මාතර යුගයේ උගතුන්ට කෘතඥතා පූර්වක ඇගයීමක් | සිළුමිණ

මාතර යුගයේ උගතුන්ට කෘතඥතා පූර්වක ඇගයීමක්

ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ

මිල- රු. 490/=

‘මාතර රාජධානියක් නොවී ය. ඉතින් කෙසේද සාහිත්‍ය ඉතිහාසයේ මාතර යුගයක් දක්වනුයේ?’ එක් පඬිවරයෙක් ඇසීය.

මහනුවර රාජධානිය පැවති යුගයේදී, මාතර, සාහිත්‍යකරුවන්ගේ රාජධානියක් විය. සාහිත්‍යකරුවෝ සිය ගණනක් මාතර දිසාවනිය සහ ඒ අවට විසිර සිටියහ. අලුත් කාව්‍ය, ශාස්ත්‍රීය සාකච්ඡා, වාද විවාද, කවි සංවාද, මාතර ඇසුරෙන් නැඟිණි.

එහෙයින් ම දේශපාලන ඉතිහාසයේ රාජධානියක් නොව‍ූව ද මාතර සිංහල සාහිත්‍ය ඉතිහාසයේ සන්ධිස්ථාන යුගයක් සටහන් විය.

මාතර යුගයේ මාතර උගතුන් පිළිබඳ ලියැවුණු පරිපූර්ණ කෘතියක් පසුගියදා අපට කියවන්නට ලැබිණ. නවකතා, කෙටිකතා, කවි, යොවුන් කතා, ළමා කතා සහ චිත්‍රපට තිරනාටක නිසා පාඨකයන් අතර ප්‍රියතම ලේඛකයකු වන නිහාල් පී. ජයතුංගයන් කලක සිට සාර්ථක ලෙස ශාස්ත්‍රීය නිබන්ධයන්හි ද යෙදෙන අයුරු දිගාමඬුලුවත, මාතර වංශය, පුලතිසි වංශය ආදී ඔහුගේ කෘතීන්ගෙන් ප්‍රකට වේ.

ඔහුගේ අලුත් ම පොත ‘මාතර යුගයේ මාතර උගත්හු’ ය. මාතර සාහිත්‍ය උගතුන් පිළිබඳ ව අංගසම්පූර්ණ විස්තරයක් පාඨකයන්ට මේ කෘතියෙන් දැන ගැනීමට හැකි වන බව පිළිබඳ විශ්වාසයක් එහි පටුනෙන් ම ඇති වේ. සියවස් දෙක තුනක් පුරා සිටි මාතර උගතුන් පිළිබඳ සත්‍ය තොරතුරු සොයා අපේ ලේඛකයා අතිදුෂ්කර ගමනක යෙදී ඇති බව මේ කෘතියෙන් සනාථ වේ.

කරතොට ධම්මාරාම හිමියන්ගේ ජන්ම පත්‍ර දුටු අයකු පිළිබඳ ව ඇසූ අපේ ලේඛකයා කෙසේ හෝ ඔහු සොයා ගැනීමට සමත් විය. ඔහුගෙන් ඒ හිමියන්ගේ සැබෑ උපන් දිනය ලැබිණ. ශාස්ත්‍රීය කෘතියක් සාර්ථක වනුයේ ඒ හා සබැඳි පර්යේෂණවලිනි.

කතුවරයා මාතර සාහිත්‍ය ඉතිහාසය මුලින් ම දක්වයි. ලන්දේසි පාලන සමයේ දී මාතර සාහිත්‍ය යුගය නිල වශයෙන් ඇරඹුණ ද, කෝට්ටේ යුගයේදීත් ඉතා උසස් සාහිත්‍යකරුවන් මාතර විසූ බව අප ලේඛකයා දක්වයි. මාතරට නුදුරු දෙවිනුවර මහා විහාරාධිපතීන් වහන්සේ පද්‍ය 190ක් වූ තිසර සන්දේශ කාව්‍යය නිර්මාණය කළහ. කෝ‍ට්ටේ යුගයේ ප්‍රධාන සන්දේශ කාව්‍ය අතරට එය වැටේ. ඒ යුගයේ දී ම දෙවිනුවර තිලක පිරිවෙන්පති හිමියෝ කෝකිල සන්දේශය ලියූහ. එය ද ප්‍රධාන සන්දේශ කාව්‍යයකි.

