ගූඪත්වය තේමා කරගත් අකුණු සමඟ තවත් කතා | සිළුමිණ

ගූඪත්වය තේමා කරගත් අකුණු සමඟ තවත් කතා

ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

මිල - රු. 250

අජිත් කල්යාණ අමරසිංහ කවිය, කෙටිකතාව හා යොවුන් ප්‍රබන්ධ යන සාහිත්‍යාංග තුන ඔස්සේ වරින් වර අපට හමු වන ලේඛකයෙකි. මේ සාහිත්‍යාංග තුනෙහිම සැරිසැරුවද අජිත් වඩාත් රුචියක් දක්වන්නේ කවිය කෙරෙහි බව ඔහු මේ වන විට කාව්‍ය සංග්‍රහ පහක් ප්‍රකාශයට පත් කර තිබීම මඟින් පෙනී යයි. 2018 වසරේ පළ ‘අකුණු සමඟ තවත් කතා’ සංග්‍රහයත් සමඟ ඔහු අතින් කෙටිකතා එකතු 3ක් ලියැවී ඇත. ඉන් එකක් පරිවර්තනයකි. අනෙක ‘මහීෂ ප්‍රශ්නය සහ තවත් ප්‍රශ්න’ නමින් 2003 දී පළ කොට 2004 වසරේ ගොඩගේ සම්මාන උලෙළේ විශිෂ්ටතම කතා එකතුව ලෙස සම්මානයට පාත්‍ර වූ කෘතියයි.

‘අකුණු සමඟ තවත් කතා’ එවකට අජිත් අතින් ලියවෙන්නේ ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය පළ කොට පසළොස් වසරකට පමණ පසුවය. ඒ කාලය තුළ ඔහු වෙනත් සාහිත්‍ය අභ්‍යාසවල නිරතව සිටි බවට සාක්ෂි එමටය. අජිත්ගේ කෙටිකතා විචාරයට බඳුන් කරන බොහෝ විචාරකයන් පොදුවේ පිළිගන්නා කාරණයක් වන්නේ ඔහු කෙටිකතාව නම් සියුම් කලාමාධ්‍යය හඳුනාගත් ලේඛකයකු බවයි. අජිත්ගේ ප්‍රථම කෙටිකතා එකතුව වන ‘මහීෂ ප්‍රශ්නය සහ තවත් ප්‍රශ්න’ සංග්‍රහයේ මෙන්ම ඊට සෑහෙන කලකට පසුව ලියූ මේ ‘අකුණු සමඟ තවත් කතා’ සමුච්චයේද ඉහත ලක්ෂණය අඩු-වැඩි වශයෙන් දක්නට ලැබේ.

කෙටිකතාව පිළිබඳ ප්‍රාමාණික පූර්විකාවකින්ද යුත් ‘අකුණු සමඟ තවත් කතා’ කෘතියෙහි කෙටිකතා 8ක් සංගෘහීතය. මේ කතා 8ම තේමාත්මක වශයෙන් ඒකීය මානයක් ගෙන තිබීම මෙහි මා දකින වෙසෙස් ලකුණකි. ඒ තේමාව තනි වචනයකින් හඳුන්වන්නේ නම් ඊට ‘ගූඪත්වය’ යන පදය යෙදුමට කැමැත්තෙමි. මිනිසාගේ චෛතසික ගූඪත්වය සේම මිනිස් සිතට බැහැරව පොදු සමාජයේ පවතින ගූඪභාවයද අජිත්ගේ මේ කෙටිකතා සංග්‍රහයේ වැඩිමනත් කතාවලට වස්තු විෂයය වී ඇති සෙයක් දිස් වේ.

