සිංහල අලුත් අවුරුද්ද පෝෂණය කළ සාම්ප්‍රදායික සන්නිවේදනය | සිළුමිණ

සිංහල අලුත් අවුරුද්ද පෝෂණය කළ සාම්ප්‍රදායික සන්නිවේදනය

සිංහල අලුත් අවුරුද්ද මංගල්ලයක් වන්නේ, සංස්කෘතික සම්ප්‍රදායක් බැවිනි. එහෙයින් එයට අනන්‍ය වූ සන්නිවේදන සම්ප්‍රදායක් ද දැකගත හැකි ය. මෙරට ගොඩනැඟී තිබෙන අවුරුදු සන්නිවේදන ඒ ඒ පළාතට හුරු වූ ඌරුව යටතේ සැකසී තිබේ. වාර්ෂිකව එය අනුගමනය කරන හෙයින් අවුරුදු සංස්කෘතියෙහි පොහොසත්කම පරපුරින් පරපුරට සන්නිවේදනය වේ. අනෙක් අතට ළමා අවදියේ දී ලබන සංස්කෘතික සමාජානුයෝජනයත් සමඟ අලුත් අවුරුදු සන්නිවේදන ලක්ෂණ අප අධ්‍යාත්මයේ තැම්පත් වීම ද මෙහි තිබෙන විශේෂිත ලක්ෂණයකි. ගමක ඉපදී ඒ ගමට අනන්‍ය ඌරුව යටතේ ලබන අවුරුදු සංස්කෘතික සන්නිවේදනයත් අප කෙතරම් වැඩිවියට පත් වුවත්, දිවයිනේ කුමන පළාතක ජීවත් වුවත්, වෙනස් කළ නොහැකි වේ. විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් සිංහල අලුත් අවුරුද්ද අලළා සිදුකෙරෙන සියලු සාකච්ඡා හා විද්වත් මත සංවාද සියල්ලෙහි සන්නිවේදන අර්ථ විමසා බලන විට මෙකී අනන්‍යතාව හෙවත් සංස්කෘතික සමාජානුයෝජනයෙන් ලත් සන්නිවේදන අර්ථවලින් අපට බැහැර විය නො හැකි බව ඉතා අපූරුවට හඳුනාගත හැකිය. එහෙයින් සත්කෝරලයේ පුරාණ වැව් ගම්මාන ආශ්‍රිතව පැවැති සිංහල අලුත් අවුරුද්ද හා බැඳි සන්නිවේදන සම්ප්‍රදාය පිළිබඳ ව මෙයින් විමසුමට ලක් කෙරේ.

