ආයු­බෝ­වන්, ගු රු­කු­ලය සමඟ පිය­දාස රත්න­සිං­හ­යන්ගේ පනස් වසක මාධ්‍ය චාරි­කාව | සිළුමිණ

ආයු­බෝ­වන්, ගු රු­කු­ලය සමඟ පිය­දාස රත්න­සිං­හ­යන්ගේ පනස් වසක මාධ්‍ය චාරි­කාව

ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබා තිබුණද පියදාස රත්නසිංහ තරුණයාගේ සිත ඇදී ගොස් තිබුණේ ජනමාධ්‍ය කෙරෙහිය. එවකට අංක එකේ මාධ්‍ය වී තිබුණේ මුද්‍රිත මාධ්‍යයි. ගුවන් විදුලිය ගමට සපැමිණ තිබුණ ද ගමේ පවුලකට දෙකකට පමණක් එය රස විඳීමට ලැබුණි. එහෙත් ජන්මයෙන්ම උරුම කරගත් කලාව මාධ්‍ය කලාව නිසා හේ කුඩා වියේදීම යමක් ඔතාගෙන එන පත්තර කඩදාසිය පවා කියවීමට අමතක නොකළේය. සති අන්තයේ පියා ගෙනෙන පත්තරය මුල සිට අගටත් අග සිට මුලටත් කියවීය. ගුවන් විදුලි යන්ත්‍රයක් හිමි නිවෙසකට ගොස් සවන් දුන්නේය.

ගුවන් විදුලියට සවන් දෙද්දී තම ඉරණම ගුවන් විදුලිය සමඟ බැඳී ඇතැයි ඔහුට සිතුණේ නැත. රැකියාවල් 36ක් සඳහා සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වී කැඳවීමක් නොලද ඔහුට නොසිතූ විරූ ලෙස තමන් ඉතා ප්‍රිය කළ ගුවන් විදුලියේම මුල්ම ක්‍රියාකාරී සහායකයන් දෙදෙනාගෙන් කෙනකු වීමේ වාසනාව පෑදිණි. ඒ සමඟම රත්නසිංහයන් මාධ්‍ය කලාවට අත්පොත තැබීය. එලෙස 1969 ජූලි මාසයෙන් ඇරඹුණු පියදාස රත්නසිංහයන්ගේ මාධ්‍ය කලාවේ නිම් වළලු දිනෙන් දින පුළුල් විය.

විශ්ව විද්‍යාලයේදීම විවිධ කලා නිර්මාණ කිරීමෙන් ලද පරිචය නිසා ඔහුට ‘ගුරු කුලය’ වැනි පලදායක වැඩ සටහන් රටට දායාද කිරීමට හැකි විය. දේශීය මෙන්ම බී. බී. සී වැනි විශිෂ්ට අන්තර්ජාතික මාධ්‍ය ආයතනයක සේවය කරන්නන්ගෙන් ලැබුණු ගුරු හරුකම්ද ඔහුට පන්නරයක් විය. ගුවන් විදුලියෙන් පියදාස රත්නසිංහයන් හදුන්වා දුන් ගුරු කුලයට ලියූ රත්න ශ්‍රී විජේසිංහ වැන්නන් නිවේදනයට පැමිණි සමන් අතාවුදහෙට්ටි, කමල් දේශප්‍රිය වැන්නෝ අද කලා ලොවේ ප්‍රබලයෝය.

ඔහුගේ ගුවන් විදුලි ගුරුකුලයේ දොර වැසුණේ ජාතික රූපවාහිනියේ දොරටුව ඔහුට විවර වීමත් සමඟය. 1981 දී ජපානයට ගොස් රූපවාහිනී මාධ්‍ය පිළිබඳ අත්දැකීම් ලද ඔහුට මුලින්ම පැවරුණේ විනාඩි 15ක වැඩසටහනකින් සත්ව විද්‍යා විෂයේ සමනලයකු බිහිවන අයුරු ඉදිරිපත් කිරීමටයි. විද්‍යා විෂයයන් හදාරා නොතිබුණු ඔහු සම්පූර්ණයෙන්ම ඒ ගැන හදාරා වැඩසටහන ගෙන ආවේය.

