කැලිෆෝනියාවේ අධිකරණයේ ලියැවෙන ගෝඨාභය රාජපක්ෂගේ ඉරණම | සිළුමිණ

කැලිෆෝනියාවේ අධිකරණයේ ලියැවෙන ගෝඨාභය රාජපක්ෂගේ ඉරණම

පරිවර්තනය බුද්ධි කරුණාරත්න

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු බව පවසමින් වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි දිස්ත්‍රික් අධිකරණය හමුවේ වන්දි ඉල්ලා නඩුවක් පසුගියදා ගොනු කළාය. ඊට අදාළ චෝදනා පසුගියදා ඇමෙරිකාවේ සංචාරයක නියැළුණු ගෝඨාභය රාජපක්ෂ මහතාට පාසාදෙනා හි රථ ගාලක දී ලබා දුන් අතර ඒ වන විටත් සිල් කොට තිබූ චෝදනා පසුගියදා අධිකරණය හමුවේ විවෘත විය. මේ වන විට මෙරට පුළුල් ලෙස සමාජ කතාබහකට ලක් වී ඇත. එහිදී බොහෝ දෙනකුට පැන නැඟෙන ප්‍රශ්නවලට පිළිතුරු රැගත් විශේෂාංගයකි මේ.

යුක්තිය සහ වගවීම පිළිබඳ මධ්‍යස්ථානය (CJA) යනු සැන් ෆ්‍රැන්සිස්කෝ පදනම් කරගත් වධ හිංසා පැමිණ වීමට, යුද අපරාධවලට, මානුෂිකත්වයට එරෙහි අපරාධවලට සහ අනෙකුත් බරපතළ මානව අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධ නීතිමය කටයුතු සිදු කරන ආයතනයකි. එය ලොව පුරා සිදු කෙරෙන ඉහත කී කාරණාවලට එරෙහිව නව්‍ය නඩු පැවරීම්, ප්‍රතිපත්ති සහ අන්තර්ජාතික යුක්ති මූලෝපාය ශක්තිමත් කරමින් ගෝලීය වගවීම් ජාලයක් ගොඩනැඟීමට කැප වී සිටියි. මේ ආයතනය වින්දිතයන් සහ ‍ගොදුරු වූවන් සමඟ එක් වී සත්‍යය, යුක්තිය සහ ප්‍රතික්ෂේප හඹා යමින් කටයුතු කරන අතර, සෝමාලියාවේ හිටපු ආරක්ෂක ඇමැති සයිඩ් බරේ රෙජිමයේ සිද්ධීන් සාර්ථකව විභාග කරවීමට, චිලි ක්‍රියාකාරී සහ ජනතාවාදී ගායක වික්ටර් හාරා ඝාතනය කළ හමුදා නිලධාරියා නීතිය හමුවට ගෙන ඒමට සහ සිරියාවේ අසාද් රෙජිමය යටතේ ජනමාධ්‍යවේදිනී මේරි කොල්වින් ඉලක්ක කර ඝාතනය කිරීමේ සිද්ධීන්ට සාධාරණයක් ඉටු කිරීමට සමත් වී තිබේ.

ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්න වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා එම නඩුව ගොනු කරන්නේ අප්‍රේල් 07 වැනිදා අමෙරිකාවේ කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස් නුවර අධිකරණයේදීය. එයින් ඇය ජූරි විභාගයක් සහ වන්දි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ට එරෙහිව නඩුවක් ගොනු කර ඇත.

