ඒ දුව සහ මේ දුව | සිළුමිණ

ඒ දුව සහ මේ දුව

ලතින් ඇමරිකාව විශිෂ්ටතම කවීන් දෙදෙනෙක් ලෝකයට දායාද කළේ මීට දශක කිහිපයකට පෙරය. එක් අයෙක් පැබ්ලෝ නෙරූදා ය. අනෙකා වික්ටර් හාරා ය. නෙරූඩාට චිලියේ ජනපතිකම ගන්න යැයි කීවිට ඔහු කීවේ 'ඊට වඩා මට සාහිත්‍ය වටිනවා' කියලා ය. අන්තිමට ජනපති වූයේ ඔහුගේ හොඳ ම මිතුරා වූ අයියෙන්දේ ය. චිලියේ අනෙක් සටන්කාමී කවියා වික්ටර් හාරා ය. චිලියේ ජනප්‍රිය ම ගායකයා බවට පත් වන්නේද වික්‌ටර් හාරා ය. පැබ්ලෝ නෙරූ දා නොබෙල් තෑග්ග දිනූ උත්සවයේ ගායන වෘන්දය මෙහෙයවන්නේ වික්‌ටර් හාරා ය.

'උඹ දේශද්‍රෝහියෙක්. මින් පස්සේ වයපන් බලන්න විප්ලවයට වයලින්'

එහෙම කී චිලියේ මිලිටරි ආඥාදායක ඕගස්ටෝ පිනෝචේගේ සහචරයන් ඔහු මරා දැමූහ.

1932 උපන් වික්‌ටර් හාරා 1973 දී මරා දැමූ අතර ඔහුගේ මළ සිරුර හමුවන්නේ ඔහු උපන් චිලී රටේ සන්තියාගෝ අගනුවර කුණු කාණුවකිනි. වෙඩි උණ්ඩ 44 ක් වැදී මියගොස් සිටි හාරාගේ සිරුර කුණු වී තිබුණි.

1973 වසරේදි චිලියේ සැල්වදෝර් අැලන්ඩේගේ වාමාංශික පාලනය පෙරළා දමා කුමන්ත‍්‍රණයකින් බලය පැහැර ගත් ජෙනරල් ෆිනෝෂේ ගේ හමුදා ජුන්ටාව විසින් අත්අඩංගුවට ගත් වික්ටර් හාරාව චිලියේ ක්‍රීඩාංගනයක් තුළදී පහර දී පුළුස්සා ඝාතනය කරනු ලැබීය. ස්‌පාඤ්ඤ බසින් විප්ලවීය කවි ලීමෙහි වරදට ඔහුගේ දෑත් කපා දමා තිබුණි. විප්ලවීය කවි කී වරදට ඔහුගේ කට කපා දමා තිබුණි. ඝාතනයෙන් පසු සියල්ල අවසන් යැයි ආඥාදායකයෝ කල්පනා කළහ. එහෙත් සිවිල් සමාජය සිටියේ සසල වෙලා ය. මේ තිරස්චීන බියගුලු ඝාතනය ගැන කම්පාවෙන් වසරින් වසර ගෙවී ගියේය. වික්ටර් හාරා ලොව පුරා ප්‍රචලිත වෙත්දී ආඥාදායකයන්ට එරෙහිව සමාජ වියරුව උත්සන්න විය. ඒ අතරතුර වික්ටර් හාරාගේ දියණිය සටන් මඟට ආවා ය. සිය පියාගේ ඝාතකයන් සොයා ගැනීමේ සටන ඈ හුදකලාවේ සිදු කළා ය. විික්ටර් හාරාගේ බිරිය ජොන් දියනියට සහය දුන්නා ය. 2009 වසරෙහි දී ඔහුගේ සිරුර යළි ගොඩගෙන පූර්ණ මරණ පරීක්ෂණයක් ද කළේය. එනමුත් විලි රටෙහි දී සාධාරණය ඉටු වූයේ නැත.