බොහෝ දෙනා මේ වන විට හඳුනාගෙන තිබෙනුයේ සිංහල අලුත් අවුරුද්ද නොනගතයෙන් හෙවත් සංක්‍රාන්තියෙන් පසුව ආරම්භ වන බවයි. එහෙත්, එය සාවද්‍ය තත්ත්වයකි. සැබැවින් ම වැව්ගම්මාන සම්ප්‍රදායන්ට අනුව සිංහල අලුත් අවුරුද්ද උදාවන්නේ නවම් මාසය මුල්කරගෙනය. නවම් මහට මී ගව පට්ටිවලට නවමු පැටවු බහුලව ලැබෙති. එහෙයින් ඒ මාසය හඳුන්වන්නේ ‘මීකිරිමහ’ ලෙසිනි. මී කිරිමහේදි ‘පට්ටිකිරි ඉතිරීම’ කළ යුතු ය. එය ගමේ ඇත්තන්ට දන්වන්නේ ගංකරයේ මහගමරාල උන්දැ නැතිනම් විදානේ උන්දැ විසිනි. එයට සම්ප්‍රදාය සන්නිවේදන රටාවත් අනුගමනය කිරීම පුරාතන පිළිවෙත ය. එහෙයින් ගංකරය පුරාවට අඬබෙරයක් යවනු ලබයි. එමඟින් ගවපට්ටි හිමිකරුවන්ට අවශ්‍ය සන්නිවේදනය සිදුකරනු ලබයි. නැතිනම් පාන්දර හෙවත් ‘කිරිවෙලාවෙන්’ ‘පන්සලේ ගෙඩිය’ ගසනු ලබයි. එය අවාචික සන්නිවේදන ක්‍රමෝපායකි. නමුදු පට්ටිකිරි ඉතිරුම් සඳහා ගෙඩිය ගසන්නේ පාන්දර ගවපට්ටිවලින් කිරි දොවන විට ය. එකදිගට ගෙඩිය ගැසීම තහංචි ය. එය ගවපැටවුන් අඬන්නා සේ ගසනු ලබන රටාවකි. උම්බෑරටාව සිහි කරමින් එකළඟ ළං ළං ව තෙවරක් ගෙඩිය ගසා යළි ඉඩක් තබා යළිදු තෙවරක් නාද කරවයි. මේ රටාව පහසුවෙන් හඳුනාගන්නා ගැමියන් පට්ටිකිරි ඉතිරීම එළඹෙන කෙම්මුර දිනයේ සිදුවන බව වටහා ගනී. නැතිනම් කන්න රැස්වීමක් පවත්වා ‘පට්ටිකිරි ඉතිරීම’ සිදු කළ යුතු බව දන්වයි. මෙලෙස පට්ටිකිරි ඉතිරීම සිදු කිරීමට පෙරාතුව යාය ගොයම් කපා අවසන් කළ ද යායට ගවයින් ඇතුළු කිරීම තහංචි වේ. යාය වැටකඩුලු ලිහීවීම සාම්ප්‍රදායික ඉඩ අවසර අත්වනුයේ පට්ටිකිරි ඉතිරීමේ මංගල්ලයෙන් පසුව ය. එමඟින් ගංකරයේ ළමාළපටින්ගේ සිට වැඩිහිටියන් සියලු දෙනා ම උදාවන්නේ සිංහල අලුත් අවුරුද්දක් බව කල් ඇතිව හඳුනාගන්නේ මේ සාම්ප්‍රදායික සන්නිවේදනය මඟිනි.

