ජීවිත රහ කළ රස­කැ­විලි මතක | සිළුමිණ

ජීවිත රහ කළ රස­කැ­විලි මතක

සිංහලයාට කැවුම් නැති නම් අවුරුදුත් නැත. අවුරුද්දට කැවුම් එතරම්ම විශේෂය. ඒ නිසා කැවුම් පිසීම ගජරාමෙට කෙරෙන්නේ සිංහල අවුරුදු කාලයටය.

 

ඉතා ප්‍රණීත ලෙස කැවුම් ඉවීමට දක්‍ෂ කාන්තාවෝ අදත් ගම්බද ප්‍රදේශවල වෙති. ඇතැම් ප්‍රදේශවලදී මේ කාන්තාවන් හඳුවන්නේ කැවුම් අම්මලා යන නාමයෙනි‍. අතීතයේ සෑම ගමක්ම කැවිලි ගම්මානයකි. කැවිලි-පෙවිලි තැනීමේ ප්‍රවීණත්වය කාන්තාවකට වැඩිවියපත් සිය ජීවිතයේ වැදගත්ම අවස්ථාවල වැඩි වටිනාකමක් ගෙන දීමේ සාධකයක් විය.

ගාල්ල බද්දේගම ගෝණපුර ගම්මානය එකල රස කැවිලි කර්මාන්තයට ප්‍රසිද්ධ ගම්මානයක් වූයේය. බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටි මේ ගම්මානයේ අතිබහුතරයක් වූ ජනතාවගේ ප්‍රධාන ජීවන මාර්ගය රැඳී තිබුණේ මේ කර්මාන්තය මතය. එහෙත් අද වන විට මෙහි රස කැවිලි කර්මාන්තයේ නිරතව සිටින්නේ ඉතා සුළු පිරිසකි.

වර්ෂ 2004 පැවති රජය විසින් මේ ගම්මානය රසකැවිලි ගම්මානයක් ලෙස නම් කරනු ලැබීය. එවකට කුඩා කරමාන්ත අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පැවතියේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජිතයන් අතය. කෙසේ වෙතත් අපට කියන්නට ඇත්තේ අද වන විට රසකැවිලි කර්මාන්තයේ නිරත මේ මිනිසුන්ගේ ජිවිත රස කැවිලි මෙන් පැණි රස නැති බවය. එහෙත් අතිරස තිත්තයි, පැමිණි දුක් පැණිරසයි යැයි සිතමින් මොවුහු මේ කර්මාන්තයේ නිරත වෙති.

ඩී.ඒ. ප්‍රේමවතී රසකැවිලි කර්මානත්යේ නිරත කාන්තාවකි. ඇයට කැවිලි පෙවිලි සෑදීමේ ඉතිහාසයක් ඇත. ඇය හදන්නේ දොදොල්ය.

“අපේ මවුපියන්ගේ කාලයේ ඉඳලා අපි මේ කර්මාන්තය කරගෙන එනවා. දොදොල් තමයි හදන්නේ. මේ කර්මාන්තය නිසා තවත් කිහිප දෙනකුට සේවයක් සිදු වෙනවා. දොදොල් හැඳිගාන කෙනා කීයක් හරි හොයාගන්නවා. වෙළෙන්දා යම් කිසි මුදලක් සොයාගන්නවා. ඒත් මේ කර්මාන්තය දැන් අමාරුයි. සීනි මිල වැඩියි. පොල් ගෙඩියක් රු. 60ක්-65ක් විතර වෙනවා. හැබැයි දැන් හාල් ටික නම් ලාභයි. ඒත් මහන්සි වන තරමට ලාභයක් නැහැ. ඒත් මොන තරම් ගැටලු තිබුණත් අපි මේ කර්මාන්තය කරගෙන යනවා. මොකද, මේක අපේ පාරම්පරික කාර්මාන්තයක්. දැන් දොදොල් කිලෝවක් රු. 400ක මුදලට තමයි අලෙවි කරන්නේ. අවුරුදු කාලයට දොදොල්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම මේක හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් කර්මාන්තයක්. මේ වගේ කර්මාන්තවලට රජයෙන් උදව් කරනවා නම් අපට මීට වඩා ලොකු දුරක් යන්න පුළුවන්.” ඇය ීවාය.

