මෙදා පාර ලංකාව මේ තරම් රත් වුණේ ඇයි? | සිළුමිණ

මෙදා පාර ලංකාව මේ තරම් රත් වුණේ ඇයි?

  • අන්තර් මෝසම් වැස්ස පරක්කුයි
  • පැළ හිටෙව්වට නිසි නඩත්තුවක් නැහැ
  • වසරකට කැලෑ අක්කර 20,000ක් වනසයි
  • වැව් 12,000ක් විනාශ වෙලා
  • පාංශු ජල ගබඩාව අඩු වෙලා. ඉහළ ජලාධාර විනාශයි
  • සුළඟ අඩුයි ලොව උණුසුම් වීම අපටත් බලපාලා

වසර 140කට පසු අපේ රටේ වැඩිම උෂ්ණත්වය මේ වසරේ ; මහාචාර්ය චන්දන ජයරත්න

අපේ රටින් වැඩිම උෂ්ණත්වය මේ දිනවල වාර්තා වෙයි. පසුගිය අඟහරුවාදා වවුනියාවේ උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක 38.5 දක්වා ඉහළ ගියේ ය. බ්‍රහස්පතින්දා අනුරාධපුර උෂ්ණත්වය අංශක 38 විය. කුරුණෑගල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 37.5ක් විය. කොළඹ - මහනුවර ප්‍රදේශවල උෂ්ණත්වය වෙනදාට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 3කින් ඉහළ ගිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි‍.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි ඉදිරි දිනවල උතුරු මැද, උතුරු වයඹ, දකුණු බස්නාහිර, නැඟෙනහිර පළාත්වලත් ගාල්ල, මොනරාගල දිස්ත්‍රික්කවලත් සෙන්ටිග්‍රේඩ් අංශක 32 සිට 38 දක්වා ඉහළ උෂ්ණත්වයක් ඇති විය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසන්නේ වසරේ මාර්තු, අප්‍රේල් මාසවලදී අපේ රටේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් වැඩි බවයි. ඒත් මේ වසරේ එය වෙනදාටත් වඩා වැඩි වී තිබේ.‍ සාමාන්‍යයෙන් අප්‍රේල් මස මුල් සතියේදී අන්තර් මෝසම් වැස්ස ආරම්භ වේ. නමුත් මෙවර ඒ වැස්ස තාමත් හරියට නැත. අප්‍රේල් 5 දා සිට 15 දා දක්වා අපේ රටට හිරු මුදුන් විය. ඒ නිසා සූර්යයා අපට ළං වී උෂ්ණත්වය වැඩි කරයි.

මේ දිනවල සූර්ය විකිරණ දහවල් බහුලව පොළොවට උරාගනී. රාත්‍රියේ ඒවා ගොඩ බිමින් ඉහළට විමෝචනය කරයි. නමුත් මුහුදට දවල් ගත් උෂ්ණත්වය ඉහළ වායු ගෝලයේ විමෝචනය වන්නේ ඉතා සෙමෙනි. ඒ නිසා මුහුද අසල සිටින ජනතාවට මේ දිනවල රාත්‍රියත් දවල් මෙන් ම උණුසුම් බවත් මේ දිනවල වෙරළ අසල නිවාසවල හෝටල්වල මාර්ගවල සිටීම රාත්‍රියට ද සුදුසු නැති බව මෙරිල් මෙන්ඩිස් මහතා කීය.

“උෂ්ණත්වය වැඩිවීමට ප්‍රධාන ලෙසම හේතුවී ඇත්තේ කලාපයේ වලාකුළුවල හා සුළං ධාරාවල අසාමාන්‍ය ගමන් මාර්ගයයි. රට අභ්‍යන්තරයේ ඇති වී ඇති උෂ්ණත්වය වැඩි වීම කෙරෙහි ලොව දේශගුණික විපර්යාසවල ලොකු බලපෑමක් නැති නමුත් රටේ සිදුවන වන විනාශය, වායු දූෂණය හා පොලිතින්, ප්ලාස්ටික් පිලිස්සීම යනාදී නිසා ව‍ායුගෝලීය උෂ්ණත්වය වැඩිවී ඇත.

මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවට බලපා ඇති අධික උෂ්ණත්වය 1880 වර්ෂයෙන් පසුව වාර්තා වන වැඩිම උෂ්ණත්වය ලෙස හැඳින්විය හැකි බවයි.

වසර 140කට පමණ පසු මෙලෙස උෂ්ණත්වය වැඩිවූ වසර ලෙස 2019 වසර හැඳින්විය හැකි අතර සාමාන්‍යයෙන් සෑම වසරකම අප්‍රේල් 05 වැනිදා ලංකාව හරහා ඉර මුදුන්වී අප්‍රේල් 15දා සූර්යයා ලංකාවෙන් ඉවත්වන බව සඳහන් කළේය. මෙදා උෂ්ණත්වය වැඩිවීම 2016 වසරේ සිට ක්‍රමයෙන් වැඩි වූ බවද ඒ මහතා සඳහන් කළේය.

