මේ අවුරුද්දෙ ඉඳලවත් ආකල්පවලින් වෙනස් වෙමු | සිළුමිණ

මේ අවුරුද්දෙ ඉඳලවත් ආකල්පවලින් වෙනස් වෙමු

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ
  • අප තනිව මේ පිළිබඳ සිතීමෙන් ඵලක් නැහැ; ජාතියක් විදියට හිතල තීරණ ගැනීම ඉතාම වැදගත්
  • අප කල්පනා කරන්නේ ඊළඟට බලයට එන්නේ කවුද; කාට වැඩ කළොත් ද තමන්ට වාසි වෙන්නේ කියලා විතරයි
  • අවුරුද්දට නැකැත් බලනවා වගේ වැඩකරන ආයතනයේ නැකතත් හරිද කියල බලන්න ඕන

• නිදහස ලබලා අවුරුදු 71 ගෙවුණා. මේ ගෙවුණු අවුරුදු 71 තුළදි ඇත්තටම අපි අලුත් වුණාද? අපේ ජීවිත අලුත් වුණාද? එහෙම නොවුණ නම් රටක් විදියට අපි අලුත් වෙන්නේ කොහොමද?

සාම්ප්‍රදායානුකූලව අවුරුදු සමයත් එක්ක අපි ඒ සඳහා ලහි ලහියේ සූදානම් වෙනවා. අලුත් ඇඳුම් අඳින්න, කෑම ජාති හදාගන්න බොහෝම ලොකු උද්යෝගයක් අප තුළ තිබෙනවා. නමුත් අපි පසු විපරමක් කරනවද අපි හිතන පතන විදියෙ වෙනසක් වුණාද? මේ අවුරුද්ද ගත කළෙත් ගිය අවුරුද්ද වගේම ද? පසුගිය වසරට වඩා පසුබැසීමකින් ද අප මේ අවුරුද්ද ගත කළේ?

සාපේක්ෂ වශයෙන් මෙහෙම හිතල බලද්දි අපි ඉන්නේ කවර තැනකද කියල අපට ම වැටහෙනවා. සෙසු ලෝකය දිහා බලද්දි අපිට පේනවා ඔවුන් ඉදිරියට යමින් සිටිනවා. තාක්ෂණය පැත්තෙන් අධිවේගයකින් ඔවුන් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. සොබාවික පරිසරය රැකගනිමින් දියුණු තාක්ෂණ ලෝකයකට පිවිසෙන මේ ගමනෙදි ඔවුන් අපට වැඩිය බොහෝ සෙයින් ඉදිරියට ඇවිත් තිබෙනවා. නමුත් අපි මේ දේවල් සඳහා යොමුවෙන්නේ පාරිසරික සාධක පිළිබඳ ව ඉතා ම අඩු තක්සේරුවකින්. අපට පරිසරය අමතක කරල මේ ගමන යන්න බැහැ. අපට මතකයි පසුගිය මැයි මාසය වෙද්දි වර්ෂාපතනය වැඩි වෙලා ඛේදවාචකයකට අප රට මුහුණ දුන්නා. එවැනි අවස්ථාවක් ආපු ගමන් අපේ ආර්ථිකය ඒ කාර්තුවේදී කඩාගෙන වැටුණා. එහෙම බැලුවම අපේ ආර්ථිකයේ ස්ථායිතාවක් පවතිනවද කියන ප්‍රශ්නය මතු වෙනවා. අපේ හැකියාවට ස්ථායිතාවක් පවතිනවද කියන ප්‍රශ්නය පැන නඟිනවා. ඒ නිසා අලුත් අවුරුද්ද හොඳ අවස්ථාවක් අපි කරපු කියපු දේවල් පිළිබඳව නැවත හිතල බලන්න. ඒ නිසා අලුත් ඇඳුම් ඇන්ඳට විතරක් මදි අපේ ආකල්පවලත් අලුත් වෙනසක් ඇති විය යුතුයි. මෙතනදි දේශපාලන වාසිය ගැන හිතල වැඩ කරනවට වඩා ජාතියක් විදියට හිතල තීරණ ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා පළමුව රට කියන කාරණාව මුලට ගෙනත් ජාතියක් විදියට එකට එකතුවෙලා හිතන්න පටන් ගන්න ඕන. සාම්ප්‍රදායිකව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියන කාරණයට වඩා අපි ආකල්පවලින් අලුත් වෙනවා කියල හිතන සංස්කෘතියක පුරුද්දක් මේ සමඟ ඇති කර ගන්න ඕන. එහෙම ආරම්භයක් අරන් කටයුතු කළොත් මේ අලුත් අවුරුද්ද වඩා අර්ථවත් අවුරුද්දක් බවට පත් වේවි. එහි ප්‍රතිඵලයක් විදියට රටත් ඉස්සරහට යාවි.