‘පට්ටිකිරි ඉතිරීමේ’ මංගල්ලයෙන් පසුව හෝ ඒ සමීපයේ එළඹෙන නැකත් අනුව ගංකරයේ සංහි‍‍ඳේ කිරි ඉතිරීම කළ යුතු වේ. එලෙස මහකන්නයේ නෙළාගත් අස්වැන්නෙන් ‘අගහස්’ හෙවත් ‘අක්යාල’ දෙවියන්ට පුදා කිරි ඉතිරුම් මංගල්ලයක් පවත්වන තුරු මොන ම ආකාරයකින් හෝ අලුත් සහල් ආහාරට ගැනීම තහංචිය. එබැවින් ගංකරයේ කිරි ඉතිරුම් මංගල්ලය සඳහා අවශ්‍ය සන්නිවේදනයත් මහගමරාල හෝ විදානේ ඇත්තන් සිදුකරයි. එය කන්න රැස්වීමක් පැවැත්වීමෙන් වාචිකව කරන්නකි. නැතිනම් අඬබෙර කරු ලවා අවශ්‍ය පණිවිඩය සන්නිවේදනය කරයි. එහෙත් නැත්නම් මහගමරාල ඇත්තන් හෝ ගංකරයේ වැඩිහිටින් කීපපොළක් ගංගෙදරින් ගංගෙදරට පැමිණ කිරි ඉතිරුම් මංගල්ලය දැන්වා සිටියි. ඒ සමඟම ‘සංහිඳ’ ළඟ බිම පිරිසිදු කිරීම හා ඒ අවට ගොක් රෑන් ඇඳීම බඳු අවාචික සංස්කෘතික සන්නිවේදනයන් මඟින් ද අවශ්‍ය කාරණාව සන්නිවේදනය වේ. එසේ ම යම් විටක ගංකරයක වදුරුවසංගත, ලෙඩදුක් හෝ මරණ සිදු වීම නිසා සිංහල අලුත් අවුරුද්ද අත් හැරීමට සිදු වූයේ නම් එයට විදානේ උන්දැගේ අණ මඟින් ගංකරයේ වී බිස්සක හෝ උඩක එල්ලා තිබෙන අක්යාල සහිත හුනුමල්ලේ පිටතින් අමු කොහොඹ අතුමිටියක් හෝ අඹකොළ අතුමිටියක් එල්ලයි. එමඟින් සිදුවන්නේ ද අවාචික සන්නිවේදනයකි. එහි සංස්කෘතික අර්ථය නම් මෙවර අලුත් අවුරුද්ද උදා නොවන බව ඇඟවීමය. එසේ ම අලුත් සහල් මංගල්ලය සිරිත් පරිදි සිදුකරන තෙක් තහංචි රැසක් බලපැවැත්වේ. එනම් අලුත් වී කෙටීම තහංචිය, සහල් කිරීම හෝ සහල් දියලෑම තහංචිය, පිටි කෙටීම තහංචි බැවින් කැවිලි තැනීම ආදී සහල් උපයෝගී කරගෙන සිදුකරන කිරිබත් පිසීමේ සිට සියලු කටයුතු තහංචි වේ. එවිට අලුත් අවුරුදු අත්හැරීමට සිදු වෙයි. මේ තහංචි මඟින් වැව්ගම්මාන වැසියන්ට ඉතා ප්‍රබල සංස්කෘතික සන්නිවේදනයක් සිදු කරනු ලබයි. නමුදු නිසි ලෙස දෙවියන් හෙවත් සොබොදහම වෙත මේ සත්කාරයන් කළ විට සිත් පුරා අවුරුදු කෑමට තිබෙන තහංචි සියල්ල අහෝසි වේ.

අලුත් අවුරුදු උදාව වැව්ගම්මාන වැසියන් වෙත එළඹෙන බව ඈත දුරසිට හඳුනාගත හැකි යි. ඒ ‘ගංකරය මල්වරවන්’ බැවිනි. එනම් ගංගෙවල් සියල්ල ගොම මැටි ගා වියළා ගන්නා අතර වහල අලුතින් හෙවිල්ලා ගැනීමෙන් නවමු මුහුණුවරක් ගම්මැද්දට එළඹෙන හෙයිනි. එම භෞතික පාරිසරික පසුබිම දැකගත හැකිවන්නේ බක්මහ උලෙළට පමණි. මේ වෙනස නිසා ගංගෙවල වහලවල් සියල්ල අලුතින් හෙවිල්ලා ගැනේ. එසේ ම බිත්තිවලට මකුල්ලමැටි හෝ රතු හුඹස් මැටි ගා ගැනේ. තවද ගෙබිමට ගොමමැටි ගෑම සිදු වේ.

එලෙසම ගේ දොරකඩ තිබෙන වී බිස්ස වහලය අලුත් වේ. එහි බඳට අලුතින් රතුහුඹස් මැටි ඔපලා ගනු ලැබේ. එලෙසින් ම ගංගෙදර මිදුලට පාත් වී තිබෙන ගන්අතු කපා වදුල ඉවත් කෙරේ. මේ ලෙසින් ගංගෙදර වටා ගොඩ නැ‍ඟෙන නව පාරිසරික ව්‍යුහය සන්නිවේදනය කරන්නේ අලුත් අවුරුදු ළං ළංව එළඹෙන බව ය. එසේ ම යම් විටක ගංකරයට රෝග උපද්‍රව, මරණ හෝ වසංගත උදාවී තිබේ නම් එවිට එම ගංකරයට පිවිසෙන මඩක‍ඩවල කොහොඹ කොළ අතු හෝ ‘වසංගත වැටි’ දැමීමෙන් එම ගමට හා එහි වැසියන්ට අවුරුදු නොමැති බව අන්‍යයන්ට මේ සම්ප්‍රදායන් මඟින් අවාචිකව සන්නිවේදනය කරයි.