එවක ආඥාදායක ෆිනෝශේගේ දෙවැනියා, එහෙමත් නැත්නම් ආරක්ෂක ලේකම්වරයා ජෙනාරාල් පේද්රෝ පබ්ලෝ බරින්දොස් ය. ඔහු අමෙරිකන් පුරවැසිභාවය ලබාගෙන සිටි අයෙකි. වික්ටර් හාරා මරා දැමු චෝදනාව එල්ල වූයේ බරින්දොස්ට ය. බරින්දොස්ද එය පිළිගෙන තිබුණේ 'කවුද වික්ටර් හාරා කියන්නේ..එයා දේශද්‍රෝහියෙක්' පන්නයේ කටමැන දෙඩවීම් වලින් ය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේදී චෝදනාව එල්ල වුයේ මහින්දගේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ය.

'හූ ඊස් ලසන්ත..කවුද එයා..එයා නිකම් ටැබ්ලොයිඩ් පත්තරකාරයෙක්' ගෝඨා කීවේ එහෙම ය. ගෝඨා ද අමෙරිකන් පුරවැසියෙකි.

දෙරටක සිදුවීම් එකට පෑහෙන්නේ එහෙම ය. තමන්ගේ රටෙන් සාධාරණය ඉටු නොවන තැන වික්ටර් හාරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ හානියට වන්දි ඉල්ලා බරින්දොස් ට විරුද්ධව ජොන් සහ අමන්ඩා විසින් ජාත්‍යන්තරයට ගියාය. නඩුව පවරණ ලද්දේ යුක්තිය සහ වගවීම සඳහා වන කේන්ද්‍රය (Center for Justice and Accountability) නම් එක්සත් ජනපද නීති සංචිධානය හරහා ය.

නඩුව පටන් ගත්තේ ය. ලෝකය ම අවදියෙන් බලා සිටියහ. සමහරු කීවේ වික්ටර් හාරාගේ දුව අනාගන්නා බව ය. අමෙරිකන් පුරවැසියෙක් වූ බරෙන්දේට නඩු දමා පලක් නැතැයි සමහරු කීය. සාක්ෂි නෑ කියා තවත් සමහරු කීය.

හමුදා ක්‍රමන්ත්‍රණය සිදුවීමට පෙර වික්ටර් හාරා නම් අයෙක් තමා නොදැන සිටි බව බරින්දොස් කීවේය. ඕස්ට්‍රේලියානු මාධ්‍ය අමතා ගෝඨා කී දේ වගේමය. 'හූ ඉස් ලසන්ත?. ඒක තව මිනීමැරුමක් විතරයි. ඕනෑ තරම් මිනීමැරුම් හැම තැනම තියෙනවා. (සිනාසෙයි.) ලෝකේ පුරාම ඕනෑ තරම් මිනීමැරුම්. ඇයි ඔබ ලසන්ත ගැන අහන්නේ, ලසන්ත කවුද?.එයා ටැබ්ලොයිඩ් එකකට ලියන කෙනෙක්. කවුද එයා...? ඇයි එක මිනිහෙක් වෙනුවෙන් මිනිස්සු මේ තරම් කරදර වෙන්නේ...? කවුද ලසන්ත කියන්නේ? මොකක්ද එයාගේ තියෙන වැදගත්කම?

'ඒ ගෝඨා ඇසූ දේ ය.

2013 අසන්නට ගත් නඩුව 2018 ජූලි 3වනදා දුන් නියෝගයෙන් අවසන් විය.

වික්ටර් හාරා ට වදහිංසා පැමිණ වීම සහ ඔහු ඝාතනය කිරිම සම්බන්ධයෙන් වරදකරු බවට තීරණය කළ ෆොලොරිඩානු සිවිල් අධිකරණය ඩෙලර් මිලියන 34ක වන්දියක් ගෙවන සේ ජෙනරල් බරින්දොස්ට නියම කරනු ලැබීය. ඒ පමණක් නොවේ, වික්ටර් හාරා ඝාතනය කිරීම වෙනුවෙන් වසර 15 ක් ද ඔහුව පැහැරගෙන යෑමේ වරදට තවත් වසර 3 ක් ද ලෙස 18 වසරක සිර දඬුවම් නියම විය.

මතක තබා ගන්න, යුක්තිය ඉටු වුණේ හාරාගේ ඝාතනයෙන් වසර 45ට පසුව ය.

