සිංහල අලුත් අවු­රුද්දේ අතීත මතක සැම­රුම් | සිළුමිණ

සිංහල අලුත් අවු­රුද්දේ අතීත මතක සැම­රුම්

උස් තුරු මුදුන්වල, ලඳු කැලෑවල පමණක් නොවෙයි මිදුලේ මල් පඳුරු වලත් නමක් නැති මල් නිමක් නැතිව පිපෙන්නට පටන් ගන්නේ ජනවාරි පෙබරවාරි මාස වල සිටමයි. අඹ ගස්වල කජු ගස්වල මල් හැදිලා අතු ඉතිබර වෙන්න ගෙඩි පිරෙන්නෙත් මේ කාලයේමයි. ගොයම් කපලා අස්වැන්න ගෙට ගත්තට පස්සේ අවුරුදු පාසල් නිවාඩුවේ කොල්ලෝ කෙල්ලෝ වෙල් ඉපනැල්ලේ දුව පැන නටන්නෙ වෙලාවක් නැතිව. ඒ එදා. දැන් එහෙම නැහැ. දැන් ළමයි වැඩිහිටියෝ නොනගතයටත් ඉන්නේ එක්කෝ ටැබ් එකේ. එහෙමත් නැත්නම් ෆෝන් එකේ. වැඩිහිටියෝ මැසිවිලි නඟන්නේ එහෙමයි.

කාලෙ වෙනස් වුණාට සමාජයේ ජීවත් වන්නවුන් වෙනස් වුණාට අපට පරිසරයේ රටාවට බොරු කරන්නට බැහැ කියලා දැනෙන්නේ ගහ කොළ මලින් පලින් බරවෙලා බක්මහ සරුසාර කරන අයුරු දකිනවිටයි. මේ සියල්ලම සිදුවන්නේ ඉබේ. ඉස්සර තරම්ම නැති වුණත් දැනුත් කොහේ හෝ දුර ඈතක සිට හඬනගන කොහෙක්ගේ හඬක් ඉදහිට හෝ අසන්නට ලැබෙනවා. විසි එක්වන සිය වසේ සිට මීට අවුරුදු තිහකට තිස්පහකට පෙර අතීතය දෙස හැරි බැලීමේදි අපේ ළමා වියේ සිංහල අවුරුද්ද කොතරම් නම් සුන්දර ද කියා සිතේ.

තරගයට උපකාරක පන්ති යාමේ වුවමනාවක් එකල අපට නොතිබිණි. මවුපියන්ටද විභාග වලට තරග කරවීමේ වුවමනාවක් නොතිබිණි. එනිසා පාසල් නිවාඩුව නිදහසේ ගත කරන්නට අපට ඕනෑ තරම් ඉඩ තිබිණි. අප ජීවත් වුයේ නාගරික පරිසරයක් තුළ වුවද එය අද මෙන් එය අතිශයින් නාගරීකරණය වී නොතිබිණි. දෙවැටේ එක් වැට මායිමක තිබුණේ එරබදු වැටියකි.

මේ එරබදු වැටියේ අවුරුදු මාසයට මල් පිපිණි. අපේ මිදුලේ අඹ ගසේ එක් අත්තක ඔංචිල්ලාවක් බඳින තාත්තා එය මුලින් ම පදින්නේය.

ඒ කඹය හයියදැයි කියා බලන්නටය. විටෙක මා තනිවමද තවත් විටෙක අයියාගේ හෝ අක්කාගේ උකුලේ වාඩි වී මා ඔංචිලි පදින්නෙමි. උදෑසන සිට සවස් වනතුරුම දවස ගෙවෙන්නේ ඔංචිල්ලාවේය. කැට ගැසීම, පංච දැමීම මෙන්ම අහල පහළ ළමයි සමඟ එක්වී අවුරුදු උත්සව පැවැත්වීම ද එකල සිදුවුණි.

