අද විනිවිද බවින් යුතුව රටේ ක‍ටයුතු කෙරෙනවා | සිළුමිණ

අද විනිවිද බවින් යුතුව රටේ ක‍ටයුතු කෙරෙනවා

සංවාදය තුෂාරි නේරංජා වික්‍රමසිංහ

උදා වුණු අලුත් අවුරුද්දේ ඔබේ ජනතාවට පවසන්න යමක් ඇති...

ඔව්. මේ රටේ ජනතාව අවුරුදු ගානක් තිස්සේ බලා සිටි ආර්ථික, සමාජීය, සංස්කෘතික... මේ හැම අතකින්ම යහපත් සුබ පරිසරයක් රටේ ඇති වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම එදා සිටම සමාජයේ යම් ව්‍යසනයක් තිබෙනවා නේ: විශේෂයෙන් මත් කුඩු භාවිතය, විනය නීති නොපිළිපැදීම වගේ කාරණා. මේ ආණ්ඩුවේ ආගමනයත් එක්ක අද ඒ දේවල් වෙනස් කරමින්, මත් උවදුර මඬිමින්, විනයගරුක සමාජයක් රටේ ගොඩනැඟෙමින් පවතිනවා. ඒ දේවල් ඉදිරියේදී තව-තවත් සාර්ථකව ඉටු වේවා කියා පතනවා.

මන්ත්‍රිනියක ලෙස ඔබ ජනතාව වෙනුවෙන් ඔබට කළ හැකි වූ සේවය ගැන තෘප්තිමත්ද?

2015 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ මගේ ඡන්ද දායකයන්ට පක්ෂයෙන් කළ යුතුකම් පිළිබඳ මට සෑහීමකට පත් වන්න බැහැ. එයට හේතුව: මේ වන තුරුම අපට තිබුණේ සම්මුතිවාදි ආණ්ඩුවක්. මම හිතන්නේ රුවන්වැල්ල, යටියන්තොට, දැරණියගල - තුන්කෝරලයේ ආසනවලට එක්සත් ජාතික පක්ෂ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්ච සුදුස්සන්ට තනතුරු ලැබෙනවාට වඩා, අපට ගැහුව වෙනත් පක්ෂවල බොහෝ දෙනාට සම්මුතිවාදි ආණ්ඩුවෙන් තනතුරු-තානාන්තර ලබා දුන්නා. ඒ නිසා වසර 20ක් පුරා දුක් විඳි එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලොකු සිත් රිදීමක්, කලකිරීමක් ඇති වී තිබෙනවා. එහෙත් පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ඇති වූ දේශපාලන විපර්යාසය නිමා වීමෙන් අනතුරුව අද අප එජාප ආණ්ඩුවක් ලෙස යන මේ ගමන ගැන මම සෑහීමකට පත් වනවා. එතැනදී අපට මේ වන විට ආසන මට්ටමින්, ග්‍රාමීය ජනතාවගේ අපේක්ෂා ඉටු කරමින් ඔවුනට උදවු කරන්න, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරන්න හැකි වී තිබෙනවා.

මේ සියල්ල කළත්, බහුතර ජනතාවකට සාධාරණයක් ඉටුව නැති බවයි ඔවුන් පවසන්නේ...

පෞද්ගලිකව ගත්තාම 2015දී යහපාලන ආණ්ඩුව බලයට පත් කරන්න වසර 20කට වැඩි කාලයක් දුක් විඳි එක්සත් ජාතික පක්ෂ ජනතාවට අදටත් සමෘද්ධිය, සහනාධාර අහිමි වීම් තිබෙනවා; විශේෂයෙන්ම ලැබිය යුතුම අයට. ඉදිරි මාස කිහිපය තුළ මේ දේවල් හිමි විය යුතු අයට සාධාරණව ඒ ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම වසර 20ක් පුරා සාධාරණයක් ඉටු නොවීම නිසා එක්සත් ජාතික පාක්ෂිකයන් පරම්පරාවක් වයසට ගිහිල්ලා. අවුරුදු 35-40 පහු වෙලාත් විරැකියාවෙන් පෙළෙනවා. විරැකියාව අපේ පාක්ෂිකයන් තුළ බහුලයි. ඒ නිසා තරුණ පිරි‍ස්වල මේ කලකිරීම්වලට ඉදිරි මාස කීපය තුළ විසඳුම් හා අවස්ථා ලබා දිය යුතු වෙනවා.

වත්මන් සමාජය ගැන කතා කළොත්...

