සිනා කතා | සිළුමිණ

සිනා කතා

සාදුකින් විතරක් නෙමෙයි

 

“සහෝදරයා, මෙදා පාර මැයි දිනේදී අපිට හැම අවුරුද්දෙම ගායනා කරන ‘සාදුකින් පෙළෙන වුන් - දැන් ඉතින් නැගිටියව්’ කියන සින්දුව ටිකක් වෙනස් කරලා ගායනා කරන්ඩ වෙනවා.” කල්දේරා කීවේ පක්ෂයේ මාසික රැස්වීම අවසානයේදී තම හිතවතෙකු සමඟ ආපසු යමින් සිටියදීය.

“පිස්සු ද සහෝදරයා, ඒ සින්දුව එහෙම වෙනස් කරන්ඩ පුළුවන් එකක් යැ! ඇත්තටම මොකද ඔහේට හදිස්සියෙම ඔහොම දෙයක් ඔළුවට ආවේ.” ප්‍රේමසිරි ඇසුවේ මවිතය පළ කරමිනි.

මැයි මාසෙ වෙද්දිත් ‍මේ සැර අව්ව රස්නෙ අල්ලලා හිටියි කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් පත්තරේක කියල තියෙනවා මම දැක්කා. එතකොට ‘සාදුකින්’ කියා විතරක් නෙමෙයි සා පිපාසාවෙන් පෙළෙන වුන් කියලා අපිට කියන්ඩම වෙනවා.” කල්දේරා කීවේ ය.

 

සංග්‍රහ කරන්නෙ වෙන කොහොමද?

 

“ගේට්ටුවේ බෙල් එක වදිනවා ඇහුණු ගමන් පොල්ලකුත් අරගෙන දුවන්ඩ හදන්නේ. ඇත්තටම ඔහේට අමු කැවිලද? හොරෙක් හතුරෙක් ගෙට එනවද මේ දවාලෙ, අනික බෙල් එක ගහලා?” චාන්දනී තම සැමියා දෙස බලා කීවේ අවඥාවෙනි.

“නොදන්න දේට කට නොදා හිටහන් ගෑනියේ. ඈ මේ වෙලාවට බෙල් එක ගහන්නේ ෂුවර් එකටම ලයිට් බිල බලන්න එන විදුලි බල මණ්ඩලේ හාදයම තමයි. හිටපු ගමන් ලයිට් කපලා අපිට ලොකු අමාරුවක දැම්මා මදිවට දැන් ලයිට් බිල බලන්ඩන් එන එකාට වෙන කොහොමද සංග්‍රහ කරන්නෙ?” කුමාරසිරි කීවේ දත්මිටි කමිනි.

 

ඒගොල්ලොත් එහෙම කළොත්...?

 

“අවුරුද්ද කටමුලට ඇවිල්ලත් තවම කොහා අඬනවා දැනුණෙම නැහැනෙ. මේක හරි පුදුම වැඩක්නෙ.” ශාන්ති තම සැමියා දෙස බලමින් කීවාය.

“පුදුම වෙන්ඩ දෙයක් නැහැ හාමි‍නේ. මේක තමයි අපේ ඉල්ලීම් දිනා ගන්ට හොඳම අවස්ථාව කියලා හිතලා කො‍හා සංගමයත් අපේ දොස්තරලා වගෙ ඒ ගොල්ලන්ගේ ඉල්ලීම් මුල් කරගෙන, අවුරුද්දට සද්ද නොකර ඉන්ට වර්ජනයක් කළාද කියල කවුද දන්නෙ?’ චන්ද්‍රසිර කීවේ බැරැරුම් ස්වරයෙනි.

 

අඳින්නෙ මොන පාට වස්ත්‍ර ද?

 

“කොහෙද අනේ ඔයා මේ අවුරුද්දේ ලිත අනේ තිබ්බේ? මම මේ තකහනියෙන් ඒක හොයන්නෙ මේ සැරේ අවුරුද්දට අඳින්ඩ නියම කරල තියෙන්නෙ මොන පාට වස්ත්‍රද කියල දැනගන්ඩ.” ශාන්ති පොත් කබර්ඩයක් මත ගොඩ ගසා තිබූ ෆයිල් අවුස්සමින් තම සැමි‍යාගෙන් ඇසුවේ තරමක නොඉවසිල්ලකිනි.

“මෙදා පාර අවුරුද්දට අඳින්ට ඔය මොන පාටක වස්ත්‍ර නියම කරල තිබුණත් වැඩක් නැහැ හාමිනේ. මේ දවස්වල තියෙන රස්නෙ සිංහල අවුරුදු කාලෙට තවත් වැඩි වෙනවලු නෙ. එතකොට ඉතින් සිංහල අවුරුද්දට නිර්වස්තරේ ඇදගෙන තමයි ඉන්ඩ වෙන්නෙ.” චන්ද්‍රසිරි කීවේ සාවඥ ස්වරයකිනි.

 

එහෙම කළේ පුරුද්දට

 

“මොකද රුවිනි ඔයා අපේ ඉස්ටෝරු කාමරේට ගිහින් හරියට හොරෙන් මොනවා හරි කනවා වගෙ කැවුම් කන්නෙ. මොකෝ ඔයාට ප්‍රසිද්ධියේ කැවුම් කන්ඩ කවුරුහරි තහනම් කරල තියෙනවද?” සැමියා ඇසුවේ තම බිරියගේ නොමනා හැසිරීමක් දැකීමෙන් ඇති වූ නොරිස්සුම ප්‍රකාශයට පත් කරමිනි.

“නෑ අනේ මේ සැරේ නාට්‍ය උලෙළෙදී අපි උලෙළට නාට්‍ය ඉදිරිපත් කරපු නාට්‍ය කණ්ඩායම්වලට, එතකොට උලෙළට සහභාගි වුණු ආරාධිත අමුත්තන්ට හොරෙන් තෝරා ගන්න කට්ටියක් විතරක් එක්ක ගිහින් නෙ තේ බිව්වේ. ඒ පුරුද්ද හින්දයි අනේ මම ස්ටෝරු කාමරේට ගිහින් කැවුම් කෑවේ. “දමිත්ට තම ගුප්ත චර්යාව පැහැදිලි කරමින් රුවිනි කීවාය. 

අදහස්