නේරු අග­මැති කරන්න පෙර ගාන්ධි ලංකාවේ ජන­ම­තය අසී­ස්ගෙන් විමසූ හැටි | සිළුමිණ

නේරු අග­මැති කරන්න පෙර ගාන්ධි ලංකාවේ ජන­ම­තය අසී­ස්ගෙන් විමසූ හැටි

වතු කම්කරු ජනතාවගේ විමුක්ති අරගලය සාක්ෂාත් කරලීමට ජීවිතය කැප කළ විශිෂ්ට මානව හිතවාදී දේශපාලන නායකයකු වූ අබ්දුල් අසීස් මහතාගේ 29 වැනි ගුණ සැමරුම අප්‍රේල් 29 වැනි දිනට යෙදී තිබේ.s

වර්ෂ 1943 දිනක කොළඹ අලුත්කඩේ උසාවියේ කතා කළ නඩුවක විත්තිකරුවෙක් විය. බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කැරලි ගැසීම් සිදු කරන අන්දමේ කතාවක් පැවැත්වීම ඔහුට විරුද්ධව වූ චෝදනාව විය. ජූරි සභාව ඔහු නිවැරැදිකරු බවට තීන්දු කළේය. බ්‍රිතාන්‍ය ජාතික විනිසුරුවරයා තම තීන්දුව ප්‍රකාශ කර සිටියේ තිත්ත බෙහෙතක් බොන්නාක් මෙන් දැඩි අකැමැත්තෙනි.

වර්ෂ 1959 බළන්ගොඩ පිහිටි පිටියාගල වත්තට බලහත්කාරයෙන් ඇතුළුවීම පිළිබඳ ඔහුට නඩු පැවරුණි. මහෙස්ත්‍රාත් නඩු විභාගයේදී ඔහු ඇතුළු අනෙක් අය මාස දෙකක් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. එම තීන්දුවට එරෙහිව ඔහු ශ්‍රෙෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ මුත් එය නිෂ්ප්‍රභ කෙරිණි. සිර දඬුවම් ස්ථීර විය. පසුව ඔහු එම තීන්දුවට විරුද්ධව ලන්ඩන් ප්‍රීවි කවුන්සලයට ඇපෑලක් ඉදිරිපත් කළේය. ඩිල්හෝන් නමැති විනිශ්චයකාරවරයා ඇපෑලට ඉඩ දෙමින් සිර දඬුවම අවලංගු කළේය. වතුකරයේ වතුවලට වෘත්තීය සමිතිවලට ඇතුළුවීමට එතෙක් තිබූ තහනම ඉන් ඉවත් විය.

මෙරට වතු කම්කරු වෘත්තීය අයිතීන් ලබාදීමේ හා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා වූ අරගලයේදී 'අබ්දුල් අසීස්' නම් වූ විශිෂ්ට මිනිසාගේ භූමිකාව එවන් අනන්ත වූ සිදුවීම්වලින් යුක්ත වූවකි.

ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා ජන්ම ලාභය ලැබූ පොර්බන්දර් නගරයේදීම 1912 ඔක්තෝම්බර් 06 වැනිදා ඔහුද උපත ලැබීය. අසීස්ගේ පියා වූයේ ගුලාන් හුසේන් රෙයිමු මහතාය.

මෙරට කලක් ප්‍රකටව පැවති රේමු සන්ස් ව්‍යාපාරය අයත්ව තිබු‍ණේ ඔහුටය‍. ඉන්දියාවේ ප්‍රකට මහන මැෂින් හා සෙසු විද්යුත් උපාංග 'ඌෂා' නම් වෙළඳ ජාලයේ මෙරට පළමු කර්මාන්තශාලාව හා ව්‍යාපාරය ඇරඹුවේ ඔහුය. අබ්දුල් අසීස් මහතා කරච්චියේදීද, ද්විතීයික අධ්‍යාපනය බොම්බායේදී හැදෑරීය. ඔහු ද්විතීයික අධ්‍යාපනය ලබන කාලයේදී ශිෂ්‍යයන්ගේ සමිතියක් පිහිටුවා ගත්තේය. එහි අරමුණ වූයේ අසරණයන්ට පොත් මිල දී ගැනීමට හා පාසල් ගාස්තු ගෙවීමට සහාය වීමය.