‘අකුණු’ කෙටිකතා සංග්‍රහයේ එන ප්‍රථම කතාව වන ‘වැටීම’ ආරම්භ වන්නේ පාඨක කුතූහලය අවුස්සා ලමිනි. මේඝ ගර්ජනාවක්ද සමඟ නැ‍ඟෙන ඒ හඬ ඔස්සේ ගමන් කරන පාඨකයාට හමු වන්නේ පාළු ළිඳකට ඇදවැටුණු මිනිසෙකි. ළිඳ වටා ඒකරාශි වන මිනිසුන් හා ගැහැනුන් සමඟ ළි‍ඳේ වැටී සිටින මිනිසාගේ ඇති සබඳතාව ඒ ඒ චරිතවල සිතිවිලි නිරූපණය කිරීම මඟින් පාඨකයාට දැනගන්නට සැලැස්වීම ලේඛකයාගේ ආඛ්‍යාන උපායමාර්ගය වී ඇති සෙයක් පෙනෙයි.

ළිඳට වැටුණු ජේමිස් අවට සමාජයේ බොහෝ රහස් සැඟවුණු අඳුරු ගුහාවක් බඳු චරිතයකි; වියපත් වුවද තියුණු දෑසක් සහිත ශක්තිමත් මිනිසෙකි; පහර දීම්වලට මෙන්ම පහර කෑම්වලටද ඔරොත්තු දෙන සිතක් කක් ඇති වඳුරු නාම්බකු මෙන් කැලේ-කොළේ සැරිසරන සූක්ෂ්ම පුද්ගලයෙකි. මේ, ලේඛකයා විසින් සිය තියුණු වැකි මඟින් පාඨකයාගේ මනස තුළ සිතුවම් කරන ජේම්ස්ගේ චරිතයයි.

කතාව නිමා වන්නේ ජේමිස් නමැති සාක්ෂිකරුවා හමුවේ විත්තිකරුවන් බවට පත්ව සිටින පිරිසක් විසින් ජේමිස් ගොඩ ගනු ලැබීමත් සමඟිනි. ලේඛකයා මේ අවස්ථාව ඉතා උත්ප්‍රාසවත් ආකාරයෙන් රූපයට නඟයි. ජේමිස්කාරයා පොළොව මතුපිටට පැමිණෙන විට ඔවුන් වළ තුළට වැටෙන’යුරක් ඔවුන්ට දැනුණු බව ඔහු අපූරු වැකියකින් පවසා සිටියි.

එක හුස්මට කියවිය හැකි කතා රචනා කිරීමෙහි රුසියකු වන අජිත් කල්යාණ අමරසිංහ ‘වැටීම’ කතාවේදී අන්තර්ගතය ඉල්ලා සිටි ගූඪත්වයට වැඩි යමක් පාඨකයාට පැවරීමට තැත් කළා දෝ යන සැකය කතාව අවසානයේ මා සිතට නැඟුණු බව පැවසිය යුතුය. ලේඛකයාම හඳුන්වා දෙන පරිදි අවට පරිසරයේ නිශාචරයකු ලෙස සැරිසරන, තියුණු දෑසක් හා සවිමත් සිරුරකින් හෙබි ජේම්ස් බඳු පුද්ගලයන් රාත්‍රි‍යේ පාළු ළිඳකට ඇදවැටීමේ සම්භාවිතාව පිළිබඳ සියුම් රසවින්දනයක් සහිත පාඨකයකුගේ සිතෙහි කිසියම් කුකුසක් මතු නොවේද යන පැනය අජිත්ගෙන් ඇසීමට සිදු වේ.

ඊළඟට හමු වන ‘අකුණු’ නම් කෙටිකතාව මඟින් ලේඛකයා නිරූපණය කිරීමට තැත් කරන්නේ ‘සමාජ මනස’ වසාගෙන පිළිල මෙන් ලියලා තිබෙන මිථ්‍යා සිතිවිලි හේතුවෙන් සමාජයට පෙරළා අත් වන ව්‍යසනයයි. මේ කතාව ආරම්භයේදීද අජිත් සිය සුපුරුදු කුතූහලාත්මක ප්‍රවේශ මාර්ගයට පිවිසෙයි. “හදිසියේ එක්රොක් වූ කළු වලාවන්ගෙන් පැනනැඟුණු අකුණක් සියල්ලන්ගේම දෙසවන් ළඟින්ම පිපිරී ගියේය...’ දේහයක් මිහිදන් කර අවසන් වත්ම නැ‍ඟෙන මේ අද්භූත අකුණු හඬින් බියපත් වූ මිනිස්සු හිස් ලූ ලූ අත දිව යති. මෙබඳු අවස්ථා නිරූපණ මඟින් පාඨකයා සිය ග්‍රහණයට ගැනීමට අජිත් වැඩි රුචියක් දක්වන බව මේ කෙටිකතා සංග්‍රහයේ ඇතුළත් සෙසු නිර්මාණද දෙස් දෙයි.