බි.එම්.ඒ. පද්මා (58) දොදොල් කර්මාන්තයේ නිරත කාන්තාවකි. ඇයට හැමදාම දොදොල් ඇණවුම් තිබේ.

“දොදොල් හැමදාම හදනවා. හොඳ ප්‍රමිතියකින් හදන්න පිටි කිලෝවකට සිනි කිලෝ 3ක් දාන්න ඕන. අමුද්‍රව්‍ය ගණන් යනකොට කර්මාන්තයක් වශයෙන් මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැංකු ණයක්වත් ගන්න පහසුකමක් තිබුණ නම් කදිමයි. දැන්ට සමිතිවලින් ණය මුදල් අරගෙන තමයි මේ කර්මාන්තය කරගෙන යන්නෙ. ඒක ඉතාම අපහසු කටයුත්තක්.” පද්මාගේ අපේක්ෂාව ව්‍යාපාරය ගොඩදමාගැනීම සඳහා ඉදිරි පියවරක් තබන්නට අවශ්‍ය බැංකු ණයකි.

වයි.එම්. සිරිපාල (58) රසකැවිලි කර්මාන්තයේ නිරත අයෙකි. ඔහු හදන්නේ තල හා මස්කට්ය.

ඇණවුම් නම් තියනවා. අවුරුදු කාලයට විතරක් නෙවෙයි හැමදාම වැඩකරනවා. නමුත් රස්සාවෙන් කරන්නෙ එදිනෙදා වියහියදම් පියවාගන්න එක විතරයි. ඊට එපින් අඩියක් තියන්න තරම් ලාභයක් නෑ. සංසාර පුරුද්දට රස්සාව කරනවා වගේ දැනෙන්නෙ. ඒත් මේ කර්මාන්තය මීට වඩා ව්‍යාප්ත කරන්න පුළුවන්.”. ඔවුන් හැම කෙනා තුළම යහපත් බලාපොරොත්තුවක් ඇත. එම බලාපොරොත්තු අවදි කරගැනීම සඳහා පදනමක් නැත.

කේ.ඩබ්ලිව්. දයා කල්‍යාණි (58) කැවුම් ඉවීමට දක්ෂ කාන්තාවකි. අපේ ජනවහරේ එන පරිදි නම් කර්මාන්තයට බුහුටි කැවුම් අම්මා කෙනෙකි.

“ආච්චි අම්මාගෙන් තමයි කැවුම් හදන්න ඉගෙන ගත්තේ. ඒ දවස්වල අපේ අම්මලා අත්තම්මලා එක එක විදිහෙ කැවිලි වර්ග හැදුවා. කැවුම් හදන්න ගන්න දේවල් හින්දා, කැවුම්වල හැඩේ හින්දා ඒවට විවිධ වූ නම් ලැබිලා තියෙනවා. නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම්, මුං කැවුම් වගේ කැවුම් වර්ග ගොඩක් තියෙනවා. අපි ඒ දවස්වල මේ කැවිලි හදන්න ඉගෙන ගත්තේ හරිම උනන්දුවෙන්. ඒත් මොනවදෝ හේතුවක් හින්දා දැන් හැදෙන ළමයි කැමති නෑ මේව ඉගෙනගන්න. අපේ තරුණ ගෑනු ළමයින්ට හරිහැටි කැවුම් ගෙඩියක් හදාගන්න බැහැ. දැන් කැවුම් ගෙඩියත් අරන් එන්නේ කඩයෙන් නේ.” අනතුරුව ඇය සිනාසෙන්නීය. එහෙම වෙන එක අපේ රස්සාවට නම් හොඳයි. ඒත් ඒ පුරුදු රටට හොඳ නෑ. මොකද අපෙන් පස්සේ මේ දේවල් නැත්තටම නැති වෙලා යාවි.” ඇය එසේ කියන්නීය. එහෙත් පාරම්පරික දැනුම එහෙමත්ම ලේසියෙන් වැළලෙන්නේ නැත. මීට වඩා බොහෝ දුෂ්කර අවධි අප පසු කර පැමිණ තිබේ. මේ වන විට සංස්කෘතියේ විශේෂාංග සංරක්ෂණය කර රැකගැනීමේ ප්‍රවණතාවක් සමාජය තුළින්ම ඉපදී තිබේ.