ගෝලීය උෂ්ණත්වය වැඩිවීමත් සමඟ එල්නිනෝ තත්ත්වයක් ද දිවයිනට බලපා ඇති බැවින් මෙලෙස අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය වැඩිවීමට ප්‍රධාන හේතුවක් වන බවද ඒ මහතා කීය.

මෙම තත්ත්වයෙන් මදකට හෝ සහනයක් ලබාගැනීමට වැඩිපුර ජලය හා තැඹිලි වැනි දියර පානය කිරීම, නිතර ඇඟපත සේදීම, දිනපතා ස්නානය කිරීම වඩාත් සුදුසු බව ජයරත්න මහතා සඳහන් කළේය.

පේරාදෙණිය සරසවියේ රසායනික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඕ.ඒ. ඉලේපෙරුම මහතා පවසන්නේ අපේ රටේ උෂ්ණත්වය මේ අයුරින් වැඩි වීමට වනාන්තර විනාශය හා පාරිසරික විනාශය හේතු වී ඇති බවයි. එලෙස උෂ්ණත්වය වැඩි වීම නිසා අපේ කලාපය ඇතුළත සමුද්‍ර ප්‍රදේශවල ඇති අයිස් දිය වීමෙන් මුහුදේ ජල මට්ටම ඉහළ ගොස් මාලදිවයින වැනි කුඩා රටවල් ජලයෙන් යට වීමට ඉඩකඩ තිබේ. එතෙර මෙතෙර ජෛව විවිධත්වය විනාශ වීමට ද වායුගෝලීය උෂ්ණත්වය වැඩි වීම හේතු විය හැකි බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මහනුවර හන්තාන කැලේ විනාශය හා මහනුවර ඇති අධික වායු දූෂණය නිසා මහනුවර ප්‍රදේශයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යන බවත් එයට විසැඳුමක් දීමට රාජ්‍ය බලධාරීන් පියවර ගෙන නැති බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාරිසරික හා වන විද්‍යා අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පැවසූයේ අපේ රටේ සිදුවූ රුක් රෝපණ වැඩසටහන් හා පාරිසරික දූෂණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වූවා නම් අපට මෙවැනි රස්නයකට මුහුණදීමට සිදු නොවන බවයි.

“වන විනාශයත් වාහනවලින් පිටවන අධික දුමත් ගල් අඟුරු හා ඉන්ධන බලාගාරවලින් සිදු වන වායු දූෂණයත් මෙරට රස්නය වැඩි කිරීමට විවිධ අයුරින් හේතු වී තිබෙනවා. අපේ රටේ ලොකු උත්සව තියලා පැළ හිටෙව්වට මදි. ඒවා උස්මහත් වන තුරු සුරැකීමට නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය වැනි ආයතනවලට මෙන් ම රාජ්‍ය නොවන පරිසර සංවිධානවලටත් ඒ සඳහා සුදුසු පියවර ගත හැකි බවත් මහාචාර්යවරිය පෙන්වා දෙයි.

අපේ රට මේ තරම් රත් වුණේ ඇයි? අපි ඊළඟට මේ ප්‍රශ්නය ඉදිරිපත් කළේ මෙරට ජ්‍යෙෂ්ඨ පරිසර පර්යේෂකයකු වන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතාටයි.

ඒ මහතා දැඩි ලෙස අවධාරණය කරන්නේ පසුගිය කාලයේ අපේ රට ඇතුළත තිබූ භූගත ජල ගබඩාව විනාශ වී යෑම නිසා වායුගෝලීය උෂ්ණත්වය වැඩි වෙමින් පවතින බවයි. “අපේ ර‍ට දූපත් රාජ්‍යයක් නිසා විවිධ කාලවලදී විවිධ මෝසම් අනුව වැස්ස විවිධ අයුරින් ඇති වෙනවා. නමුත් ලොව දේශගුණික විපර්යාස නිසා අපේ රටේ වැසි රටාවේ වෙනසක් ඇති වී තිබෙනවා. අප්‍රේල් මාසේ මුල ඇති විය යුතුව තිබූ අන්තර් මෝසම් වැසි තවමත් හරියට නැහැ. එපමණක් නොවෙයි ඉස්සර ගොවි ජනතාව තල වගා කරන්න කලින් ලැබුණු තල වැස්ස දැන් ලැබෙන්නෙ නැහැ‍. කාලගුණය දේශගුණය විවිධ අයුරින් වෙනස් වීම මෙයට ප්‍රධාන හේතුවයි.

