන්කරුවො හටන්වලදී නිල ශාස්ත්‍රය අනුව පහර දුන්නා. මලේ කොහොමද කියන එක වෛද්‍යවරුන්ට පවා හොයන්ට බැරි වුණා.”

ඉන්දියාවේද පාරම්පරික පොලු සටන් කරුවන් සිටින නිසා අගම්පොර සටන් පිළිබඳ කතාව පිළිගත හැකි කතාවකි. ඔහු නිහඬව බලා සිටියේය.

අ‍ෑත අතීතයේ මෙවන් කාපට් සහිත මංමාවත් ඇතිවන්ට පෙර ගස් කොළන්වලින් ගැවසී ගත් සුන්දර වන දහනක් ලෙස තිබෙන්ට ඇත. ගලා හැලෙන දිය ඇලිවලින් ගැවසී ගත බවට සාක්ෂි තිබේ.

කලකට පසු ‍ලැබුණ සුවපත් නින්දෙන් සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබී ඇතැයි ඔහුට හිතුණි. දේශපාලනය හා බැඳි පවුල් කීපයක් රහසින් තමාට එරෙහිව කුමන්ත්‍රණය කරන බැව් හේ දැන සිටියේ ය. විකලාංග තැනැත්තෙකුට රජකම දැරිය නොහැකි ය. එනිසා දෙවැනි හිමිකරු ලෙස රාම් මෝහන්ට පාලන බලය ලැබුණි. වැඩිමහල් සහෝදරයාගේ ගේ පුතා වන සංජයට සිහසුනට උරුමයක් නැත. දුරකතනය නාද වුණි.

“සර් මම අජිත් සිං”

“වෙරි සොරි මට අජිත්ගෙ අසනීපය ගැන අහන්ට බැරිව ගියා.

සෑහෙන්න අමාරු වුණා. දැන් හොඳයි.”

“හොස්පිටල් එකක නතර වුණා නම් ඉවරනෙ.”

“සර් මට නීලකගෙ අප්පා මොකක්ද බේතක් කුඩු කරල දවසට තුන් වරක් බොන්ට කිව්වා.”

“ඇයි අයිසෙ පිස්සු වැඩ කළේ. තමුන් ඩොක්ටර් කෙනෙක් නේද? සල්ලි අවශ්‍ය නම් මම දෙනවා නේද?”

“සල්ලි ප්‍රශ්නයක් නෙමේ. ඒක හොඳ බේතක් ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි දාල කොටපු බේතක්.

“මාත් කැමැති දේශීය වෙදකමට තමා.”

“සර් දැන් කොහෙද ඉන්නෙ?”

“බෙංගාලෙන් නරක ආරංචි කීපයක් ආවා. ඒක බොරුවෙන්න විදිහක් නෑ.”

“සංජය පාලන බලය අල්ලන්ට යනවා කියන එක එන්න කලින් දැන ගත්තා.”

“සර් මම අද චෙන්නායි යනවා. මම ගිහින් තොරතුරු කියන්නම්.”

“මේ ගමන ඉවරවෙච්ච ගමන් මම එනවා.”

“එතකොට සර් ආපු වැඩේ.”

“තවම ඒක හිතින් අයින් කරගෙන නෑ. ගිහින් දුවවයි මගේ බිසවවයි බේරාගන්ට මම එනවා කියන්න. අද හෙට මේකත් ඉවර කරනවා.”

සංජය කුමාර් සූදානම් ‍වන්නේ බලය අල්ලා ගැනීමටය. අද මනුෂ්‍ය ඝාතන සාමාන්‍ය දේවල් බවට පත්ව ඇත. එනිසා දේශපාලනය වෙනුවෙන් එවැනි දෙයක් සිදුවීමට ඇති අවස්ථා වැඩිය.

“මම ඉන්නෙ ප්‍රශ්න ගොඩක” චම්පා කීවාය.

“එච්චර හිතන්ට එපා”

“නීලක ඔයා අප්පව ටික දවසක් ‍තියාගන්න.”

“ටික දවසකට නෙමේ කැමැති නම් හැමදාම වුණත් තියා ගන්ට පුළුවන්. මොනවාද ප්‍රශ්න තියෙන්නෙ?”

“අප්පාට විරුද්ධව කුමන්ත්‍රණයක් තියෙනවා”‍

“ලංකාවෙදි මම අප්පාව ආරක්ෂා කරන්නම්. මට ඒ විතරක් මදි ඔයාවත් ආරක්ෂා වෙන්න ඕනෑ. ඔයා එන්න.”

“එන්න තමයි හිතන් ඉන්නෙ.”

“ඇයි එන්න බයද?” ඔහු ඇසුවේ ය.

“ලංකාවෙ අය වසයි. ලස්සන ගෑනු පෙන්වන්න බෑ. මාවත්.... සීතාව වගේ ගෙදර ගෙන යයි” කීවාය.