කතාව දිගහැරෙන්නේ සුනේත්‍ර‍ා නම් තරුණියක කේන්ද්‍ර කරගෙනය. මියගොස් ඇත්තේ ඇයගේ පියායි. ඉඩමේ වූ පැණිවරකා ගසක් අරබයා සිය සොහොයුරාත් සමඟ ආරෝවක් ඇති කරගෙන සිටින පියා ඒ ගසින්ම වැටී මිය යයි. සුනේත්‍රාගේ මව මියැදෙන්නේද අකුණු සැරයක් වැදීමෙනි. මේ සියල්ල සිදු වන්නේ සමන් දෙයියන්ගේ රටේය. ‘ගූඪත්වය’ නමැති තේමාව ‘අකුණු’ කෙටිකතාව සමඟ බද්ධ වන්නේ මේ අයුරිනි.

කෙටිකතා රචනයේදී අජිත් අනුගමනය කරන්නේ දැඩි සංක්ෂිප්ත ලේඛන ශෛලියකි. ඔහුගේ හැම කතාවක්ම පාහේ පිටු හය-හතකට සීමා වෙයි. මුල, මැද, අග සහිත නිශ්චිත අනුපිළිවෙළක් ඔහුගේ කතාවල දක්නට නොලැබෙයි. මනාව සංස්කරණය කළ සිනමාරූප මාලාවක් සේ අවස්ථා හා සිදුවීම් එකිනෙකට ඡේදනය වන්නේ පාඨකයා සියුම් මානසික අභ්‍යාසයක් වෙත යොමු කරමින් බව පෙනෙයි.

සුනේත්‍රාගේ මිය ගිය පියා හා අයිරින් නැන්දා නම් කාන්තාව අතර අනියම් සබඳතාවක් පැවති අයුරුද කතාව අවසානයේ තහවුරු වේ. මේ සියල්ල හෙළිදරවු වන්නේ තාත්තාගේ මරණයත් සමඟිනි. ලේඛකයා ‘අකුණ’ මඟින් සංකේතවත් කරනුයේ කාලයේ වැලිතලාවට යටව පැවති මේ රහස් හෙළිදරවු වීමද, නොඑසේ නම් වැරදිකරුවන්ට සොබාදහම විසින් දඬුවම් පමුණුවනු ලැබීමද යන්න තීරණය කිරීම පාඨකයාට පැවරෙයි.

‘අකුණු’ කෙටිකතා සංග්‍රහයේ ඇතුළත්ව තිබෙන ‘නිධානය’, ‘නයි’, ‘ගඳයා’, ‘සඳුදා’, ‘ඇඟිල්ල’ හා ‘දුර්ගන්ධය’ ආදි සෙසු කතා අතුරින් බහුතරය අප මුලින් සඳහන් කළ පරිදි ගුප්ත ජීවන චර්යා සහිත චරිත වටා ගොඩනැඟුණු නිර්මාණ වශයෙන් හැඳින්විය හැකිය. නිධානයේදී අපට හමු වන්නේ අහම්බෙන් ධනවතකු වූ පුද්ගලයෙකි. ‘නයි’ කතාව මිනිසුන්ගේ චිත්ත අභ්‍යන්තරයෙහි පවත්නා වරදකාරි හැඟීම් සංකේතවත් කරන නිර්මාණයකි. ‘ගඳයා’ හා ‘දුර්ගන්ධය’ කතා දෙකේම සමාන ලක්ෂණ ඇතත් ඒවා වෙන් වෙන්ව රස විඳීමට පාඨකයාට බාධාවක් නැත. ‘ඇඟිල්ල’ පාඨක කුතූහලය උපරිමව මතු කරන්නට වෑයම් කරමින් රචිත කතාවක් සේ සැලකිය හැකිය. එහෙත් කැපී ගිය ඇඟිල්ලක් මත්ස්‍යකුගේ කුසින් මතු වීම කුතූහලයට වඩා විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුවක් නිර්මාණය කරයි. එබැවින් එය කෙටිකතාවකට වඩා සමීප වන්නේ ගැමි කතා පුවතකට යයි සිතේ.

