ලෝකයේ හොඳම සැමියා මට ඉන්නවා | සිළුමිණ

ලෝකයේ හොඳම සැමියා මට ඉන්නවා

කාලෙන් කාලෙට කලා ලෝකෙ සැරිසරණ සුරූපි රංගන ශිල්පිනියන් එමටයි. මේ අතරින් බහුතරයක් කලාවේ රැඳෙන්නේ බොහොම ටික කාලයයි. එහෙත් හැමදාමත් කලාව තුළ එකම විදිහකට ජනප්‍රියත්වය පවත්වාගෙන යන රංගන ශිල්පිනියනුත් ඉන්නවා. එවැනි ශිල්පිනියක තමයි චංචලා වර්ණසූරිය කියන්නේ. ඇය පසුගිය කාලයේ කලාවේ දකින්න නොසිටියත් මේ දිනවල නිර්මාණ කිහිපයකින්ම අප හමුවට එනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න කතා කළ විට චංචලා කතාබහ කෙළේ හරිම ළෙන්ගතුකමෙන්.

 

ඇයි චංචලා කාලෙකට විතරක් දකින්න ඉන්නේ...

 

එහෙම තමයි (හිනා). කාලෙකට ඉන්නවා. කාලෙකට නැහැ.

 

ඒකට හේතුව මොකක්ද?

 

ඇත්තම කියන්නම්. මම නිතරම ලංකාවේ නැහැ. වැඩිපුර ඉන්නේ යුරෝපයේ. මේ දවස්වල නම් වැඩිපුර ඉන්නේ ලංකාවේ. ඒකට හේතුව භාරගත්ත නිර්මාණ කිහිපයක රූගත කිරීම් කෙරෙන නිසා. කොහොමත් නිතරම වගේ එනවා, යනවා.

 

මොනවද භාරගත් නිර්මාණ?

 

උදයකාන්ත වර්ණසූරියගේ ‘ගින්දරී -02‘ සිනමා පටයේ වැඩ අවසන් කළා. එහි යක්ෂණියක වගේම තරුණියක ලෙසත් රඟපානවා. ඒ වගේම ‘ශ්‍රි වික්‍රමරාජසිංහ‘ සිනමා පටය, සුගත් සමරකෝන්ගේ ‘යක්ෂාදේශය‘ චිත්‍රපටය. එය දැවැන්ත සිනමා නිර්මාණයක්. එහි පෙන්නුම් කරන්නේ අපේ වැදි ජනතාවට සිදු වු අසාධාරණය පිළිබඳව. එහි වන්නිල ඇත්තන්ගේ බිරිය ලෙස රඟපානවා. ඒ වගේම බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ‘අග පිපි මල්‘.

 

කිසියම් නිර්මාණයකට දායක වෙන්න කලින් පිටපත බලනවද?

 

අනිවාර්යයෙන්ම පිටපත බලනවා. එය සම්පූර්ණයෙන්ම කියවනවා. ඉන් පසුව එ් චරිතය ගැන හිතනවා. මම මොනවද අදින්න ඕන. කොහොමද කරන්න ඕන කියල ස්වයං අධ්‍යයනයක් කරනවා. ඉන් පසුව තමයි එම චරිතය භාර ගන්නෙ. මොකද කිසිම පෙර සූදානමක් නැතුව ලොකේෂන් එකට ගිහින් කාටවත් කරදරයක් වෙන්න මම කැමැති නැහැ.

 

ඔය දේවල් ඉගෙනගත්තෙ පිට රටින්ද?

 

වෙලාවට වැඩ කිරීම මගේ ජීවිතයේ අංක එක. ඒක මම පිටරට මිනිසුන්ගෙන් ඉගෙන ගත් දෙයක්. අපි කරන්නෙ මොකක්ද ඒ දේ හරියට කරන්න ඕනෑ.

එතකොට තව කෙනෙකුට අපිව හිරිහැරයක් වෙන්නෙ නෑ. විශේෂයෙන් කලාව වගේ දෙයක නිරත වෙන්න ඕනෑ දේවත්වයෙන්. එහෙම නොකරන්නෙ වෙනත් දේවල් අපේක්ෂාවෙන් කරන අය.

 

රංගනය ඔබේ වෘත්තියද?

