පුපුරා ගිය කුණු කන්ද පාමුල සිටි මිනිස්සු දෙවසරකට පසු කියන කතාව | සිළුමිණ

පුපුරා ගිය කුණු කන්ද පාමුල සිටි මිනිස්සු දෙවසරකට පසු කියන කතාව

ඡායාරූප - රුවන් ද සිල්වා
  • දරුවෙක් එළියට යවන්න බෑ හැම තැනම කුඩුකාරයෝ
  • පොඩ්ඩ බැරිවෙන කොට මිනිස්සු එන්නෙ කඩු කිණිසි අරගෙන
  • කුණුගඳ ගහන මීතොටමුල්ලෙ මැස්සො කපුටෝ එක්ක ගෙවපු ජීවිත හොඳයි වගේ

අප රටේ නිතර ඇසෙන ප්‍රශ්න කීපයක් අතරින් එකක් වන්නේ කුණු කසළ ප්‍රශ්නයයි. කලක් අපි බ්ලූමැන්ඩල් කුණු කන්ද ගැන කතා කළෙමු. ඉන්පසු මීතොටමුල්ල කුණු කන්ද කරළියට ආවේය. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නොව බොහෝ නගරවල කුණු දැමීම තවමත් නොවිසඳුණු ගැටලුවක් වෙද්දී මීතොටමුල්ල කුණු කන්ද පුපුරා මහා ඛේදවාචකයක් සිදුවී අදට (14 දාට) දෙවසරක් සපිරේ.

රටේ කොයිකවුරුත් සිංහල අවුරුද‍්දේ ප්‍රීතිය විඳිමින් සිටි මොහොතක මීතොටමුල්ලේ කුණු කන්ද පාමුල ජීවිත රැසකට මාරයා පැමිණියේ අනපේක්ෂිත මොහොතකය. ඒ 2017 වසරේ අප්‍රේල් මස 14 දාය. වේලාව සවස තුනට පමණ ඇත.

“එදා එකපාරට ම කුණු කන්ද පැත්තෙන් විශාල පිපුරුම් ශබ්දයක් ආවා. මම හිටියේ පාර පැත්තේ. මම දැක්කා මිනිබිරියයි නෝනයි දුවගෙන එනවා. මං දැක්කා මගේ නෝනයි මිනිබිරියයි තට්ටු දෙකට සාදා තිබූ ගෙයයි කුණු කන්දට යට වෙනවා. මගේ දුවයි, බෑණත් මේ සිද්ධියෙන් මැරුණා. මට තේරෙන්නේ නැහැ මං කොහොම හිත හදාගන්ද කියලා.”

කුණුකන්ද පුපුරා ගිය දිනට පසුදා එහි ගිය අපට හමුවූ කීර්තිරත්න පැවැසුවේ හැඬූ කඳුළෙනි. ඔහු මුල සිටම තම නිවෙස් ආසන්නයට කුණු ගෙනැවිත් දැමීමට විරුද්ධ වූ ඒ වෙනුවෙන් හඬක් නැඟූ අය අතරින් කෙනෙකි.

කීර්තිරත්නගේ පමණක් නොව මීතොටමුල්ලේ කුණු කන්දට යටව මිය ගිය අයගේ පවුල්වල උදවිය දෙවසරක් ගියද අදත් සිටින්නේ හැඬූ කඳුළිනි. තම දූ දරුවන් ඥාතින් අහිමි වූ වේදනාව ඉවසා ගන්නට බැරිව ඔවුන් තවමත් කල්ගත කරන්නේ හැඬූ කඳුළෙනි.

මිනිස් ජීවිත පමණක් නොව ජීවිත කාලය පුරාම හරිහම්බ කරගත් දෑ අහිමි වීමෙන් ඔවුන්ගේ අනාගතය බලාපොරොත්තු සියල්ලම බිඳ වැටිණ. නමුදු කුණු කන්දට යට වූ නිවාස අහිමි වූවන්ට රජය කඩිනමින් නිවාස ලබාදීමට කටයුතු කළේය. නව නිවෙස් ලැබූවන් සතියක් ඇතුළත පදිංචි කරනු ලැබුවේ ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාසවලය.

