අවුරුදු නිවාඩුවටත් ඇයි මේ “හෝම් වර්ක්?” | සිළුමිණ

අවුරුදු නිවාඩුවටත් ඇයි මේ “හෝම් වර්ක්?”

  • අවුරුදු නිවාඩුව සති දෙකයි
  • නිවාඩුවට ගෙදර එන්නෙ සති දෙකකින් කරන්න බැරි ගෙදර වැඩත් එක්ක
  • දරුවන්ව සංස්කෘතියට හුරු කරන්න ඇති හොඳම අවස්ථාව
  • දරුවන්ට මානසික නිදහස ලැබෙන එකම නිවාඩුව

වසන්තයේ එළඹෙන අලුත් අවුරුදු සිරියෙන් නැහැවෙන පුංචි එවුන්ගේ පාසල් නිවාඩු කාලය උදා වී තිබේ. අලුත් වසරකට පියමං කළ පාසල් දරුවන්ට වසරේ එළඹෙන මුල්ම නිවාඩුව යන්තම් සති දෙක නොඉක්මන කෙටි කාලයක් වුවත් වසරේ අන් නිවාඩු කාල දෙක හා සංසන්දනය කරද්දී දරු මනස ප්‍රබෝධවත් වන්නේ මේ නිවාඩු කාලයටය. පුංචි පහේ වාර විභාගයකට මුහුණ දී වාර අවසානයේ දරුවන් අප්‍රේල් මාසයේ නිවෙස්වලට එන්නේ සිය නිදහස උපරිම ආකාරයෙන් භුක්ති විඳින්නටය. අනෙකුත් නිවාඩු කාලවල මෙන් නොව, විභාග පීඩනයෙන් තොර වූ මේ නිවාඩු කාලය දරුවන්ට වෙන්ව ඇත්තේ උපරිමයෙන් විනෝද වන්නටය.

අධ්‍යාපනයේ ප්‍රමුඛ හා පරම අපේක්ෂාව විය යුත්තේ සාර්ථක පුරවැසියකු බිහි කිරීමය. එහිදී දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයෙහිලාත්, විවිධ කුසලතා ගොඩනැංවීමෙහිලාත්, ගුණයෙන් පිරිපුන් සදාචාරසම්පන්න දරුවකු බිහි කිරීමෙහිලාත් ඔවුන් පොතපතින් ඔබ්බට ගිය දැනුමක් කරා යා යුතුය. දරුවාට සංස්කෘතිය පවරා දීමට මෙන්ම හොඳ සිරිත්-විරිත්වලට දරුවා අනුගත කරන්නට හා ආගන්තුක සත්කාරයන්හි අගය දරුවාට වටහා දෙන්නටද උදා වන හොඳම අවස්ථාව මේ අලුත් අවුරුදු නිවාඩුවයි. මන්ද යත්: සිංහල අලුත් අවුරුද්ද වනාහි අපේ දේශීය සංස්කෘතිය විදහා දක්වන කැටපතක් වන බැවිනි.

ඒ අවුරුදු නිවාඩුවෙන් සතියක්ම ගෙවී යන්නේ සිය මවුපියන් සමඟ අලුත් අවුරුද්දට සූදානම් වන්නටය. ඉතිරි සතිය ගෙවී යන්නේ අලුත් අවුරුද්ද සමරමින් චාරිත්‍ර-විරිත්‍ර ඉටු කිරීමට මෙන්ම සිය පවුල් පරිසරයේ ඥාති සබඳතා අලුත් කරමින් දරුවන්ට සිරිත් විරිත් කියා දෙන්නටය. දරුවන් කිසිසේත් දැක නොතිබූ දේශීයත්වය මුසු වූ අවුරුදු ක්‍රීඩා මෙන්ම අවුරුදු උත්සව මේ නිවාඩුවේ දරුවන්ට විනෝද සාගරයක් මවන්නේය. ගමේ කෙතෙන් ගෙනා හාල් රැයක් වතුරේ පොඟවා ගමේ මෝලෙන් හෝ වංගෙඩියෙන් කොටමින් සකස් කරගත් දේශීය ආහාර තරම් ගුණදායක තවත් ආහාරයක් නැති බව දරුවන් තේරුම් ගන්නේ මේ අවුරුද්දේය. එසේම අපේ චීත්තයෙන් හැට්ටයෙන් හෝ සරමෙන් කමිසයෙන් හැඩ වුණු විට එහි ඇති සුන්දර බව දරුවන් තේරුම් ගන්නේ මේ නිවාඩු කාලයේය. අපේ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවන්හි නියැළීමෙන් ගොඩනැ‍ඟෙන පෞරුෂය අන් කිසිවකින් සදා ලිය නොහැකි බව පසක් කරගත හැකි වන්නේය. එසේම මානව බැඳීම් මඟින් දරුවන්ගේ අනාගතය ගොඩ නැංවෙන්නට මේ සති දෙකේ නිවාඩු කාලය ප්‍රමාණවත්ය. එහෙත් වත්මනේ මේ සියලු දේ පෙළ පොතින් පමණක් දරුවන්ට උරුම කරවීමට හැකියැයි සිතීම මුළාවකි.