අද මේ රටේ ජනතාව නිදහසේ ජීවත් වනවා. තම මතය නිදහසේ ප්‍රකාශ කරන්න ඔවුන්ට අවස්ථාව ලැබී තිබෙනවා. ඕනෑම තොරතුරක් දැනගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා. විනිවිදබවින් යුතුව රටේ සංවර්ධන වැඩකටයුතු සඳහා තීන්දු-තීරණ ගන්නවා. ඒ දේවල් ප්‍රමිතියකට අනුව සිදු වනවා. ඒ ගැන මම ජනතා නියෝජිතවරියක ලෙස සතුටු වෙනවා. අධ්‍යාපනය ගත්තාම, අද දරුවන්ට විශාල වරප්‍රසාද රැසක් හිමිව තිබෙනවා. පාසල් දරුවන් රක්ෂණයේ සිට ගමේ පාසල දියුණු කිරීම දක්වා ප්‍රශස්ත වැඩපිළිවෙළක් ආණ්ඩුව දියත් කර තිබෙනවා.‍ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තත් ඒ වගේම තමයි. මොන තරම් විවේචන තිබුණත් මේ දේවල් භුක්ති විඳින ජනතාව දන්නවා මෙයින් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභය.

ඒත් බඩු මිල වැඩියි, බදු ගහනවා වැඩියි කියා ජනතාව චෝදනා නඟනවා‍...

මිල පාලන අංශය හරිම දුර්වලයි කියා මටත් පෙනෙනවා. අද අතරමැදියා තමයි ගසාකන්නේ. අදාළ මිල පාලනයන්, වැටලීම් නිසි ලෙස සාධාරණව සිද්ධ වෙන්න ඕනෑ. මේ සියල්ල අතරේ අප අමතක නොකළ යුතු දෙයක්ද තිබෙනවා. 2015දී රාජ්‍ය සේවයේ කිසිම ආණ්ඩුවක් නොකරපු ලෙස ‍රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. අදටත් රාජ්‍ය සේවකයන්ට වැඩි පඩියක් අපේ ආණ්ඩුවෙන් ගෙවනවා.

ඔබ නියෝජනය කරන ප්‍රදේශයේ ප්‍රධාන භෝගය රබර්. එයට අද නිසි මිලක් නැහැ නේද?

සබරගමුව ප්‍රදේශයේ ප්‍රධාන කෘෂිකාර්මික භෝගය වන රබර්වල මිල අද පහත බැහැලා. කර්මාන්තයක් ලෙස මෙහි නියැළෙන අයට ඉන් යම් ගැටලු ඇති වෙලා. මිලක් නැති වීම සහ නිෂ්පාදනය, අස්වැන්න සම්බන්ධ ක්‍රමවේදයන් නිසි ලෙස නොපැවතීම යන කාරණා ගැන මමත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ සඳහා ප්‍රාදේශීය වශයෙන් කුඩා කර්මාන්ත ඇති කරන්න, රබර් සඳහා සෑහීමකට පත් විය හැකි මිලක් නියම කරන්න රජය කටයුතු කළ යුතු වෙනවා.

මැතිවරණ කල් දැමීම ගැනත් ආණ්ඩුවට චෝදනා එල්ල වනවා...

පළාත් සභා මැතිවරණය වගේම ජනාධිපතිවරණයත් ඉදිරියේදී පැවැත්වේවි. එය කල් ගියේ ඡන්ද ක්‍රමයේ වෙනස් කිරීම් වගේම සීමානීර්ණය පිළිබඳ ගැටලු පැනනැඟුණු නිසයි. මැතිවරණයක අවශ්‍යතාව අපත් දකිනවා. මා සිතන්නේ පළාත් පාලන මැතිවරණය එක්වරම රටේ හැම පළාතකම පවත්වනවා නම් හොඳයි කියලායි.

පළමුව මේ අතුරින් කුමන මැතිවරණය පවත්වයිද?

ජනාධිපතිවරණය පළමුව පවත්වයි කියා මා සිතනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා කවුරුද?

එජාප අපේක්ෂකයා තවම නම් කර නැහැ. කෘත්‍ය‍ාධිකාරි මණ්ඩලයේ මතය වගේම පාක්ෂිකයන්ගේ බහුතර කැමැත්ත අනුව ඉදිරියේදී සුදුසුම අපේක්ෂකයා තෝරාගනීවි.

පළාත් පාළන මැතිවරණයට ඔබේ පළාත සූදානම්ද?

ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අප ශක්තිමත්. පක්ෂය වෙනුවෙන් උපරිම සහයෝගය දක්වන්න වගේම ජයග්‍රහණය වෙනුවෙන් කැප වන්න මා සූදානම්.

අදහස්