පුංචි කාලයේ ඉඳලා මගේ අද­හස තිබුණේ සංගීත ගු රුවරියක වෙන්න | සිළුමිණ

පුංචි කාලයේ ඉඳලා මගේ අද­හස තිබුණේ සංගීත ගු රුවරියක වෙන්න

දැක ගන්න ඔය දෑස මඟ බලන් උන්නු තරම්

උණුහුමට ගුලි වෙන්න

හිත හීන මැව්ව තරම්

සංසාරයේ නුඹේ වෙන්න පැතූ තරම්

නොදන්නා ලෙසින් දුරක යන්න

නුඹ ගිහින්.....

 

ඔබගේ මේ අලුත් ම ගීතයයි පසුගිය දිනවල අන්තර්ජාලයට මුදා හැරියේ..

ඒක මගේ හීනයක්. ඒ හීනයයි ගිය සතියේ බදාදා දිනයේ සැබෑ වුණේ.

 

ඔබ මීට පෙරත් ගීත ගැයුවා නේද?

ඔව්. මීට පෙරත් ගීතයක් ගායනා කළා. එය වේග රිද්ම ගීතයක්. ඒ ගීතය බොහෝ දෙනා අතර බෙහෙවින් ම ජනප්‍රිය වුණා. ඒ ගීතයට ලැබුණු ප්‍රතිචාර අනුවයි මා මේ ගීතය ලියන්නට පෙලඹෙන්නේ.

 

ඒත් මේ ගීතය ඒ සියල්ලට ම වඩා වෙනස් වන්නේ කොහොමද?

මීට පෙර මා ගීතයක් ගැයුවා පමණයි. මෙවර එළිදැක්වුණු ගීතය ඉන් වෙනස් වන්නේ කාරණා කිහිපයක් නිසයි. මේ ගීතය ලිව්වේත් මමයි. එය ගයන්නෙත් මමයි. එහි රූපරචනය සඳහා පෙනී සිටින්නේත් මම. මේ කාරණා කිහිපය නිසා ම ඒ ගීතය මගේ අනෙක් නිර්මාණවලට වඩා වෙනස් වෙනවා.

 

යම් කෙනකුට මේ ගීතය නැරැඹිය හැක්කේ කෙලෙසද?

මේ ගීතය ඕනෑම කෙනකුට යූ ටියුබ් හරහා වගේ ම අන්තර්ජාලය ඔස්සේ විකාශය වන රූපවාහිනිය මඟිනුත් නැරැඹිය හැකියි.

 

ඔබ ගායනයට යොමු වන්නේ කුමන ආකාරයකට ද?

මගේ ගම රඹුක්කන. මා පාසල් යන්නේ හේවාදිවල මහා විද්‍යාලයටයි. ඕලෙවල්වලින් පස්සේ මා ඒ ලෙවල් කරන්නට පින්නවල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. පාසල් කාලයේදියි මා සංගීතය ඉගෙන ගත්තේ. ඒ ලෙවල්වලට මා කළෙත් සංගීතයයි.

 

ඔබ සංගීතය ඉගෙන ගත්තේ ගායිකාවක විදියට කලඑළි බසින්නද?

පුංචි කාලයේදි ඉඳලා ම මම අදහස් කරගෙන සිටියේ සංගීත ටීචර් කෙනෙක් වෙන්නයි. ඒත් ඒ අදහස ඉෂ්ට කර ගන්නට නොහැකි වුණා. එහෙම ඉන්න විටයි මගේ හිතවත් කෙනෙක් මට රඟපෑමට ආරාධනා කරන්නේ. ඒ යෝජනාව මා භාර ගන්නවා. භාර ගෙන රඟපානවා. ඒත් ඒක තවමත් විකාශය වුණේ නැහැ.

 

ඔබ මියුසික් වීඩියෝවලට රඟපෑමෙන් සහභාගි වන්නේ ඊට පසුව ද?

ඔව්. ඒ සහභාගි වීම සිදුවන්නේ මගේ යහළුවකුගේ සින්දුවකටයි. මුලින් ම ඒ මියුසික් වීඩියෝ‍ව සඳහා රංගනයෙන් සහභාගි වුණු මම එතැන් පටන් මේ දක්වා මියුසික් වීඩියෝ දහයකට වඩා වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ අතරම ආදරය ගින්දරක් ටෙලි නාට්‍යය ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා.

 

තව දුරටත් පදරචනයේ වගේ ම ගායනයේ නියැළෙන්නටත් බොහෝ දේ ඉගෙන ගත යුතු යැයි ඔබ සිතන්නේ නැද්ද?

ඇයි නැත්තේ? මේ විෂයන් පිළිබඳ තවත් හොඳින් හැදෑරිය යුතුයි. ඒත් යම් ගමනකට ආරම්භයක් තිබිය යුතුයි. ඒ නිසයි මා ගායනය, වගේ ම පදරචනය මඟින් මේ කටයුත්ත ආරම්භ කළේ. මේ වන විට මේ අංශයන්ගෙන් ඉදිරියට යන්න සිතාගෙන සිටින නිසා, ගායනය, පදරචනය හා සංගීතය පිළිබඳවත් දිගුකාලීනව හැදෑරීමටයි සිතාගෙන සිටින්නේ.

 

ඔබේ මේ ගීතය විරහව ගැන කියැවෙන ගීතයක්

විරහව තරුණ හදවත්වලට පොදු කාරණයක්. ඒ නිසයි මා සිතුවේ මේ ගීතය මඟින් විරහව ගැන කතා කරන්නට.

 

මේ පදවල කිසිම අර්ථවත් බවක් නැතැයි කවුරුන් හෝ ඔබට චෝදනා කළොත්

මේ ගීතය මගේ මූලික උත්සාහයක් පමණයි. ඒ සඳහා පිළිතුරක් ලෙසයි මා මේ අංශ පිළිබඳ යම් හැදෑරීමක් කරන්නට තීරණය කරගෙන සිටින්නේ. ඒ මඟින් ඉදිරියට හොඳ නිර්මාණ කරන්නත් මා බලාපොරොත්තු වෙනවා.

 

‘දැක ගන්න ඔය දෑස ගීතයේ අනෙකුත් කටයුතු සිදුවුණේ කුමන අයුරින් ද?

මෙහි සංගීතය නිර්මාණය කළේ නිලාන් සාලින්දයි. එහි මියුසික් වීඩියෝව නිර්මාණය කරන ලද්දේ Aවී ප්‍රොඩක්ෂන් විසින්.

 

ඔබ නිරූපණ ශිල්පිනියක ලෙසත් කටයුතු කළා ද?

මේ සියලු කටයුතු කරන අතරතුරම මා නිරූපණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කළා. ඉදිරියටත් ඉඩ ලැබෙන ආකාරයට මා නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා.

 

ඔබගේ ඉදිරි කටයුතු පෙළ ගැසී තිබෙන්නේ කුමන විදියට ද?

මේ මාසයේම මා ගී පද රචනය කළ තවත් ගීත දෙකක් පැමිණීමට නියමිතයි. ඒ ගීත ගයන්නේ තුසිත අකලංක හා තිලාන් මධුසංඛ ගායන ශිල්පීන්. රඟපෑමෙන් සහභාගි වීමට ටෙලි නාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා. හොඳ නිර්මාණයකට සහභාගි වීමට මා දෙවරක් සිතන්නේ නැහැ. 

 

Comments