කෝට්ටේ යුගයට පෙර මාතර ඉහළ පෙළේ ගද්‍ය රචකයන් විසූ බව ද, අප ලේඛකයා නිදසුන් සමඟ තොරතුරු අනාවරණය කරයි. දොළොස්වන සියවසේ පොලොන්නරු යුගයේ ද ලියවුණු මාතර දිසාවේ පනාක‍ඩුවේ තඹ සන්නස රසවත් බසින් ලියවුණු චම්පු කාව්‍ය ලක්ෂණ පළ කරන උසස් නිර්මාණයකි.

දෙවිනුවර කිතග්ග බෝධි සන්නස, සයවන පරාක්‍රමබාහු සන්නස, දෙවිනුවර තඹ සන්නස, වැලිගම රාජකුලවඩන ලිපිය, අඹගමු සන්නස, මාතර ප්‍රදේශයෙන් ලැබුණු ගද්‍ය නිර්මාණ වේ. තිළිණ පතකට වුව ද රස බස යෙදූ අයුරු පනාකඩුවේ තඹ සන්නසෙන් පෙනේ. බස හැසිරවීමේ සමත් ප්‍රතිභාප‍ූර්ණ උගත්තු එකල මාතර සිටියහ.

කෝට්ටේ යුගයේදී ද මාතර ශාස්ත්‍රාලෝකය පැතිරී ගිය ප්‍රදේශයක් විය. කෝකිල සන්දේශය, දෙවිනුවර තිලක පිරිවෙන ගැන කියවේ. වැලිගම රාජකුලවඩන පිරිවෙන බිහිවූයේ පොලොන්නරු යුගයේ ය. කෝට්ටේ යුගයේ ‍තොටගමු විජයබා පිරිවෙන ද මාතරට දුර නැත. මේ විද්‍යස්ථාන නිසා බිහි වූ උගතුන්ගෙන් කෝට්ටේ යුගයට මෙන් ම පොලොන්නරු යුගයට ද කීර්තිය ලබා දුණි.

මාතර සාහිත්‍ය යුගය බිහිවන විට කෝට්ටේ යුගයේ පැවැති දේශපාලන වියවුල් නිසා සාහිත්‍ය සහ ශාස්ත්‍රීය ප්‍රබෝධය අන්තයට ම පිරිහී තිබිණි.

මාතර යුගය මුල් භාගයේ දී වැලිවිට අසරණ සරණ සරණංකර සිල්වතාණන්, පසුව සංඝරාජ හිමිපාණන් බිහි නොවන්නට සිංහල සාහිත්‍ය සහ ශාස්ත්‍ර ඥානය බින්දුවෙන් පහළට ද ඇද වැටෙන්නට ඉඩ තිබිණි. උන්වහන්සේ උපසම්පදාව යළි ඇති කිරීමට කටයුතු කොට බුදු සසුනට කළ සේවයට නොදෙවැනි මෙහෙයක් සාහිත්‍ය සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල ද ඇති කළහ. වියත් සඟ පරපුරක් ගොඩනැඟූහ. සිටිනාමළුවේ ධම්මජෝති සිල්වතාණන් සහ වැලිවිට සිල්වතාණන් සැඟවුණු බුදු දහම සොයා ගම් දනවුවල සැරි සැරූහ; පුස්කොළ පොත් හා ධර්ම පුස්තක සොය සොයා යළි දහම් පොත පත පළ කළහ.