අපි ජීවත් වූ පරිසරයේ ආගම් කිහිපයකම ජනතාව සිටියහ. නමුදු මේ කිසිවෙක් අතර වෙනසක් නොවිණි. සිංහල අවුරුදු දා සැම නිවෙසකටම කෑම පිඟානක් යැවීම අම්මාගේ සිරිතය. ආගමික වතාවත් කිරීමට පන්සල් යාම අනිවාර්යයෙන්ම සිදුවිය. බුලත් හුරුල්ලක් ගෙන අම්මාට තාත්තාට හා අක්කලා අයියලාට වැඳීම මෙන්ම ආහාර අනුභවයට වේලාව පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා හිදීම සොඳුරු අත්දැකීම්ය. කාගෙ කාගෙනුත් රුපියලක් දෙකක් ලැබෙන නිසා ගනු දෙනු කිරිමේ නැකත පුංචි සිතට සතුටකි. වයසින් වැඩි මහලු වුවද බක්මහ ගැන සිහිපත් වන විට අප අදත් ජීවත් වන්නේ සුන්දර බාල කාලයේය.

එතරමටම එදා අවුරුද්ද සුන්දරය. සියල්ල විකිණෙමින් තිබෙන සමාජයක අද වන විට අවුරුද්ද ද විකිණී හමාරය. දැන් අපට අවුරුදු සිරිය ගෙනෙන්නේ මුහුණු පොතය, රුපවාහිනියය, විද්‍යුත් මාධ්‍ය විසින්ය.

රෙදි කඩ ගාණේ , වෙළෙඳ සල් ගාණේ විකිණෙන සිංහල අවුරුද්ද පසෙකින් තබා එය බක්මහ අසිරිය විඳින්නට මේ සමාජය තුළ යම් ඉඩක් සැලසෙන්නේ නම් එය කොතරම් අපූරුද?. අපේ ගීත සාහිත්‍ය තුළ බක්මහ අසිරිය ගැන කියැවෙන ගී බොහෝය. මෑතකදී අසන්නට ලැබුණ මේ ගීතය හිතේ ඇති කළේ අපූරුවකි. නගරබද අපට කෙසේ වෙතත් තවමත් ඈත පිටිසර ගම්මාන වල අවුරුදු අසිරිය සොඳුරුය. කොතරම් දියුණු පරිසරයක සිටියද අප කැමැති එදා දුටු අවුරුදු අසිරිය දකින්නටය. අවාසනාව නම් එදා සමාජය තුළ තිබූ ඒ බක්මහ අසිරිය අද පරපුරට අත්විඳින්නට නොලැබීමයි.

කාගෙන බීගෙන පිස්සු නටන සංගීත සංදර්ශන අවුරුදු උත්සව වලට වඩා එදවස සාමුහිකත්වයෙන් පැවැති පුංචි අවුරුදු උත්සව කොතරම් නම් අපූරුද?. ගමේ තරුණයක තරුණියක හා හාද වූයේද ආදරයෙන් බැඳුණේද මෙවන් සාමූහික උත්සව අවස්ථාවකදීය.

වෘත්තියෙන් ගුරුවරයකු වන විශ්ව මීට පෙරද ගීත කියිපයක්ම රචනා කර ඇත.

“අලුත් අවුරුද්ද උදාවෙනවා“ යන බක්මහ ගීතය විශ්ව රචනා කර ඇත්තේ ඉතා කෙටිකාලයකදීය.

“දිනක් සජීව සංකල්ප සොයුරා මට ඔහු කළ ගී තනුවක් අසන්නට සැලැස්සුවා. කිහිප වරක්ම මම එය ඇසුවා. සජීව මට කිව්වා මේ තනු නිර්මාණයට අවුරුදු ගීතයක් ලියා දෙන්න කියලා. ඔහු ඒ ඉල්ලීම කර විනාඩි කිහිපයකට පමණ පසු තමයි මම මේ ගීතය ලිව්වේ. අද අපි මේ සමාජය තුළ බොහෝම කාර්යය බහුලයි. හැමදේම මුදල මතයි තීරණය වන්නේ. සිංහල අවුරද්ද තුළ වුණත් දැන් අපේකම නැතිවෙමින් යන තත්වයක් තියෙන්නේ. ඒ ගැන මගේ හිතේ තියෙන්නේ කනගාටුවක්. මේ කනගාටුවත් එක්ක තමයි මේ ගීතය ලියැවුණේ.“

සිංහල අවුරුද්ද උදාවෙනවා ගීතයේ පසුබිම පිළිබඳ එහි පද රචක විශ්ව පවසන්නේ එලෙසිනි. 

අදහස්