BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

සල්මන්   කට්රිනා  ආයෙ­මත්  හාද  වෙලා

කාලයක් තිස්සේ පෙම් ලොව රජ කළ සල්මන් ඛාන් සහ කට්රිනා කයිෆ් අද වන විට පෙම්වතුන් නොවන බව මුළු ලොවම දන්නවා. ඒ වුණත්, තවමත් මේ දෙදෙනා අතර කිසියම් හිතවත්කමක් පවතින බව රහසක් නොවෙයි. මේ හිත් හොඳ කම නිසා තමයි, දෙදෙනා එකට එක්වී චිත්‍රපටවල රඟපාන්නේ.

පෙම් සබඳකමක් නැති මේ අපූරු හිතවත්කමේ තේරුම කුමක්දැයි සමහරු ප්‍රශ්න කරනවා. හිතවත්කම කොයිතරම්ද කිව්වොත් මෑතකදී රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලට ගත් සල්මන්, එය කට්රිනාට තිළිණ කළා. පසුගියදා තවත් අලුත්ම ආරංචියක් පැතිරී ගියා. සල්මන් සහ කට්රිනා හැඳ පැළඳ සිටින ඇඳුම් පවා ඒක සමාන වර්ණයන්ගෙන් සමන්විත ලු. ඒ විතරක් ද? පසුගියදා මේ දෙදෙනාම මිලදී ගත්ත SUV වර්ග‍යේ මෝටර් රථ දෙකෙහි වර්ණයත් එක සමානලු.

මේ අතර ළඟදීම රූ ගත කිරීම් ඇරඹීමට නියමිත ‘සුර්යවංශි’ චිත්‍රපටයේ ආක්ෂේ කුමාර් සමඟ රඟපෑම ප්‍රතික්ෂේප කළ කට්රිනා, එයින් ඉවත් වී තිබෙනවා. ඇගේ ඉවත්වීමේ තීරණය පිටුපස සිටින්නේ සල්මන් යැයි පැවසෙනවා.


OK! බොරු පළ කළැයි ප්‍රියංකා උසාවි යයි

සඟරාවෙ නම, ‘ඕ. කේ’ (OK!). රාජකීයයන්ගේ සහ කලා ලෝකයේ සහ වෙනත් ක්ෂේත්‍රවල නියැළී සිටින පුද්ගලයන්ගේ උණුසුම් පුවත් ගෙනෙන මේ සඟරාව ප්‍රකාශයට පත් වන්නේ බ්‍රිතාන්‍යයේ. නම ‘OK’ වුණත් මෙහි පළවන සියලුම පුවත් නිවැරදි ද යන සැකයක් පසුගිය දා මතු වුණා.

ඒ, බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් වන ප්‍රියංකා චොප්රා ගේ විවාහ ජීවිතය කැඩී බිඳී ගොස් ඇති බවට පුවතක් සතිපතා නිකුත්වන සඟරාවේ පළවීමත් සමඟයි. එම පුවතෙහි තවදුරටත් සටහන් වූයේ ප්‍රියාංකා සහ ඇගේ සැමියා වන නික් ජොනාස් නිත්‍යනුකූලව වෙන්වීමට ලැහැස්ති වන බවයි. කෙසේ වෙතත් මේ පුවත පළ වූ දිනයේදීම ප්‍රියංකා, සිය සැමියාගේ බාල සොහොයුරු ෆ්‍රෑන්ක්ලින් ‍ජොනාස් ගේ උපාධි ප්‍රදානෝත්සවයටත් සහභාගි වී සිටියා. (ඇමරිකාවේ බ්ලැක්බර්ඩ් අධ්‍යාපන ආයතනයේ ශ්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පාඨමාලාව හදාරා සමත් වූ ෆ්‍රෑන්ක්ලින් එදින උපාධිය ලබා ගත්තා.) බ්ලැක්බර්ඩ් ආයතනයේ එම උත්සවයට සහභාගි වූ ප්‍රියංකා, තම බාල මස්සිනාට සුබ පතමින් ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සටහනක් තබන්නත් අමතක කළේ නැහැ. මෙම උත්සවයට ප්‍රියංකාගේ සැමියාට සහභාගි වන්නට අවස්ථාව ලැබුණේ නැහැ. ප්‍රියංකා, නික් වෙතින් වෙන් ‍වන්නට උත්සාහ කරන්නේ නම් නික් ගේ පවුලේ උදවිය සමඟ ඇය මෙලෙස එක් වේවිදැයි බොහෝ දෙනෙකු විමසා තිබුණා.

මේ වන විට නික් සහ ප්‍රියංකා OK සඟරාවට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවයි. වාර්තා වන්නේ. ඊට පෙර OK සඟරාවට දැනුම් දීමක් කර ඇති අලුත විවාපත් වූ යුවළ, තමන්ගේ කීර්තියට හානි කළ මේ අසත්‍ය පුවත නිවැරදි කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා. එසේ නොකළ හොත් වන්දි ඉල්ලා නඩු පවරන බවයි ඔවුන් දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ.


