දශක තුනක මංගල ගමන | සිළුමිණ

දශක තුනක මංගල ගමන

“හොලිවුඩ් නගරයේ තරම් මායාකාරි ස්වභාවයක් ඇති මාතර මිනිස්සු, යුදෙවුවන් වැනි ධීර බුද්ධියක් ඇති මාතර මිනිස්සු, අංගුලිමාල වැනි මුරණ්ඩු මාතර මිනිස්සු ඊයේ මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් පහළ වෙති...! එසේ මාතර හොඳට නරකට දෙකටම හේතු වුණ නිසා ඇතැම්හු මාතරට නිග්‍රහ කළහ; ඇතැම්හු මාතරට ප්‍රසංශා කළහ.”

පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමිගේ 'මාතර මානව වංශය' කෘතිය පිළිබඳ හැඳින්වීමක් කරමින් මේ සටහන තබා ඇත්තේ ඌරාපොළ හේමාලෝක හිමියන් විසිනි. උන්වහන්සේගේ මේ සටහන ප්‍රාදේශීයවාදි මුහුණුවරක් පෙන්වුවද ඒ තුළ ඇත්තේ ඉතිහාසයේ පටන් දිගහැරෙන මාතර මිනිසුන්ගේ දේශපාලන මුහුණුවර වශයෙන් වටහාගැනීම වැරදි නැත. එහෙත් ප්‍රාදේශීය ස්වභාවයෙන් ඔබ්බට මාතර දේශපාලන වංශය ඔසවා තැබූ අසහාය මිනිසුන් කවුරුන්දැයි වටහාගත හැකි වන්නේ අඩුම තරමින් දශක තුනක හෝ මාතර දේශපාලන දිනපොත කියවාගැනීමෙනි.

නිල්වලා නිම්නය සංහිඳියාවේ නිම්නයක් බවට පරිවර්තනය කිරීමේ දේශපාලන පූර්වාදර්ශයත්, මාතර සංවර්ධන මෙහෙයුමේ යෝධ පියවරත් ඇරඹෙන්නේ එක් සුවිශේෂ මිනිසකුගේ දේශපාලන කල-එළි බැසීමත් සමඟය. සත්‍ය වශයෙන්ම මාතර සංවර්ධනයේ පොහොසත්ම දශකත්‍රය ආරම්භ වන්නේ ඒ සුවිශේෂ මිනිසාගේ මැදිහත් වීමෙනි. ඔහු මාතර මංගල සමරවීරය. 1988දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසන සංවිධායකවරයා වශයෙන් පත් වීම ලැබූ ඔහු 1989 පෙබරවාරි 15 දා පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර පළමුවරට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විය. මෙකී දේශපාලන උල්පත බිහි කළ මාතර ජනතාවට ඔහු දක්වා ඇති කෘතවේදිභාවය හා අපමණ සේවය එතැන් සිට ඇරඹෙන දශකත්‍රය පරීක්ෂා කිරීමෙන් වටහාගත හැකිය.

මංගල සමරවීර මහජන නියෝජිතයකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ අවධිය මෙරට දේශාපාලනය බෙහෙවින්ම ව්‍යාකුල වී තිබිණි. දේශප්‍රේමී බලහත්කාරය හා රාජ්‍ය භීෂණය විසින් තරුණ ජීවිත දහස් ගණනින් නිරපරාදේ රටට අහිමි කරමින් පැවතිණි. එවන් පසුබිමක පාලම්, බෝක්කු, මහාමාර්ග හෝ ගොඩනැඟිලි දේශපාලනය වෙනුවට යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සටන් කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයකු රටට වුවමනාකර තිබුණේය. මංගල සමරවීරගේ දේශපාලන දැක්ම හා දේශපාලන භාවිතාව ප්‍රතිනිර්මාණය වන්නේ එවන් වූ ජනතා අපේක්ෂා සමඟය.

