කණ්ඩා­යම් සංගී­ත­යට එක්ව සිටින අලුත්ම රිද්මය මිරි­හානේ ANNO DOMINI | සිළුමිණ

කණ්ඩා­යම් සංගී­ත­යට එක්ව සිටින අලුත්ම රිද්මය මිරි­හානේ ANNO DOMINI

අපේ රටේ කණ්ඩායම් සංගීතයට එක්ව සිටින තවත් අපූරු සංගීත කණ්ඩායමක් තමයි ANNO DOMINI. මංගල සාද, ප්‍රිය සාද වගේම විවිධ උත්සව අවස්ථාවන්ද රසවත් කරන ඔවුන් මේ වන විට කා අතරත් කතා බහට ලක්වුණා. ඒ නිසාම අපි මෙවර රසඳුන BAND OF THE WEEK කතාබහට එහි නායක ෂෙහාන් පෙරේරා එකතු කරගත්තා.

ෂෙහාන් කියන්නේ කුඩා කාලයේ ඉඳලම සංගීතයට පෙම් බැන්ද සුන්දර තරුණයෙක්. මිරිහානේ උත්පත්තිය ලබන ඔහු කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් වගේම ඩී. එස් සේනානායක විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හදාරනවා. පාසලේදී අධ්‍යාපනයට දැඩි උනන්දුවක් දක්වන ඔහු, තමන් තුළ සැඟව තිබෙන සංගීත කලාවට තිබෙන දක්ෂතාව ඉස්මතු කරගන්න අමතක කරන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියට වයස අවුරුදු නවය විතර වෙද්දි ගිටාරය අතට අරන් හෙමින් හෙමින් ගීයක් මුමුණමින් සංගීත කලාව පටන් ගන්නවා. ඒ මුමුණපු ගීතයත්, ඊට සංගීතය සපයපු ගිටාරයත් කවදා හරි තමන් රටක් දන්න සංගීත ශිල්පියකු කරයි කියලා සමහර විට හිතන්නේ නැතුව ඇති. එහෙත් කාලය ගලා යද්දි දෛවය විසින් ඔහුව කලාකරුවෙක් වගේම නීතිය උගන්වන ගුරුවරයකු බවට පත් කරනවා.

කුඩා කාලයේ ඉඳලා මගේ හිතේ සංගීතයට ලොකු කැමැත්තක් තිබුණා. මම හිතන්නේ ඒ හැකියාව මට ලැබුණේ සහජයෙන් කියලා. පාසලේදී විෂයක් විදිහට සංගීතය හදාරන ගමන් ගිටාර් වාදනය වැඩි දුරටත් ඉගෙන ගන්න මියුසිකල් බොලොසම් එකට ගියා. එහිදි තමයි මුල්ම සංගීත කණ්ඩායම පටන් ගත්තේ.

මේ අතර ෂෙහාන් ප්‍රමුඛ කණ්ඩායම එවකට තිබුණ සංගීත තරගවලට ඉදිරිපත් වෙලා අංශ දෙකකින් ජයග්‍රහණය ලබා ගන්නවා. ඒ නිසාම ඔවුන්ට හොඳ ඉල්ලුමක් රට පුරා ඇති වෙන්න ගන්නවා. ඒ එක්කම ඔවුන්ට ඩුබායි රටට යන්න අවස්ථාව ලැබුණා. එහෙත් ඒ වන විට නීති විද්‍යාලයේ අවසන් වසර ඉගෙනුම ලබන ෂෙහාන් ඩුබායි ගමන නොගිහින් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කරගන්න තීරණය කරනවා.

හැබැයි මම එහෙම ගියේ නැහැ කියලා සංගීත කටයුතු නම් නතර කළේ නැහැ. ඒ අතර තමයි අපි කිහිප දෙනෙක් එකතු වෙලා සිකුරාදා දිනවල සවස් වරුවේ ඩෙලි මාර්කට් එකේ සංගීතය සැපයුවේ. අද වෙන කොට අපි හොඳ ගමනක් ගිහින් තිබෙනවා. ඒ ගමන යන්න මට හොඳ මිත්‍රයෝ කිහිප දෙනෙක් එකතු වුණා. මාත් එක්ක වැඩිම කාලයක් හිටියේ සේනක පෙරේරා. ඔහු ඩ්‍රම්ස් වාදන ශිල්පියකු විදිහටයි වැඩ කරන්නේ. ඊට අමතරව ගායනයෙන් දායකත්වය ලබාදෙනවා. ලීඩ් ගිටාර් ශිල්පියා ලෙස කටයුතු කරන්නේ මංගල වීරසේකර. ඔහු රට රටවල් කිහිපයකම අද්දැකීම් තිබෙන ශිල්පියෙක්. ගිටාර් වාදන අංශයෙන් උපාධියක් පවා ඔහුට තිබෙනවා. ශකිල ගණේගම කියන්නේ කී බෝඩ් වාදන ශිල්පියා. ගායනයෙන් වගේම ශබ්ද පරිපාලන අංශයෙන් දායකත්වය ලබාදෙනවා. බේස් ගිටාර් වාදන ශිල්පියා ලෙස කටයුතු කරන්නේ සුනෙත් ලක්මාල්. ඔහුත් ගායනයෙන් එකතු වෙනවා.