පසුව බොම්බාය විශ්වවිද්‍යාලයට ඇතුළු වූ අසීස් වාණිජ උපාධිය ලැබීය. ඔහු මෙරටට පැමිණියේ තම පියාගේ ව්‍යාපාර කටයුතුවලට සහයවීමටය. අනතරුව මෙරට වතු කම්කරු ජනතාවගේ විමුක්ති අරගලයට ඔහු තම නායකත්වය ලබාදුන්නේ සුඛෝපභෝගී ඉසුරුමත් ජීවිතයකට උරුම වූ සැපසම්පත් පවා පසෙකට විසි කර දමමිනි. අධිරාජ්‍යවාදි පාලනය හමුවේ සූරාකෑමට හා තාඩන පීඩනයන්ට ගොදුරු වී සිටි වතු කම්කරු ජනතාව ඉන් බේරාගෙන ඔවුන්ගේ ජීවිත උසස් තලයකට ගෙන ඒමට හෙතෙම තම ජීවිතයම කැප කළේය.

අසීස්ගේ 'ජවසම්පන්න' නායකත්වයට අධිරාජ්‍යවාදී නායකයන් මෙන්ම වතු හිමිකරුවෝද බිහි වූහ. කුමන හෝ වරදක් මත ඔහුට චෝදනා ගොනු කොට සිරගත කරලීමට පාලකයන් ප්‍රයන්ත ගත් අවස්ථා අපමණය. එහෙත් එම කිසිදු මර්දනයකින් අසීස් නිහඬ කළ නොහැකි විය.

ඔහුගේ පුරෝගාමිත්වය ඇතිව 1939 ඇරඹුණු ලංකා ඉන්දියානු කම්කරු සංගමය වාර්ෂික සැසිය ඇමතීමට ඔහුට සිදු විය. 1943 මාර්තු මාසයේ බදුල්ලේ පැවති ඒ සැසියේදී ඔහු කළ කතාව මහරජතුමාට විරුද්ධව අපකීර්තිමත් මෙන්ම කැරලි ගැසීමට තුඩු දෙන බව පවසමින් එම කතාව නඩු භාණ්ඩයක් ලෙස උසාවියට ඉදිරිපත් කෙරිණි.

ඒ නඩුවේ ජූරිය බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ගෙන් සමන්විත වුව හොත් තමාට ස්ථීරවම දඬුවම් ලැබෙන බව තේරුම් ගත් ඔහු දෙමළ භාෂාව කතාකරන ජූරි සභාවක්ද ඉල්ලා සිටියේය. ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට සිදු විය. ඒ අනුව පත් කෙරුණු හත් දෙනකුගෙන් යුත් ජූරි සභාව විත්තිකරු නිදහස් කළේය.

වර්ෂ 1939දී මෙරට ඇරඹුණු ලංකා ඉන්දියානු වතු කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘවරයා වූයේ අබ්දුල් අසීස් මහතාය. ඔහු හා ලංකා ඉන්දියානු වතු කම්කරු කොංග්‍රසයට එක්ව සිටි ආර්. තොණ්ඩමන් මහතා පසු කලෙක ඉන් ඉවත්ව ලංකා කම්කරු කොංග්‍රසයට නායකත්වය දුන්නේය. අබ්දූල් අසීස් මහතාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වන අශ්රොෆ් අසීස් මහතා අද තම පියා ඇරැඹූ සංවිධානයේ, එනම් “අසීස් ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසයේ” වත්මන් නායකත්වය හොබවයි. අබ්දුල් අසීස් නමැති සුවිශේෂ විප්ලවවාදී චරිතය පිළිබඳ අප හා සංවාදයට එක් වෙමින් මහත්මා ගාන්ධිතුමා උපත ලද පොර්බන්දර් ගම්මානයෙන් ජන්ම ලාබය ලැබූ තම පියාට මහත්මා ගාන්ධිතුමා වරෙක හමු වූ අපූර්ව සිද්ධිය අශ්රොෆ් අසීස් අපට හෙළි කළේ මෙසේය:

“මගේ පියා ලංකාවට විත් මෙරට ඉන්දියානු වතු කම්කරු ජනතාවගේ විමුක්ති අරගලයට දායක වූ සමයේ විටින් විට ඉන්දියාවට ගිහින් තම උපන්ගම් පළාතේ සංචාරය කළා. එහෙම ඉන්න විට පියාට ඕනෑ වුණා ගාන්ධිතුමා හමු වන්න. එහෙත් ගාන්ධි තුමා හමු වන්න එහෙම වෙලාවක් ගන්න එක අමාරු කටයුත්තක් වුණා. එහෙත් එතුමාගේ අනුගාමිකයන් කියා තිබෙනවා මහත්මා ගාන්ධි තුමා ඇවිදින්න යන විට ඔබත් ඇවිදින්න අවොත් එසේ යන ගමන් කතා කළ හැකියි කියලා. ඒ අනුව ගාන්ධිතුමා ඇවිදින්න යන විට පියාත් එතුමා සමග ඇවිදින්න ගියා. යන විට පියා තමා ඉන්දියාවේ සිට ලංකාවට ගිහින් කරන සටන ගැන ගාන්ධිතුමාට කියා තිබෙනවා.”

