රංගන ශිල්පි­නි­යන් බොක්සින් ක්‍රිඩි­කා­වන් කළ final round | සිළුමිණ

රංගන ශිල්පි­නි­යන් බොක්සින් ක්‍රිඩි­කා­වන් කළ final round

බොක්සින් වළල්ලක් දැක ගන්නට නම් බොක්සින් ක්‍රිඩා කරන ස්ථානයකට යා යුතුය. එහෙත් මේ කියන්නට යන බොක්සින් වළල්ල දකින්න ලැබුණේ බොක්සින් ක්‍රිඩා කරන ස්ථානයකදී නොව ටෙලි නාට්‍ය පසුතලයකදීය. එහෙත් එය සැබවින්ම බොක්සින් ක්‍රිඩා පිටයකි. එහි ක්‍රිඩා කරන්නේ ක්‍රිඩකයන් නොව රංගන ශිල්පීන්ය. ඔවුන් හරි හරියට බොක්සින් ගසති. ඔය අතර පුංචි තිරයේ සුරූපිනියකුත් අපූරුවට බොක්සින් පහර එල්ල කරයි. ප්‍රතිවාදියට උද්වේගකර පහර එල්ල කරයි. බලන්න ලස්සන දර්ශනයක්. අපි මේ බොක්සින් වළල්ල දැක ගත්තෙ කොට්ටාවෙදි. ඉදිරියේදී ජාතික රූපවාහිනියෙන් විකාශය වීමට නියමිත අවසන් වටය (final round) ටෙලි නාට්‍යය යේ රූ ගත කිරීම් දැක ගන්න ගිය අවස්ථාවේදී.

ටෙලි නාට්‍ය නිෂ්පාදක විපුලධීර ජයසිංහ සහ චනික පෙරේරා අධ්‍යක්ෂණය කරන මෙම ටෙලි නාට්‍යයේ හුරු පුරුදු මුහුණු රැසකි. ප්‍රධාන චරිත රඟ දක්වන්නේ රිතූ ආකර්ෂා, හර්ෂ තෙන්නකෝන්, දර්ෂන් ධර්ම රාජ් වැනි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ය. බොක්සින් ක්‍රිඩා කිරීමට ගමේ සිට නගරයේ පාසලකට පැමිණෙන තරුණියක හා තරුණයකු වටා ගෙතුණු ලස්සන කතාවක් මෙහි නිරූපිතයි.

කෝච්ගෙන් හැම වෙලේම බැනුම් අසමින් ප්‍රශ්න කන්දක් හිතේ තියාගෙන අසීරු චරිතයක් නිරූපණය කරන රිතූ ගේ මුහුණ බැලිය නොහැකි තරමට තරහෙන් පුපුරයි. ඒ තරමටම ඇය චරිතයට අනුගත වී තිබේ. ඒ ගැන රිතූගෙන් විමසිය යුතුම වෙයි. මේ ටෙලිනාට්‍යයට මම සම්බන්ධවුණේ අධ්‍යක්ෂ චනික පෙරේරා ආරාධනා කළ නිසයි. ගමක ගැහැනු ළමයකු කොළඹට ආවම මුහුණ දෙන්න වන කටුක අත්දැකිම් තමයි මගේ චරිතයෙන් පෙන්නුම් කෙරෙන්නෙ. එහෙත් ඒ ළමයා කොතරම් ප්‍රශ්න තිබුනත් තමන්ගේ අරමුණට යනවා. මේ චරිතය මට සුවිශේෂීයි. මේ වගේ චරිතයක් මීට පෙර කරල නෑ. කොහොමහරි බොක්සින් ගහන්නත් ඉගෙන ගත්තා. මේ ටෙලි නාට්‍යයත් එක්ක අමතක කරන්න බැරි මිතුරෙක් ඉන්නවා. ඔහු තමයි මිය ගිය දසුන් නිශාන්. රිතූ මුහුණ අඳුරුකර ගනියි.