ඔවුන්ගේ ආරේ සංගීත රටාවක් තුළින් ගමන් කරමින් සිටියත් ඇතැම් අවස්ථාවලදි විවිධ ගී ඉල්ලීම් ලැබෙනවා කියලා තමයි ෂෙහාන් කිව්වේ. එහෙම වුණාම ඒ කිසිවකුට හානියක් සිදු නොවන විදිහට එම ගීත ලබාදෙනවා.

අපි කිසිම කෙනෙක්ව අනුකරණය කරන්නේ නැහැ. අපි අපිට ආවේනික රටාවකින් තමයි සංගීතය ලබාදෙන්නේ. හැබැයි සමහර අවස්ථාවල ඇතැම් අය අපෙන් විවිධ ගීත ඉල්ලනවා. අපි ඒ කිසිම ගීතයකට හානියක් නොවන විදියට රසිකයන්ට දෙන්න වගබලාගන්නවා.

එතකොට ෂෙහාන් කොහොමද වෘත්තිය ජීවිතයයි, සංගීත ජීවිතයයි සමබරව ගෙනියන්නේ. ඔහු හිනා වුණා. මම කිසිම වේලාවක ඒ දෙක පටලවා ගන්නේ නැහැ. ගොඩක් වෙලාවට රාත්‍රී උත්සව තමයි ලැබෙන්නේ. එහෙම වුණාම කාලය කළමණාකරනය කරගන්නවා.

අපේ රටේ මේ තරම් සංගීත කණ්ඩායම් තියෙද්දී ඇනෝ ඩොමිනි සංගීත කණ්ඩායමට මේ තරම් ඉල්ලුම තියෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය මගේ හිතට ආවා.

‘කාගේ හරි වැඩක් බාර ගත්තම අපි හිතන්නේ ඒ අපේ සහෝදරයෙක්ගේ, අපේම කෙනෙක්ගේ වැඩක් කියළා. එහෙම හිතලා වැඩ කළාම හදවතින්ම ඒ වැඩේ කරන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ ඒ නිසයි අපට දවසින් දවස හොඳ ඉල්ලුමක් ලැබෙමින් තිබෙන්නේ. ඇනෝ ඩොමින් සංගීත කණ්ඩායම මේ දිනවල ලහි ලහියේ ලෑස්තිවෙන්නේ විදෙස් සංචාරයකට එකතු වෙන්න.

ඒ කියන්නේ ඩුබායි රටට යන්න.

ඩුබායි රටේ ඉන්න ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ තමයි මෙම සංගීත ප්‍රසංගය සූදානම් කරන්නේ. ‘ඇකෝබා‘ නමින් නම් කරල තිබෙන මෙම සංගීත රාත්‍රිය හැඩ කරන්න අපිව තමයි තෝරගෙන තිබෙන්නේ. අපි හිතන්නේ මෙය අපිට ලැබුණු හොඳ අවස්ථාවක් කියළා. ඊට සාර්ථකව මුහුණ දෙන්න මේ දවස්වල කටයුතු කරමින් ඉන්නවා. වෘත්තියෙන් නීති විද්‍යාලයේ ගුරුවරයකු වෙන ෂෙහාන්ට මියුසික් වෙනුවට නීති වෘත්තියෙන්ම ඉහළට යන්න පුළුවන් නේද කියලා ඇහුවම ඔහු දුන්නේ අපූරු උත්තරයක්. මම නීතිඥයෙක් වෙන්න කලින් තමයි කලාකරුවෙක්, එහෙම නැත්නම් සංගීත ශිල්පියකු වුණේ. මම නීති වෘත්තියට පිවිසුණා කියලා කිසිම වෙලාවක සංගීතය අත්හැරියේ නැහැ. ඒ නිසා සංගීතය කිසි දවසක මගෙන් ඈත්වෙන එකක් නැහැ.

අද වෙන කොට බොහෝ දෙනෙක් කණ්ඩායම් සංගීතයට එක්වෙමින් ඉන්නවා. පළපුරුදු ශිල්පියෙක් විදිහට නවකයන්ට දෙන්න පණ්වුඩයක් ඇති?

මෙය අමාරුම දෙයක්වත්, පහසු දෙයක්වත් නෙවෙයි. ඒ නිසා හොඳ අවබෝධයෙන් මෙය සිදු කළ යුතුයි. ඒ වගේම ඕනෑම ගායකයකු එක් සංගීත වාද්‍ය භාණ්ඩයක් හෝ වාදනය කරන්න දැනගත යුතුයි කියා මම හිතනවා. ඇයි මම එහෙම කියන්නේ කියලා ඔබ බලාවි.

එහෙම වාදනය කරන්න දන්නව නම් තමන් ගීතයක් ගායනා කරද්දි ඊට අවශ්‍ය සංගීතය ගැන යම් දැනුවත් කිරීමක් කළ හැකියි.

ඒ වගේම අපිට මේ ගමන එන්න ගොඩක් අය උදව් කළා. ඒ හැමෝටම ස්තූතියි.

 

 

අදහස්