පුංචි තිරේ අවු­රුදු සිරි | සිළුමිණ

පුංචි තිරේ අවු­රුදු සිරි

තුන් හෙළයේ මහා කලා මංගල්‍යය අදයි. මුළු රටම අවුරුදු අසිරිය සමරන මොහොතක සූර්ය මංගල්‍යයයේ ඒ අසිරිය ලොවටම කියන්නට මෙවරත් අපේ රටේ රූපවාහිනි නාළිකා සූදානම්. හෙළ සිරිතට මුල් තැන දෙමින් අපේ සංස්කෘතිය, අපේ අනන්‍යතාව ඉදිරියට රැගෙන යාමේ මෙහෙවර ඉටුකරන රූපවාහිනී නාළිකා ඔබත් එක්ක අලුත් අවුරුදු අසිරිය සමරන්නේ කොහොමද කියලා ඔබට කියන්නටයි මේ සූදානම.

ජාතික රූපවාහිනිය සිරිලක පිරි අවුරුදු සිරි අද තිස්සමහාරාමයේදී

ජාතික නාළිකාව මෙවරද අවුරුදු උදාව වෙනුවෙන් සූර්ය මංගල්‍ය 2019 තිස්සමහාරාමයේ සිට සජීව ලෙස ඔබ වෙත ගෙන එයි. අවුරුදු උදාවට පෙර 13 දින උදෑසන වීරවිල සිට අවුරුදු විශේෂාංග සජීවි ලෙස ඔබ වෙත රැගෙනා එන්නට කටයුතු කළේය.

අද (14) උදෑසන 8.00 සිට අවුරුදු විශේෂ අවස්ථා විකාශය වන අතර ප.ව. 1.00 සිට 4.30 දක්වා ජනාධිපති නිල නිවස, රූපවාහිනී පරිශ්‍රය සහ තිස්සමහාරාමයත් සම්බන්ධ කරගෙන ගෙන එන අවුරුදු නැකැත් චාරිත්‍ර වාරිත්‍ර සජීවී ලෙස විකාශය කීරිමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

අවුරුදු තේමා කරගනිමින් ජනප්‍රිය තරු පිරිවරා නුවරඑළියේදී පැවැත්වෙන ‘සිරිලකපිරි අවුරුදු සිරි ‘සංගීත ප්‍රසංගයද අද රාත්‍රි 9.00 සිට ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකියි.

හෙට දින (15) ප්‍රදේශ රැසක් ආවරණය කරමින් දැවැන්ත පාපැදි තරගයක් පැවැත්වෙන අතර එදින සවස 6.00 සිට රූ කිරුළ 2019 රූපවාහිනි අවුරුදු කුමරිය අවසන් මහා තරගයේ සුන්දර අවස්ථා ඔබටද සජීව ලෙස නැරඹීමට ද අවස්ථාව උදාවේ. එදින රාත්‍රී තිස්සමහාරාමයේ සිට ගෙන එන දැවැන්ත වු සංගීත ප්‍රසංගය සඳහාද සියලු කටයුතු සූදානම්ය.

(ITN) ස්වාධීන රූපවාහිනි අලුත් අවුරුදු අලුත්ම විදියට

ස්වාධීන රූපවාහිනි ඔබේ පවුලේ නාළිකාව මෙවර අලුත් අවුරුද්ද සමරන්නේ අලුත්ම විදිහකටයි. කටුමැටි ගොඩනැගිල්ලක අකුරු කළ මධුරංකුලිය වේලාසීය රජයේ පාසලට නව ගොඩනැගිල්ලක් ඉදිකරදීම සහ කීර්ති සිංහගම අසරණ පවුලකට නව නිවසක් ඉදිකරදීමට නාළිකාවක් ලෙස ඔවුන් කටයුතු කළා.

අලුතින් ඉදිකළ එම නිවසේ සිට නැකතට අනුව අද (14) කිරි ඉතිරවීම ස්වාධීන රුපවාහිනිය ඔස්සේ සජීවිව ප්‍රේක්ෂක ඔබට දැකබලා ගැනිමට පුළුවන් කියලයි එහි විධායක අධ්‍යක්ෂ චන්දනද අල්මේදා අපිත් සමඟ පැවසුවේ.

‘සුර්ය මංගලය 2019 ‘ ITN අවුරුදු උලෙළ මෙවර පැවැත්වෙන්නේ ආණමඩුව, ආඬිගම දේවාල හන්දිය, සියඹලන්කොටුව වැව්තාවුල්ලේ සිටයි. අවුරුදු උදාවට පෙර පසුගිය 11 වන දින විවෘත පාපැදි තරග පැවැත්වූ අතර 12 වැනි දින උදෑසන 8.00 සිට පිහිනුම් හා ඔරු පැදිමේ තරග පැවැත්විණි.

සූර්ය මංගලයට සමගාමීව ඊයේ දින දවස පුරා අවුරුදු විශේෂ වැඩසටහන් ප්‍රේක්ෂක ඔබට සජීව් ලෙස රැගෙන ආ අතර අද ප.ව 12.30- 4.00 දක්වා අවුරුදු නැකත් චාරිත්‍ර වැව්තාවුල්ලේ සිට සජිවි ලෙස විකාශය කෙරේ. ප්‍රේක්ෂක ඔබ මෙතෙක් බලා සිටි ITN අවුරුදු කුමරා කුමරි අවසන් මහා තරගය අද (14) ප.ව. 4.00-6.30 දක්වා පැවැත්වේ.

