මවු රටේ පොළොවට පස් කරන්නඅවුුරුදු 25ක් තිස්සේ මෘත ශරීරයක් නඩත්තු කළ ආදරණීය මිනිස්සු | සිළුමිණ

මවු රටේ පොළොවට පස් කරන්නඅවුුරුදු 25ක් තිස්සේ මෘත ශරීරයක් නඩත්තු කළ ආදරණීය මිනිස්සු

මරණය සිදුවුණේ 1994 දි... යුද්ධය නිසා දුරකථන නෑ... තොරතුරු දැනගත්තෙ රතුකුරුසෙන්

යාපනේට සිරුර ගේන්න බෑ... ආරක්ෂා කරන්න සමාගමකට භාර දීලා

වගකීම් කාලය ඉවර වෙනකල් සිරුර නඩත්තු කරලා

යස ඉසුරු සොයා විදේශගත වී සිටින ශ්‍රී ලාංකික පිරිස සංඛ්‍යා ලේඛන අනුව ලක්ෂ ගණනාවකි. මෙලෙස විදේශ ගතවන බොහොමයක් දෙනා තම අරමුණු ඉටුකරගෙන නැවත ලංකාවට පැමිණ දරු පවුල් සමඟ ජීවත්වීමට වාසනාව තිබුණ ද එය එසේ නොවන අවස්ථා ද බොහෝ වාර්තාවේ. විදේශගත වීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර එම රටවල දී තම දිවි ගමන අවසන් කරගන්නා පිරිස වසරකට සිය ගණනකි‍. මයිකල් ස්ටේෆන් ජෝර්ජ් ද එම ලැයිස්තුවට අයත් ය. නමුත් මයිකල්ගේ මරණය ගැන විශේෂයෙන් කතා කරන්නට සිදුවන්නේ ඔහුගේ මෘත දේහය ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ සහ ඥාතීන් හට අවසන් ගෞරව කිරීම සඳහා නිරාවරණය වන්නේ මයිකල්ගෙ මරණයෙන් වසර 25 කට පසුව වන බැවිනි‍.

මිය ගොස් වසර 25 කට පසුව හෝ මවුබිමේදී සිරුර පොළවට පස් වීමට අවස්ථාව සැලසුණු මයිකල්ගේ උපන් දිනය ලෙස සටහන් වන්නේ 1945 මාර්තු 15 දිනයි. යාපනය චාවකච්චේරිය උපන්ගම කරගත් මයිකල්ගේ පවුලේ සහෝදර සහෝදරියන් සංඛ්‍යාව නමයකි. මයිකල් පවුලේ වැඩිමලා ය. මයිකල් දැනුම් තේරුම් වයසට එළඹෙද්දී ඔහුගේ මවගේ මරණය සිදුවිය.

ඒත් සමඟ පවුලේ වැඩිමලා වූ මයිකල්ට පවුලේ වගකීම පැටවිණි. නිසි කල වයසට පැමිණීමෙන් පසුව මයිකල් විවාහ වන්නේ යාපනයේ ම පදිංචිකාරියක වන මේරි ඇග්නස් සමඟිනි. මේරි ඇග්නස් මයිකල්ට වඩා වයසින් වසර නමයක් බාල ය. මයිකල් හා මේරි සැබවින් ම ආදර්ශවත් යුග දිවියක් ගත කළෝ ය. ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකි. ඒ දර්ශනී ස්ටේෆන්, සුබෝධනී ස්ටේෆන් යන දියණියන් දෙදෙනා හා ජූඩ්සන් ස්ටේෆන් යන එකම පුතුයි. මයිකල් යුවළ සිය දරු පවුලේ කටයුතු කරන අතරේම සෙසු සහෝදර සහෝදරියන්ගේ දුක සැප ද බැලුවෝය.

