ගෝඨාභයට බිය වන්නේ ඇයි? | සිළුමිණ

ගෝඨාභයට බිය වන්නේ ඇයි?

කේ. ජී. පිලිප් ශාන්ත

2014 වර්ෂය අවසන් වෙමින් පවතින විට ලංකාවේ දේශපාලන තත්ත්වය උණුසුම් වෙමින් තිබුණේ පාලක රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට මහ ජනතාව තුළ වූ නොතිත් ආශාව නිසා ය. වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් පවත්වන්නට සියලු සාධක පෙළගැසෙමින් තිබුණේ රෙජීමයේ දේශපාලන අර්බූදය ඊට සාපේක්ෂ ව ඔඩුදුවමින් තිබූ නිසා ය. ඒ අතර 17 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර තිබුණ නිසා මහින්ද රාජපක්ෂට තුන්වනවරටත් ජනාධිපතිවරණයට තරග කරන්නට හැකිදැයි කුකුසක් සමාජය තුළ නිර්මාණය වෙමින් තිබුණි.

මේ කුකුස පාදක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ "මහින්දට තුන් වරක් බෑ" යැයි කියමින් දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක් හා විරෝධයක් සංවිධානය කළේ ය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ලැජ්ජා භයක් නැතිව ඒ විරෝධය සදහා හිටපු අගවිනිසුරුවරයකු වූ කුප්‍රකට සරත් එන් සිල්වා ද සහභාගී කර ගත්තේ ය. ඔවුන්ගේ ඉලක්කය වූයේ ව්‍යවස්ථාවේ තාක්ෂණික ප්‍රශ්නයක් පෙන්වමින් මහින්ද රාජපක්ෂ ව තරගයෙන් ඉවත් කර තැබීමයි.

මහින්ද රාජපක්ෂ ව දේශපාලනික ව පරාජය කළ යුතු ව තිබූ මොහොතක නීතියේ තාක්ෂණික ප්‍රශ්නයක් පෙන්වා ඔහුව තරගයෙන් ඈත් කර තැබීමට උත්සාහ කිරීම දේශපාලන අඥාණකමකි. එවෙලේ කළ යුතුව තිබුණේ ව්‍යවස්ථාමය බාධා නොසලකා මහින්ද රාජපක්ෂව තරගකරුවකු වන්නට ඉඩ දී ඔහුව දේශපාලනික ව පරාජය කිරීමයි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ එල්ලෙන්නට ගියේ පිදුරු ගහක ය. නමුත් මහින්ද රාජපක්ෂට තෙවන වරටත් තරග කරන්නට හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟ ජනතා විමුක්ති පෙරමුණේ අදේශපාලනික උත්සාහය පරාජය විය. එසේම මහින්ද රාජපක්ෂ ව දේශපාලනික ව පරාජය කරන්නට ද මේ රටේ ජනතාවට අනගි අවස්ථාවක් ලැබුණි.

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ව තෝරා පත් කර ගන්නට යන බව පෙනෙන්නට තිබේ. මේ අවස්ථාවේ දී රාජපක්ෂ කදවුරට සිටින ආකර්ෂණීය ම අපේක්ෂකයා ඔහු බව නිසැකයෙන් ම කිව හැකිය. වෙන කිසිම රාජපක්ෂවාදී අපේක්ෂකයකුට වඩා රාජපක්ෂවාදයේ දේශපාලන නිමිත්ත වන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය නියෝජනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂයි. එනිසා සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සමාජ තීරුව වඩාත්ම තෘප්ත කළ හැක්කේ ද ඔහුට ය. කෙටියෙන් කිවහොත් සමස්ත රාජපක්ෂවාදී කදවුරම එක මිටට ගත හැක්කේ ඔහුට ය.

මැතිවරණයක දී ප්‍රතිවාදියා ශක්තිමත් ව තරග කරනවා දකින්නට කිසිවෙක් කැමැති නැත. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් වන තරමට ඔහුගේ ප්‍රතිවාදියාට වාසිදායක වන්නේ ය. ඊට හේතුව ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් කරන්නේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය වීමයි. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය ශක්තිමත් වන විට සිංහල බෞද්ධ නොවන ජන කොටස් කිසිවිටෙක ගෝඨාභය රාජපක්ෂ වටා එකතු වන්නේ නැත. එය රාජපක්ෂවාදය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ජයග්‍රහණයයි.

