සොබා­ද­හමේ විස්මිත නිමැ­වුම චීනයේ දේදුනු කඳු­වැ­ටිය | සිළුමිණ

සොබා­ද­හමේ විස්මිත නිමැ­වුම චීනයේ දේදුනු කඳු­වැ­ටිය

මේ ඡායාරූප දුටු විට මෙය සිත්තරකුගේ හෝ පරිගණකය ඇසුරෙන් කරන ලද නිර්මාණයක් කියා ඔබට සිතෙන්නට පුළුවන්. ඒ තරම්ම මේ ස්ථානය දැකුම්කලුයි. එහෙත් මෙය සොබාදහමේ තවත් එක් අපූර්ව වූ නිර්මාණයකයැයි කීවොත් සමහර විට එය පිළිගන්නට ඔබ මැළිවෙන්නත් පුළුවන්. සොබාදහම විටෙක හරිම පුදුමාකාරයි. ඒ නිසාම ලෝකයේ මෙවැනි අරුම පුදුම දෑ නිර්මාණය කර තිබෙනු දැකිය හැකියි. අද රසඳුන ‘අතැඹුල‘ ඔබට කියන්නට යන්නේ සොබාදහමේ මේ අපූරු නිර්මාණය පිළිබඳවයි.

මේ තමයි චීනයේ දේදුනු කඳුවැටිය. Zhangye Danxia භූ විද්‍යාත්මක උද්‍යානය තුළ පිහිටා තිබෙන සුවිශේෂී පාෂාණමය පිහිටීම නිසා තමයි එයට ‘දේදුනු කඳුවැටිය‘ යන නාමය ලැබී තිබෙන්නේ. ගන්සු පළාතේ වර්ග සැතපුම් 200ක් පුරා පැතිරී තිබෙන මේ උද්‍යානය වෙත සංචාරකයන් පැමිණීමට පටන් ගෙන තිබෙන්නේ 2009 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් නම් කිරීමෙන් පසුවයි.

මීට වසර මිලියන 135ත් 63ත් අතර කාලයේ එනම් ක්‍රෙටේෂියස් යුගයේ මේ ප්‍රදේශය තැනිතලාවක් ලෙසින් පිහිටා තිබී ඇත. වැලි හා රොන් මඩ සමග විවිධ ඛනිජ වර්ග 5ක් පමණ මිශ්‍ර වී තිබීම මෙසේ වර්ණවත් පසක් ඇති වීමට හේතු වී ඇති බව සොයාගෙන ඇත. මීට වසර මිලියන 55කට පෙර ඉන්දු භූ තැටිය යුරේෂියානු භූ තැටිය හා ගැටුණු විට තැනිතලාවක් ලෙසින් තිබූ මේ භූමිය මෙසේ කුඩා කඳුගැට බවට පත් වී තිබේ.

ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද අයිති හිමාල කඳුවැටිය පවා නිර්මාණය වූයේ මෙම භූ තැටි එකට ගැටුණු අවස්ථාවේදිය. පොළව යට වැළලී තිබූ පාෂාණ වර්ග පවා කඳුගැටි නිර්මාණය වීමේදී බාහිරට නිරාවරණය වී තිබෙන අතර මේ සෑම පාෂාණ හා ඛනිජ වර්ග කාලයත් සමඟ සුළඟට හා වර්ෂාවට හසු වීමෙන් වර්තමානයේ තිබෙනා සුන්දර දේදුනු කඳුවැටි නිර්මාණය වී තිබේ.

කඳුවැටිය එසේ නිර්මාණය වූවත් මෙහි සමහර වර්ණ ඇති වීමට තවත් හේතු බලපා තිබෙන්නේ මෙය සොබාදහමේ තවත් එක් විශිෂ්ට හා දුර්ලභ නිර්මාණයක් බව නැවත නැවතත් තහවුරු කරමිනි. වැලි කැට අතරින් ජලය ගමන් කරන විට කාලයත් සමඟ ජලයේ තිබෙනා ලවණ වර්ග වැලි කැට අතර තැන්පත් වී තිබේ.

ඉන්පසු ඒවා ජලය හා ඔක්සිජන් සමඟ එක්වී විවිධ ඔක්සයිඩ් වර්ග සාදා තිබෙන අතර එම විවිධ ඔක්සයිඩ්වල තිබෙනා වෙනස් වර්ණයන් නිසා මෙම කඳුවැටිය මේ ලෙසින් ඉතා මනස්කාන්ත අයුරින් දිස් වේ.

මේ වර්ණ අප එදිනෙදා ජීවිතයේ ඇස ගැටෙන විවිධ පාෂාණවල වර්ණ වූවත් ඒවා එකම ස්ථානයක එකිනෙකට යාබදව පිහිටීම නිසා මේ අති සුවිශේෂෙ කඳුගැට පෙළ වෙත සංචාරකයන්ගේ, පාෂාණ විද්‍යාඥයන්ගේ හා ඡායාරූප ශිල්පීන්ගේ නොමඳ ආකර්ෂණයක් හිමි වී තිබේ. 

 

 

අදහස්