“ලංකාවේ නිදහස් සටන කොහොමද? ඉන්දියානුවන්ට රටේ සැලකිල්ල කෙබඳුද?”

ගාන්ධිතුමා තාත්තාගෙන් අසා තිබුණා. පියා ඒවාට උත්තර දෙන විට ගාන්ධිතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් පියාගෙන් පෙරළා අසා තිබෙනවා. ඒ වන විට ඉන්දියානු නිදහස් අරගලයක් ප්‍රබල ලෙස තිබුණා. ගාන්ධිතුමා පියාගෙන් ඇසූ ප්‍රශ්නයට පියා විමතියට පත් වුණා.

“ඔබ ජවහර්ලාල් නේරු තුමා ගැන දන්නවාද?” ගාන්ධිතුමා ඇසූ විට පියා "ඔව් දන්නවා" කීවේ කිසිවක් හිතාගන්නද බැරිවය.

“ඔහු ඉන්දියාවේ අගමැති කරන්නයි අපේ සූදානම. ඊට ඔහු සුදුසුද?”ගාන්ධිතුමා අසා තිබෙනවා.

“මා වැන්නකුගෙන් එවැන්නක් අහන්නේ ඇයි?”

පියා විමතියෙන් ගාන්ධිතුමාගෙන් පෙරළා අසා තිබෙනවා.

“ශ්‍රී ලංකාවේ සිටින ඔබ වැනි අය නේරු තුමා ගැන දක්වන ආකල්පය අපට ඉතා වැදගත්."

ගාන්ධිතුමා ඇසූ ප්‍රශ්නයට පියා පිළිතුරු දෙමින්, 'නේරුතුමාට වඩා සුදුස්සෙක් ඊට නැති බව අපේ හැඟීමයි‘ කියා, නේරුතුමා ගැන තමා දරන ආකල්පයද ශ්‍රී ලාංකීය ජනතාවගේ හැඟීම්ද ගාන්ධිතුමාට පළ කර තිබෙනවා. පියා තම ජීවිතයේ හැමදාම මේ අපූර්ව හමුව සිහිපත් කළා."

1959 වන විට රටේ අග්‍රාමාත්‍යවරයාව සිටියේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතායි. බණ්ඩාරනායක මහතා සහ මැතිනිය අපේ පවුලෙ අය එදා ළඟින්ම ඇසුරු කළා. තාත්තත් බණ්ඩාරනායක මහතා සමග දැඩි මිත්‍රත්වයකින් කටයුතු කළා.

එකල ඒබ්‍රහම් සිඤ්ඤෝ ඝාතනය වීමෙන් පසු වතුකරය පුරා ආන්දෝලනයක් හට ගත්තා. අගමැති බණ්ඩාරනායක මහතා මැදිහත්වී සාකච්ඡාවක්ද ලබා දුන්නා. එහෙත් පියාගේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය පිළිගැනීමට වෘත්තීය සමිතියක් තුළ සංවිධාන වීමට වතු හාම්පුතුන් කැමති වුණේ නැහැ. කම්කරුවන් පොලිසිය ලවා මර්දනය කරවීම වතු හාම්පුතුන්ගේ පිළිවෙත වුණා. එදා ඒබ්‍රහම් සිංඤ්ඤෝගේ අවමඟුලට 50,000කට අධික ජන ගඟක් සහභාගි වුණා. සමසමාජ නායකයන් වූ ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්.ද සිල්වා ඇතුළු වමේ නායකයන්ද අවමඟුලට එක් වුණා. වතු පාලකයන්ට අන්තිමේ වතු කම්කරුවන්ට සංවිධානය වීමට හා වෘත්තීය සමිතියක පිළිගැනීමකට එකඟවීමට සිදුවුණේ එම දිවි පිදූ කම්කරු සහෝදරයාගේ මළගම දවසෙයි. බණ්ඩාරනායක අගමැතිවරයාත් ඊට මැදිහත් වීම උපරිම ලෙස කළ බවයි අපේ හැඟීම. එම අවුරුද්දේම බණ්ඩාරනායක අගමැතිතුමත් ඝාතනය වුණා.”