“පැහැර ගෙන ආව බව ඇත්ත. සීතාව රාම කුමාරයාට වගේ නිකම්ම අරන් යන්න වෙන්නෙ නෑ. මට දුවෙක් හරි පුතෙක් හරි දීලා තමයි එවන්නෙ”

“ඔයා ඇත්තටම නරකයි.” ඈ ............. සිනාසෙන හඬ ඇසුණි.

“දැන් කොහෙද යන්නෙ?”

“බුදු රජාණන් වහන්සේ වැඩපු මහියංගනට යනවා. ඊට පස්සෙ වැද්දො බලන්ට දබානට යනවා.”

“මාවත් එක්ක යන්න ඕනෑ”

“හිතේ ලොකු සැලැස්මක් නැත්තෙත් නෑ. මොනවා වේද කියන්ට බෑ. අප්පා නම් මට කැමැතියි වගේ. කුමරිය බලතන්හාව නිසා ඉතිහාසයේ මිනිසුන් නොයෙක් දේවල් කරල තියෙනවා.

“ඔව් ශ්‍රී වික්‍රම රාජසිංහ ඇහැලේපොළ නිලමේ ගේ බිරිඳව දියේ ගිල්වා මරල තියෙනවා.”

මේ ප්‍රශ්නය විස‍ඳෙන කල් ඔයා පිට රටකට ගිහින් හැංගිලා ඉන්න”

“මට ඒ කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් නෑ. මම ලංකාවට එනව. ඔයා මාව බලාගන්ට ඕනෑ.”

නීලක ඕනෑම විෂයයක් පිළිබඳව කතා කිරීමට දැන සිටි විද්වතෙකි. එහෙත් මහියංගණය පිළිබඳ ආගමික හා ඓතිහාසික තොරතුරු පැවසුවේ යසස් විසිනි. අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් නව වන මස දුරුතු පොහෝ දින පළමු වරට ලංකාවට වැඩම කළහ.

“මහවැලි ගඟ අසල යක්ෂ ගෝත්‍රිකයන්ගේ නැඟී සිටීමක් වෙලා. යක්ෂ - නාග ගෝත්‍රිකයන් අතර යුද්ධයක් මෙන් ම සිද්ධ වන ආරංචිය දැනගත් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරල දෙපාර්ශ්වය අතර වෙච්ච වියවුල සමතයකට පත් කළා” නීලක කීවේය. මෙවැනි කතා ඉන්දියාවේ නිබඳවම සිදුවෙන නිසා රාම් මෝහන් පිළිගත්තේ ය. ‍සමන්ත කූට වාසී සුමන රාජ දෙව්රජ තෙමේ පැමිණ ඇත.

“මහියංගණ වෛත්‍ය සාදන ලද්දේ බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතූන් වහන්සේ තැන්පත් කිරීමෙනි.”

“දේවානම්පියතිස්ස රජගේ චූලාභය කුමරු 30 රියනක් උසට ප්‍රතිසංස්කරණය කරල තියෙනව” යසස් කීවේය. හින්දු බැතිමතෙක් වුව ද රාම් මෝහන්තුමා මහියං‍ගණ ස්ථූපය වන්දනා කෙළේ ය.

“දැන් අපි බලන්ට යන ආදි වාස‍ීන් ද අවසාන පෙරහරට සහභාගි වෙනවා.”

මහියංගණය පසු කර යද්දී පරිසරයේ උණුසුම් බවක් ඇති වූවා.

“දැන් අපි කොහෙද යන්නෙ?”

“සර් අපි යන්නෙ ආදිවාසීන් බලන්න.”

“ඒ අය තවම සත්තු දඩයම් කරන දඩයම් යුගයේ ජීවත්වන අයද?” රාම් මෝහන් ඇසුවේ ය.

“දැන් මැද වැදි පරම්පරාවල අය ඉගෙන ගන්නවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු වැදි පරපුරේ අය ඉන්නවා” නීලක කීවේ ය.

“වන්නිල ඇත්තො තවම වැදි සංස්කෘතිය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. තරුණ පරපුරේ අය අමුඩෙ ගහල පොරව කරේ තියාගෙන ඉන්නෙ නෑ.”

“ඉන්දියාවෙත් ඒවගෙ ගෝත්‍ර නැතිවෙලා ගිහින්.

ඔව්හු දඹානේ වැදි ජනතාවගේ අනන්‍යතාව දැක්වෙන කෞතුකාගාරය නැරඹූහ. මහාරාජාට ආදිවාසී නායකයා මුණ ගැසිණි. ඔහුට වන්නිලඇත්තන් සමඟ පිළිසඳරක යෙදීමට භාෂා පරිවර්තකයන් උදව් කළහ.

ලබන‍ සතියට...

අදහස්