තම පියාගේ ඝාතනය සම්බන්ධ සාධාරණයක් ඉටු වනු ඇතැයි අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය වසර දහයක් තිස්සේ බලා සිටියාය. ශ්‍රී ලංකාවේ පරීක්ෂණ අංශ කෙතරම් වෙහෙස වී කටයුතු කළත් ලසන්තගේ ඝාතනයට වගකිව යුතු අයට එරෙහිව නඩු පවරා නැත. මේ හේතු කොටගෙන අහිම්සා සහ CJA ලෙස හඳුන්වන යුක්තිය සහ වගවීම සඳහා වූ මධ්‍යස්ථානය එක්සත් ජනපදයේ දී මේ සිවිල් නඩුව පැවැරීමට තීරණය කළේය. මේ නඩුව හේතු කොටගෙන චූදිතයාට සිර දඬුවමක් නියම වන්නේ නැති වුවද අහිම්සාට සිය පියා සම්බන්ධ නඩුවක් නීතිය හමුවේ උසාවියක විභාග කරවීමට ලැබෙන නිසා මෙය මහඟු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. අනෙක් අතට මේ ඝාතනය සම්බන්ධ චූදිත ගෝඨාභයට ඇති සම්බන්ධය ගැන ඒක පාර්ශ්විකව නඩු තීන්දුවක් ලැබෙනු ඇත.

චෝදනාව ගොනු කළේ කොහේද?

නඩුව ගොනු කරනු ලැබුවේ ලොස් ඇන්ජලීස්හි, කැලිෆෝනියාවේ කැලිෆෝනියා මධ්‍ය දිස්ත්‍රික්කයේ එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණය හමුවේය.

විත්ති පාර්ශ්වයට නෛතික ලියවිලි ලබාදී තිබේද?

2019 අප්‍රේල් 7 වැනි දා ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ කැලිෆෝනියාවේ මොන්ට්‍රෝස්හිදී විත්තිකරුට පෞද්ගලිකවම සිතාසි භාරදී ඇත. සිතාසි භාරදීම සිදු කර ඇත්තේ අයිඩියල් ඉන්වෙස්ටිගේෂන්ස් ආයතනයේ පෞද්ගලික පරීක්ෂකවරයකු විසිනි. ඒ සඳහා මින්ට්ස් සමූහයේ සහායද ලබාගෙන ඇත.

පැමිණිල්ල මතු කරන ගැටලු මොනවාද?

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, මෙන්ම රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කළ මාධ්‍යවේදීන් උපක්‍රමශීලීව හඹා යමින් හිංසනයන්ට ලක් කිරීමට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට එයින් චෝදනා නැඟී ඇත.

එවැනි පැමිණිල්ලක ඇති නෛතිකභාවය කුමක්ද?

එම නඩුව පවරා ඇත්තේ වධහිංසාවට ගොදුරු වූවන් ආරක්ෂා කිරීමේ පනත (TVPA) සහ විදේශීය ටෝකට් ප්‍රඥප්තිය (ATS) පදනම් කරගෙනය. TVPA පනත 1991 දී සම්මත කරනු ලැබුවේ විදේශ රටක සැබෑ හෝ නාමික බලාධිකාරියකු වශයෙන් සිටි පුද්ගලයකු එරටදී සිදු කළ ඝාතන හෝ වධහිංසා පැමිණවීම් පිළිබඳ විභාග කිරීමටය. TVPA පනත යටතේ අමෙරිකානු පුරවැසියන් මෙන්ම පුරවැසියන් නොවන අයට එරෙහිවද නඩු පැවැරිය හැකිය. නඩු පැවැරීම චූදිතයා එක්සත් ජනපදයේ සිටියදී සිදු කළ යුතුය. එහිදී තනි පුද්ගලයකු කෙරෙහි අධිකරණ බලය යෙදවීමට උසාවියට බලය ඇත.

