හොලි­වු­ඩයේ බිය­කරු සිහි­නය ‘අස්’ us | සිළුමිණ

හොලි­වු­ඩයේ බිය­කරු සිහි­නය ‘අස්’ us

සැමියා, පුතු සහ දියණිය සමඟ ඇඩිලේඩ් විල්සන් කුඩා වියේ සිට හැදුණු වැඩුණු වෙරළාසන්න නිවෙසට පැමිණියේ ළමා වියේ මතකයන් ද සමඟිනි. වැඩිකල් නොගොස්ම ඇයට පරිසරයේ කුමන හෝ භයංකර දෙයක් සිදුවන බව වැටහිණි. තමන්ට වැටහුණු දේ හිතලුවක් නොව සැබෑවක් බව ඇඩිලේඩ් අත් දැක්කේ වෙස් වලාගත් අමුත්තන් සිව් දෙනකු නිවෙසට කඩා වැදීමෙන් පසුවය. ඇඩිලේඩ් ඇතුළු පවුලේ සාමාජිකයන්ට ජීවිතය බේරා ගැනීම සඳහා ලොමු ඩැහැ ගැන්වෙන සටනක් කිරීමට සිදුවිය.

වෙස් මුහුණු පැලඳ ගත් ආගන්තුකයන්ගේ මුහුණු ගැලවුණු පසු විල්සන් පවුලට ඔවුන් සිව් දෙනාට ඇත්තේ තම පවුලේ සාමාජිකයන්ගේ පෙනුමම බව දැන ගැනීමට ලැබීමෙන් බිය තවත් උත්සන්න වෙයි. ‘අස්‘ 2019 වසරේ අතිසාර්ථක ලෙස තිරගත වන භීහත්ස්‍ය රසයෙන් පිරුණු හොලිවුඩ් සිනමා පටයකි.

භයානක රසය ගෙනෙන සිනමා පට සහ විකට සිනමා පට අදියුරුවමට උපන් හපන්කම් පාන ජෝඩන් පීලේගේ ‘අස්‘ මේ වසරේ වැඩිම ආදායම් ලද සිනමා පට දහයෙන් එකකි. පීලේ හා හා පුරා කියා අධ්‍යක්ෂණය කළ සංත්‍රාසය ගෙනෙන ‘ගෙට් අවුට්‘ (2017) සහ ඔහු නිෂ්පාදනය කළ බ්ලැක්ක්ලාන්ස්මන් (2018) ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ විය.

ඇඩිලේඩ් විල්සන් සහ රෙඩ් ලෙස මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ලුපිතා නියොන්ගෝය. ඇකඩමි සම්මානලාභී කෙන්යානු මෙක්සිකානු නිළි ලුපිතා අමොන්දි නියොන්ගො සිය චරිත රංගනයට ‍නොමඳ පැසසුම් ලබමින් සිටියි. ඇය රඟන්නේ ස්පාස්මෝඩික් ඩිස්පෝනියා නම් දුලබ වාග් අක්‍රමිකතාවට සමාන තත්ත්වයක් ඇති කාන්තාවකගේ චරිතයකි.

වින්ස්ටන් ඩියුක් , ගේබ්‍රියල් සහ ඒබ්‍රහම්ගේ චරිතය නිරූපණය කරයි. අම්බ්‍රේ සහ සෝරා විල්සන් ලෙස රඟන්නේ ශාහදි රයිට් ජෝශප්ය. එවාන් ඇලෙක්ස් ජේසන් ලෙසත් ප්ලූටෝ ලෙසත් රඟන්නේය.

මේ සෑම චරිතයක්ම ද්විත්ව චරිතයක් වීමද සුවිශේෂීය. සිනමා පටයේ සංගීතය මයිකල් ඒබල්ස් ගෙනි. මිනිත්තු 116ක් පුරා තිරගත වන සිනමා පටය මේ වන විට ලබා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 180 කට අධිකය.


පෙරන්බු Peranbu (අනුකම්පාව)

මමූති, අන්ජලී, සධානා, අන්ජලී අමීර් ප්‍රධාන චරිත රඟන පෙරන්බු විශිෂ්ට නිර්මාණයක් ලෙස අන්තර්ජාතික සිනමා උලෙළ ගණනාවකම ප්‍රදර්ශනය කර තිබේ. සිනමා පටයෙන් කියැවෙන්නේ දාහතර හැවිරිදි සෙරිබ්‍රල් පාල්සි රෝගී දියණියක සමඟ ජීවත් වන පියකු ගැනයි. ටැක්සි රියැදුරකු වූ අමුධවන් (මමූති) රෝගී දියණිය පාපා (සධානා) සමඟ නගරයෙන් පිට ජීවත් වෙයි. ඒ නගරයේදී මුහුණ පෑමට සිදුවන අභියෝගවලින් ඈත් වීමටයි. එහෙත් අභියෝගවලින් නම් ඔවුනට ගැලවීමක් නම් ලැබෙන්නේ නැත. අමුධවන්ගේ බිරිය විජයලක්ෂ්මී (අන්ජලී) වෙනත් පිරිමියකු හා පැන යන්නේ දියණිය ඔහු සමඟ තනිකරමිනි. පාපාට මව නැති අඩුව තදින්ම දැනෙයි. අමුධවන් දියණියට සෙනෙහස දැක්වූ පියකු නොවුණ ද දියණියගේ අනාගතයම භාර ගැනීමට සිදුවෙයි. රෝගීවී එක් තැන් වී සිටින නමුත් පාපාගේ අවදිවන නව යොවුන් සිතුවිලිවලට අමුධවන් තනිවම වැට බඳින්නේ කෙලෙසද? අමුධවන්ට ලිංගිකව කාන්තාවක ලෙස පරිවර්තනයවූ මීරා මුණ ගැසීමෙන් පසු සිදුවන්නේ කුමක්ද? හැඟීම්බර දසුන් රැසක් අඩංගු පෙරන්බු රාම්ගේ අධ්‍යක්ෂණයකි. පෙරන්බු දමිළ සිනමා පටය පෙබරවාරි 1 වැනිදා සිට උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිර ගත වෙමින් පවතී.


ඇල්බට් පින්ටො කෝ ගුස්සා ක්යුන් ආතා හෛ?

Albert pinto Ko Gussa Kyun aata hai

1981දී ප්‍රේක්ෂකයන්ට සිතන්නට බොහෝ දේ ඉදිරිපත් කරමින් ‘ඇයි ඇල්බට් කේන්ති ගත්තෙ?‘ යන අරුත රැගත් ඇල්බට් පින්ටො කෝ ගුස්සා කෝන් ආතා හෛ? තිරගත විය. එකල ඇල්බට් වූයේ නස්රුදීන් ෂාය. ශබානා ආස්මි සහ ස්මිතා පටෙල් සෙසු ප්‍රධාන චරිත රැඟූහ. 1981 දී හොඳම සිනමා පටය සඳහා විචාරක සම්මානය හිමිවූයේ කෝපකාර තරුණයා නස්රුදීන් රැඟූ ඒ සිනමා පටයටයි. යළි මේ විශිෂ්ට නිර්මාණය ප්‍රතිනිර්මාණය වී ඇත. එහෙත් නව නිර්මාණය රූගත කර සමසක් ගත වුවද සිනමා පටය මිලදී ගන්නන් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ මාස දෙකක ජනතා ආධාර ව්‍යාපාරයක් මඟින් අධ්‍යක්ෂ - පිටපත් රචක සෞමිත්‍ර රනාඩේ විසින් ලක්ෂ 30 ක මුදලක් සිනමා පටයේ පසු නිෂ්පාදන වියදම් සඳහා එක් රැස් කරන ලදී.

නව නිර්මාණයට විශිෂ්ට රංගන ශිල්පිනියක වන නන්දිතා දාස්, මානව් කෝල්, සෞරාබ් ශුක්ලා, කිශෝර් කදම් ඇතුළු නළු නිළියෝ දායක වී ඇත. ඇල්බට් පින්ටෝ නම යොදාගෙන තිබුණ ද පළමු නිර්මාණයට වඩා දෙවැනි නිර්මාණය වෙනස් අන්දමින් ප්‍රතිනිර්මාණය කිරීමට අධ්‍යක්ෂ

සෞමිත්‍ර රනාඩේ උත්සාහ කර තිබේ. නව ඇල්බට් පින්ටො කෝ ගුස්සා කෝන් ආතා හෛ? සිනමා පටයේ ඇල්බට් පැදුරටත් නොකියා නිවෙසින් පිට වන අතර ඔහුගේ පෙම්වතිය ස්ටෙලා දින ගණනක් යන තුරු පෙම්වතා නොපැමිණි නිසා බියට පත්වී පොලිසියට පැමිණිලි කරන්නීය. ඔහු මුම්බායි සිට ගෝවේ බලා පිටත් වී ඇති බව ඇය දැන සිටියේ නැත. ඇල්බට් සහ ස්ටෙලා දෙදෙනා පෙමින් බැඳුණු පසු ජීවන වියමන එක්ව වියන්නට උත්සාහ ගත්ත ද සිය සමාජ පසුබිම ඊට හරස් විය. ඇල්බට් තමන්ට විඳීමට සිදුවී ඇති ජීවන අත්දැකීම් ගැන කෝපයට පත්වන්නේය. මේ කෝපය ඔහුගේ ප්‍රාර්ථනා ඉටු කර ගැනීමට මාධ්‍යයක් කර ගන්නේය. ඒ සඳහා ඔහු යොදා ගන්නේ පැදුරටත් නොකියා යන චාරිකාවයි.

සිනමා පටය විසි එක් වැනි සියවසට උචිත ලෙස ප්‍රතිනිර්මාණය වී ඇති අතර වත්මනෙහි විවිධ සමාජයන් සිනමා පටයෙන් නිරූපණය වන බව ප්‍රධාන තාරකාව නන්දිතා පවසන්නීය. ඇල්බට්ගේ චරිතය නිරූපණය කරන මානව් නස්රුදීන් ෂාට බෙහෙවින් ගරු කරන්නෙකි. විශිෂ්ට වේදිකා නළුවකු ද වන මානව් සිනමා පටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරනු ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබෙන්නේ ප්‍රථම වරටය. සිනමා පටය අප්‍රේල් 12 වැනිදා සිට තිරගත කෙරේ.

 

අදහස්