අද අපේ ‍රටේ ‍වනාන්තර විනාශය උග්‍ර වෙලා. 1977 සිට 1985 දක්වා කාල සීමාවේදී මහවැලි ව්‍යාපාරය සඳහා වනාන්තර අක්කර ලක්ෂයක් කපා දැම්මා. 2010 සිට වසරකට අක්කර 20000ක් විතර අපි විනාශ කරනවා. ඒ අනුව පසුගිය වසර 10 ඇතුළත වනාන්තර ලක්ෂ 2ක් පමණ විනාශ කර තිබෙනවා. මේ වනාන්තර වැඩිපුර විනාශ කළේ වාරිමාර්ග ව්‍යාපෘති සඳහායි. උමා ඔ‍ය, යාන් ඔය, මොරගහකන්ද කළුගඟ ආදී ව්‍යාපෘති සඳහා අක්කර ලක්ෂ ගණන් කැලේ කැපුවා. ඒ අතර පසුගිය කාලේ විල්පත්තුවේ ප්‍රේරණ කලාපයේ වනාන්තර ඉවක් බවක් නැතිව කපලා ගෙවල් හැදුවා. මේ අනුව පසුගිය කාලයේ මහා පරිමාණ කෙසෙල් හා අපනයන භෝග ව්‍යාපෘති සඳහාත් කැලේ අක්කර දහස් ගණන් කැපුවා. මේ නිසා අපට අහිමි වී ඇති කැලේ අක්කර ගණන ලක්ෂ 3කට ආසන්නයි. ඊට අමතරව සාමාන්‍ය ජනතාව හා ගොවීන් තේ වගා කිරීමට හේන් අස්වැද්දීමට රට පුරා අක්කර 20000ක් පමණ අල්ලාගෙන තිබෙනවා‍.

වැස්සෙන් ලැබෙන ජලය ක්‍රමයෙන් පොළොවට උරා ගන්නේ මේ වනාන්තර තිබෙන නිසයි. වනාන්තර නැති වූ විට වැස්ස කෙළින් ම නිරාවරණය වූ පොළොවට වැටී පාංශු ඛාදනය ඇති වී රොන් මඩත් සමඟ ජලාශවලට ගමන් කරනවා. මේ නිසා ජලාශ රොන්මඩින් පිරෙන අතර එහි ධාරිතාව අඩු වෙනවා. මේ සියල්ල නිසා අපේ රටේ ජලය හා භූගත ජලය අඩු වෙලා තිබෙනවා. රටේ තිබෙන ඉහළ ජලාධාර සංරක්ෂණයට ද නිසි ක්‍රමවේදයක් නැහැ. ඒවා සංරක්ෂණයට පරිසර හා ජල සම්පත් පිළිබඳ බලධාරීන් වැඩි අවධානය යොමු කළ යුතුයි.

මීට වසර 20 - 30කට පෙර අපේ ‍රටේ වැව් 25000ක් පමණ තිබුණා. දැන් එයින් 12000ක් විතර ගොඩ වෙලා. රජය කළ යුත්තේ මහා වාරි ව්‍යාපෘතිවලට නොගොස් මේ වැව් ටික ප්‍රතිසංස්කරණය කිරීමයි. එවිට වැව නිසා ඇතිවන ජල වාෂ්ප නිසා වැව් පිහිටි ප්‍රදේශවල රස්නය අඩු වෙනවා.

පසුගිය දිනවල රජය මෙරටට යාන්ත්‍රික කියත් ගෙන්වීම තහනම් කළා. පරිසර යුක්ති කේන්ද්‍රය කළ සමීක්ෂණ අනුව වසරකට යාන්ත්‍රික කියත් 35000ක් පමණ 2014 සිට ‍ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙනවා. ඒ අනුව පසුගිය වසර 5 තුළ යාන්ත්‍රික කියත් 150000ක් පමණ ලංකාවට ගෙනැත් තිබෙනවා. නමුත් පසුගියදා ලියාපදිංචි කරලා තිබෙන්නේ යාන්ත්‍රික කියත් 38000 ක් පමණයි. මේ එක කියතකින් දවසකට එක ගහක්වත් කපනවා. ඒ අනුව දවසකට ලක්ෂ 2 විතර ගස් කැපෙනවා.

ලොව දේශගුණික විපර්යාසවලට අනුව අපේ රට ද අනුගත වීම සඳහා පැරිස් සම්මුතියට අප ද අස්සන් කර ඇති බවත් ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට රජය හා පෞද්ගලික අංශ කටයුතු කළ යුතු බවත් පරිසර හා මහවැලි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක මහාචාර්ය ඩබ්ලිව්. ඒ. සුමතිපාල මහතා පවසයි.