විදේශික යුද අපරාධකරුවකුට එරෙහිව එක්සත් ජනපදයේ පැවැති ආන්දෝලනාත්මක නඩුවකින් පසුව ලද මේ තීන්දුව වැදගත් මානව හිමිකම් ජයග්‍රහණයක් ලෙස සලකුණු විය. ඒ එක්ක ම බොහෝ අපරාධකරුවන් භීතියට පත් විය. ඔලන්ඩෝ අධිකරණයේ පියගැටපෙළ මතදී කඳුළු වගුරවමින් කතා කළ 88 හැවිරිදි ජොආන් කීවේ 40 වසරකට වැඩි කාලයක් තිස්සේ වික්ටර් හාරා නම් තම ආදරණීයයා වෙනුවෙන් කළ දේ සඵල වූ බවට සැනසීමක් ඇති වූ බව ය. ඈ සිය දියණියට තුති පිදුවා ය.“ඒක දීර්ඝ උත්සාහයක්. මම දන්න වික්ටර් හාරාට සමාජ සාධාරණත්වයත් යුක්තියත් එකක් මිස දෙකක් වුණේ නෑ. අදත් එයාගෙ ගීත කලාකරුවන්ට වගේම සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන අයටත් විශාල බලපෑමක් කරනවා. “ඈ කීවා ය.

ආඥාදායක ෆිනෝෂිගේ පාලනය බිහිසුණු එකකි. හරියට ම මීට වසර 5ට පෙර ලංකාව වගේ ම ය.

1973 සැප්තැම්බර් 11 වැනිදා සිදුවූ මේ හමුදා කුමන්ත්‍රණයෙන් බලය අල්ලාගත් ෆිනෝෂේ රට අමු සොහොනක් කළේ ය. විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන්, ශිෂ්‍යයන්, රාජය නිලධාරින්, මාධ්‍යවේදීන්, විපක්ෂ ක්‍රියාකාරීන්, ආදී විශාල පිරිසක් හමුදා භටයන් විසින් වද බන්ධනයට ලක් කළහ; එක්කෝ ඝාතනය කළහ. අබිරහස් මරණ හැමතැනම සිදු විය. බොහොමයක් සාක්ෂි නැති මරණ විය. පාලනයට එරෙහි වන්නන් දේශද්‍රෝහීන් විය. මරණයට පත්වූවන්ගේ සිරුරු ගුවනින් ගෙන ගොස් මුහුදට දැමූහ.

වරදකරු කෙරුණු පේඩ්‍රෝ, 1989දී එක්සත් ජනපදයට පළාගොස් එහිදී නැවත විවාහ වී පුරවැසිකම හිමිකරගත් අයෙකි. ඔහු හිතුවේ පුරවැසි කබායෙන් සියල්ල ආවරණය වන බව ය. යුද අපරාධවලට වග කිවයුතු එවැනි හමුදා නිලධාරින් පිටුවහල් කරන ලෙස සිවු වසරකට පෙර චිලී ආන්ඩුව විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු ඇරඹිණ. ඒ අනුව අත්අඩංගුවට පත් චිලී යුද අපරාධ චූදිතයන් එතුරින් එකකු ලෙස පේඩ්‍රෝ, මෙසේ වික්ටර් හාරා පවුලට වන්දි ගෙවිය යුතු බවට තීරණය විය.

වික්ටර් හාරාගේ බ්‍රිතාන්‍ය ජාතික බිරිය, ජොආන් මෙන්ම ඔහුගේ දියණියන් වන අමන්ඩා සහ මනුවෙලා පවසන්නේ තමන් මේ අධිකරණ කටයුත්තට සහභාගි වූයේ වන්දි මුදලක් හිමිකරගන්නට නොවේ කියා ය. චිලී හමුදා කුමන්ත්‍රනයට සම්බන්ධ අපරාධකරුවන් චිලියේදී යුක්තිය පසිඳලීමේ කටයුතුවලට යොමුකරනු පිණිස පිටුවහල් කිරීමට මේ තීන්දුව ඉවහල් වනු ඇති බව ඔවුහූ සැනසිල්ලේ පවසති.