ලද විරාමයේදී හර්ෂ අපි සමග දොඩමළු වෙයි. දසුන් මගේ මිත්‍රයා. අපි මේ ටෙලි නාට්‍ය කරන්න ගත්තෙ දසුන් මියයන්න පෙර. ඔහුත්, මාත් මෙහි ප්‍රධාන චරිත රඟපෑවා . ඔහුගේ හදිසි වියෝවත් සමග ටෙලි නාට්‍ය අතරමග නතර කරන්න වුණා. දසුන්ගේ චරිතය ඉවත්කර දැන් වෙනස් ආකාරයට කතාව ගොඩ නගා තිබෙනවා. කොතරම් දුක් මුසුද? දසුන් යනු කලාවේ දිගු ගමනක් යෑමට සිටිය රංගන ශිල්පියෙකි.

එක්වරම විෂිල් හඬක් පිටවෙයි. ෂාන් කැමරාව මානගෙන එදෙසට දුවයි. මම ද එදෙස බැලිමි. කෝච්ට හොඳටම තරහ ගොසින්ය. බොහොම රළු හඬින් සිසුන්ට බැන වදියි. රිතූ බිම බලාගෙනය. හර්ෂ සහ තවත් සිසුන් බැනුම් අසයි. කෝච්ල මෙච්චරටම සැරද? පෙනුමත් වස පාටයි. කොටස අවසන් වන තුරු බලා සිටි මම කෝච් දෙසට හැරෙමි. ආ.. මේ අපේ චරිතාංග රංගන ශිල්පී දර්ශන ධර්ම රාජ්. ඔහු සිටින ඕනෑම නිර්මාණයක් නැරඹිය හැකිය. ඒ තරමටම දර්ශනගේ රංගනය තාත්විකය.

ඔහු හර්ෂගේත්, රිතූගේත් ගුරුවරයායි. හර්ෂ මෙහි රඟපාන්නෙ බොක්සින් ක්‍රිඩා කිරීමේ අරමුණෙන් ගමේ සිට නගරයට පැමිණෙන ද්‍රප්පත් කොල්ලකුගේ චරිතයයි. ඔහු අවසානයේ තම අරමුණ ඉටු කරගන්නවාද? නැද්ද යන්න ටෙලි නාට්‍ය නැරඹීමේදී ඔබට දැක ගත හැකියි.

චනික පෙරේරා ට සහාය දෙමින් තවත් යුවතියක්ද රංගන ශිල්පිනියන්ට උපදෙස් දෙයි. ඇය අසිරි රණසිංහය. final round නාට්‍යයේ සම අධ්‍යක්ෂවරියක ලෙසින් ඇයත් කටයුතු කරනවා. බොහෝ රූ ගතකිරීම්වලදී එහි නිෂ්පාදකවරයා දකින්න නොලැබුණත් මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදක විපුලධීර ජයසිංහ කලාකරුවන් ගැන නිතරම සොයා බලයි. ඔහු කලාවට ආගන්තුකයෙක් වුණත් කලාවේ උන්නතිය වෙනුවෙන් කැප වීමට බලාපොරොත්තුවෙන් සිටින නිෂ්පාදකවරයෙක් ලෙස පෙන්නුම් කරයි.

ඔහුගේ පුත් උමයන්ග මෙහි ධීර නැමැති චරිතය නිරූපණය කරනවා. .

අසිරි රණසිංහ, රුවින් බුද්ධික සහ චනික පෙරේරාගේ සුසංයෝගයක් ලෙසින් ළඟදීම පුංචි තිරයේ දිග හැරෙන, අලංකාර තේමාවකින් යුතු ටෙලි නාට්‍යයක් ලෙස final round (අවසන් වටය) හැදින්විය හැකියි. කතාවටම සරිලන රූ ගත කිරීමේ පසුතලය සැබවින්ම විනෝද ජනකය.

එකිනෙකා විහිළු තහළු කරගනිමින් නිෂ්පාදකගේ පටන් තේ හදන තරුණයා දක්වා බොහොම සහයෝගයෙන් වැඩ කරති. ඇදිරි වැටීගෙන එන්නට පෙර අප නැවතත් පත්තර කන්තෝරුවට ගොඩ වැදිය යුතුය. තවත් පසුතගයකදී මුණගැසෙන අපේක්ෂාවෙන් අපි සමු ගතිමු.

 

 

අදහස්