නමුත් බොහෝ පිරිස් බලාපොරොත්තු වන්නේ තාක්ෂණික හේතු මත ගෝඨාභය රාජපක්ෂ තරගයෙන් ඉවත්වනවා දකින්නට ය. ඔහුගේ එක්සත් ජනපද පුරවැසිභාවය ඉස්මතු කර දක්වමින් ඔහු තරගයෙන් ඉවත් කර තබන්නට කටයුතු කිරීම දේශපාලන නොදැනුවත්කමකි. එසේම රාජපක්ෂ පවුලේ අසමගිය හා කල්ලිවාදීකම් හුවා දක්වමින් ගෝඨාභය රාජපක්ෂට අපේක්ෂකත්වය අහිමි වීම අපේක්ෂා කිරීම ද දේශපාලන මුග්ධකමකි. එනිසා කළ යුත්තේ එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වීම දිරිගැන්වීමයි.

මේ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක රාජපක්ෂ පාර්ශ්වයේ පරාජය ඔප්පු කරන්නට ගණිතමය තර්කයක් ගෙන එමින් සිටී. ඔහුගේ තර්කයට අනුව වලංගු ඡන්ද ලක්ෂ 65 - 70 ත් අතර ප්‍රමාණයක් ජනාධිපතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන ඡන්ද ලක්ෂ 49කින් ජයග්‍රාහකයා තෝරා ගන්නට නොහැකි බවත් ඔහු පවසයි. අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉංජිනේරු උපාධිධාරියෙකි. එනිසා ගණිතය පිළිබඳ ව මනා හසල දැනුමක් ඔහුට තිබෙන බවට වාදයක් නැත. එහෙත් ජනාධිපතිවරණ ජයග්‍රහණය සදහා ඡන්ද ලක්ෂ 65-70ක් අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කරන්නේ එක්තරා උපකල්පනයක් මත ය.

අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ උපකල්පනය වන්නේ ඉදිරි ජනාධිපතිවරණයක දී මෙතෙක් සිදුවූ පරිදිම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකු පමණක් තරග කරනු ඇති බවයි. එවැනි වටපිටාවක දී පාවිච්චි කරන වලංගු ඡන්ද 135-140 අතර ප්‍රමාණයෙන් පැහැදිලි බහුතරය ලබන්නට ඡන්ද ලක්ෂ 65-70ක් අවශ්‍ය විය හැකි ය. එහෙත් ප්‍රශ්නය වන්නේ 2015 මහා මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ දේශපාලන සැකසුම වෙනසකට ලක්ව තිබීමයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රධාන දේශපාලන ධාරා තුනක් තරග වැදුණි. ඒ නිසා කිසිම පක්ෂයකට පැහැදිලි බහුතරය වන පාවිච්චි කළ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් හෝ නොලැබුණි. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවිච්චි කළ මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 40.47%ක් ද එක්සත් ජාතික පක්ෂය 29.42%ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 12.10%ක් ද ලබා ගත්හ. පෙනෙන්නට තිබෙන දේශපාලන චිත්‍රය අනුව ඉදිරි ජනාධිපතිවරණයක දී ද ප්‍රධාන දේශපාලන ධාර තුනකින් අපේක්ෂකයන් තරග වදින්නට නියමිත ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ඒ දේශපාලන ධාරා ය. එවිට කිසිම අපේක්ෂකයකුට ජයග්‍රහණය සදහා අවශ්‍ය පාවිච්චි කළ මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් හා තවත් එක් ඡන්දයක් ලැබේ යැයි කිව නොහැකි ය.

එවිට සිදුවන්නේ ජනාධිපතිවරණ සමස්ත ප්‍රතිඵලයේ පළමු හා දෙවැනි ස්ථාන දිනා ගත් අපේක්ෂකයන්ට ලැබෙන, සෙසු අපේක්ෂකයන්ගේ දෙවැනි මනාපය ගණන් කිරීමයි. එවැනි දේශපාලන ධ්‍රැවීකරණයක දී ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ ජයග්‍රහණය ලබා ගන්නට වැඩි ඉඩකඩක් පවතී. එවිට අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ගණන් බැලීම් නිවැරැදි නොවන්නේ ය.