මේ අතර මයිකල්ගෙ බිරිය මේරි ඇග්නස්ගේ සහෝදරයෙකු විදේශගත වී ඉතාලියේ රැකියාවක් කරමින් සිටියේ ය. පසුව ඔහුගේ උදව් උපකාරයෙන් මයිකල්ට ද ඉතාලි යෑමට වාසනාව පෑදිණ. සිය බිරිය හා දරු තිදෙනා තනිකර විදේශගත වීමට මයිකල් මුලින්ම අකමැති වුව ද අවසානයේදී ඉතාලියට යෑමට තීරණය කරන්නේ “ලංකාවේ හිටියොත් අපිට වගේ ම දරුවන්ටත් දුක් විඳින්න තමයි වෙන්නෙ” යැයි කියමිනි. 1983 මාර්තු 02 දා ශ්‍රී ලංකාවට ආයුබෝවන් කියූ මයිකල් ඉතාලි‍ය බලා පිටත්විය‍.

ඒ වනවිට මයිකල්ගෙ දරුවන් තිදෙනා වයස අවුරුදු 7, 5 හා 3 වශයෙන් විය. මයිකල් ඉතාලියේ රැකියා ස්ථානය වූයේ මගී ප්‍රවාහන නෞකාවකි. මයිකල්ගේ අතමිට සරුවිය. ලැබෙන මුදල් යාපනයේ සිටින බිරිය හා දරුවන් වෙනුවෙන් වියදම් කළේ ය. ඒ අතර ඔහු යාපනයේ සිටි සහෝදරයන් දෙදෙනෙකු හා සහෝදරියන් දෙදෙනෙකු ද ඉතාලියට ගෙන්වා ගත්තේ ය.

ඉතාලි ගොස් වසර දෙකකට පසු මුල් වරට ලංකාවට පැමිණි මයිකල් පසුව සෑම වසරකම නිවාඩුවට ලංකාවට ඒම පුරුද්දක් කර ගත්තේ ය. ඔහු සේවය කළ නෞකාව දීර්ඝ ගමනක් අවසන් කිරීමෙන් පසුව ලැබෙන මාස දෙකක පමණ නිවාඩුවේදී ඔහු ලංකාවට ආවේය. එලෙස ඔහු අවසාන වරට ලංකාවට පැමිණෙන්නේ 1994 ජනවාරියේය. අනතුරුව සිදුවූ දේ විස්තර කළේ මයිකල්ගෙ දෙවන දියණිය වන දර්ශනී ස්ටේෆන් (40) ය.

“තාත්තා ලංකාවෙන් යද්දී මම හරි පොඩියි. නමුත් තාත්තා අවුරුද්දකට සැරයක් ලංකාවට ආවා‍. ඒ දවස වෙනකම් අපි ඇඟිලි ගැන ගැන ඉන්නෙ. අන්තිමට ම ලංකාවට ආවේ 1994 ජනවාරියේ. ඒ ඇවිත් මාස හතරක් විතර හිටියා. ඒ වෙද්දී තාත්තා වැඩ කළේ හොටෙල් එකක. 1994 මැයි 14 දා නිවාඩු ඉවර වෙලා ආපහු ඉතාලියට ගියා‍. එහෙම ගිහින් සති දෙකකට විතර පස්සෙ අපේ ඥාතියෙක් ඇවිත්, බීබීසී දෙමළ ප්‍රවෘත්තිවලින් අපේ තාත්තාගෙ නම කීවා. ඒ කීව විදිහට තාත්තා හදිසියේ ම මිය ගිහින් කියලා කිව්වා.

ඒ වෙද්දී යාපනයේ සිට පිටරටට දුරකථන පහසුකම් නැහැ. ලියුම් නම් පරක්කුවෙලා එනවා. ඒ නිසා ජාත්‍යන්තර රතු කුරුසය මාර්ගයෙන් විස්තර දැන ගත්තා. එයාලා කියපු විදිහට ලංකාවෙ ඉඳලා යද්දීම තාත්තාට උණ හැදිලා. මැලේරියා උණ කියලා තමයි කියන්නෙ. ඒ එක්කම හැදුණු හෘදයාබාධයකින් 1994 මැයි 24 දා මිය ගිහින් තියෙනවා.‍ මේ විස්තර අපි දැන ගත්තෙ ඉතාලියෙ හිටපු අපේ මාමාගෙන්. කොහොම වුණත් එදා තිබුණු තත්ත්වය අනුව අපට අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.