සියමෙන් උපසම්පදාව ගෙන ඒමේ කටයුතු සංවිධානයට ද සිටිනාමළුවේ සිල්වතාණෝ වැලිවිට සරණංකර සිල්වතාණන්ට උදවු කළහ. අවසානයේ වැලිවිට හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙරටට පැමිණි සියම් ජාතික උපාලි තෙරුන්ගෙන් උපසම්පදාව ලබා ගම් පෙදෙසට වැඩියහ.‍ උන් වහන්සේ නිසා ගිහි පැවිදි උගත් පරපුරක් මාතර බිහි විය. මාතර සාහිත්‍ය යුගයක් නිර්මාණය වීම සඳහා ඒ ශිෂ්‍යයෝ මුල් වූහ.‍

වේහැල්ලේ ධම්මදින්න හිමි, කරතොට ධම්මාරාම හිමි, බෝවල ධම්මානන්ද හිමි, සාලියාලේ මණිරතන හිමි, බෙන්තර අත්ථදස්සී හිමි, මිහිරිපැන්නේ ධම්මරතන හිමි, ඇලපාත ධම්මරතන හිමි (පසුව ඇළපාත මුදලි) ඇතුළු ගිහි පැවිදි පිරිසක් මෙයට ඇතුළත් වූහ. ගිහි පැවිදි උගතුන් 76 දෙනකුගේ තොරතුරු මේ කෘතියේ සවිස්තරව දැක්වේ.

“මාතර යුගයේ ආදිම කවීහු” මැයෙන් එක් පරිච්ඡේදයක් වෙන් වේ.

කෝට්ටේ යුගයෙන් පසු විදේශීය බලපෑම් නිසා පිරිහී ගිය සිංහල සාහිත්‍යය යළි නැ‍ඟෙන්නට පටන් ගන්නේ වැලිවිට සංඝරාජ හිමියන්ගේ වෑයමෙනි. ඒ වෑයම අත් නොහරිමින් එය ඉදිරියට ගෙන යෑම මාතර මේ හිමිවරුන්ගෙන් සිදු විය.

දෙවිනුවර මලවර කවියා, කවිසේකර මලවර කිවිඳු, ඌරුගමුවේ කුලසේකර අප්පුහාමි, උඩුවේ කවියා, දික්වැල්ලේ සාමණේර හිමි, සිටිනාමළුවේ ධම්ම‍ජෝති හිමි ඇතුළු සිසු පිරිස, භරණ ගණිතාචාර්ය සහ පත්තායමේ ලේකම් වැලිවිට සරණංකර හිමි දැල්වූ සාහිත්‍ය ප්‍රදීපය නොනිවා පවත්වා ගනිමින් කළ සේවාව මෙහි දැක්වේ. වේහැල්ලේ සඟ පරපුරේ උගතුන්, මුල්කිරිගල සඟ පරපුරේ උගතුන්, රන්සෑගොඩ සඟ පරපුරේ උගතුන්, වැව සඟ පරපුරේ උගතුන්, අගලකඩ සඟ පරපුරේ උගතුන් හා කැටගොඩ සඟ පරපුරේ උගතුන් හතළිස් දෙනෙකු පිළිබඳ ව ද, ඔවුන්ගේ නිර්මාණ ද සමඟ කතුවරයා අපට ඉදිරිපත් කරයි.

අමරපුර නිකායේ මාතර යුගයේ උගතුන් දොළොස් දෙනෙකු වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක් වෙන්කොට ඇත. ජනතාව අතර වඩාත් ප්‍රචලිත ප්‍රියතම හිමිවරුන්, කිවිවරියන් මෙහි දොළොස්වන පරිච්ඡේදයෙන් අපට හඳුනා ගැනීමට ලැබේ.

සබේ විදානෙ, ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, රූණේ හාමිනේ, අත්තරගම කුමාරිහාමි, භරණ ගණිතයාගේ බිරිය, සබේ විදානේගේ නංගී, අන්දරේ ඇතුළු කිවි කිවිඳියන් 14 දෙනකු ඔවුන්ගේ නිර්මාණ සමඟ ‘වෙනත් උගතුන්’ මැයෙන් වෙනම පරිච්ඡේදයක් මෙහි හඳුන්වා දී තිබේ.

සිංහල සාහිත්‍ය වංශයේ කිවිවරියන් බහුල ව දක්නට ලැබෙන්නේ මාතර යුගයේදී ය. ජීවිතයේ සැබෑ දුක් වේදනා හෘදයංගමව ඉදිරිපත් කරන මේ කිවිඳියෝ හුදු කාන්තාවන්ට උරුම වූ දුක්ඛදායක තත්ත්වය ද හෙළි කරති.