1789 සම්මත කෙරුණු විදේශීය ටෝකට් ප්‍රඥප්තිය (ATS) මඟින් විදේශ රටකදී අන්තර්ජාතික මානව අයිතිවාසිකම් කඩවීමකට ලක් වූ අයකුට එම චූදිතයාට එරෙහිව එක්සත් ජනපදයේ දී ‍ෆෙඩරල් අධිකරණයේ දී අන්තර්ජාතික සිරිත් බැඳි නීතිය උල්ලංඝනය කළ බවට නඩු පැවැරීමට අවස්ථාව උදා කර දෙයි. අමෙරිකානු අධිකරණය මේ නීතිය ගෙන ආවේ මානව වර්ගයාට එරෙහිව අපරාධ, වධහිංසා පැමිණ වීම්, ඝාතන සහ අනෙකුත් බරපතළ මානව අයිතිවාසිකම් කඩකිරීම් විභාග කිරීමේ අවශ්‍යතාව වෙනුවෙනි. ‍ඉහත නීති දෙක යටතේ පිළිසරණක් ලැබීමට එක්සත් ජනපද පුරවැසියකු වීම අත්‍යවශ්‍ය නැත. කෙසේ වෙතත් නඩුව ආරම්භ කරන අවස්ථාවේ චූදිතයා අමෙරිකානු අධිකරණ කලාපය ඇතුළත සිටිය යුතුය.

මේ අවස්ථාවේ විත්තිකරුගේ වගකීම කුමක්ද?

චෝදනා පිළිගනිමින් හෝ ප්‍රතික්ෂේප කරමින් නැති නම් පැමිණිල්ලට එරෙහිව මෝසමක් ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිචාර දැක්වීමට විත්තිකරුට සති තුනක කාලයක් හිමි වේ. ඔහු ප්‍රතිචාර දක්වන්නේ නැති නම් තවදුරටත් ඔහු නැතිව නඩු විභාගය ඉදිරියට ගෙන යෑමට හැකිය. චූදිතයාට එරෙහිව ඇති චෝදනාවේ ශක්තිය ගැන උසාවිය තීරණය කරනු ඇත.

එවැනි නඩුවක නෛතික ක්‍රියාවලිය කුමක්ද?

ගෝඨාභය රාජපක්ෂට දැන් මේ සම්බන්ධ දැනුම් දී ඇති බැවින් ඔහු නඩුව සම්බන්ධව දැනුම්වත්ය. ඒ නිසා ඔහු නඩුවට ප්‍රතිචාර දක්වමින් තමාව නියෝජනය කිරීමට නීතිඥයකු උසාවියට ඉදිරිපත් කළ යුතුය. නඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතුද යන්න තීරණය වන්නේ දෙපාර්ශ්වයම එකිනෙකා ගැන ඇසින් දුටු සාක්ෂිකරුවන් ඉදිරිපත් කරමින් සහ එකිනෙකා ගැන සාක්ෂි ගොනු කරමින් කටයුතු කරන විටදීය. නඩුව නිරායාසයෙන්ම විභාගයක් කරා ගමන් කරනු ඇත. පැමිණිලිකාරිය විනිසුරු හෝ ජූරිය හමුවේ සාක්ෂි, සාක්ෂිකරුවන් සහ විද්වතුන් මඟින් නඩුව ඔප්පු කළ යුතු වේ.

අපරාධ සම්බාධක පැනවිය හැකිද?

ඉදිරිපත් කර ඇති චෝදනාවට ගෝඨාභය රාජපක්ෂ සත්‍ය වශයෙන්ම වගකිව යුතු බව විනිසුරු හෝ ජූරිය තීරණය කළහොත් මේ නඩුව හේතු කොටගෙන මූල්‍යමය වන්දියක් නියම කළ හැකිය. අපරාධ නඩුවකදී මෙන් මෙහිදී සිර දඬුවම් නියම වන්නේ නැත. කෙසේ වෙතත් මේ නඩුව සාර්ථක වුවහොත්, එය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ දී අපරාධ පරීක්ෂණයක් සිදු කිරීමට හෝ සාපරාධී වගවීමට යොමු විය හැකිය.

මේ නඩුව නිසා ශ්‍රී ලංකාවේ අධිකරණයක යුක්තිය පසිඳලීමට බාධාවක් නැඟිය හැකිද?

