මෙතන ගැහැනු පිළි­බඳ ප්‍රශ්න­යක් නැහැ | සිළුමිණ

මෙතන ගැහැනු පිළි­බඳ ප්‍රශ්න­යක් නැහැ

රාම්මෝහන් මහාරාජාගේ සැලසුම්ගත ගමන අවසන්ය. ඔහු මෙහි ආවේ සිය ජීවිතය හා බැඳි වැදගත් වැඩකටය. දුව පසුවන්නේ රෝගී තත්ත්වයෙනි. පූර්ව ආත්මයක ලංකාවේ ඉපිද ඇතැයි ඇය පවසන කතාව බැහැර කළ නොහැකිය.

“යසස් මෙහෙ එන්න.” මහාරාජ යසස් ඇමතුවේය.

“සර් එක්ක මට වැදගත් දෙයක් කතා කරන්ට තියෙනවා. ඊට කලින් කියන්න මේ ගමන ගැන සර්ගෙ අදහස මොකක්ද?”

“මම ලෝකෙ රටවල් ගණනාවකට ගිහින් තියෙනවා. ලංකාව බුදු දහමින් පෝෂණය වෙච්ච ලස්සන රටක්.”

“සර්ට හදිසියෙන් යන්ට ඕනෑ නිසා හරියට ඇවිදින්න බැරි වුණා.”

“දෙවියන්ගෙ පිහිටෙන් අවස්ථාවක් ලැබුණොත් ආයෙ එන්නම්. මට කතරගම, මුන්නෙශ්වරම්, මාතලේ තව කෝවිලක් තියෙනවා යන්න කැමැති. මම පස්සෙ වෙලාවක එන්නම්. යාළුවා මොකද කියන්නෙ?”

“දැක්කනෙ නීලකගෙ හැටි. සර් ගැන ලොකු පැහැදීමක් ගෞරවයක් තියෙනවා. සර් අපි සිංහල බෞද්ධයො විදිහට පුනර්ජන්මය නැවත ඉපදිච්ච පිළිගන්නවා.”

“ඔව්. මම නැහැයි කියන්නෙ නෑ. මේ වගෙ දේවල් සිද්ධ වෙලා තියෙන බවට මාධ්‍ය වාර්තා කරනවා. මේවා ඇත්ත වෙන්ට පුළුවන්.”

“මම කවුද කියල තමුන් දන්නවා ඇති.”

“ඔව් සර්.”

“මගෙ දුව හීනයක් දැක්ක නිසා රටක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනස් කරන්න බෑ. ලෝකයා මට හිනාවේවි.”

මෙහි තර්කානුකූල පදනමක් නැති නිසා යසස් ඒ පිළිබඳව සකාච්ඡා කිරීමට ගියේ නැත.

“මේ රටේ කොච්චර ලස්සන ගැහැනු ඉන්නවද කියල දැක්කෙ සංචාරයේදි. ඒ නිසා මගෙ දූ නැති වුණාට හොඳ කෙල්ලෙක් නීලකට හොයාගන්ට පුළුවන්.”

“නෑ සර් මෙතන ගැහැනු පිළිබඳ ප්‍රශ්නයක් නෑ. අම්බලම්ගොඩ, ගාල්ලෙ සර් දැක්කනෙ නුවර, වේයන්ගොඩ ගැහැනු ඉන්නවා. සර්ට කියන්න අවශ්‍ය දේ කියන්න.”

“නීලක දුව අත හරිනවා නම් Fifty million Indian Rupees දෙනවා. ලක්ෂරි කාර් එකක් දෙනවා. ඒ විතරක් නෙමේ පැණි දොඩම් හිටවන්න මුදල් ආයෝජනය කරනවා.”

ඔහුගේ මුවට සිනාවක් නැගුණි. මේවාට කැමැති වන පාර්ලිමේන්තු ඇමැතිවරුන් සිටින්ට පුළුවන. මිලියන් ගණන්වලට ඡන්දය අලෙවි කළ පිරිස් ඕනෑ තරම් ඇත.

“ඇයි යසස් හිනා ව‍ුණේ?”

“නෑ මම කිව්වේ අපේ දේශපාලනඥයෝ නම් මේවට කැමති වෙයි. ඒත්...”

එකඟ නොවුණහොත් උදා විය හැකි නරක ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට ඉක්මන් වූයේ නැත.

“බොහෝ වෙලාවට හෙට හෝ අනිද්දා උදේ මම යනවා. ඊට කලින් පිළිතුරක් අවශ්‍යයි.”

මහාරාජාගේ සිතට සැනසිල්ලක් ලැබුණේ ඉන් පසුවය. හේ නවාතැනින් එළියට පැමිණ දඹුගල දෙසට ගියේය. තම ආරක්ෂකයන් සැඟවී තමාට ආරක්ෂාව සපයන හැටි ඔහු දුටුවේය. කුලී මැර පිරිස තමා සමඟ සම්බන්ධය පවත්වන පිරිස තමාගෙන් පිළිතුරක් බලා සිටින්නට වූහ.

“මහා රාජ් සර් වැඩේ කල් ගියා වැඩියි. කට්ටියක් එවන්ඩද?”

“තව දවසක් කල් දෙන්න. හෙට උත්තරයක් දෙන්නම්.”