තවමත් හඬන මීතොටමුල්ල කුණුකන්ද පාමුල මිනිසුන්ගේ දැන් තත්ත්වය කෙබඳුදැයි බලන්නට ඉකුත් දිනෙක අපි එහි ගියෙමු. පෙර දවස නම් කොළොන්නාව, මීතොටමුල්ල ඒ අවට මාවතක ගමන් ගත්තද දැඩිව හමා ආ කුණු ගඳ දැන් දැනෙන්නේ නැති තරම් ය. මහ ගොඩක් උසට තිබූ කුණුකන්ද ඇති බිම සකස් කර කුමක් හෝ සංවර්ධන කටයුත්තක් සඳහා ‍යොදා ගන්නා බවක් පෙනේ. ශ්‍රී ලංකා යුද හමුදාව මේ දිනවල එහි කටයුතු කරගෙන යන්නේය. කලක් මීතොටමුල්ල කුණු කන්දෙන් බොහෝ දෙනා අතමිට සරුකර ගත්හ. එමෙන්ම ඒ අවට ඇතැම් ජනයා කුණු ලොරිවල පටවා එවන පොල්කටු කාඩ්බෝඩ් ආදිය එකතු කර අතට යම් මුදලක් ලබා ගත්තෝය. කෙනෙකුට හිරිහැරයක් වූ කුණු කන්දෙන් දියුණු වූ ඇත්තෝ ද එමටය. දැන් ඒ අවට ජනතාව සංවර්ධනය වෙමින් පවතින කුණු කන්ද දෙස විටෙක බලා සිටිති.

“කුණු කන්ද කඩා වැටිලා මිනිස් ජීවිත තිස් දෙකක් නැති වුණා. කුණු කන්ද නිසා පවුල් දෙසිය හැත්තෑ පහක් අවධානමට ලක්වුණා. මෙයින් 105 කට නිවාස වන්දි ලබා දුන්නා. එකසිය හැත්තෑ දෙනෙකුට ගෙවල් දීලා තියෙනවා. 98 දෙනෙකුට ඉඩම්වලින් වන්දි ගෙවලා තියෙනවා. ලියකියවිලි තහවුරු කරන්න බැරිව පස් දෙනෙක් ඉන්නවා. තවමත් වාහනවලට තක්සේරු කරගෙන යනවා. මේ තියෙන අඩුපාඩු ටිකක් ඉතා ඉක්මනින් සම්පූර්ණ කරනවා.”

කොළොන්නාව ප්‍රා‍ෙද්ශීය ලේකම් කාර්යාලයේ වගකිවයුතු නිලධාරියෙක් මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත්වූවන් සඳහා ලබා දුන් සහන පිළිබඳ පැවැසුවේ එලෙසිනි.

මීතොටමුල්ලෙන් ලක් සඳ සෙවණට පැමිණි ජනතාව සොයා අප එහි ගියද වසර දෙකකට පසු ඔවුන් සොයා ගැනීම අසීරු විය. ‘බී’ කොටසේ දෙවන මහලේ ‍කොරිඩෝවේ බයිසිකල් පදිමින් සිටි දරුවන් කීපදෙනෙක් ළඟ අපි නතර වීමු.

“පුතා මීතොටමුල්ලෙන් ආව අය ඉන්නේ කොහෙද?”

“දන්නේ නෑ” කොලුවාගේ පිළිතුර එය විය.

“පුතාලා කොහෙ ඉඳලද ආවේ?”

“අපි ආවේ කුණු කන්ද ළඟ ඉඳලා”

කොලුවා මහත් උනන්දුවෙන් පැවැසුවේය.

“අම්මට එන්න කියන්න” අප කියූ විට කොලුවා පිම්මේ දුවගොස් අම්මා කැඳවාගෙන ආවේය.

“මම රෙදි මහන එක කෙරුවේ. ඒත් දැන් මෙහෙ ආවට පස්සේ ඒවා කරන්න බෑ. මේ ගෙවල් ඉඩමදි. අපිට මොනවා තිබුණත් මීතොටමුල්ල වගේ මෙතැන හරි යන්නේ නෑ.”

කොලු ගැටයාගේ මව අප නිවෙසක් වෙත කැඳවාගෙන යමින් පැවැසුවාය. ඒ සිරියලතාගේ නිවෙසයි. ඒ නිවෙසේ කැබිනට්ටුවක් මත ඇත්තේ වයස අවුරුදු දහයක එකොළහක පමණ දැරියකගේ සේයාරූ කිහිපයකි.