අලුත් අවුරුදු උලෙළට ඉදුණු කෙසෙල් අවශ්‍ය වේ. මේ සඳහා කල්ඇතිව කෙසෙල්කැන් තෝරාගත යුතු ය. වැව්ගම්මාන අවුරුදු සංස්කෘතික පිළිවෙත වන්නේ ‘කෙහෙකන් අතුබැඳීම’ ය. එනම් පැසුණු කෙසෙල්කන් තිබෙන ගස් හඳුනාගෙන ඒවා වියළී ගිය කෙසෙල් අතු හෙවත් කෙසෙල් පරඬලාවලින් වසා තබයි. එලෙස කෙහෙකන් අතුබඳින විට එක් එක් පුද්ගල අනන්‍යතාව හඳුනාගත හැකි ලෙස ගස වටා පරඬැල් රවුමක්, දෙකක් හෝ වෙනත් ලකුණක් බැගින් යොදයි. මේ අවාචික සන්නිවේදනය මඟින් සිදුකරනුයේ ඒ ඒ තැනැත්තාට හිමිකම පැවසීම ය. මෙය ද අවුරුදු සංස්කෘතික පිළිවෙත් හා බැඳුණු සන්නිවේදනයකි.

අලුත් අවුරුදු උදාවන විට රබන් වාදනය කිරීම හා උණවෙඩිලි බඳු ශබ්ද පූජා පැවැත්වීම සිරිකත් වේ. එහෙත්, ඒ සිරිත් අනුගමනය කිරීම හිතේ හිතුවක්කාරයට කළ නොහැකිය. එනම් අවුරුදු ශබ්ද පැවැත්වීම හෙවත් අවුරුදු උදාවේ සතුට සන්නිවේදනය කිරීම පිණිස වෙන් වූ නැකතක් තිබේ. එම නැකත හඳුන්වන්නේ ‘තෙල්වළං ළිප තැබීමේ’ නැකත ලෙසිනි. එම නැකත උදාවන තෙක් කිසිදු විදියකට හෝ රබන්වාදනය, උණවෙඩිලි හා බීරංග පත්තු කිරීම නැතිනම් ‘හැළිබඹරය’ හැඬවීම තහංචි ය. තෙල්වළං ළිප තැබීම බක්මහ අවුරුදු උදාවට සති කීපයකට පෙර උදාවන නැකතකි. ඒ නැකත උදාවත් සමඟ ළිප දල්වා කැවිලි තැනීම ආරම්භ කරයි. එවිට පළමුව පන්සලේ ගෙඩිය හෝ ඝණ්ටාව නාඳකර තෙල්වළං ලිප තබන නැකත් උදා වූ වග සන්නිවේදනය කරයි. ඒ සමඟ ම රබාන හා අනෙකුත් අවුරුදු ශබ්ද පූජා ආරම්භ වේ. එලෙස ආරම්භ වන අවුරුදු සතුට සන්නිවේදනය අවුරුදු හමාර කරන තෙක් භාවිතයට ගත හැකියි.

