ශ්‍රී ලංකා ක්‍රිකට් කුණු වළේ ගැට්ටට පෙනෙන ලෝක කුසලානය | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් කුණු වළේ ගැට්ටට පෙනෙන ලෝක කුසලානය

ක්‍රිකට් පදිරි වූ අකාරය අපේ ගමේ ගස් නඟින ජෙමාත් දනී. ජෙමාලාට ගස්වලින් පොළොවට බැහැගත් විට ජීවත්වෙන්න බලාපොරොත්තු තිබුණේ නැත. යන්තම් කුසපොත්ත රවටාගෙන, ඇඟපතේ අමාරුවට යමක් සප්පායම් වී ගෙවනවාට ජීවිතය දිය කරන ඔවුන්ගේ ෆැන්ටසි තුළ වූ ජීවිත උත්තේජක අතර මුල් තැන ගත්තේ ක්‍රිකට්ය. දැන් ඒ මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙකුට රට ගැන අභිමානයක් ඉපදවූ එකම එක බලාපොරොත්තුවත් අහිමි වී ගොස්ය. ක්‍රිකට් මේ තරම් මස්තබාල්දු වේ යැයි මීට අවුරුද්දකට දෙකකට පෙර කිසිම කෙනෙක් කල්පනා කළේ නැත. දැන් අමාරුවෙන් හිත හදාගෙන යළිත් ක්‍රිකට් ගැන හිතන්නට ඔවුන්ට සිදු වී තිබේ.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කර ඇත. කණ්ඩායමේ නායකයා දිමුත් කරුණාරත්නය. තේරීම් කමිටු සභාපතිවරයාට අනුව ලෝක කුසලානයේදී ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය භාරගැනීමට සුදානමින් සිටියද ඔහු වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ එම ධුරයේ සිටින බැවින් නායකත්වය ප්‍රතික්ෂේප කර ඇත. දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයක් නැති බැවින් ඔහුට නායකත්වය මෙන්ම කණ්ඩායමේ ස්ථානයද නැත. අවසානයේ දකුණු අප්‍රිකාවේදී පෙරළියක් කළ දිමුත් කරුණාරත්නට නායකත්වය ලබාදෙන්නට කටයුතු කර ඇතැයි ඔවුහු කියති.

අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය සිල්වා, ජීවන් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ළහිරු තිරිමාන්න, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, ඉසුරු උදාන, ජෙෆ්රි වැඩර්සේ කණ්ඩාමට නම් කර ඇත.

ඒ කණ්ඩායම සම්බන්ධවත් විවේචන මතු වෙමින් ඇත. කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇති දිමුත් කරුණාරත්න අවසාන වරට අන්තර්ජාතික එක් දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ වර්ෂ 2015 මාර්තු මසය. කණ්ඩායමට යළිත් කැඳවා ඇති ජීවන් මෙන්ඩිස් අවසාන එක් දින අන්තර්ජාතික තරගය ක්‍රීඩා කරන්නේ 2015 පෙබරවාරියේදීය.

ලහිරු තිරිමාන්නව දැනගෙන සිටියේ ටෙස්ට් රිද්මයේ ක්‍රීඩකයෙකු ලෙසය. මිලින්ද සිරිවර්ධන දකින්නේ කාලයකිනි. අකිල ධනංජය, දිනේෂ් චන්දිමාල් ලෝක කුසලානයට යන්නේ නැත. දික්වැල්ල ගැන නම් කතා කර පලක් නැත. විමසිය යුත්තේ ඔහු මෙතෙක් කල් කණ්ඩායමේ රැඳී සිටි ආකාරය ගැනය. පසුගිය එක්දින අන්තර්ජාතික තරගාවලි පුරාම රට දුටුවේ ඕවර පනහක් ක්‍රීඩා කළ නොහැකි ජාතික කණ්ඩායමකට නොගැළපෙන ළදරුවන් පිරිසකි. ඔවුන් වෙනුවෙන් මේ ආදේශක අවශ්‍යය බව තේරීම් කමිටුව තීන්දු කර ඇත.

මාලිංග දුකෙන්

ලසිත් මාලිංගට නායකත්වය නොලැබුණහොත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත හැකි බව වාර්තා කර තිබුණේ බී.බී.සී ය විසිනි. දැනට අන්තර්ජාතික තලයේ විශිෂ්ටම දක්ෂතා පෙන්වන එකම ලාංකික ක්‍රීඩකයා මාලිංගය. දැනට අයි.පී.එල්. වැඩිම කඩුළුලාභියා ඔහුය. ලෝක කුසලාන තරගාවලිවලදී ඔහු ලබාගත් කඩුලු ත්‍රිත්වයන් තවමත් සංවාදයට ලක් වෙයි. වර්ෂ 2014 විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනාදීමට කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඔහුය.