“මට දරුවෝ තුන්දෙනෙක් හිටියා. දැන් ඉන්නේ දුවයි පුතයි විතරයි. දෙවැනි දුවට අවුරුදු 12 යි කුණු කන්දට යටවෙලා මැරෙන කොට. අපි හිටියේ දහම්පුර. එයා ඉගෙන ගත්තේ කොළොන්නාව බාලිකා පාසලේ. අපේ රස්සාව වුණේ පාවහන් හදන එක. ඒ වෙලාවේ හදපු පාවහන් වගේ ම ඒවාට අවශ්‍ය බඩු ගොඩක් තිබුණා. මුලින් අපි මේ ගෙදරට එන්න කැමති වුණේ නැහැ. අපි හොඳට ගෙවල් දොරවල් හදාගෙන හිටි අය.

‍මගේ ලොකු දුව උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් හිටියේ ඒ දවස්වල. මොනවා ලැබුණත් දුව නැති අඩුව කොහොම පිරිමහ ගන්නද? මට මගේ දුව විතරක් නෙමෙයි ම‍ගෙ තව ඥාතින් පස්දෙනෙක් නැති වුණා. ඒ අතර මගෙ නංගියි එයාගෙ මහත්තයත් ඉන්නවා. මේ අය නැතිවෙලා අවුරුදු දෙක පිරීම නිමිත්තෙන් අපේ මහගෙදර තමයි දානමය පිංකම කරන්නේ. මේ ගෙවල්වල දානමය කටයුත්තක් කරන්න තරම් ඉඩක් නැහැ. අපිට අපේ ව්‍යාපාරය කරගෙන යන්න තැනක් නැහැ. අවුරුදු දෙකක් තිස්සේ මහත්තයා යාළුවෙක්ගෙ ගෙදර සපත්තු හදන්නේ. අපිට හරි බයයි මේ පරිසරයේ ඉන්න. හැම ජාතියෙම අය මෙහෙ ඉන්නවානේ.” සිරියලතා පවසන්නේ දෑසේ නැගි කඳුළක් පිසිමිනි.

මෙම මහල් නිවාස සංකීර්ණයට මී‍තොටමුල්ලෙන් විපතටපත් ජනතාව පදිංචියට පැමිණෙන දිනයේ අපිද එහි ගියෙමු. එවිට ඒ ගොඩනැඟිල්ල අවට බො‍‍හෝ පිරිසුදුය. පොලිතින්, කුණු ආදි කිසිවක් දකින්නට නොතිබිණි. දෙවසර තුළ එම පරිසරය බොහෝ වෙනස්වෙලාය. දැන් ඒ බිම බොහෝ අපිරිසුදුය. ඇතැම් තැනෙක විදුලි සෝපාන කැඩී ගොස්ය. බිත්ති, සිමෙන්ති පොළොව කඩතොළුය. මේ සියල්ලට වගකිව යුත්තේ එහි පදිංචි ජනතාවය.