මින් උගතුන් 76 දෙනකු සංක්ෂිප්ත ව වුව ද අපට හඳුන්වාදීමට කතුවරයා ගත් වෑයම සාර්ථක වී ඇත. හෙතෙම ඔවුන් පිළිබඳව දැනගත යුතු වැදගත් ම කරුණු නොඅඩුව දක්වයි. මාතර යුගයේ සාහිත්‍ය ග්‍රන්ථ වර්ග නවයකට බෙදා දැක්වේ.

ජාතක කතා කාව්‍ය, කතා කාව්‍ය, සාහිත්‍ය කාව්‍ය, භක්ති කාව්‍ය, ශෘංගාර කාව්‍ය, වර්ණනා කාව්‍ය, වාද, ජනකවි, සෙත් කවි සහ වස් කවි ඒ නව වර්ගයයි.‍

මෙයින් ජන කවි වශයෙන් දැක්වෙන නිර්මාණ හැරුණු විට අනෙක් නිර්මාණ උසස් සාහිත්‍ය ලක්ෂණ පළ කරන්නේ මඳ වශයෙන් බව කතුවරයා සාධක සහිතව පෙන්වා දෙයි. දුෂ්කර බන්ධනවලට මුල්තැන දීම, කෝට්ටේ යුගයේ කාව්‍ය අනුකරණය කිරීම, ශබ්ද රසයට මිස අර්ථ රසයට තැනක් නොදීම, බොහෝ නිර්මාණවලට පොදු වූ ලක්ෂණයකි. කෙසේ වුවද මාතර යුගයේ කවීන්, උගතුන්, සිය සවි පමණින් කළේ, වියළෙන සිංහල සාහිත්‍ය ගඟ සි‍ඳෙනු නොදී මතු දවසේ ද ගලා යන්නට සැලැස්වීම ය. මාතර යුගය ඒ ආකාරයෙන් හෝ නොපැවතියේ නම් කොළඹ සාහිත්‍ය යුගයක් බිහිවන්නේ නැත.

කොළඹ සාහිත්‍ය යුගය යනු මාතර යුගය ඉදිරියට යෑමකි. කොළඹ යුගයේ මුල් අවධියේ දී පෙනුණේ මාතර යුගයේ පැවැති දුර්වල ප්‍රබන්ධවල ලක්ෂණ ම ය. ශබ්දාලංකාරයට තැන දුන් කවි, නිර්මාණාත්මක බවෙන් තොර විය. විරිත ඇත ද නැත ද රසවත් බව කවි යැයි කියමින් අර්ථ රසයට, ධ්වනියට, වක් පැවසුමට තැන දෙමින් කුමාරතුංග මුනිදාසයන් මතු කළ විචාර ආලෝක ධාරාව නිසා මාතර යුගයේ නිර්මාණවල වූ බංකොලොත් බව තරමකින් හෝ දුරු කර ගැනීමට කොළඹ යුගයේදී හැකි විය.

වත්මන් කොළඹ සාහිත්‍ය යුගය මතු වූයේ මාතර සාහිත්‍ය යුගයෙනි. මාතර උගතුන් පහළ නොවූයේ නම් කොළඹ උගතුන්, සාහිත්‍ය නිර්මාණකරුවන්ට යළි මුල සිට පටන් ගැනීමට සිදුවනු නියත ය.

මේ නිසා මාතර යුගයේ උගතුන් ජාතියට යුතුකමක් ඉටු කළ උදාර පිරිසක් ලෙස හැඳින්වීම නිවැරදි ය.

ඔවුන්ගේ සැබෑ තොරතුරු සොයායමින් දැඩි දුෂ්කරතා මධ්‍ය යේ නිහාල් පී. ජයතුංග ලේඛකයාණන් මාතර උගතුන් පිළිබඳව කළ මේ ග්‍රන්ථය ඔවුන් කළ ජාතික සේවාවට කෘතඥතා පළකිරීමකි; ඇගයීමකි; උපහාර දැක්වීමකි; මතු පරපුරට අපේ ඇත්තන් හඳුන්වා දීමකි.

අදහස්