භීෂණ සමයේ සියලු ආකාරයේ ඝාතන හා පැහැරගැනීම්වලට එරෙහිව සටන් සගයකු වූ මංගල සමරවීර මුළුමහත් රටේම රජ කළ අවනීතිය, අයුක්තිය හා අසාධාරණයට එරෙහිව සනාථ වූ දේශයක් උදෙසා දරුවන් අහිමිව හැඬූ කඳුළින් දිවි ගෙවූ මවුවරුන් එකතු කරමින් 'මව් පෙරමුණ' නම් සංවිධානය ගොඩනැඟීය. මංගල සමරවීර සමඟ මහින්ද රාජපක්ෂද එහි සම-කැඳවුම්කරුවෙක් විය. 'කළු රට සුදු කළ මංගල' යන යෙදුම අපට සමු වන්නේ ඒ නිසාය. ක්‍රීඩාංගණ, මංමාවත්, ගොඩනැඟිලි හෝ භෞතික වශයෙන් බැලූ බැල්මට නොපෙනෙන, එහෙත් රටක් වෙනුවෙන් කළ හැකි උදාරතම කාර්යය ඉකුත් දශකත්‍රයේම මංගලගේ දේශපාලන ගමන් මඟ රන් අකුරින් සටහන් වනු ඇත. මංගල මාතර සංවර්ධනයේ නියමු කාර්යය ඉටු කළේ එවන් වටපිටාවකය.

තම දේශපාලන ජීවිතයේ දශකත්‍රය සපිරීම නිමිත්තෙන් මාතර ජනතාවට සිය ප්‍රශංසාව පිරිනැමීමේ යුතුකමේ වගකීම අද (21) ඉටු කළ මේ මිනිසා මඟහැර රටේ දේශපාලනය හෝ මාතර සංවර්ධනය ගැන කවර නම් කතාද?

1956 අප්‍රේල් 21 වන දින කොළඹ රජගෙදරදී බණ්ඩාරනායක රජයේ අධිකරණ උප-අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ මහනාම සමරවීර මහතාය. ඒ මොහොතේ ඔහුගේ බිරිය - ඛේමා සමරවීර මහත්මිය සිය තුන්වන දරු ප්‍රසූතිය සඳහා මාතර සමුපකාර රෝහලට ඇතුළත්ව සිටියාය. එදින උපන් කුමරාට සමරවීර යුවළ නම් තැබුවේ 'මංගල පින්සිරි සමරවීර' කියාය. පියාට උප-ඇමැතිධුරයක් ලැබුණු දිනයේ උපන් පුත්‍රයා මාතර දේශපාලන වංශයට ලැබුණු 'පින්සාර දායදයක්' බවට විවාදයක් නැත.

1955දී කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ මහානාම සමරවීර මහතා 1956 බණ්ඩාරනායක මහතාගේ එක්සත් පෙරමුණට සහයෝගය දෙමින් පනස්හයේ මැතිවරණයෙන් ඡන්ද 18571ක් ලබා මාතර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් ලැබීය. 1960 ජූනි 20 වන දින පවත්වන ලද මහා මැතිවරණය සඳහා මාතර ආසනයෙන් ඉදිරිපත් වූ මහානාම සමරවීර මහතා ඡන්ද 13,105ක් හිමි කරගනිමින් එවසරේ ජූනි 23 දින එකොළොස් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ පළාත් පාලන හා නිවාස ඇමතිධුරය හෙබවීමට වරම් ලැබීය. එසේම 1962 අගෝස්තු 24 දා ප්‍රවාහන ඇමතිධුරය ලැබුණේද මහනාම සමරවීර මහතාටය. මේ අතර ඛේමා සමරවීර මහත්මිය මාතර පිලදූව කොට්ඨාසය නියෝජනය කරමින් මාතර පළාත් ආණ්ඩු සභාව නියෝජනය කළේය. මහනාම සමරවීර මහතා මාතරට දායාද කළ මහානාම පාලම සඳහා මුල්ගල තැබෙන්නේ, 1962 අප්‍රේල් මස 27 දිනය. එවකට මංගල සමරවීරට වයස අවුරුදු 6කි. ඔහුට අවුරුදු 10 සම්පූර්ණ වෙද්දී -එනම් 1966 මැයි 17 දින- මාතර මහනාම පාලම විවෘත කෙරිණි. සත්‍ය වශයෙන්ම මාතර සංවර්ධනයේ දොරගුළු විවර වුණේ නිල්වලා නිම්නයේ එගොඩත් ම‍ෙගොඩත් යා කළ මේ දැවැන්ත පාලම ඉදි කිරීමත් සමඟිනි. මාතර සංවර්ධනයේ පූර්වාදර්ශය මහනාම සමරවීර මහතාගෙන් මංගල සමරවීර පුතාට ලැබුණත් ඔහු කුඩා අවධියේදීම මහනාම සමරවීර දිවංගත වූයේය. ඉන් අනතුරුව සිය මවට ඉතා ළෙන්ගතුව කටයුතු කළ මංගල පුතුට මාවත පෙන්වන්නට සිදු වූයේ ඛේමා සමරවීර මහත්මියටය. මාතර රාහුල විද්‍යාලයේත් පසුව කොළඹ රාජකීය විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබූ මංගල සමරවීර වයස අවුරුදු 16දී උසස් අධ්‍යාපනය හැදෑරීමට බ්‍රිතාන්‍ය බලා පිටත් විය. එහිදී පළමුව College of Walton Forest උසස් අධ්‍යාපන ආයතනයෙන් උසස් පෙළ සමත් වූ ඔහු සිය උපාධිය හැදෑරීම සඳහා ඇතුළත් වූයේ ශාන්ත මාටිනස් විශ්වවිද්‍යාලයටය. එහිදී ඔහු තෝරාගත් විෂයය 'ඩිසයිනිං ඇන්ඩ් ටෙක්නොලොජි' ය. ඒ සඳහා දෙවන පෙළ ගෞරව සාමර්ථ්‍යයක් සහිතව 1979දී ඔහු සිය පළමු උපාධිය සමත් විය.