සහකාර අධ්‍යක්ෂ වැඩසටහන් සැලැසුම්, රූපවාහිනි වැඩ සටහන් නෂ්පාදක ලෙස තනතුරින් ඉදිරියට යද්දී 1983 කළු ජූලිය ඔහුගේ වෘත්තීය දිවියට ලබා දුන්නේ අලුත්ම අත්දැකීමකි. මින් පෙර 1971 තරුණයන්ගේ නැඟී සිටීමේදී ගුවන් විදුලියේ සේවකයකු ලෙස ද ඔහු මෙවන් අත්දැකීමක් ලබා තිබිණි. මෙවර අත්දැකීම සුවිශේෂි වන්නේ ඒ වනවිට ඔහු විවාහ වී ගත වී තිබුණේ මාස දෙකක් වැනි කෙටි කාලයක් නිසයි. ඔහුට පැමිණි තර්ජන නිසා නිවෙසට නොයා රූපවාහිනියටම කොටු වී සේවය කිරීමට සිදුවිය.

මුලින්ම ‘ආයුබෝවන්’ වැනි වැඩසටහන ගෙන ඒමට සිතුවිලි පහළ වූයේ රත්නසිංහයන්ටය. බී. බී. සී චැනලයේ ‘මෝනිං ෂෝ’ ඔහු ඒ සඳහා ආදර්ශයක් කර ගත්තේය.

‘ආයුබෝවන්’වැඩසටහනින් අපක්ෂපාතී මාධ්‍ය කලාවකට ද මං පාදා දෙන ලදි. ආරියරත්න ඇතුගල, වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය වැන්නන් ගෙන්වා ඔහු දේශපාලන කථිකාවතක් ඇරැඹීය.

ආයුබෝවන් සඳහා ප්‍රවීණ නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා වැඩසටහන් ඉදිරිපත් කිරීමට රත්නසිංහයන් විසින් තෝරා ගත් විට ඔහු වෙත එල්ලවන ගල් මුල්වලින් අඩුවක් නොතිබිණි.

ඔහු තම තෝරා ගැනීම වෙනස් කර නොගත් අතර විමසුවේ එකම එක පැනයකි. ඒ “අප්‍රිකානු නිවේදකයනුත් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරනවා නේද?“යන්න පමණි. අවසන ප්‍රේමකීර්ති පුංචි තිරයට නැතිවම බැරි නිවේදකයෙක් විය. ඒබීසී, සීබීඑස් නාළිකාවල සම්බන්ධීකාරක ලෙසින් ද කටයුතු කළ රත්නසිංහයන් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ගම් උදා වැඩසටහන් සඳහා ගමින් ගමට ගොස් ඒ සම්බන්ධව ක්‍රියා කිරීමේ වගකීම ද දැරුවේය.

කලබල කාලයක රාජකාරී කිරීමේ දෙවැනි අත්දැකීම ඔහු ලැබුවේ 1989 දීය. රාජකාරියට කොළඹින් පිටට ගොස් සිට නැවත පැමිණිමේදී රූපවාහිනී ආයතනයම ආරක්ෂක හේතුන් මත හමුදා නිලධාරින් යොදා කරගෙන යනු පෙනිණි. ඇතුළට පැමිණි රත්නසිංහයන්ට යළි පිටවීමට ඉඩ ලැබුණේ නැත.

පුරා මාස දෙකක් පැය තුන හතරක කෙටි නින්දක් පමණක් ලබමින් ඔහු සේවය කළේය. ඔහුට හමුදා නිලධාරින්ට, නිලධාරිනියන්ට ප්‍රවෘත්ති කියවීමට හුරු කිරීමට පවා සිදු විය. රත්නසිංහ තමන්ට එල්ල කළ මරණ තර්ජනවලට දුන් පිළිතුර “අපට පක්ෂ දේශපාලනයක් නැහැ. කරන්නේ රාජකාරිය. ඔයාලා බලයට පත් වුණත් එහෙමයි.“ යන්නය. මේ කාලය කෙතරම් ආතතිය ගෙනදුන් කාලයක් ද කිවහොත් ඔහුට හෘදායාබාධයක්ද වැලඳිණි.