• රටක හෙජමොනිය මෙහෙය වන්නේ ඒ රටේ බුර්ෂුවා පන්තිය විසින්. (ධනවතුන්, උගතුන්, බුද්ධිමතුන්, සිවිල් සේවකයන්, කලාකරුවන්) ජනතාවගේ හිතන අවකාශය සකස් කරන අය විදියට ඔවුන් කරමින් සිටින දේ පිළිබඳ ව මේ මොහොතේ ප්‍රශ්නයක් මතු වෙනවා.

මං හිතන්නේ අප හැමෝටම බුද්ධිය කියන දේ තිබෙනවා. ලංකාව ඒ අතින් විශේෂයි. ලංකාවෙන් එළියට ගියාම කොතැනකවත් අප කිසිම දේකට පසුබට වන්නේ නැහැ. මොන තත්ත්වයක හිටියත් අපිට ඒ වැඩේ කරන්න පුළුවන් කියලා අපි වැඩ කරල පෙන්නනවා. නමුත් අවාසනාවකට මේ දේශ සීමාවට කොටු වුණාම අපේ මේ ක්‍රියාවලිය ගොඩක් වෙනස් වෙනවා. අප විසින්ම අපව පහතට ඇද දමන තත්ත්වයකට පත්ව වෙනවා. නමුත් එසේ විය යුතු නැහැ. අපි නිවට නොවී අපි හිතන දේ කියන්න ඕන. ඒ වෙනුවෙන් බය නැතිව ඉදිරියට ඇවිත් කතා කරන්න ඕන. අපි අපට තියෙන ධෛර්යය පෙන්වන්න ඕන. නමුත් කණගාටුව වෙන්නේ විදේශ රටකදි අපට ඇතිවන ධෛර්ය සම්පන්න බව රට තුළදි අප සතු නොවීමයි. ඒ සඳහා කිසියම් අල්ලසක් අනියමින් බලාපොරොත්තු විමට ඔවුන් පෙලඹී සිටිනවා. මේදේ කළොත් මට ලැබෙන වාසිය මොකක්ද? උදාහරණයකට කාර් පර්මිට් එකක් ගමු. මේ රටේ උගතුන්, බුද්ධිමතුන් පවා කාර් පර්මිට් එක වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. ඇත්තට ඒක ලැජ්ජා විය යුතු කාරණාවක්. අපේ රටේ මිසක් ලෝකයේ වෙනත් කිසිම රටක කාර් පර්මිට් එකක් මත තම ජීවන වෘත්තිය හදාගෙන කටයුතු කරන අය දකින්න ලැබෙන්නේ නැහැ. පෞද්ගලික ව මට පවා මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. අප තනිව මේ පිළිබඳ ව සිතීමෙන් ඵලක් නැහැ. සමස්තය වශයෙන් මෙවැනි දේ පිළිගැනීමෙන් ඉවත් වෙන්න ඕන. නමුත් අද කවුද එහෙම කරන්න පෙලඹෙන්නේ කියන ප්‍රශ්නය අපට තිබෙනවා. ඔබ කියන බුර්ෂුවා පන්තිය නියෝජනය කරන බුද්ධිමතුන්, සිවිල්සේවකයන්, වෛද්‍යවරුන්, කලාකරුවන්... නොයෙක් පාර්ශ්ව අද මේ තත්ත්වයට පත්ව සිටිනවා. ඉතින් ඔවුන් කල්පනා කරන්න ඕන මේ වරදාන වරප්‍රසාද ලබාගෙන කරන ක්‍රියා නිසා රට ඉදිරියට ගිහින් තියෙනවද පසුපසට ගිහින් තියෙනවද කියලා. අඳුරු යුගයක සිටි යුරෝපය එතනින් එළියට ආවේ සමස්ත විෂයය පද්ධති එකට එකතු කරලා හැමෝම එකට එකතුවෙලා කතාබහ කරල හිතන්න පුළුවන් පරිසරයක් ගොඩනඟපු නිසා. ඒ අය ඒ තත්ත්වය වඩ වඩා දියුණු තියුණු කරමින් තමයි අද මේ ගමන ඇවිත් තියෙන්නේ. එහිදී ධනවත් පවුල් කිහිපයක් ඒකරාශී වුණා මිසක් තවත් මුදල් හරි හම්බ කිරීමේ මාර්ගයකට ඔවුන් පිවිසුණේ නැහැ. බ්‍රිතාන්‍ය ජාතිකයන් නව්‍යකරණයට භාජනය වෙන්න එක හේතුවක් වුණේ මත්පැන්වලින් ඈත්වෙලා කෝපි බීමට නැඹුරු වීමයි. කෝපි බොමින් ඔවුන්ට තිබෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න පෙලඹුණා. ඒ නිසා ඔවුන් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කර ගත් බව ඒ පිළිබඳ ව කළ අධ්‍යයනයකදී පැහැදිලි වී තිබෙනවා. ඔවුන් පවසන්නේ 1650 දශකයේදී ඔක්ස්ෆර්ඩ් නගරයේ ආරම්භ වූ කෝපි අවන්හල මේ සඳහා කදිම උදාහරණයක් වන බවයි. ඒ කාලය වන විට අපවිත්‍ර ජලය පානය කළ ඔවුන් කොලරාව වැනි වසංගත රෝගවලින් සෑහෙන්න දුක් විඳ තිබුණා. ඔවුන්ට වැසිකිලි කැසිකිලි පහසුකම්වත් හරියට තිබී නැහැ. ඔවුන් උදේ ඉදන් හවස් වෙනකම් මධ්‍යසාර තමයි පානය කර තිබුණේ. වතුර බීලා බඩ යනවට වඩා බීල මත්වෙන එක ඒ අයට යහපත් කියල හිතුණා. නමුත් කෝපි බීමට පටන් ගැනීමත් සමඟ ඔවුන් එතනින් එළියට ආවා. ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන තැනක් බවට මේ කෝපි අවන්හල් පත් වුණා. ඔවුන් ඒ ප්‍රශ්න විසඳගන්න දරපු උත්සාහයේ, උනන්දුවේ තරම තමයි අද අපි මේ දකින්නේ. ඒක ලොකු විප්ලවයක්. නමුත් අපි දකිනවා අනුරාධපුර යුගයෙදි අප ඉතාම අලංකාර වැසිකිලිවලවල් පාවිච්චි කර තිබෙනවා. අපවිත්‍ර ජලය පවිත්‍රකරණ උපකරණ වගේම කුඹුක් ගස් වැවීම ආදී සොබාවික ක්‍රමවේද යොදාගෙන තිබෙනවා. නමුත් අවාසනාවකට අපි දැන් ඒ ගැන හිතල බලනවද? නැහැ. අපි එකට එකතු වුණාම ඒ විදියට ප්‍රයෝජනවත් දේ කතා කරනවද? අපි මේ මාර්ග තදබදයට, කුණු ප්‍රශ්නයට, විසඳුම් දෙන්නේ කොහොමද? කියල කතා කරනවද? නැහැ. අප කල්පනා කරන්නේ ඊළඟට බලයට එන්නේ කවුද; කාට වැඩ කළොත් ද තමන්ට වාසි වෙන්නේ කියන පුද්ගලික තැන ඉඳගෙනයි. මේ වගේ අලුත් අවුරුදු දවසක තමයි කුණු කන්දට යටවෙලා තිස්දෙනෙක් පමණ මිය ගියේ. ඒක අපට අමතක කරන්න බැහැ. උත්සවාකාරයෙන් අලුත් අවුරුද්දේ විනෝද වෙන ගමන් අපි එකට එකතු වුණු මේ වෙලාවේ එවැනි දේ ගැනත් අපේ අවධානය යොමු කළොත් අපට යන්න පුළුවන් දුර බොහොමයි.

• අපි දන්නවා මේ රටේ තීරණ ගැනීමේදී බලපෑම් කළ හැකි ඉහළ තනතුරු බොහොමයක් පත් කරන්නේ දේශපාලන බලය හොබවන්නන් විසින්. එහෙම වුණාම ඔවුන් බුද්ධමතුන් වුණත්, උගතුන් වුණත් කිසියම් ආකාරයකට ඒ පාලකයාගේ රූකඩ බවට පත් වෙනවා. මෙතනදී දේශපාලනඥයා සහ බුද්ධිමතුන් තමතමන්ගේ කාර්යයන් තෝරා බේරාගෙන කටයුතු කරනවා නම් නේද වඩා යහපත් වෙන්නේ?