අධ්‍යයන කටයුතු හමාර කළ මංගල ලන්ඩන් නුවර ව්‍යාපාර කටයුතුවල නියැළිණි. 1983දී නැවත ඔහු ලංකාවට පැමිණියේ සිය වෘත්තීය හා ව්‍යාපාරික කටයුතුවල නිරත වීමටය. ඒ අතරතුර පේෂකර්ම අමාත්‍යාංශයේ බාහිර උපදේශකයකු වශයෙන්ද සෞන්දර් විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන්ද හෙතෙම කටයුතු කළේය. ඒවා නිවීසැනසිල්ලේ කරගැනීමට තරම් යහපත් වටපිටාවක් වැඩි කාලයක් තිබුණේ නැත. 1983 ජූලි කලබල හෙවත් කළු ජූලියේදී සිදු වූ ඉතා ඛේදනීය සිදුවීම් හා 1987 සමයේ සිදු වූ අන්තවාදි මිනිස් ඝාතන විසින් මංගලගේ කල්පනාවන් වෙනස් කළේය. අනාථ වූ දේශයක සනාථ වූ සිහිනය වූයේ බියෙන් සැකෙන් තොර ලංකාවක් ගොඩනැඟීමය.

එසමයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අනුර බණ්ඩාරනායක මහතා සහ විශේෂයෙන් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරාධනයෙන් මංගල සමරවීර සිය දේශපාලන දිවියේ මංපෙත් විවිර කරගත්තේය. 1988දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වීම් ලැබීම මෙහි සමාරම්භයයි. 1989 පෙබරවාරි 15 දා මැතිවරණයෙන් ජය ගත් මංගල සමරවීර මාතර දිසාවේ ජනතාවගේ අපේක්ෂා මුදුන්පත් කරවන මහජන නියෝජිතයා බවට පත් වූයේය. 1989 සිට 2019 වර්ෂය දක්වා වූ 30 වසරක දේශපාලන ජීවිතයට අශීර්වාද ලැබුණේ මාතර දිස්‍ත්‍රික්කයේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදි සියලු ජනකොටස්වල සහෝදරත්වය විසිනි.

චන්ද්‍රිකා කුමාරතුංග අගමැතිනියගේ ප්‍රථම අමාත්‍ය මණ්ඩලයේ තැපැල් හා විදුලි සන්දේශ කැබිනට් ඇමැතිවරයා වශයෙන් මංගල සමරවීර පළමුවරට කැබිනට් අමාත්‍ය ධුරයකින් පිදුම් ලැබීය. ඒ 1994 අගෝස්තු 21 දාය.

තැපැල් හා විදුලි සන්දේශ අමාත්‍යවරයා ලෙස එකල මෙරට පැවැති තැපැල් සේවාවේ මෙන්ම විදුලි සන්දේශ සේවාවල නොදියුණු බව හා නව තාක්ෂණයේ ඌනතා හඳුනාගත් මංගල පියවර ගණනාවකින් එකී සේවා ඉහළට ඔසවා තැබීමට නොපසුබට වීර්යයෙන් කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ලෝකයේ නව තාක්ෂණය එක් කරගැනීමේ අපේක්ෂා සහිතව විදුලි සන්දේශ සේවාව පෞද්ගලිකකරණයටද මංගල සමරවීර අමාත්‍යවරයා කටයුතු කළේය. එය ඉතා සාර්ථක ඉදිරිගාමී පියවරක් බව අද මුළු රටම අවිවාදයෙන් පිළිගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව විසඳාගනු වස් ක්‍රියාත්මක වූ 'සුදුනෙළුම් ව්‍යාපාරය' මංගල සමරවීරගේ පාර්ලිමේන්තු දිවියේ සුවිශේෂ සලකුණකි. මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතිකත්වයන්ගෙන් යුත් බහුජාතික රටක් ලෙස පිළිගන්නා මංගල සමරවීර එකී ජාතීන් අතර සංහිඳියාව, සංවර්ධනයේ ප්‍රධාන කුලුනක් ලෙස විශ්වාස කරයි.

