සැල­සුම් ගොඩක් තියෙ­නවා ඉදි­රි­යේදී දකින්න ලැබෙයි | සිළුමිණ

සැල­සුම් ගොඩක් තියෙ­නවා ඉදි­රි­යේදී දකින්න ලැබෙයි

අපේ රටේ රූපවාහිනී නාළිකාවල විකාශය වන සංගීත වැඩසටහන් අතරට අලුත් ආරක වැඩසටහන් ලෙස දෙරණ නාළිකාවේ “මා නොවන මම” සහ “ලෙය සහ ලය” යන වැඩසටහන් හැදින්විය හැකියි. එහි වැඩසටහන් නිෂ්පාදක වන චින්තක දිලංග ගම්ලත් සමඟ කළ කතාබහකි මේ.

මේ ක්ෂේත්‍රයට යොමු වුණේ කොහොමද?

පුංචි කාලෙ සිටම දක්ෂයි කියල අම්මා තාත්තා කියනවා මතකයි. පස්සේ ඉස්කෝලේ යද්දි ගුරුවරු දක්ෂතා හඳුනාගෙන රූපවාහිනියේ වැඩසටහන්වලට යොමු කළා. එයයි මේ ගමනට මුල් අඩිතාලම.

මේ ගමනේ ඉදිරියට යන්න ඔබ ගත් උත්සාහය ගැන කිව්වොත්.

පන්නිපිටියේ ධර්මපාලයෙන් ඉගෙනුම ලබා උසස් පෙළින් පස්සේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන පාඨමාලාවක් හැදෑරුවා. එය තමයි ක්ෂේත්‍රයට එන්න ගත් මුල්ම උත්සාහය.

දෙරණ නාළිකාවට අමතරව වෙනත් නාළිකාවල වැඩ කර තියෙනවද?

ඔව්. නාළිකා කීපයකම වැඩ කළා. දැනට දෙරණ නාළිකාවේ වැඩ කරනවා. ඊට පෙර වැඩකළ නාළිකාවලින් මේ හොඳ පන්නරයක් ලැබුවා. එය මතක් කළ යුතුයි.

මේ නාළිකාවට ඇවිත් කොච්චර කල්ද?

වසර එකොළහයි. මේ කාලයේ ලබාගත්ත අත්දැකීම් නම් හරිම වටිනවා.

තිරයෙන් පිටුපස සිට දක්ෂතා දක්වන කලා කරුවෙක්, කැමති නැද්ද තිරය ඉදිරියට පැමිණ ඔබේ දක්ෂතා පෙන්වීමට.

තවම එහෙම අදහසක් නෑ. ඉදිරියේදී මොනව වෙයිද කියා බලමු.

“ලෙය සහ ලය” “මා නොවන මම” වැඩසටහන් පමණ ද ඔබ නිෂ්පාදනය කරන්නේ.

දැනට එපමණයි. මීට පෙර ස්ටාර් චැලෙන්ජ්, දෙරණ මියුසික් විඩියෝ අවෝඩ්ස්, යු ටර්න්, කළම්බු ෆැෂන් ‍ෂෝ වැනි වැඩසටහන් මීට පෙර ප්‍රේක්ෂක හමුවට ගෙන ආවා. ඩෙල්ෆ් ස්ටුඩියෝ සහ සිංහගිරි ස්ටුඩියෝ fm ඇටෑච් ෂෝ ඒ අතරින් විශේෂයි.

මේ තාක් කළ වැඩසටහන්වලට කිසියම් ඇගයීමයක් ලැබී හැද්ද?

සම්මාන කීපයක්ම ලැබුවා. 2014 හොඳම සංගීත වැඩසටහන් අධ්‍යක්ෂණය (ඩෙල්ෆ් ස්ටුඩියෝ පළමු අදිරය) 2015 – 2016 හොඳම සංගීත වැඩසටහනට හිමි රාජ්‍ය සම්මානය 2018 රයිගම් ටෙලිස් (ඩෙල්ෆ් ස්ටුඩියෝ සහ සිංහගිරි ස්ටුඩියෝ පළමු අදියර) 2018 හොඳම සංගීත වැඩසටහනට හිමි “මා නොවන මම” වැඩසටහනට රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා.