 

නැහැ. මගේ වෘත්තිය ව්‍යාපාර ක්ෂේත්‍රය. ඒත් මම කලාවට ආදරෙයි. කලාව ජීවන මාර්ගයක් කරගන්න හිතන් ඉන්න අයටත් කියන්න තියෙන්නේ කලාව රැකියාව කරගන්න එපා. එය රස්සාව කරගත්තොත් අපිට එයට වන්දනාමාන කරන්න බැහැ. අපිව නිකන්ම මුදලට විකිනෙනවා.

 

කොහොමද කලාවට එන්නේ...

 

කලාවට ඇවිත් දැන් වසර 15ක්. මුලින්ම ආවෙ ටී. වී කමර්ෂල්වලට. ඒ හරහා තමයි මොහාන් නියාස් මහත්මයා හඳුනාගත්තෙ. ඔහුගේ ‘සීතාම්බර‘ සළු ටෙලිනාට්‍යයේ බිනරි නැමැති චරිතය තමයි මම රඟපෑවේ. සුවිනීතා වීරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, සංගීතා වීරරත්න වැනි ප්‍රවීණයන් සමග පළමුවෙන් රඟපාන්න ලැබීම කවදාවත් අමතක වෙන්නෙ නෑ. රෝයි ද සිල්වාගේ the last chance චිත්‍රපටයෙන් තමයි සිනමාවට ආවේ.

 

මේ වන විට නිර්මාණ කීයකට දායක වෙලා තියෙනවද?

 

ටෙලි නාට්‍ය විසි පහක විතර රඟපෑවා. එයින් නවයක් එන්න තියෙනවා. චිත්‍රපට පහළොවක විතර රඟපෑවත් හයක් විතර තවම ප්‍රදර්ශනය වුණේ නෑ.

 

ලෝක සිනමාව දෙස බලද්දී ලාංකික සිනමාව ගැන මොකද හිතන්නේ..

 

ලෝකෙ අනිත් රටවල සිනමාවත් එක්ක බැලුවම අපේ රටේ සිනමාව හරිම දුප්පත්. අපේ සිනමා නිෂ්පාදකවරුන්ට ඉස්සර ආදායම් බදු ගෙවීමේ සහනයක් තිබුණා. අද වන විට ඒකත් නැතිවෙලා. හොඳම හෝල් සුපර්මාකට් වෙලා. ෆිල්ම් එකක් පෙන්වන්න තැනක් නැහැ. කලාව එන්න එන්න ප්‍රපාතයට වැටෙනවා. කිසිම කෙනෙකුගෙන් සහනයක් නෑ.

 

ඔබට පුළුවන්නේ විදේශිය සිනමාවට සම්බන්ධ වෙන්න..

 

ඒකට මම කැමැති නැහැ. විදේශිය රංගන ශිල්පිනියක වෙනව නම් අපිත් ඒ සංකර සංස්කෘතියට අනුගත වෙන්න ඕන. ඒ දේ කරන්න මම කැමැති නැහැ. එහෙත් මම killing me softly කියන ගීතය නව ආරකින් ගායනා කර මුළු ලෝකයේම අවධානය දිනා ගත්තා. ඒ නව ගීතයේ අයිතිය දැන් මගේ.

 

ඔබ වරෙක විදේ‍්ශීය සඟරාවකත් පෙනී සිටියා..

 

ඔව්. ලෝක vip සඟරාවේ ලංකාවේ පුද්ගලයකුගේ කියා පළමුව ඡායාරූපයක් පළ වූයේ මගේ. ඒ 2004 වසරෙදි. එය හඳුන්වන්නෙ ලෝක ප්‍රසිද්ධ ආයුබෝවන් කියන ඡායාරූපය ලෙසින්.

 

ඔබ විවාහකයිද?

 

ඔව්. ඔහු තමයි ලෝකෙ ඉන්න හොඳම සැමියා. තව මගේ අම්මා, තාත්තා, නංගි ඉන්නවා.

 

අනාගත බලාපොරොත්තු...

 

පසුගිය කාලයේ මට සම්මානයක් ලැබුණා සියලු ජාතීන්ගේ සමගි සංගමයෙන් ‘දේශාභිමානී විශ්ව කලා කීර්ති ‘ සම්මානය. ඒ මම කලාකාරිණියක් නිසයි. ඉතින් ඉදිරියටත් හොඳ රංගන ශිල්පිනියක ලෙස හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමැතියි. ඒ වගේම ජීවිතයේ අවසන් හුස්ම පොද යනතුරුම කිසිම කෙනෙකුට කරදරයක් නැතිව ජීවත් වීම තමයි ලොකුම බලාපොරොත්තුව.

Comments