වික්ටර් හාරාගේ දුව පියාගේ ඝාතකයන්ට සාධාරණය සොයා ගත්තේ ඔහුගේ ඝාතනයෙන් වසර 45ට පසුව ය.

චිලියේ එහෙම වෙත්දී, ලංකාවේ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයන් සොයා ඒ විදිහේම සටනක් කරන්නේ ඔහුගේ දියණිය අහිම්සා ය.

2009 ජනවාරි 8 - රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී ලසන්ත ඝාතනය කරයි. වික්ටර් හාරාට මෙන්ම සාහසික ප්‍රහාරයක් ඔහුට එල්ල වෙයි. සැකය යන්නේ හාරාව ඝාතනය කළ ආකාරයෙන් ම ආඥාදායක රෙජිමයට සහ එහි ආරක්ශක ලේකම්ට ය. වසර කිහිපයක ඇවෑමෙන් හාරාගේ මෙන්ම ලසන්තගේ දේහය ද ගොඩ ගත්තේ ය; පරීක්ෂණ ද කළේය; අබිරහස නොවිසිඳුණේ ය.

අහිම්සා සටනට බැස්සා ය. ඈ ජාත්‍යන්තරයට ගියාය. 'මගේ තාත්තගේ මිනීමරුවන් සොයාදෙන්න' ඈ ඉල්ලුවා ය.

අධි ආරක්ෂක කලාපයක, මහ මඟ, මහ දවාලේ, ‌දෙනෝදහක් ඉදිරියේදී ඝාතනය කළ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගයන්ගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් කැලිෆෝනියාවේ මධ්‍යම දිසා අධිකරණයේ පැවරූ නඩුවේ පිටු 37 කි. නඩුවේ ‌පරිච්ඡේද 79 කින් චෝදනා ඉදිරිපත් කර තිබේ. පැමිණිලිකාර අහිම්සා ‌වෙනුවෙන් ‌‌මේ නඩුව පවරන ලද්දේ ‌පෝල් ‌‌‌හොෆ්මාන් නීතිඥවරයා සහ යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය ‌හෙවත් Center for Justice and Accountability (CJA) සංවිධාන‌යේ නුෂින් සර්කරාති නීතිඥවරයා විසිනි.

ඕනෑම රටක පුරවැසියකු මානව වර්ගයාට එරෙහි අපරාධ කර ඇත්නම්, වද බන්ධන දීමට වග කිවයුතු නම්, යුද අපරාධ කර ඇත්නම්, නීතියට පිටින් ඝාතන සිදුකර ඇත්නම් ඇමරිකාව තුළදී නඩු පැවරිය හැකි ‌මෙකී ATS ප්‍රඥප්තිය ඇමරිකාවේ ක්‍රියාත්මක වන්නේ 1789 තරම් ඈත කාලයේ සිට ය. ගෝඨාභයට එරෙහිව අහිම්සාගේ නඩුව පවරන ලද CJA සංවිධානය මීට ‌පෙර ‌මේ හා සමාන නඩු රැසක් ඇමරිකාවේ පවරා ජයගෙන තිබේ. ඒවා චීනයේ, ‌බොස්නියා‌වේ, චිලියේ, එල් සැල්වදෝරයේ, සෝමාලියාවේ ආදී රටවල ‌මේ ආකාරයේ ම අපරාධ අරභයා පවරන ලද නඩුකරයන් ය.

දැන් ගෝඨාගේ නඩුව දෙස ලෝකය ම බලා සිටී. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමා ජනාධිපතිවරණයට එන බව ය. ඒ වෙනුවෙන් පුරවැසිකම් අත්හැරිය බව ඔහු කියයි. එහෙත් ඒ කතාව ඇත්ත නොවන බව සමහරු කියයි.

'නඩු එක්ක වැඩේ ඇදුණොත් පුරවැසිකමත් නෑ..ජනාධිපති අපේක්ෂකකමත් නෑ. ඒ නිසා ගෝඨා තවම තීරණයක් අරන් නෑ.

'විශ්වාසදායක කතාව ඒක ය. දැන් ගෝඨා ඉන්නේ 'ගෙදර ගියොත් අඹු නසී, මඟ හිටියෝත් මම නසී' වෙලා ය.

මානාභරණ

අදහස්