සිරස වසන්ත උදානය ගුවන් හමුදාවත් සමඟ

වසර 20 කට ආසන්න කාලයක සිට පවත්වන ‘සිරස වසන්න උදානය‘ මෙවර පවත්වන්නේ ගුවන් හමුදාව හා එක්වයි. ඒ හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩා පිටියේදී. සිංහල අවුරුදු උලෙළට සාපේක්ෂව අවුරුදු උදාවට පෙර දින ඊයේ උදෑසන සිට අවුරුදු ජන ක්‍රීඩා රැසක් පැවැත්වූ අතර සිරස අවුරුදු කුමරා, කුමරි අවසන් තරගද පැවැත්වුණා.

කවදත් අලුත් ඔබට තිළිණ කරන සිරස වසන්ත උදානය සිරස මහ ගොවියා තේරීමේ තරගය කාගෙත් කතාබහට ලක්වුණා.ගුවන් හමුදාව ඉදිරිපත් කළ අංගම්පොර සන්දර්ශනයද අවුරුදු සිරිය තවත් ලස්සන කළා. අද දින අලුත් අවුරුදු උදාවත් සමඟ සිදුවන අලුත් අවුරුදු නැකත් හා චාරිත්‍ර වාරිත්‍ර ගුවන් හමුදා කඳවුරේ සිට සජිවීව ප්‍රේක්ෂක ඔබ වෙත සමීපකරන්නට මේ වන විටත් සූදානම්.

හිරු සූර්ය සිංහ මහා මංගල්‍යය කලා කරුවන් සමඟින්

හැම අවුරුද්දකම වගේ හිරු නාළිකාවේ අවුරුදු මෙවරත් විශේෂයි. වෙනදා වගේම මේ අවුරුද්දෙත් හිරු ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක් තිළිණ කරන්න සුදානම්.

අවුරුදු උදාවට පෙර 13 වැනි දින සෙනසුරාදා උදාසන කලාකරුවන් සහභාගී වූ ‘රස සාදය‘ වැඩසටහන හිරු අවුරුදු සිරිය වර්ණවත් කළා. ඊයේ පැවැති සාම්ප්‍රදායිකව අවුරුදු කුමරා සහ කුමරි තේරීමේ තරගයට නව මුහුණුවරක් එක්කරමින් හිරු අලුත්ම විශේෂාංගයක් එක් කර තිබුණා. ඒ තමයි තරු සිඟිති අවුරුදු කුමර කුමරිය තේරීමේ තරගය.

මෙය ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයක් යොමු වූ අංගයක් බවට පත්වුණා. සිඟිති අවුරුදු කුමරා කුමරිය, තරු සිඟිති අවුරුදු කුමරා කුමරිය, සහ හිරු අවුරුදු කුමරා කුමරිය වශයෙන් කාණ්ඩ තුනක් යටතේ තරග පැවැත්වූණා.

හිරුත් එක්ක මෙවර අවුරුදු සමරන්න කලා කරුවන් විශාල පිරිසක් හිරු වටා එක්රොක්වෙලා ඉන්නවා කියලා අපට දැනගන්නට ලැබුණා. ලංකාවේ වැඩිම කලාකරුවන් පිරිසක් සහභාගී වන අවුරුදු විශේෂ වැඩසටහන ගම්පහ සිට අද දහවල් 12.30 සිට සජීවී ලෙස විකාශය කරන බව හිරු වැඩසටහන් අධයක්ෂක විරාජ් වැලිවත්ත රසඳුනට කියා සිටියා. ඒ විතරක් නෙමෙයි කලාකරුවන් සහභාගීත්වයෙන් පැවැත්වෙන සවස 5-7 දක්වා පැවැත්වෙන අවුරුදු සාජ්ජයක්ද, වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන විශේෂ වූ ‘කොෆි චැට්‘ වැඩසටහන අද රාත්‍රී 10.30 සිට ප්‍රේක්ෂක ඔබ වෙතට ගෙන ඒමට හිරු සූදානම්.

දෙරණ කලාගමේ අවුරුදු තරු පිරිවරා

වෙනදා වගේම දෙරණ නාළිකාව මෙවරද අවුරුදු සමරන්නේ කලා ලොවේ තරුත් සමඟයි. අවුරුදු උදාවට පෙර ඊයේ ඩ්‍රීම්ස්ටාර් තරු සමඟ අවුරුදු, අවුරුදු කුමරා සහ කුමරිය, 60 plus විශේෂ අවුරුදු, සහ අවුරුදු ටෙලිනාට්‍ය සහ යශෝධරා චිත්‍රපටය දින විශේෂ අවුරුදු වැඩසටහන් රැසක් ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්ම තිළිණ කළ අතර අද උදෑසන සිට අවුරුදු වැඩසටහන් රාශියක් ඔබ වෙත සමීප කරන්නට සූදානම් කියලයි අපට දැනගන්නට ලැබුණේ. තරු පිරිවරා පවත්වන කලා ගමේ අවුරුදු වගේම සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය, චැම්පියන් ස්ටාර් විශේෂ අවුරුදු වැඩසටහන, දෙරණ අවුරුදු කුමරා සහ කුමරිය අභිෂේක ගන්වන අවස්ථාවද ප්‍රේක්ෂක ඔබට සමීප කරන්නට tv දෙරණ සූදානම්.

අදහස්