බි.ජී. ප්‍රීතිකා (45), දයා කල්‍යාණිට පසු පරම්පරාවට අයත් දක්ෂ කැවුම් සාදන්නියකි. මේ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන ආකාරය පිළිබඳ නිහඬ සාක්ෂිය ඇය ය.

“කැවුම් හදන්න ඕන තරම් ඇණවුම් එනවා. මේ කාලෙ ඉස්පාසුවක් නෑ. හාල් සේරුවකින් කැවුම් ගෙඩි 50ක් විතර හදන්න පුළුවන්. සීනි ග්‍රෑම් 750ක් පොල්තෙල් භාගයක් විතර යනවා හාල් සේරුවක කැවුම් හදන්න. මම කැවුම් හදන්නෙ දර ලිපේ. කැවුම් ගෙඩියක් කඩේ එක එක මිලට විකිණෙනවා. ඒ කියන්නෙ රු. 20-25 වාගෙ ගානකට. සමහරු කැවුම් උයන්න බඩු ටික ගෙනත් දෙනවා. මම කරන්නෙ කැවුම් හදලා දීලා කුලිය ගන්න එක. මේ සාත්තරේ හරියට කරනවා නම් ඇත්තටම හොඳ ආදායමක් ගන්න පුළුවන්. වෙලා තියෙන්නෙ අපේ අය දන්න සාත්තරේ හරියට කරන්නෙ නෑ. තවත් අයට එහෙම කරන්න වුවමනාවක් නෑ.”

අළුවාද අවුරුදු කෑම මේසයට නැතුවම බැරි කෑම විශේෂයෙකි. කජු අළුවා, පොල් අළුවා, කිරි අළුවා වැනි විවිධ අළුවා වර්ග අවුරුදු මේසයට පැමිණේ. ඒ අතර දෝසි වර්ගද ඇත. ඉඟුරු දෝසි, පැපොල් දෝසි, පුහුල් දෝසි, කිරි දෝසි දෝසි වර්ග අතර ප්‍රමුඛය. පැණි වළලු නම් කොයි පළාතේ දක්නට ඇතත් උඳු වළලු දක්නට ඇත්තේ උඩරට ප්‍රදේශවල පමණය. උඳු වළලු උඩරට වැසියන්ගේ ගර්වය කියාපාන කැවිලි වර්ගයකි.

ගත්කතුවරයකු මෙන්ම ප්‍රවීණ දේශකයකු හා ලේඛකයකුද වන ගාමිණි කුමාර විතාන ගෝණපුර ගම්මානයේ පදිංචිකරුවෙකි. ඔහු ගෝණපුර රසකැවිලි කර්මාන්තය ගැන අප සමග කීවේ මෙසේය:

“ගෝණපුර ගම්මානයේ තමයි හොඳම දොදොල් හැදුවේ. දොදොල්වලට හා කිරි නිෂ්පාදනයට සුපතළ ගමක් තමයි ගණෙපුර ගම්මානය. එදා මේ ගම්මානයේ මිනිසුන් මේ කර්මාන්තය කිරීමෙන් තමයි ජීවත් වුණේ. එදා කජු මද දොදොල්වලට දැම්මා. අපේ වත්තෙත් කජු ගස් 6-7ක් විතර තිබුණා. දැන් වගේ දොදොල්වලින් තෙල් බේරෙන්නේ නැහැ. නියම පදම පැරැණියන් හොඳින් දැනගෙන සිටියා.

බුල්ටෝ කර්මාන්තයටත් අපේ ගම ඒ කාලයේ ප්‍රසිද්ධයි. ගමේ ඇත්තො අවුරුදු කාලයට කැවුම් හැදුවා. දොසි වර්ග හැදුවා. දැන් නම් මේ කර්මාන්තය ඉස්සර තරම් සරුවට නෑ. හැබැයි තවමත් පවතිනවා.” යැයි කුමාර විතාන මහතා පැවසීය.

අදහස්