මෙරටින් බොහෝ රටවලට යන බුද්ධිමතුන් ඉතාම සාර්ථක ලෙස ලෝක මානව ප්‍රජාවට විශාල මෙහෙයක් සිදු කරමින් නව නිපැයුම් ලොවට දායාද කරන ආකාරය අපි දකිනවා. ඒකට හේතුව තමයි ඒ රටවල ආයතන ව්‍යූහය සකස් වී තිබෙන ආකාරය. ඔවුන් කිසියම් වගකීමක් යමකුට පැවරුවාම ඔවුන් ඒ කාර්යයට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා තමන් පත් කළේ සුදුසු ම කෙනා බව. ඔවුන් කරන්නේ ඔහුගේ ක්‍රියාවලියට අවශ්‍ය පසුබිම සකස් කර දීම පමණයි. ඒ ආකාරයට ආයතනික පරිසරය හදලා නැත්නම් කොයිතරම් හොඳ බුද්ධිමතකු පත් කරත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔහුගේ ක්‍රියාකාරිත්වයට නොයෙක් බාධා එල්ල වෙනවා. 'ජාතියක් කොහොමද පිරිහෙන්නේ (why nation fail)' කියන කෘතිය හරහා ඩැරන් ඇසිජොග්ලූ සහ ජේම්ස් ඒ. රොබින්සන් කියන ආර්ථික විශේෂඥයන් දෙදෙනා මේ තත්ත්වය පැහැදිලි කරනවා. අපි දන්නවා ඇමෙරිකා මෙක්සිකෝ දේශ සීමා ඇති වුණේ කොහොමද කියලා. නමුත් මේ දෙකට බෙදුණ නගරයේ දෙපැත්තෙම ඉන්නේ මෙක්සිකන් ජාතිකයන්. ජාන සැකැස්ම අතින්, සංස්කෘතික ගතිසිරිත් අතින්, අහාරපාන අතින්... රටවල් දෙකක ජීවත් වුණාට එක හා සමානයි. එකම ජාතියක් වෙසෙන තැන් දෙකක එක පැත්තක් හරිම දුප්පත්; ප්‍රශ්නවලින් පෙළෙනවා. තාප්පෙන් පැනලා ඇමරිකාව පැත්තට යන්න හදනවා. මොකද ඒ අය වැඩ කරගෙන හොඳ යහපත් ජීවිත ගත කරන නිසා. මේ වෙනස ඇතිවීම පිළිබඳ ව ඔවුන් පවසන්නේ ආයතනික ව්‍යූහය කෙතෙක් දුරට බලපා තිබෙනවාද කියන කාරණයයි. ආයතනය තුළ තීරණ ගන්න අපි මොනවගේ පුද්ගලයකු ද පත් කරන්නේ. එහිදී ඔහු ගන්න තීරණවලට ආයතනික ව්‍යූහය කොයිතරම් දුරට ඉවහල් වෙනවද කියන කාරණය ඔවුන් පෙන්වා දෙනවා. එහෙම බැලුවම අපේ රටවල්වල ආයතන ව්‍යූහය සකස් වී තිබෙන්නේ ඒ ආකාරයට නෙමෙයි; තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම අරමුණු කර ගෙනයි. ඒ ප්‍රශ්න නම් විසඳෙවි. නමුත් එවිට එම ආයතනය ප්‍රශ්නවලින් පිරුණු තැනක් බවට පත් වෙලා. එහි බලපෑමෙන් සමස්ත ප්‍රජාවේ ම ජීවන තත්ත්වය පිරිහීමට ලක්වෙනවා. ඒ නිසා මේ රටේ ආයතන සමස්තයක් විදියට එකට එකතුවෙලා අපි මේ වැඩ කරන විදිය හරිද; මේ විදියට අපට ඉදිරියට යන්න පුළුවන්ද කියල කල්පනා කරලා බලන්න ඕන. අපි හැමෝම අවුරුද්දට විවිධ නැකැත් බලනවා වගේ ආයතනයේ නැකතත් හරිද කියල බලන්න අපි සැලකිලිමත් වෙන්න ඕන.

 

අදහස්