හෘදයාබාධයෙන් සුවය ලබා එද්දී ඔහු වැඩසටහන් අංශයෙන් යළි අධ්‍යාපන අංශයට මාරු කර තිබිණි. ඒ කිසියම් පිරිසකගේ කේළමකට ජනපතිවරයාගේ අනුමැතියෙන් තොරව සිදුවූවකි.‍ ප්‍රේමදාස ජනපතිතුමා ඔහු සීඑන්එන් නාළිකා සම්මන්ත්‍රණයකට සති දෙකකට අමරිකාවට පිටත් කළේය. පිටත් කර එතුමාට අඳුනන අමෙරිකානු වෛද්‍යවරයකුට එදිරිසිංහයන්ගේ හෘදයාබාධයේ තත්ත්වය බැලීමට ද පවසා තිබිණි.

කලබල කාලයක රාජකාරී කිරීමේ අත්දැකීමක් යළිත් ඔහු ලැබුවේ යාපනයේ සැබෑ තත්ත්වය ලෝකයාට පෙන්වීමේ වගකීම ප්‍රේමදාස ජනපතිවරයා විසින් ඔහුට පැවරීමෙන් අනතුරුවය.

උදෑසන ගොස් සවස ඒමට යාපනයට ගියද සතියක් එහි නැවතී සිටීමට ඔහුටත් ඔහු සමඟ ගිය කැමරාශිල්පී වීරසිංහටත් සිදු විය. යාපනයේ ඇති භයානක යුද වාතාවරණය නිසා කිලෝමීටර් 2 1/2 ක දුර දණ ගාගෙන ගිය ගමන රත්නසිංහයන්ගේ මාධ්‍ය දිවියේ සුපිරිතම අභියෝගයකි.

අධ්‍යාපන, වාණිජ, වැඩසටහන් සැලැසුම් අංශ තුනේම සේවයේ නියැළි අධ්‍යක්ෂ ධුරය හෙබවූ වසර 21 - 22ක සේවා කාලයේදී ඔහු අතුල රන්සිරිලාල්, කෝසල මකුලොලුව, හේම නලින් කරුණාරත්ත, චන්දන තිලකරත්න ආදී ගෝල බාල පරපුරක් බිහි කළේය. විදෙස් සංචාර 45කට පමණ සහභාගී විය. විශ්‍රාම ගැනීමෙන් පසු මාධ්‍ය විද්‍යාල ගණනාවකත්, ස්වාධීන රූපවාහිනියේත් සේවය කළ ඔහු දැන් නිදහස් මාධ්‍යවේදියකි. විශ්‍රාම දිවියේ පසු වුවද ජානගත මාධ්‍ය උණ නිසා ඔහු අදට ද කාර්යය බහුලය.

ලේඛිකාවක ද වූ බිරිය පියසීලී විජේනායක මෙන්ම රත්නසිංහයන්ද පරිවර්තන, ස්වතන්ත්‍ර කෘති නිර්මාණයෙහි යෙදෙමින් විදුලි ඉන්ජිනේරුවරයකුවූ පුතු සමග දිවියේ සැඳෑ සමය ගත කරන්නේය. ඔහු ලියූ ඇසි දිසි මායාව කෘතිය 2006 වසරේ ලංකාවේ හොඳම ජනමාධ්‍ය කෘතිය ලෙසින් සම්මානයට පාත්‍ර විය. පියදාස රත්නසිංහයන් මාධ්‍යය දිවියේ පනස් වසර සමරන්නේ මේ වසරේදීය.

ඒ නිමිත්තෙන් ඔහුට ශ්‍රී ලංකා රූපවාහිනි සහ ගුවන් විදුලි ආයතනයෙන් ටෙලි අභිමානී ගෞරව සම්මානය පසුගිය 7 වැනිදා සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පිරිනැමිණි.

අදහස්