මේ තත්ත්වය වෙනස් කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා විය හැකි ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ හැක්කේ, ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ දී දෙවැනි මනාපය සලකා බලන්නට යොමු නොවන පරිදි පළමු මනාපයෙන් ම ජනාධිපතිවරයා තෝරා පත් කර ගත හැකි වන ලෙස ඡන්ද පාවිච්චි කර තිබුණහොත් පමණි. ඒ සදහා ප්‍රධාන පක්ෂ තුනට ම ඡන්ද බෙදී යන පරිදි දේශපාලන අවකාශය ධ්‍රැවීකරණය වීම වැළැක්විය යුතු ය. ඡන්දදායකයාට නිශ්චිත අපේක්ෂකයකු තෝරා ගැනීමට හැකිවන පරිසරයක් නිර්මාණය කරන්නේ නම් එය පහසු ක්‍රියාවකි. ඒ සදහා සමස්ත ඡන්දදායකයාට සැකයකින් තොරව නිශ්චිත එක් අපේක්ෂකයකුට ඡන්දය පාවිච්චි කිරීමට හැකි අවස්ථාවක් ලැබිය යුතු ය.

ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන මතවාදයේ නිමිත්ත වන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයට මුළුමනින් ම එරෙහි දේශපාලන වැඩපිළිවෙලක් ශක්තිමත් ව නිර්මාණය කරගැනීම මේ සඳහා පවතින උපක්‍රමික ප්‍රවේශයයි. ඒ අනුව එය අමුතු වැඩපිළිවෙලක් නොවන අතර 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වටා එකතු වූ බලවේග ම වඩා ශක්තිමත් කිරීමක් වන්නේ ය. ඇත්තට ම 2015 ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුව කළේ ඒ බලවේග රැවටීමකි. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හා සංහිඳියාව ඇති කිරීම සඳහා ලබාදුන් පොරොන්දු ජයග්‍රහණයෙන් පසුව ආණ්ඩුව විසින් තුට්ටුවකට මායිම් නොකරන ලදි. ඒ වෙනුවට ආණ්ඩුව ගමන් ගත්තේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී විසිල් බලාපොරොත්තුවෙන් වූ ගමනකි.

පළමුව අවශ්‍ය කරන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් නොව දේශපාලන ප්‍රතිසංස්කරණ ය. රාජපක්ෂවාදයේ ප්‍රතිඵලය වූ හොරකම, මැරකම, වංචාව හා දූෂණයට එරෙහිව කිසිවක් නොකර ඒ සමඟ ම ඔවුන් හා පෞද්ගලික සබඳතා ගොඩනඟා ගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ විට සමාජය වෛර බැඳ ගත්තේ ය. එනිසා 2015 ජනාධිපතිවරණ මහජන අභිලාශ වටා එක් රොක් වූ සමාජ කොටස් බිදී විසිරී ගියහ. අලුත් ආකාරයකින් ජව සම්පන්නව ශක්තිමත් කර ගනිමින් ඒ මහජන අභිලාශ ක්‍රියාකාරී කර ගන්නට නම් කළ පව් සමාකර ගත යුතුව තිබේ. එහෙත් ඒ සදහා අලුත් මුහුණක් අත්‍යවශ්‍ය වේ. ඒ මුහුණ රාජපක්ෂවාදයට ව්‍යුහාත්මකව හා ආකෘතිමය ලෙස වෙනස් වූ නව නායකත්වයක් මිස රාජපක්ෂවාදී දේශපාලනයේ උප කුලකයන් නොවිය යුතු ය.

එවිට ප්‍රජාතන්ත්‍රවාදය අගයන විවෘත චින්තනයක් හිමි බහුතර ජන කොටස සමඟ දේශපාලන සම්මුතියකට යා හැකිය. ඒ ජන තීරුව සමඟ විවෘත ව අත්වැල් බැද ගැනීමකින් පමණක් ජනාධිපතිවරණ ජයග්‍රහණය සදහා අවශ්‍ය ලක්ෂ 65-70 අතර ජනබලවේගය ගොඩ නඟා රාජපක්ෂවාදය නැවතත් දේශපාලනික ව පරාජය කළ හැකි බව ඉදුරාම කිව හැකිය.

අදහස්