එච්.එම්. ජය­ව­ර්ධන සමී­ප­රූ­පයේ හැම­දාම | සිළුමිණ

එච්.එම්. ජය­ව­ර්ධන සමී­ප­රූ­පයේ හැම­දාම

 ඉන්ද්‍රචාපගේ සමීපරූප කඳුළින් බොඳ වුණු සමීපරූපාවලියක් වෙලා ද කියල හිතෙනව මේ දවස්වල. සතියක් ගෙවුණෙ නෑ සිංහල චිත්‍රපට පසුබිම් ගායනාවේ කෝකිලාවිය ගෙ හඬ සදහටම නිහඬ වෙලා. ඇන්ජලින් ගුණතිලක ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර ඇඳිල තියෙන්නෙ සිංහල චිත්‍රපට පසුබිම් ගායනාවේ කෙවිලියගේ භූමිකාව වෙනුවෙන් කිරුළු පලන් රැජන විදියට. ජනප්‍රිය සිංහල සිනමා ගීතාවලිය පුරා ඇන්ජලින්ගේ මධුර ස්වරය විහිදී පැතිරී යන්නෙ ජෝතිපාල කියන ගීත කෝකිලයගෙ හඬ පෞරුෂය සමගයි කියලයි සමීපරූප මතක් කරන්නෙ. ගාමිණී, මාලිනී, විජය මාලිනී, ටෝනි මාලිනී සුසංයෝග මොනව වුණත් ඒ හැම සුසංයෝගයක් පිටුපසින්ම ඉන්ද්‍රචාපට ඇහුණෙ ඇන්ජලින් ගෙ අතුල්‍ය කටහඬ. ඒත් අද අපට ඇන්ජලින් නෑ. ඒ දුක්මුසු ආරංචියෙ උණුහුම මැකිල යන්නත් කලින්ම මේ තීරුව ලියන අද, අප්‍රේල් 8 වැනිදා උදේ කාලෙම තවත් දුක්මුසු ආරංචියක්. ඇන්ජලින් වගේම කාලයක් රෝගී වෙලා එක්තැන්ව හිටපු අපේ සංගීතයේ මධුර තනු නිර්මාණයෙහි, සංගීත අධ්‍යක්ෂණයෙහි විශ්වකර්මයා, විශිෂ්ටයා එච්. එම්. ජයවර්ධනගෙ සමුගැනීම පිළිබඳ වේදනාබර ප්‍රවෘත්තිය. ඉන්ද්‍රචාපගේ සමීපරූප දුකින්, කඳුළින් බොඳවුණු සමීපරූප වීම දරාගන්න අමාරු දුකක්.

ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර තියෙන තොරතුරු නිවැරිදි නම්, ජීවිතයෙ හත්වන දශකයටවත් ආපු නැති එච්.එම්. හදපු සින්දු, ගායක ගායිකාවො, එවයෙ ගීත රචකයො සියයකට වැඩි මිසක් අඩු නම් නෑ. එච්,එම්. හදපු ගීතයක් නොගැයූ ගායකයෙක් ගායිකාවක් ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරින් හොයාගන්න එක හරිම අමාරුයි. ඒ වගේම එච්.එම්. ගෙ සංගීත නිර්මාණවලින් තනුවලින් පොහොසත් වුණු සින්දු නාමාවලියෙන් සමීපරූපය වැහිලා.

නවාතැන්පොළ ඔබයි, නෙළාගන්න බෑ, ප්‍රේමය නම්, කඩමණ්ඩියේ, පෙම් ලොවදී දුටු, පූජාසනයේ ඔබ හිඳුවා, (නන්දා මාලිනී) මා එක්කලා අමනාපව, වසන්කරන්නට බෑ මගෙ සිත, රජ මැදුරක ඉපදී සිටියා නම්, (මාලිනී බුලත්සිංහල) මංගල තෑග්ග චිත්‍රපටයෙ ගීත, එකයායේ කකා වැටී, වාසනා වේවා (සුනිල් එදිරිසිංහ, බන්දුල විජේවීර, සනත් නන්දසිරි) ළා දළු බෝ පත් (කරුණාරත්න දිවුල්ගනේ) සඳලතා පායලා (කීර්ති පැස්කුවල්) මේ ගඟ මේ දුරු කතර ගෙවා (නිරංජලා සරෝජිනී) සඳක් නම් බැස යන්න තිබුණා (රොහාන් ශාන්ත බුලේගොඩ) කිරුළ මුතු ලිහී, බාලිකාවියන් (ජානක වික්‍රමසිංහ) පුර පෝය හඳට (සුනිල් එදිරිසිංහ) සිරි යහනේ ලණු ඉහිරී (එඩ්වඩ් ජයකොඩි) එච්. එම්. ජයවර්ධන කියන විශිෂ්ටයාගෙ සමීපරූපාවලී ගීතාවලියෙන් දෝතට ගත්ත දිය බිඳක් පමණයි.

නන්දා මාලිනීගෙ නවාතැන් පොළ ඔබයි, කඩමණ්ඩියේ වගේ සින්දු දෙකක් ගත්තත් එච්.එම්.ජයවර්ධන කියන අපූර්ව සංගීත නිර්මාණකාරයා, තනු නිර්මාපකයා සතුව තිබුණු විශිෂ්ට කෞශල්‍යය, නිපුණත්වය දැක ගන්න හොඳටම ඇති. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වැනි විශිෂ්ටයෙක් එක්ක සමීපව නිර්මාණකරණයෙහි යෙදුණු එච්.එම්. සංගීතඥයෙක් වගේම හොඳ මනුස්සයෙක්, අදීන මිනිහෙක් වුණු බව ඔහුගේ ඇතැම් තීරණවලින් ඔප්පු කර තියෙන බව ඉන්ද්‍රචාප දන්නවා. වරක් ඔහුට ලැබුණු සම්මානයක් ඔහුට නොව කේමදාස මාස්ටර්ට හිමි බව කියලා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීම එච්.එම්.ගේ නිර්භීතත්වයට, අදීනත්වයට සාක්කි. එච්.එම්.ලා සිංහල සංගීත ක්ෂේත්‍රයේ දුලබයි. ඔහුගෙ නිර්මාණ හැකියාවට දැන් ඉන්න හුඟාක් සංගීතකාරයන්ට අලගු තියන්නවත් අමාරුයි. එච්.එම්.ගෙ මිහිරි ගී තනුවක සුවඳ සුළගේ පාවීගෙන ඇවිත් ඉන්ද්‍රචාප වගෙ තවත් රසිකයන් සුවහසකගෙ හදවත් තෙමා ගලා බසිනවා දැනෙනවා.

 

අදහස්