මෙලෙස තෙල්වළං ළිප තබන නැකතට ඇත්තට ම සාමූහික ලෙස ගංකරයේ ගෙවිලියන් එකතු ව කැවිලි තනා ගැනීම අවුරුදු සිරිතකි. ඒ සිරිතට අනුව පළමුව පිසින කැවුම් අත්තම්කාරියන් සියලුදෙනාගේ නිවෙස්වලට අවශය ‘කෝඳුරු කැවුම’ වෙන් කරයි. එනම් ‘කෝඳුරුකැවුම’ ලෙස හඳුන්වන්නේ අවුරුදු සමයේ තෙල්කැවිලි බහුල වන විට ගංගෙවලට කෝඳුරුවන් පැමිණෙන හෙයින් ගෙදර කුස්සියේ වහලයේ එල්ලනව කැවුම ය. එවිට කෝඳුරුවන් එම කැවුම වටා රැස්වන බැවින් තෙල් ආහාරවලට පැමිණීමෙන් වළකී. තවද මෙය අවාචික සන්නිවේදනයකි. මන්දයත් කෝඳුරුවන් සමඟ නොව කෝඳුරු කැවුම් ‘කුස්සියාලත්තේ’ එල්ලා ති‍බෙන විට ළමාළපටි සියලු දෙනාම තම ගංගෙවල කැවිලිවර්ග තනා ඇති බව හඳුනා ගනිති. එය ඔවුනට සතුටට කරුණක් වන අතරම කෝඳුරුකැවුම් එල්ලා තිබෙන සෑම ගෙදරක ම අවුරුදු කැවිලිවලින් හිඟයක් නොමැති බව ද සන්නිවේදන වේ.

සිංහල අලුත් අවුරුදු උදාවත් සමඟ ම ගංකරයේ ඇත්තෝ ‘පිටිපේකරති’. එනම් පත්තිනිදේවිය හෙවත් සශ්‍රීකත්වය උදෙසා ‘අංකෙළිය’ හා පොරපොල් කෙළිය’ පවත්වනු ලබයි. ඒ සඳහා අවශ්‍ය පිට්ටනිය කල්ඇතිව වෙන් කිරීම ‘පිටිපේකිරීම’ ලෙස හැඳින්වේ. මෙය ද චිරාගත අවුරුදු චාරිත්‍ර අනුව සිදුවන්නකි. එවිට නැකත් දිනයක අංකෙළියට හා පොල්කෙළියට යෝග්‍ය බිමක් තෝරාගෙන ඒ වටා කණු හතරක් පිහිටුවා එම හතර පැත්තේ මල්පැල හතරක් ද කණු වටා ගොක්කොළ රෑන් එල්ලීම ද සිදු කරයි. එවිට මේ පිටිය මැදින් ගමන් කිරීම තහංචිය. පිළා පිළිහුඩු ලෙස සැලකෙන කිලි ආහාර ගත්තවුන්, ජනසම්මත කිලිකරුවන්, අත් පා තුවාල වූවන්, මස් මාළු රැගෙන යන්නන් මෙන් ම දුසිරිතේ යෙදෙන්නන් මෙම පිටිය හරහා හෝ එහි සමීපයෙන් රැඳී සිටීම තහංචිය. මේ සංස්කෘතික තහංචි ජනසම්ප්‍රදාය හා ජීවන සම්ප්‍රදාය මඟින් සියලු වැව්ගම්මාන වැසියන්ට අවබෝධකර තිබෙනුයේ ප්‍රායෝගිකව ය. තවද මෙය අවාචික සන්නිවේදන රටාවකි. මන්ද ගොක්කොළ මල් පැල හා ගොක් රෑන් ඇඳීම විනා එහි වෙනත් දැන්වීම් පළකිරීමක් සිදු නොවේ. එහෙත්, සාම්ප්‍රදායික සංස්කෘතික සන්නිවේදන ලක්ෂණ ඉතා ප්‍රබල හෙයින් ජනසම්මත කෙළිපිටි කිසිවක් ආක්‍රමණය කිරීමට වැව්ගම්මාන වැසියෝ ඉදිරිපත් නොවෙති.