“මට මතකයි 2019 අප්‍රේල් 10 වැනිදා ඉඳලම කුණු කන්දේ පොඩි පොඩි වෙනස්කම් තිබුණා. ඒත් අපි හිතුවේ නැහැ කන්ද මේ විදිහට බිමට පාත්වේවි කියලා. මගෙ ගම මාතර. මහත්තයා තමයි මීතොටමුල්ලේ. එයාගේ පවුලේ ඔක්කෝම නවදෙනෙක්. මං කසාද බැන්දේ අවුරුදු දාහතෙන් විතර. මට මහත්තයාගේ ගෙදරට එනකාලේ එයාගේ තාත්තා දැන් ඔය කුණු කන්ද තියෙන පැත්තේ කුඹුරු කරනවා. ඕවිටිවල වගා කරනවා. එක්දහස් නවසිය හැත්තෑපහේ, හයේ වගේ ඉඳලා තමයි ඔය හරියට කුණු ගෙනැල්ලා දාන්න ගත්තේ. අපි මුල ඉඳලම විරුද්ධ වුණා. කන්ද පුපුරලා යන්න කලින් අපි උද්ඝෝෂණය කළා. කුණු කන්ද වෙනුවෙන් උද්ඝෝෂණය කරලා අපි හොඳට බැටකෑවා. තාත්තා කුඹුරු කරපු ඉඩම් තමයි පස්සේ කාලෙක අපි නවදෙනාට ගෙවල් හදාගන්න බෙදලා දුන්නේ. මම වෙළෙඳාමක් කරගෙන හිටියේ. මගේ එක පුතෙක්ගේ බිරිය මැරුණෙත් කුණු කන්ද නිසා. ඒ දුවට බබා ලැබිලා මාස තුනක් ගියේ නෑ. උණක් හැදිලා මැරුණා. ඒ විෂබීජය ගියේ කුණු කන්ද නිසා. මාස තුනේ ඉඳලා ඒ දරුවාව හදන්නේ මම. කැමැත්තකින් නෙමෙයි මම මෙහාට ආවේ. මට ගෙයක් ලැබෙනතුරු රුපියල් 50,000 ක් ලැබුණා ගෙවල් කුලිය ගෙවන්න. මේ පරිසරය අපට හරියන්නේ නැහැ. දරුවෝ පරිස්සම් කරන්න අමාරුයි. මොනවා වුණත් මැස්සෝ හිටියත්, කුණුගඳ තිබුණත්, කාක්කන්ගෙන් කරදර තිබුණත් අපි කුණු කන්ද ළග ගෙවල්වල හරිම සතුටින් හිටියා. මෙතැනට ආවා කියලා අපිට කිසිම සතුටක් නැහැ.” නාලනි පවසන්නේ විටින්විට තම මිනිබිරිය පාසල් ගොස් පැමිණේ දැයි විපරම් කරමිනි.

මීතොටමුල්ල ප්‍රදේශයේ කාලයක් ජීවත් වූ මේ ජනතාව දැන් කල්ගෙවන්නේ මහල් නිවාස සංකීර්ණයකය. එහෙත් ඔවුන් පසුවන්නේ කනස්සල්ලෙනි. අපට දරුවො සෙල්ලම් කරන්න එළියට යවන්න බයයි. කුඩුකාරයෝ වලිකාරයෝ හැමතැනම. පහුගිය දවසක ‘මධූෂ්ගේ’ ගෝලයෝ දෙන්නෙකුත් මේ ප්ලැට් එකේ ඉඳලා අල්ලගෙන ගියාලු. මොනවා හරි වුණාම සමහර මිනිස්සු කඩු කිණිසි අරගෙන එළියට බහින්නේ. දොරට අමතරව යකඩ දොරකුත් දාගෙන තමයි ගොඩක් අය ගෙවල්වල ඉන්නේ. පහුගිය දවසක ගෙදර හිටපු ගෑනු කෙනෙකුගේ කරේ තිබුණු මාලයකුත් කඩාගෙන ගිහින් තිබුණා. දැන් නම් පොලිස් මුරපොළක් දාලා තියෙන නිසා ටිකක් හොඳයි.”

අතරමඟදි හමුවූ අයෙක් අප හා පැවැසුවේය.

මීතොටමුල්ලෙන් පැමිණි බොහෝ අය දවල් දවසේ එහි නැත. ඒ තම තමන්ගේ දෛනික කටයුතුවලට ගොස් ඇති බැවිනි. ඇතැමෙකු නිවෙස් කුලියට හෝ බද්දට ද දී ඇතැයි මේ ගිය ගමනේදී අපට දැන ගන්නට ලැබිණි.

සිංහල අවුරුද්දක සිදුවූ ඛේදවාචකය සිහිවෙද්දී ඒ අවට ජනතාව, ඊට මුහුණ දුන් ඇත්තෝ පමණක් නොව රටේම ජනතාව කනගාටු වන්නාහ. වන්දි ලැබුණ ද සහන ලැබුණ ද ඇතැමෙකු සිටින්නේ අසහනයෙනි. තවත් වසරකින් නැතිනම් දෙකකින් මීතොටමුල්ලේ කුණු කන්දක් තිබුණු බවට සේයාවක් හෝ නැතිවනු ඇත. පරිසරය රැක ගැනීමේ යුතුකම ඇත්තේ එහි ජීවත්වන මිනිසුන්ටය. නමුදු අද අපිට බොහෝ විට දකින්නට ලැබෙන්නේ කැළිකසළ දමමින් කරන පරිසර විනාශය. මේ නොසැලකිලිමත්කම තවත් ඛේදවාචකයකට පාර කැපීමක් විය හැකිය.

අදහස්