මේ අනුව රට උණුසුම් වීම වැළැක්වීමට සහ වනාන්තර පද්ධතිය දියුණු කිරීම සඳහා අලුත් වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාවට නැංවීම කළ යුතුයි. රටේ වායු දූෂණය වැඩි වී ඇත්තේ වාහනවලින් පිට වන දුම ද හේතු කොටගෙන ය. ඒ සමඟම මාර්ග තදබදය, නඩත්තු නොකළ පරණ වාහන පාවිච්චිය නිසා වායු ගෝලය උණුසුම වැඩි වී එය අනෙක් ප්‍රදේශවලට ද බලපා තිබෙනවා. එයින් මිදීමට රජය දැන් අලුත් නීති ‍රිති සකස් කර තිබෙනවා‍” යැයි ද මහාචාර්ය සුමතිපාල අවධාරණය කරයි.


රස්නය වැඩි වූ විට අපේ ශරීරයට වෙන දේ

උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංංශක 32ට වඩා වැඩි වූ විට ආඝාතය ඇතිවෙන්න පුළුවන්.

අවුරුදු ක්‍රීඩාවලට සහභාගි වන ක්‍රීඩකයන් පරස්සම් වන්න.

ඉදිරි දින කීපයේදී අපේ රටේ උතුරු මැද, නැගෙනහිර, වයඹ, උතුරු, බස්නාහිර පළාත් වලත් ගාල්ල, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවල වායු ගෝලීය උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 32 සිට 40 දක්වා වැඩි වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇත.

වායු ගෝලීය උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 27 සිට 32 දක්වා වැඩි වූ අවස්ථාවේදී වායු ගෝලයට වැඩි වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම් වල නිරත වීම නිසා තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැක. තව දුරටත් ක්‍රියාකාරකම් වල නිරතවීම නිසා විජලනය හා ලවන ඉවත් වීමෙන් මස් පිඩු පෙරළීම ඇති විය හැක. අපේ රටේ බොහෝ ප්‍රදේශවල මෙම මට්ටමට උණුසුම වැඩි වී ඇති නිසා අවුරුදු උත්සව ක්‍රීඩා කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

වායු ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32 සිට 40 දක්වා වැඩි වූ විට විජලනය හා ලවණ ඉවත් වීම නිසා මස් පිඩු පෙරළීම සිදු වනු ඇත. මේ අධික උෂ්ණත්වය නිසා අධික මහන්සිය ද තවදුරටත් බාහිර පරිසරයේ ක්‍රියාකාරකම් වල නිරත වීම සිදු කළහොත් අඝාත තත්ත්වය ඇති වීමට ඉඩ තිබෙන බව වෛද්‍යවරු පවසති. මේ අනුව සිංහල අලුත් අවුරුදු ක්‍රීඩා වෙනුවෙන් පවත්වනු රට හරහා දිවීමේ තරග බයිසිකල් ධාවන තරග ආදියට සහභාගි වන ක්‍රීඩකයින් තම සෞඛ්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුය.

මෙවැනි අවස්ථාවලදී බාහිර පරිසරයේ වැඩ බිම්වල සේවය කරන සේවකයන් ප්‍රමාණවත් ලෙස ජලය පාවිච්චි කළ යුතුය. සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම සුදුසුය. අධික වෙහෙස කාරි කටයුතු සීමා කිරීමත් හිතකරය. කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා නොයා යුතු අතර වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. සුදු හා ළා පැහැති සැහැල්ලු ඇඳුම් පාවිච්චි කිරීමෙන් ඉහළ උණුසුමෙන් ඇතිවන අපහසුතා මඟ හරවා ගත හැකිය. මේ සඳහා වැඩි විස්තර 0117446491 මගින් දැන ගත හැකිය.


පෘථිවිය උණුසුම් වීමට හේතු

 ඩීසල්, පෙට්‍රල් වැනි ෆොසිල ඉන්ධන භාවිතය වැඩි වීමෙන් එම ඉන්ධන දහනයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවීම

වාහන භාවිතය වැඩි වීම නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වීම වැඩි වීම

පරිසරයේ පැවැත්මට ඇති අත්‍යවශ්‍ය ගස් කපා දැමීම

‍ගෝලීය උණුසුම් වීම පෘථිවිය කෙරෙහි ඇති කරන බලපෑම

පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය දිගින් දිගටම ඉහළ යෑම

මුහුදු ජල මට්ටම ඉහළ නැඟීම

ඍතුවල වෙනස් වීම පුරෝකථනය කිරීම අපහසු වීම

වර්ෂාපතනය අක්‍රමවත් වීම

ස්වාභාවික ව්‍යසන බහුලවීම, තීවුර වීම හා ආපදා ඇති වීම පුරෝකථනය කිරීම අපහසු වීම

අදහස්