එම කාල වකවානුව වන විට වවුනියාවේ තාන්ඩික්කුලම (වවුනියාව නගරයේ සිට කිලෝමීටර් තුනක පමණ දුරින් පිහිටි ගමක අන්තිම හමුදා මුරපොළ පිහිටා තිබිණි. එයින් ඔබ්බට පිහිටියේ එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයයි. මුලතිව්, අලිමංකඩ, කරෙයිනගර්, පලාලි, යාපනය දූපත් ප්‍රදේශවල හුදකලා හමුදා කඳවුරු පිහිටා තිබිණි. වවුනියාවේ සිට දැඩි බාධක මධ්‍යයේ කිලිනොච්චිය ප්‍රදේශයට ගොඩබිම් මාර්ග තිබුණ ද යාපනය අර්ධද්වීපයට ඇතුළුවීම සඳහා මාර්ගයක් නොතිබිණි.

එම නිසා යාපනය වැසියන්ට දකුණට පැමිණීමට තිබූ එකම ප්‍රවාහන මාධ්‍යය වූයේ ගුවනින් හෝ නෞකා මාර්ගයෙනි. එම ප්‍රවාහන මාධ්‍ය දෙකම පැවතියේ රජයේ ආරක්ෂක අංශ සතුවය. පැවැති ආරක්ෂක තත්ත්වය හමුවේ සාමාන්‍ය වැසියන්ට එම ප්‍රවාහන මාධ්‍ය මාර්ගයෙන් යාපනයේ සිට දකුණට හෝ දකුණේ සිට යාපනයට ගමන් කරනවා යනු ඉතා වෙහෙසකර කටයුත්තක් විය.

මා දන්නා එක් දෙමළ ජාතිකයෙකු යාපනයේ සිට කොළඹට පැමිණීම සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කර කොළඹ පැමිණීම සඳහා අවසර ලැබෙන විට වසර 1 ½ ගතවී තිබිණ. මෘත ශරීරයක් කොළඹ සිට යාපනයට රැගෙන යන්නේ නම් ඒ සඳහා පෞද්ගලික ගුවන් යානාවක් කුලියට ගත යුතුය. ඒ සඳහා විශාල මුදලක් ගෙවනු ලැබුව ද අවසර ගැනීම ද ලේසි පහසු ව‍ූයේ නැත.

මෙම තත්ත්වය මත මයිකල්ගෙ ඥාති මාමා විසින් ගන්නා ලද තීරණය වූයේ කරදරයක් හෝ බාධාවකින් තොරව මෘත දේහය රැගෙන යාමට සුදුසු වාතාවරණයක් පැමිණෙන තෙක් සිරුර ආරක්ෂා කර තැබීමයි. ඒ අනුව ඉතාලියේ පිහිටි සුප්‍රකට අවමංගල්‍ය සමාගමකට මෘත දේහය බාර කෙරිණ. එම සමාගම සමඟ ගිවිසුමක් ද අත්සන් කෙරිණ‍. එම එකඟතා ගිවිසුම අනුව උපරිම වසර විසි පහක කාලයක් මෘත දේහයට හානි නොවන ලෙස නඩත්තු කර කල්තබා ගත යුතුවේ.

ඒ අතර ඕනෑම දිනයක භාරකරුවන්ට මෘත දේහය රැගෙන යා හැකි ය. සමාගම සතුව මෘත දේහය තිබිය ද මෘතදේහය සහිත දෙන නැරඹිය හැකි වුව ද දෙන විවෘත කර මෘත දේහය බැලිය නොහැක. මෘත දේහය ආරක්ෂා කිරීම සඳහා ගෑස් (වායු) විශේෂයක් භාවිතා කර තිබෙන අතර අදාළ සමාගම ප්‍රකාශ කර ඇත්තේ දෙන (මිනි පෙට්ටිය) විවෘත කිරීමෙන් වායු සංයුතිය වෙනස් වී මෘත දේහයට හානි විය හැකි බවයි.

එම නිසා දෙන විවෘත කිරීමෙන් පසු කල් තබා ගැනීමේ වගකීම් සහතිකය ද අහෝසි වේ. මේ නිසා මීට වසර කිහිපයකට පෙර මයිකල්ගෙ බිරිය මේරි ඇග්නස් හා ජූඩ්සන් ඉතාලියට ගොස් මෘත දේහය සහිත දෙනට ආචාරකර ඡායාරූප ද ගෙන පැමිණියහ.