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ ප්‍රහාරයන්ට එරෙහිව ස්වාධීනව නෛතික පියවර ගැනීමේ අවශ්‍යතාව ගැන පැමිණිලි පාර්ශ්වය සම්පූර්ණ සහයෝගය ප්‍රකාශ කොට තිබේ. අවාසනාවකට මෙන් එවැනි සිද්ධීන් තවමත් කරළියට පැමිණ නැත. ශ්‍රී ලංකාවේ මෙවැනි නඩු පැවැරීම යථාර්ථවත් වන්නේ නම් විදේශ රටක මෙවැනි නඩුවක් පැවැරීමට අවශ්‍ය වන්නේ නැත. එසේම මේ නඩුව ඉදිරියට ගෙන යෑම නිසා ලසන්ත, කීත් නොයාර් සහ ලංකාවේ විභාග වන ජනමාධ්‍යවේදීන්ට පහරදීමේ මේ ආකාරයේ අනෙකුත් නඩු සහ පරීක්ෂණ ඉදිරියට ගෙන යෑමට පිටුවහලක් වනු ඇත.

අමෙරිකාවේ ගොනු වූ නඩුවකින් මීට පෙර මෙවැනි අපරාධවලට ගොදුරු වූවන්ට සහන සැලැසී තිබේද?

ඒ සඳහා උදාහරණ කිහිපයක් දක්වන්නේ නම් බොස්නියාව, චිලී, එල් සැල්වදෝර් සහ සෝමාලියාවේ සිදු වූ මානව අයිතිවාසිකම් කඩ කළ අවස්ථා රැසකට එක්සත් ජනපද අධිකරණයේදී CJA මඟින් සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇත. එයට ජයග්‍රාහී උදාහරණ දෙකක් පහත දැක්වේ.

සෝමාලියාවේ හිටපු අගමැති සහ ආරක්ෂක ඇමැතිවරයකු වූ ජනරාල් මොහමඩ් අලී සමන්තාර්ට එරෙහිව 2012 වසරේදී එක්සත් ජනපද අධිකරණයකදී වධ හිංසාවට ලක් වූ සෝමාලියානු වින්දිතයන් පිරිසකට ඩොලර් මිලියන 21ක වන්දියක් පිරිනැමිණි. සමන්තාර් 1980 දශකයේ ගණන් හිලව් නොදත් මනුෂ්‍ය ඝාතන, වධ හිංසා පැමිණ වීම්, විශ්වීයව පිළිගත් මානව අයිතිවාසිකම් කඩකිරීම් විශාල ප්‍රමාණයක් සිදු කිරීම ගැන චෝදනාවට ලක් වී සිටියි.

චිලී ජාතික ගායක වික්ටර් හාරාගේ ඝාතනයට ලුතිනන් පෙඩ්‍රෝ බැරියෙන්ටොස් නුෆිස් වගකිව යුතු බව 2016 වසරේ දී නඩු විභාගයකින් ජූරිය සොයාගත් බැවින් වික්ටර් හාරා ගායකයාගේ පවුලේ අයට ඩොලර් මිලියන 28ක් වන්දි ගෙවීමට නියම කෙරිණි.

සිය නිර්මාණ මඟින් සමාජ අසාධාරණය ගැන විවෘතව කතා කිරීම ගැන වික්ටර් හාරා ප්‍රසිද්ධව සිටියේය. පිනෝචේගේ හමුදා රෙජිමය යටතේ ඔහු ඇතුළු සිය ගණනක් වධ හිංසනයට ලක් කර ඝාතනය කෙරිණි. පිනෝචේගේ පාලනය බිඳවැටීමෙන් පසු බැරියෙන්ටොස් අමෙරිකාවට සංක්‍රමණය වීම නිසා චිලී අධිකරණයට ඔහු වෙත ළඟා විය නොහැකි විය. මේ සම්බන්ධ CJAහි නඩු විභාගයේ සහ චිලියේ පැවැති නඩු විභාගය හේතු කරගෙන ආණ්ඩුවේ සිටියදී ඝාතන ක්‍රියා සිදු කිරීම සම්බන්ධව ඔහුට එරෙහිව නීතිමය තීන්දුව ගනු ලැබිණි.

කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ  පළ වූ ලිිපියක් ඇසුරෙනි

අදහස්