පසුගිය තරගාවලිවලදී නායකත්වයේ වගකීම ලසිත් මාලිංග විසින් ඉතාම ඕනෑකමින් කළ බවත්, එහෙත් සෙසු ක්‍රීඩකයන් ඔහුට සහාය නොදැක්වූ බවත්, මාලිංග දක්ෂයකු වුවද කණ්ඩායමේ එකමුතුකම ගොනු කරගැනීමට ඔහුට නොහැකි බවත් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්තා ද මෙල් කීවේය. මේ ව්‍යසනය කුමක්දැයි අපි දැනට මුම්බායි නුවර අයි.පී.එල්. තරගාවලියේ සිටිනා මාලිංගගෙන් ඇසුවෙමු. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වී යන්නේ නායකත්වය නොලැබීම නිසා බවට පැතිරී ඇති කතාව මුල් කරගෙන ඔහු සමග සංවාදයට එක් වීමු.

මාලිංග අපට කී කතාව මෙසේය.

“ඇත්තටම ලෝක කුසලානයට යනවද නැද්ද කියලා තවම මගේ කිසිම තීරණයක් නැහැ. හැබැයි මම නායකත්වය නොලැබුණ නිසා කනගාටුවෙන් ඉන්නවා කියන කතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. එක් බොරුවක්. මම ඉස්සරත් ගැහුව්වෙ රට වෙනුවෙන්. දැනුත් ගහන්නෙ රට වෙනුවෙන්. ඒ නිසා මොන නායකයත් මට එකයි. මට පුහුණුකරුවා කවුද කියන එකත් වැදගත් නැහැ. මම හැමදාම රට වෙනුවෙන් ක්‍රීඩා කළා.

මාලිංගට නායකත්වය නොලැබුණේ ඔහු අදක්ෂ නායකයෙකු නිසා නොව කණ්ඩායමේ එකමුතුකම ගොඩ නඟාගැනීමට නොහැකි වීම නිසා බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කීවේය. මාලිංග ඒ ගැන කියන්නේ මෙවැනි කතාවකි.

“එතැන ගැටලුවක් තියනවනේ. දැන් හිතන්න... මට අනෙක් අය සහයෝගය දෙන්නෙ නැති නම් මාව කණ්ඩායමට ගැළපෙනවද ? ඇත්තටම ඒක මටත් තියෙන ප්‍රශ්නයක්. ඒ අය කියන විදිහට මට කණ්ඩායමේ සහයෝග ලැබෙන්නෙ නැති වෙන කොට මම ආයෙත් ඔවුන් අතර තනි වෙනවා. හැබැයි පැහැදිලිව කියන්න ඕන. ලසිත් මාලිංගට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම ගහන්නෙ රට වෙනුවෙන්. එදත් එහෙමයි හෙටත් එහෙමයි.”

මාලිංග ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින පන්දු යවන්නෙකි. ඔහු රටට අවශ්‍යය.

“ඒක වෙන්න පුළුවන්. එත් කණ්ඩායමේ එකමුතු කමට ප්‍රශ්නයක් නම් මම යන්නෙ නැහැ. මේ ගැන ක්‍රිකට් පරිපාලනයෙන් විමසන්න මා බලාපොරොත්තු වෙනවා. මට කණ්ඩායම එකට තියාගන්න බැහැ කියලා ඒ අය ප්‍රසිද්ධියේම කිව්වනේ. මාව කණ්ඩායමට ඕන කියලා ලංකාවේ ක්‍රිකට් කියනවා නම් මම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලෑස්තියි. නමුත් මේ ගැන තීන්දුව ගන්නෙ මම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කරලා.”

අවසානයේදී මාලිංග මෙසේ කීවේය.

“දිමුවා (දිමුත් කරුණාරත්න) හොඳට කරයි. ඒක විශ්වාසයි. ආයෙත් මං කියන්නෙ මුලින් කියපු දේ. කවුරු නායකයා පුහුණුකරුවා වුණත් මට ඒක කවදාවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. මම ගහන්නෙ රට වෙනුවෙන්. ”

ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා කියා සිටියේ ලසිත් මාලිංග රට වෙනුවෙන් ක්‍රීඩා කරන කෙනෙක් බැවින් ඔහු මෙවර ලෝක කුසලානට සහභාගී වනු ඇතැයි තමා විශ්වාස කරන බවය. ලෝක කුසලාන සංචිතයේ නායකත්වය මාලිංගට ලබා නොදීම සම්බන්ධයෙන් ඔහු සමුගැනීමට සූදානම් නම් වනු ඇතැයි ද නොසිතන බවය. විශිෂ්ටම ක්‍රීඩකයෙකු හොඳ නායකයෙකු නොවන අවස්ථා ඇති බවය. ඔහු ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔහු අත්හැර ලෝක කුසලානයට යන්නට සිදු වන නිසා රට වෙනුවෙන් නිවැරදිම තීන්දුව ගැනීමේ වගකීම ඔහු සතු බවය. “අපි ඔහුට නායකත්වය දුන්නෙ නැති එකට පිළිතුරක් දෙන්න හරි මාලිංග ඇවිත් හොඳම දක්ෂතා පෙන්වයි.” ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා කීවේය. අවසානයේ මාලිංග කොන්ත්‍රාත්තුව අත්සන් කළේය.