අජිත් කල්යාණ අමරසිංහගේ නවතම කෙටිකතා සමුච්ච‍යේ වඩාත් මා සිත් ගත් කතාව වන්නේ ‘සඳුදා’ නමැති නිර්මාණයයි. බොහෝ කලක සිට පුවත්පත් සඟරා මඟින් අප දුටු අජිත් කල්යාණ නම් කෙටිකතාකරුවා මතු වන්නේ මේ කතාව ඔස්සේ යැයි මට සිතේ. ගැමියන්ගේ මිථ්‍යා විශ්වාස හා ගුප්ත චර්යා රටා ඉස්මතු කර පෙන්වන සෙසු කෙටිකතාවලට වඩා අජිත්ගේ නිදහස් හා සමාජ කේන්ද්‍රීය ලේඛන රටාව ‘සඳුදා’ කතාවේ මුල සිට අග දක්වාම ගලාගෙන යන සැටියක් දක්නා ලැබේ.

‘සඳුදා’ කතාවේ මා දකින කැපීපෙනෙන ලක්ෂණය වන්නේ අද්භූත වර්ණයකින් ඒ කතාවේ ඇතුළත් චරිත හෝ සිදුවීම් ආවරණය කර නොතිබීමයි. මේ කතාව හුදෙක් මානවීය ධර්මතා ප්‍රකට කෙරෙන අතරවාරයේම සජීව සමාජ සබඳතා රූපකාර්ථවත් කරන නිර්මාණයන් ලෙසද මා සිත් ගත් බැව් සඳහන් කරනු කැමැත්තෙමි. මෙහි එන සුමනලතාලා මෙන්ම දොස්තර නෝනලාද අපේ එදිනෙදා ජීවිතයේදී කොතෙකුත් අපට මුණගැසෙති. ඒ චරිත දෙස මතුපිටින් බලා ඒවාට සුදු-කළු ලේබල් ඇලවීම පෘථග්ජනයන් ලෙස සාමාන්‍යයෙන් අප හුරුපුරුදුව සිටින පිළිවෙතයි.

වෘත්තියෙන් වෛද්‍යවරයකු වන බැවින් මෙන්ම අත්දැකීමක් ඔස්සේ පරිකල්පනය කිරීමේ මනා පරිචයකින් යුතු ලේඛකයකුද වන නිසාම අජිත් මේ කතාව දැඩි සංයමයකින් යුතුව ගෙත්තම් කොට පාඨකයා වෙත පිරිනමයි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වරෙක පවසා ඇතිවාක් මෙන් “මානව දයාවෙන් ‍තොර නම් ඒ කාව්‍යයෙන් ඇති ඵලය කුමක්ද?” යන පැනයට කදිම පිළිතුරක් ‘සඳුදා’ කතාව කියවා නිම කරන පාඨකයා වෙත නිරායාසයෙන්ම සම්ප්‍රාප්ත වන බව නොවළහා පවසනු කැමැත්තෙමි.

කෙටිකාකරුවකු වශයෙන් ආරම්භයේ පටන්ම අජිත් කල්යාණ අමරසිංහ ප්‍රකට කළ ශක්‍යතා බොහෝ දුරට රැකගන්නට ‘අකුණු’ කෙටිකතා සංග්‍රහයෙන් සමත්ව සිටියද දශක එකහමාරක පමණ කාලයක් පුරා නිමග්නව සිටි අභ්‍යාසයේ ප්‍රතිඵල පිළිබඳව නම් මා පෞද්ගලිකව සෑහීමකට පත් නොවන බව අවසන් වශයෙන් නොකියා නොහැකිය.

අදහස්