බ්‍රිට්නි යළිත් අසනීපෙන්

සිය මධුර හඬින් ලොවම ගීතවත් කරන බ්‍රිට්නි ස්පියර්ස් වරින් වර ගිලන් වන ආරංචි මාස කිහිපයක පටන් ලැබෙනවා. ඇගේ මානසික තත්වයේ පහත වැටීම් ගැනයි එම ආරංචිවලින් කියැවෙන්නේ.

බ්‍රිට්නි, පසුගිය සතියේ යළිත් අසනීප වෙලා. ඇයට මානසික රෝහලකට නැවතත් යන්නට සිදුවෙලා. දින 30 ක් එහි ගත කිරීමට ඇයට සිදුවනු ඇතැයි පැවසෙනවා. මේ සුපිරි ගායිකාව දැන් ප්‍රතිකාර ලබමින් සිටින්නේ කුමන රෝහලේ දැයි හෙළි වී නැහැ.

බ්‍රිට්නිගේ රැකවරණය වෙනුවෙන් ඇය අසලින් ම සිටින්නේ ඇගේ පියා, ජැමි ස්පියර්ස් “බ්‍රිට්නිගේ මානසික තත්වය යහපත් වන තුරු එයට ප්‍රතිකාර ගන්න වෙයි. ඒ නිසා එයාව ගෙදර නවත්තගෙන ඉන්න හොඳ නැහැ”. බ්‍රිට්නිගේ සමීපතමයන් එලෙස පවසනවා. “බ්‍රිට්නිගේ තාත්තා බ්‍රිට්නිව හොඳින් බලාගන්නවා. ඒ විතරක් නෙමෙයි. එයාගේ මුදල් පාලනය කරන්නෙත් තාත්තයි. මේ ළඟකදි තාත්තා අසනීප වුණු වෙලාවක බ්‍රිට්නි හරියට දුක් වුණා. බ්‍රිට්නිට එයාගෙ තාත්තා නැති ලෝකයක් ගැන හිතන්නවත් බැහැ.” ඔවුන් තවදුරටත් පවසනවා. තතු දන්නා බොහෝ දෙනා කියන්නේ බ්‍රිට්නිගේ අසනීප තත්වය උග්‍ර වූයේ ඇගේ පියා හදිසියේ අසනීපවීම නිසා බවයි.


හතර, දවස් හතරකින් ඉවරයි

ප්‍රවීණ නළු නිකලස් කේජ් ගේ හතර වැනි විවාහ ජීවිතය දින හතරකට සීමා වූ බවයි හොලිවුඩ් ආරංචි පවසන්නේ. මේ සම්මානනීය රංගන ශිල්පියා සිව්වැනි වතාවට විවාහ කර ගත්තේ වේශ නිරූපණ ශිල්පිනියක වන ඒරිකා කොයිකේයි. මාර්තු 23 දා නීත්‍යනුකූලව විවාහ වුණත් දින හතරක් ගත වෙද්දී එම විවාහය කටු ගා දැමීමට නිකලස් තීරණය කළා.

ඒ අනුව දික්කසාද නඩුවක් පැවරූ නිකලස් ප්‍රකාශ කළේ විවාහයට කලින් ඒරිකා ගේ වෙනත් සබඳකම් සහ ඇය විසින් සිදු කරන ලද අපරාධ ගැන තමන් නොදැන සිටි බවයි. විවාහ වී ලාස් වේගාස් හෝටලයේ ලැගුම් ගෙන පැය කිහිපයකට පසුව නිකල්ස් සහ එරිකා අතර උණුසුම් වාග් ප්‍රහාරයන් සිදු විණැයි පැවසෙනවා. මේ දබරය සිදු වෙද්දී ඇතැම් අය එම සිදුවීම් ඡායාරූපගත කර ඇති බවත් හොලිවුඩ් පුවත් පවසනවා.

එරිකාගේ අතීතය හාරා ඇවිස්සු හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ පසුගිය වසර 10 තුළදී ඇය දෙවතාවක්ම මත්පැන් පානය කර රිය පදවා අපරාධයක් ද සිදු කර චෝදනා ලබා ඇති බවයි.

නිකලස්ගේ මුල්ම බිරිය වූයේ සිනමා නිළි පැට්‍රිෂියා ආකෙට්. දෙවැනි වරට විවාහ කර ගත්තේ ලිසා මාරි ප්‍රෙස්ලියි. ඇය ජනප්‍රිය ගායක එල්විස් ප්‍රෙස්ලිගේ දියණියයි. නිකලස් ගේ තුන්වැනි බිරිය වූයේ සිනමා නිළි ඇලිස් කිම්.

අදහස්