දිමුත්ගේ සැලසුම

මේ වන විට දිමුත් කරුණාරත්න සැලසුම් කරමින් සිටින්නේ වර්ල්ඩ්කප් දිනන්නට පෙර කණ්ඩායමේ එකමුතුකම හදාගන්නටය. එය වර්ල්ඩ් කප් ගේනවාට වඩා ලොකු ගේමකි. ඔහුට ඒ සැලසුම හදාගන්නට එංගලන්තයට යන තුරු බලා සිටින්නට සිදුවෙයි.

“දකුණු අප්‍රිකාවේදී මට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ඒක ලැබුණාම භාර අරගෙන මම හොඳට කළා. එක් දින නායකත්වයත් මම බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි. එතැනට මම සුදුසු නිසා කියලා හිතන හින්ද මට දැන් ඒ නායකත්වය ලැබිලා තියෙනවා. මම 2015න් පස්සෙ අන්තර්ජාතික එක්දින තරගවලට ක්‍රීඩා නොකළත් දේශීය එක්දින තරගාවලි හැම එකකම මම පළමු පිතිකරුවන් පස්දෙනා අතර හිටියා. නමුත් මම දිගටම අන්තර්ජාතික ටෙස්ට් තරගවලට සහභාගි වුණා. අපිට සැලසුම් හදන්න වෙන්නෙ එංගලන්තයට ගිහිල්ලා. දැන් ඉඳලා කරන්න තියෙන්නෙ කණ්ඩායමක් විදිහට සහයෝගයෙන් වැඩ කරන එක.’

‘පුහුණුකරුත් එක්ක එකතු වෙලා සැලසුම් හදන්න ඕන. ඔහු තමයි ක්‍රීඩකයන් ගැන ගොඩක් දන්නෙ. හැම දෙනාගේම සහාය ඇතිව තමයි තරගයට කණ්ඩායම තෝරාගන්නෙ. හැමෝම සියයට සියයක් දෙන්න උත්සාහ කළත් අසාර්ථක වෙන්න සිදු වෙන වේලාවල් තියෙනවා. අපේ අතපසු වීම් පසුගිය කාලයේ පළාත් තරගාවලියේදී ඒවා හදාගත්තා.’

එහෙත් අප දුටුවේ අවස්ථා තුනකදී හැර තුන්සීයේ සීමාව ඉක්මවා ලකුණු රැස් කිරීමට නොහැකි වූ කුජීත පළාත් තරගාවලියකි. හිතේ සැනසීමකට ඇත්තේ ලෝක කුසලානයට පෙර දැක්වූ ක්‍රීඩකයන්ගේ තුට්ටුදෙකේ බලු පොරය නිමා වීම පමණය. තගරයෙන් තරගයට ලැබෙන ඩොලර් මලුවලට ගණන් හදමින් කණ්ඩායම් නායකත්වයට තම තමන්ගේ මිනිස්සු පත් කරගැනීම සඳහා කෙහෙවලු පටලවාගත් ගැහැනුන්ගේ මල විකාර කලකට නැවතෙනු ඇත. සල්ලිවලට ඇඩ්මින්ලා අරගෙන තම තමන් පුම්බාගැනීමට ෆේස් බුක් කැම්පේන් කළ ක්‍රීඩකයන්ගේ අපුල දනවන හැසිරීම් නවතිනු ඇත. කණ්ඩායමට නායකයන් නම් කර ඉල්ලා සිටින ක්‍රීඩකයන් තාවකාලික විරාමයකට යනු ඇත. කොටින්ම කුණු කානු පල්ලේ සිට එළිදකින මේ ක්‍රිකට් කුණුහරපයට තාවකාලික විරාමයක් ලැබෙනු ඇත. එහෙත් රටක් ලෙස අප කළ යුතු හොඳම දේ හිත හදාගැනීමය. ඇත්ත නම් අප වර්ල්ඩ් කප් යන්නේ මේ ක්‍රිකට් කුණුවළේ ගැට්ටෙන් ගොඩ එන්නට නොහැකි යථාර්ථයක් තුළ බවය.

අදහස්