අවුරුදු උදා වන විට ගංකරයට - වළංකත්කරුවෝ පැමිණෙති. ඔවුන් රැගෙන එනුයේ අලුත් වළං ය. එසේ ම වළං හුවමාරු කරගනු ලබන්නේ භාණ්ඩ හුවමාරු පිළිවෙතටය. එබැවින් අවුරුදු සමයේ වළංකත්කරුවන් ගංකරයට පැමිණීමේ අවුරුදු උදාවීමේ පූර්ණ සූදානම ප්‍රදර්ශනය කරන සංස්කෘතික සන්නිවේදනයක් වේ. එලෙසම කම්හලට, වළංතනන්නන්ට රෙදි වියන්නන්ට, වාද්දියක්කාරයන්ට හා නැතක්රා වැනි ඇත්තන්ට ‘දැකුම්දීම’ මඟින් ද අවුරුදු උදා වේ.සතුට සන්නිවේදනය කරයි. තම ජීවන රටාව පවත්වාගෙන යෑම සඳහා විවිධ සේවාවන් සපයන ඇත්තන්ට මෙලෙස ‘දැකුම්දෙන්නේ’ එළඹෙන අලුත් අවුරුද්ද ප්‍රීතිමත් එකක් බවත් මෙතෙක් කළ සේවාවන්ට යම්බදු කෘතවේදිත්වයක් පළකිරීම සඳහාත් ය. ඒ සියල්ල දකින අන්‍යයන් සැමට අවුරුදු උදාවේ අසිරිය සන්නිවේදනය වන්නේ අවාචික ව ය.

නොනගතයට පෙර ‘කුණුමුත්තා පිදීම’ ප්‍රබල අවුරුදු සන්නිවේදනයකි. මේ වන විට ගෙදරට අවශ්‍ය වතුර රැස්කර, ආහාරපාන පිළියෙළකර අවසන් ය. කුණුමුත්තා පිදීම පරණ අවුරුද්දේ අවසන් ක්‍රියාකාරකම වේ. එවිට ගෙවිලිය ගෙදර තියෙන සියලු කුණු හා ළිපේ අළු සියල්ල ඉවතට රැගෙන ගොස් ගසක් මුලින් තබයි. ඒ සඳහා පරණ මලුපිටක් හෝ කෑල්ලක් උපයෝගී කරගන්නා අතර ඒමත අවුරුදු කැවිලි කීපයක්, බුලත් විටක් ආදිය තබයි. මෙලෙස කුණුමුත්තා පිදීම මඟින් ගෙතුළ තිබෙන සියලු කුණුරොඩු භෞතිකව ඉවත් කළ බව සියලු දෙනා අතරට සන්නිවේදනය කරයි. එමඟින් සියලු වැඩ වැරීමට සූදානම් බව ඇඟවීම ද මේ සංස්කෘතික සන්නිවේදනයේ ලක්ෂණයකි.

නොනගතය හෙවත් සංක්‍රාන්තිය උදා වූ විට ඒ බව ගංකරයේ පන්සලේ ඝණ්ටාව හෝ ගෙ‍ඩිය ගසා සන්නිවේදනය කෙරේ. එයින් පසු ව කිසිදු ක්‍රියාකාරකමක නියැළීම තහංචිය. ඒ අතර පන්සලට ගොස් ආගමික වතාවත්වල යෙදේ. එහෙත් පන්සල් යන විට හෝ පන්සලේ සිට යළි නිවෙසට පැමිණෙන විට වෙනත් ගංගෙවලට ගොඩවීම තහංචිය. කොටින් ම අනෙක් ගෙදරකින් වතුර පොදක් හෝ බුලත්විටක් කෑම මෙන් ම එය දීම ද තහංචි ය. මේ සියල්ල ප්‍රබල සංස්කෘතික සන්නිවේදන භාවිතාවන් ය. එසේ ම නොනගතයේ දී එළිමහනට බැස කිසිදු ක්‍රියාකාරකමක නියැළීම ද තහංචි වේ. එබැවින් ගෘහාශ්‍රිතව ඔළිඳ කෙළිය, පංච කෙළිය හා නෙරෙංචි කෙළිය බඳු ක්‍රියාකාරකම් යෙදේ. මේ සියල්ල තහංචි සංස්කෘතික හා බැඳුණු සන්නිවේදන භාවිතාවන් ය.