සම්මාන කිහිපයක්ම පිදුම් ලැබීම ගැන සතුටුයි ද?

බෙහෙවින් සතුටුයි. පළමුව ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ආ ගමනට උදව් කළ අයට සහ සම්මාන ලබා දීමට තීරණය කළ පිරිසටත් මගේ ප්‍රණාමය.

මේ ගමන සාර්ථක කරගන්න උදව් කළ අය ගැන මතක් කළොත්.

පළමුවෙන්ම මගේ මවුපියන් ඇතුළු පවුලේ සියලුම දෙනා, ගුරුවරු, දැනට දෙරණ නාළිකාවේ සභාපති දිලිප් ජයවීර, උප සභාපති ලක්සිරි වික්‍රමගේ, විධායක අධ්‍යක්ෂ මාධව මඩවල වැඩසටහන් අධ්‍යක්ෂිකා. ෂර්මිලා ධර්ම රාෂා සාමාන්‍යධිකාරී පසු නිෂ්පාදක තරංග කුමාරසිංහ කැමරා සහාය ආලෝකකරණය අංශ ප්‍රධානී සරත් සෙනෙවිරත්න යන අය අමතක කරන්න බැරි පිරිසක්. ඒ වගේම සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන බුද්ධික දිසානායක සොහොයුරාත් අමතක කරන්න බෑ.

සංගීත වැඩසටහන්වලට අමතරව වෙනත් වැඩසටහන්වලට සිත යොමු කරන්නේ නැද්ද?

යොමු කරලා තියෙනවා. ඒ ගැන ලොකු සැලසුමක් තියෙනවා. ඉදිරියේදී ඒ පිළිබඳ ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන් වේවි.

ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කවදා ද ඔබේ රුව දකින්නට ලැබෙන්නේ.

සම්මාන උලෙළකදී තමයි. නැත්නම් දකින්න වෙන්නේ මුහුණු පොතෙන්.

ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වන අලුත් වැඩසටහන් මොනවාද?

එකිනෙකට වෙනස් වූ වැඩසටහන් ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන්නයි හිතාගෙන ඉන්නේ.

ක්ෂේත්‍රයට එන නවකයන්ට මොනවද කියන්න තියෙන්නේ.

රූපවාහිනී නාළිකාවලට අදාළ පාඨමාලා හොඳින් හදාරල එනවනම් තමයි හොඳ. ඇත්තටම මේ ක්ෂේත්‍රයට උත්සාහය, කැප වීම නැත්නම් කිසි දෙයක් හරියට කරන්න බෑ කියන එකයි මගේ හැඟීම.

පවුලේ විස්තර දැනගන්න කැමැතියි.

බිරිය සහ දරුවන් තමයි මගේ ලෝකය. මගේ මවුපියන් දැන් විශ්‍රාම සුවයෙනුයි ඉන්නේ. සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා.

පවුලේ කවුද මේ ක්ෂේත්‍රයට දැනට යොමු වෙලා ඉන්නේ.

මම විතරයි පවුලේ අනෙක් අයට නම් මේ ක්ෂේත්‍රයට එන්න අදහසක් නෑ වගේ. ඒ අය මේ ක්ෂේත්‍රයට යොමු වුණොත් හැකි පමණින් උදව් කරනවා.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්.

ප්‍රේක්ෂකයන් තෘප්තිමත් කරමින් අලුත් දේ ඔවුන්ට දෙමින් ඉදිරියට යන්න එකම බලාපොරොත්තුව. ඉදිරියෙදි වැඩසටහන් කීපයකටත් අත ගහලයි තියෙන්නේ. ඒවා ඉදිරියේදී බලන්න පුළුවන්. 

 

අදහස්