පසුකලෙක නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූ මංගල සමරවීර නගර සංවර්ධනයේද නොමැකෙන සටහන් තබා ඇත. එහිදී ඔහු සිය උපන් ගම වූ මාතර නගරය මෙන්ම රටේ අගනගරයද සංවර්ධනය කිරීමේ දැවැන්ත ක්‍රියාමාර්ග ගත්තේ ඊට එල්ල වූ විරෝධතාවන්ට නොබියව මුහුණ දෙමිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගාලු මුවදොර සංවර්ධනය, බේරේ වැව සංවර්ධනය හා සහස්පුර වැනි නිවාස යෝජනා ක්‍රමද ඔහුගේ සංකල්ප අනුව ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘති අතර විය.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කොන්දේසියක් වන ජනමාධ්‍ය නිදහස ඉහළින්ම අගය කළ මංගල සමරවීර ජනමාධ්‍යට සිදු කරන දේශපාලන අතපෙවීම්වලට, ජනමාධ්‍යවේදීන් මරාදැමීමට, අතුරුදන් කිරීමට කවරදාත් විරුද්ධ විය. ජනමාධ්‍ය අමාත්‍යධුරයේ දෙවතාවකදී කටයුතු කළ මංගල ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම තැබීමට පසුබට වූයේ නැත.

මංගල සමරවීර දේශපාලන ජීවිතයේ වැදගත් කඩඉමක් වූයේ 2007 වර්ෂයයි. ඒ එතෙක් තමන් නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා බලපරාක්‍රමයට සහ බලහත්කාරි, අත්තනෝමතික පාලනයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 'ම' පාර්ශ්වය ගොඩනැඟීමයි. ඒ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මංගල සමරවීර අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමත් සමඟය.

විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් වාර කිහිපයක් කටයුතු කළ මංගල සමරවීර ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ලෝකය පුරා ගෞවරනීය ආකාරයෙන් ගොඩනැගීමට අවශ්‍ය සැම පියවරක්ම ගත් බවට ඉතිහාසය සාක්ෂි දරයි. විශේෂයෙන් 2015දී ලොකයෙන්ම හුදෙකලා වූ රටක් වශයෙන් අපකීර්තියට පත්ව තිබූ ශ්‍රී ලංකා නාමය නැවත ලෝකය පිළිගත් රටක් බවට පරිවර්තනය කරගැනීමට ගත් උත්සාහය මෙහිදී සිහිපත් කළ යුතුය.

2017 වර්ෂයේදී මුදල් අමාත්‍යධුරයට පත් වූ මංගල සමරවීර මේ රටේ තිරසර සංවර්ධනය ළඟා කරගත හැක්කේ, ප්‍රජාතන්ත්‍රවාදයේත්, සංහිඳියාවේත් පවුරු මත ගොඩනැ‍ඟෙන සංවර්ධනයකින් පමණක් බව විශ්වාස කරයි. එකී විශ්වාසයේ පදනම මත පිහිටා 'Vision 2025' - 'පොහොසත් රටක්' දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමය හඳුන්වා දුන්නේය. එහි පියවර ගණනාවක් දැනට මත් රටපුරා දියත් කෙරෙමින් පවතී. ඒ අතර 'ගම්පෙරළිය' ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය, ව්‍යවසායකත්වය නැංවීමේ අරමුණ ඇතිව හඳුන්වා දුන් 'Enterprise Sri Lanka' සහන ණය යෝජනා ක්‍රමයද වේ.

තිස්වසරක පාර්ලිමේන්තු දිවියේ කිසිදු දිනයක එකදු හොරකමකට, වංචාවකට හෝ දූෂණ චෝදනාවකට ලක් නොවූ මංගල සමරවීර කවදත් මානව හිමිකම් ඉහළින්ම සුරක්ෂිත විය යුතු බව විශ්වාස කළ බැවින් කිසිදු භීෂණ කාර්යයකට සම්බන්ධ නොවීමද මෙහි-ලා සටහන් කළ යුතුය.

අදහස්