අවුරුදු උදාවත් සමග වැඩිහිටියන් ගෞරව කිරීම සිරිතකි. එබැවින් වැඩිහිටියන්ට බුලත් අතක් පිරිනමා කථාකළ යුතු ය. මෙය අවුරුදු චාරිත්‍රයක් ලෙස පිළිගනු ලබන්නේ වැඩිහිටියන්ට ‘බුලත් දී කථා කිරීම’ ලෙසිනි. එමඟින් වාචික සන්නිවේදනයකට මුලපුරයි. අම්මා - තාත්තා සේ ම නැන්දා - මාමා ඇතුළු සියලු වැඩිහිටියන් ට අවුරුදු චාරිත්‍රයක් ලෙස බුලත් අතක් පිරිනමා වඳින විට ඒ සමඟ ම ‘මෙතෙක් මගේ අතින් දැනුම් වත්ව හෝ නොදැනුම්වත්ව වරදක් වූවා නම් සමාවන්න යැයි’ කටින් ප්‍රකාශ රයි. එවිට වැඩිහිටියා ද ඒ සියලු දෑ හිතින් ඉවත්කර මුව පුරා ආශිර්වාද කරයි. මේ සිරිත අවුරුදු සම්ප්‍රදායේ ඉතා ප්‍රබල සන්නිවේදන අවස්ථාවකි.

එලෙස ම නව අවුරුදු උදාව හෙවත් ආහාර අනුභවයේ සිට හිසතෙල් ගාන නැකත දක්වා වූ කාලය ලෙස හැඳින්වේ. ජනමතය වූකලී වටහාගත නොහැකි ප්‍රපංචයකි. එහෙත් කෙබඳු ගැටුමක් ආරවුලක් ඇති වුවද සිංහල අවුරුදු සමයේ බුලත් දී කතා කිරීම හෙවත් පොදු සමා පිරිනමන සන්නිවේදන කාලය ප්‍රයෝජනයට ගෙන, ගැටුම් අවම කරගැනීමට අවශ්‍ය සංස්කෘතික පසුතලය ගොඩ නඟාගෙන තිබේ.

ආයුරාරෝග්‍ය සම්පත හෙවත් නිරෝගීභාවය ජන මනසට කාවැද්දීම අරමුණු කරගෙන ‘හිසතෙල්ගෑමේ’ මංගල්‍ය නැකතට සිදුවේ. ඒ සමඟ ම හිසට හා පයට ශාක කොටස් දැවටීමට සලස්වයි. හිස ගල්වනයේ ශාකසාරවලිනි. එමඟින් ‍භෞතික හා අධ්‍යාත්මික ලෙස සන්නිවේදනය කරනු ලබන්නේ දේශීය වෙදකම පදනම් වී තිබෙනුයේ ශාකසාර හෙවත් සොබාදහම මත බවයි. තව ද මෙලෙස සොබාදහම මත තහවුරු වීමෙන් අපගේ තිර ජීවන සම්ප්‍රදාය ගොඩනැඟී තිබෙන හෙයින් සොබාදහම ආරක්ෂා කිරීමේ වගකීම ද හිසතෙල් ගෑමේ සන්නිවේදනය මඟින් අපට පසක්කර දෙයි.

මේ අනුව බලන විට වැව්ගම්මාන ජීවන සම්ප්‍රදාය හා ගොඩනැඟුණු අවුරුදු සංස්කෘතික සන්නිවේදනයක් වූකලී තිරජීවන පැවැත්ම තහවුරු කරන වාර්ෂික ආවර්ජනාවලියක් ලෙස හඳුනාගත හැකිය. එහි අපූර්වත්වය අපට මැනවින් අවබෝධ කරවීම සඳහා සිංහල අලුත් අවුරුද්දේ සියලු චාරිත්‍ර හා බැඳුණු පොහොසත් සන්නි‍වේදන සංස්කෘතියක් ද පවතින බව හැඳිනගත හැකියි.

අදහස්