“තාත්තා හැමවිටම අවධාරණය කළේ පළමුව අප රටට නිදහස ලබා දිය යුතු බවයි. සොල්බරි කොමිසම සමග පවා තාත්තා දැඩිව කීවේ පළමුව අපට රටට නිදහස දෙන්න. අපට අවශ්‍ය ආණ්ඩු ක්‍රමයකට ඉඩ දෙන්න. අපි සිංහල ජනතාව කෙරෙහි විශ්වාසය තබනවා. අපේ ප්‍රශ්න අප දෙවනුව විසඳාගන්නම්... කියලා.”

වර්ෂ 1952 මුල් භාගයේ දිනෙක කොළඹ 11 කෙළින් වීදියේ ස්ථානයකින් ඇරඹුණු දහසකට අධික ජන සහභාගිත්වයක් දැරූ පෙළපාළිය කොල්ලුපිටිය අරලියගහ මන්දිරය (අගමැති නිවෙස) කරා ගමන් ගැනීම ඇරඹුණි. මද දුරක් යද්දී කොළඹ කොටුව ප්‍රදේශයේදී පොලිසිය ඔවුනගේ ගමන නවත‍ෙවන්නට උත්සාහ කළ නිසා පෙළපාළියේ ගමන් ගත් අය සත්‍යග්‍රහයක යෙදෙන්නට පටන් ගත්හ. බැටන් පොලු ප්‍රහාර එල්ල කර අශ්වාරෝහක කණ්ඩායම්වලද සහයෙන් විරෝධතාව මැඬ පැවැත්වීය. ජනතාවට නායකත්වය දෙමින් සිටි අසීස් සහ ආර්. තොණ්ඩමන් අල්ලාගෙන වෑන් රථයක නංවාගෙන සැතපුම් 25ක් පමණ ඈත ප්‍රදේශයක දමා ගොස් තිබිණි. මේ දෙදෙනා හඳුනාගත් එම ප්‍රදේශයේ පිරිස් ඔවුන්ට සත්කාර කොට කොළඹ බලා පිටත් කර යැව්වේය. අශ්රොෆ් අසීස් ඒ හා බැඳුණු අතීත පවත අප හා කියන්නේ මෙසේය:

“ලංකා ඉන්දියානු කම්කරු සංගමය ඊළඟට රැස් වී, ගත යුතු පියවර සාකච්ඡා කරන්නට වුණා. අනතුරුව අගමැති කාර්යාලයට නුදුරින් පිහිටි භූමියක දින පහක් නිරාහාර විරෝධතාවයක යෙදෙන්න නායකයන් තීරණය කළා. වතු කම්කරුවන් 500ක් පමණ ඊට එක්ව සිටියා. එසේ වුවද පුරවැසි භාවය නොදීම හා සර්ව ජන ඡන්ද බලය නොදීම එලෙසම ක්‍රියාත්මක වුණා. දීර්ඝ සටනක් අවසානයේ සංගමයේ නියෝජිත පිරිසක් ඉන්දියානු අගමැති ලෙස පත් වූ ජවහර්ලාල් නේරු හමුවීමට කටයුතු කළා. එදා නේරු අගමැතිතුමා හමුවීමට ගිය පිරිසේ තාත්තත් ඇතුළත් වුණා. ඒ අනුව පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙරටේ අගමැතිවරුන් වූ නේරු සහ අප රටේ අගමැතිව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල අතර ගිවිසුම මගින් පුරවැසිභාවය ඉල්ලා තිබූ අයදුම්පත් පිළිබඳ සලකා බැලීම ඉක්මන් වුණා. ලංකාවේ පදිංචිව සිටි ඉන්දියානු අය සඳහා ආසන 4ක් වෙන් කිරීමට පියවර ගත්තා. මැයි දිනය, සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයද වැවිලි කර්මාන්තයේ නිරත කම්කරු පන්තියට වැටුප් සහිත නිවාඩු දින බවට පත් කරන්නට දියත් කළ සටනෙ තාත්තා පෙරමුණේ හිටියා.”

ඔහු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. අබ්දුල් අසීස් මහතා වතු කම්කරු ජනතාවට කළ මෙහෙවර අගයමින් 1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය තම රජයේ පත් කළ මන්ත්‍රීවරයකු ලෙසද ඔහු පත් කළාය. පළමුව මේ රටේ ස්වෛරීත්වය පතමින් තම ජනතාවගේ විමුක්තිය උදෙසා ජීවිතය කැප කළ අබ්දුල් අසීස් මහතා 1990 අප්‍රේල් 29 වැනිදා අභාවප්‍රාප්ත විය.

අදහස්