මේ අතර 2009 දී දශක තුනක් පුරා ඇදී ගිය යුද්ධය අවසන් විය. සාමය උදාවීමත් සමඟ එතෙක් දැඩි ලෙස ක්‍රියාත්මක වූ ආරක්ෂක බාධක ද ඉවත් කෙරිණ. වසා දමා තිබූ මාර්ග විවෘත වී උතුරේ ප්‍රවාහන පද්ධතිය ද ‍ර‍ටේ සෙසු ප්‍රදේශ මෙන් සාමාන්‍ය තත්ත්වයට පත්විය.

ඒ නිසා මයිකල්ගේ මෘත දේහය ලංකාවට රැගෙන ඒමට තිබූ බාධක ද ඉවත් විය. නමුත් මයිකල්ගේ මෘත දේහය රැගෙන එනු ලැබුවේ යුද්ධය අවසන් වීමෙන් වසර 10 ට පසුවය. මීට නිශ්චිත හේතුවක් මයිකල්ගේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ ද නැත.

නමුත් සැබෑ කථාන්තරය නම් මෘතදේහය රැගෙන ඒමට වසර 10 ක් ප්‍රමාද වී ඇත්තේ දරුවන් හා බිරිය මයිකල් කෙරේ බැඳී තිබූ දැඩි සෙනෙහසයි. මනුෂ්‍ය ස්වභාවය අනුව මයිකල් මිය ගිය ද මයිකල්ගෙ මෘත‍ දේහය ආරක්ෂාවී තිබීම නිසා තම පියා ජීවමානව සිටිතැයි සිතා අස්වැසිල්ලක් ඔවුහු ලැබූහ.

ඒ නිසා වසර 10 කට කලින් පියා පො‍ළවට පස් කිරීමට ඔවුහු අකමැති වූහ. නමුත් කිසිදා කිසි දෙයක් සදාකාලික නොමැති බව ප්‍රත්‍යක්ෂ කරමින් පසුගිය දිනෙක ඉතාලි අවමංගල්‍ය සමාගම මයිකල්ගෙ ඥාතීන්ට දැනුම් දෙනු ලැබුවේ ගිවිසුම් කාලය අවසාන වන බැවින් මෘත දේහය පිළිබඳ තීරණයක් ගන්නා ලෙසයි.‍

ඒ අනුව ඥාතීන් එක්ව මයිකල්ගෙ දේහය ලංකාවට රැගෙන ඒමට කටයුතු කළෝය. ඉකුත් අප්‍රේල් 05 දා දේහය ගුවන් මගින් ලංකාවට රැගෙන එනු ලැබූ අතර එය ඥාතීන්ගෙ භාරයට ගන්නා ලද්දේ 06 දාය. එදිනට යාපනයට රැගෙන යනු ලැබූ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා ෂන්මුගම් වීදිය, සංතානෙයි, චාවකච්චේරිය යන ලිපිනයේ පිහිටි ෂන්මුගම්ට අයත් නිවෙසේ තැන්පත් කෙරිණ. අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගි වූයේ පවුලේ ඥාතීන් පමණි. අවසන් කයුතු අප්‍රේල් 07 දා චාවකච්චේරිය කතෝලික දේවස්ථානයේදී කතෝලික ආගමික වතාවත් අනුව සිදු කෙරිණ.

මයිකල්ගෙ බිරිය මේරි ඇග්නස් (65) අවසාන වශයෙන් අදහස් දක්වමින්, “මහත්තයා නැති වුණේ අවුරුදු 49 දී එතකොට ලොකු දුව අධ්‍යාපනය අවසන් කරලා. දෙවැනි දුව විද්‍යා අංශයෙන් උසස් පෙළ ඉගෙන ගන්නවා. පුතාත් ඉගෙන ගන්නවා.

ඒ වෙනකම් මහත්තයා හොඳින් මටයි දරුවන්ටයි සැලකුවා. එයා මැරුණත් එයාගෙ ආශිර්වාදය අපට තිබුණා. ලොකු දුවගෙ පදිංචිය කැනඩාවේ, පුතා ලන්ඩනයේ. නමුත් ඥාති, දරුවො සේරම ආවා. අවසාන වශයෙන් දරුවොත් පියාට තමන්ගෙ යුතුකම ඉටු කළා” යැයි පැවසුවාය.

අදහස්