“සර් එක්ක යන බොඩි ගාඩ්ලා කවුද?”

“ඒ මගෙ ‍‍බොඩි ගාඩ්ලා. තමුන්ට ඒවයින් වැඩක් නෑනෙ. අවශ්‍යතාවක් වුණොත් මම කතා කරන්නම්.”

නීලකට මේ ඇමතුම ලැබුණේ අනපේක්ෂිත මොහොතකය. කොයි මොහොතක මේ ඇමතුම ලැබේයැයි බලාපොරොත්තුව සිටියේය.

“නීලක”

“ඔව්. කුමාරි.”

“හෙට උදේ මම එනවා.”

“මෙච්චර හදිස්සියෙන්. අප්පා දන්නවද?”

“ඔව් දන්නවා.”

“ඇයි මේ හදිසියෙන්.”

“මට කතා කරන්න වෙලාවක් නෑ. මම හම්බ වෙන්න එයාපෝර්ට් එන්න.”

යසස් කඩිනමින් දුව ආවේය.

“ඇයි යසස්?”

“මචං ලොක්කා අප්සට් ගහලා.”

“ලොක්කා විතර නෙමේ මාත් අප්සෙට්. කුමාරි ලංකාවට එනවලු.”

“ඕකටනෙ හීන දැක්කෙ. දුක් වින්දෙ. දැන් හිනා වෙයන්.”

“මට බයත් හිතෙනවා. ලොක්කා කුමන ප්‍රතිචාරයක් දක්වයිද කියල සැකයකුත් තියෙනවා.”

“මම කියන්නද හොඳම දේ ලොක්කා කියන කල් මුකුත් නොඅසා ඉම්මු.”

“වෙනදා ටොයිලට් නොගියත් උඹට කියන ලොක්කා මේ විදිහට නොකියා ගියේ ඇයි?”

සංජයගේ කුමන්ත්‍රණය දැන් කවුරුත් දන්නා කුමන්ත්‍රණයකි. පාලකයෙකු ලෙස රාම් මෝහන් ජනතාව අතර ජනප්‍රිය පුද්ගලයෙක්ව සිටියේය. එනිසා කුමන්ත්‍රණය කෙසේ වුවත් එරෙහිවීම පහසු නැත. එහෙත් මේ තුළ මනුෂ්‍ය ඝාතනයන් තිබිය හැකිය. අද මිනිසුන් හැසිරෙන්නේ පුදුමාකාර ලෙසය. සුලු සිද්ධියක් වුව මනුෂ්‍ය ඝාතනයට ප්‍රමාණවත්ය. එනිසා මොනයම් දෙයක් සිදුවන බව හැඟීයයි.

“මට මොනව හරි දෙයක් වෙයි කියල ඇඟට දැනෙනවා.”

“එහෙම බයවෙන්ට එපා.”

යසස් මිතුරා දෙස බලා සිටියේය. ඔහුට මොනයම් හෝ දෙයක් සිතට දැනෙන අමුතු වර්ගයේ පුද්ගලයෙකි. අපිට නොතේරෙන බලවේගයක් ඇතැයි යසස්ට සිතුණි. එසේ නොවෙන්ට කිසිවක් නැත. හැතැප්ම දහසක් ඈත සිටින විජාතික ගැහැනියක් පිළිබඳ සිතීම, පෙම් බැඳීම ස්වභාවික නැත. තමා වුවද ප්‍රථම ප්‍රේම මායාවේ රැ‍ෙඳන්ට සිටින නැතැත්තෙක් නොවේ.

“උඹ දැන් මොනවද කියන්නෙ.”

“අපි ලොක්කට නොපෙනෙන්ට කටුනායක යමු.”

“අපි දෙන්නා විතරක් ගිහින් මොනවා කරන්නද... ඔයාට සැකයි නම් ඇන්ට්‍රියක් දාමු.”

“පොලීසියට දන්වන්න පුළුවන්. එතකොට මේක ජාත්‍යන්තරයට යයි.”

“එහෙම හොර රහසේ අපි දෙන්නා විතරක් යමු. මම වැඩේ බලා ගන්නම්.”

රථය ඉදිරියට යද්දී නීලකගේ සිත ඈතට ඇදී ගියේය. තමා මුහුණ දෙන්නෙ අමුතු සිදුවීමකටය. මෙය තර්කානුකූව ඉදිරිපත් කළ නොහැකි කතාවකි. අද චම්පා වට්ටෝපාධ්‍යා කුමරිය එන්ට බැරි නැත. ඇය පිළිගැනීමට කිසිවෙකු සූදානමකින් සිටිද්දැයි ඔහු කාටත් රහසින් බලා සිටීමට අදහස් කළේය.

“සමහර විට දුව එන බව මහරාජා දන්වා ඇති.”

“චම්පා කියන පෝස්ටරය අල්ලාගෙන මට ඉන්ටද කියන්නෙ.?”

“නෑ ඉන්ට එපා. අර පෝස්ටරය අල්ලාගෙන ඉන්නෙ.”

“මයිගෝඩ්! සිංහල පෝස්ටරය අල්ලාගෙන පන්ජාබි ඇඳුමක් දාගෙන ඉන්නෙ නංගි නේද?”

ලබන සතියට 

අදහස්