දරුවන්ගේ දක්ෂතා විවිධය; හැකියා විවිධය. වර්තමාන විද්‍යාඥයන් බහුවිධ බුද්ධි න්‍යායෙන්ද කියා පාන්නේ එයයි. ඇල්බට් අයින්ස්ටයින් 'සෑම මිනිසෙක්ම දක්ෂයෙකි. එහෙත් ඔබ මාළුවෙකුගේ දක්ෂතාව ගස් නැඟීමෙන් මැන බලන්නේ නම් ඔහු සදාකල්හිම මෝඩයකු සේ පෙනෙනු ඇත,' යනුවෙන් පවසා ඇත්තේ ඒ ධර්මතාවයි. එබැවින් දරුවන්ගේ දක්ෂතා විවිධ මිමි ඔස්සේ අප මැනිය යුතු අතරම ඒ විවිධ දක්ෂතා ඔප් නැංවීමටද අවස්ථාව උදා කර දිය යුතුය. අවුරුදු නිවාඩුව මේ සඳහා හොඳම පසුබමක් සකසන්නේය.

එහෙත් පෙළපොතට, විභාගයට යොමු වූ පාසල් ජීවිතයෙන් මඳක් අත්මිදී ඇති සැටියෙන් විනෝද වන්නට දරුවන්ට වෙන් වූ මේ නිවාඩු කාලයද යම් යම් ගුරුවරුන්ගේ ක්‍රියාපිළිවෙත් නිසා ඔවුන්ට අහිමි වී ඇති සැටි ඛේදනීයය. බොහෝ පාසල් දරුවන් දැන් අවුරුදු නිවාඩුවට ගෙට ගොඩ වන්නේ සති දෙකටම නොසෑහෙන්නට ගෙදර වැඩ ගොන්නක් කරපින්නාගෙනය. මේ තත්ත්වය පෙරපාසල් දරුවාගේ සිට ඉහළ පන්තිවලටත් පොදු කරුණක් වී ඇත්තේ දරුවන්ගේ අවාසනාවටය. දරුවන් පාසල් නිවාඩු කාලයේදීද කෙළි-සෙල්ලම් මැද අධ්‍යාපන කටයුතුවලද නිරත වීම කළ යුතු වූ දෙයක් වුවද අවුරුද්ද වෙනුවෙන් දරුවන්ට දෙන සති දෙකක් තරම් කෙටි නිවාඩු කාලය නම් වෙන් විය යුත්තේ දරුවන්ගේ කායික මානසික ප්‍රබෝධය වෙනුවෙනි. එබැවින් මේ කෙටි නිවාඩුවද පාඩම් වැඩවලින් පිරවීම එක් අතකින් ළමා අයිතීන් උල්ලංඝනය කිරීමක්ද වන්නේය.

මේ අතර විවිධ ටියුෂන් කඩකාරයෝද මේ නිවාඩු කාලය තුළ දරුවන් කොටු කරගන්නට වෙහෙසෙති. අවුරුදු නිවාඩු කාලය තුළ බොහෝ අමතර පන්ති නිවාඩු දෙන්නේ අවුරුදු දින දෙකට පමණකි. මෙයට සෘජුවම ටියුෂන් ගුරුවරුන්ට පමණක් දොස් කියන්නද නොහැකි වන්නේ මවුපියන්ද දරුවන් ඒවාට යවන්නට සැදී-පැහැදී සිටින බැවිනි. ඒ කෙසේ වෙතත් අවසානයේ සිදු වන්නේ විෂය දැනුමින් පමණක් දරුවන්ගේ හිස් පිරවීමට ගොස් සාරධර්ම පිරිහුණු, සංස්කෘතික හරයන් නොහඳුනන, පෞරුෂ හීන, යාන්ත්‍රික දරුවකු අනාගතයට දායද වීම පමණි.

(උපදෙස් - ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක හා මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන)

අදහස්