අලුත් අවුරුද්දේ අප හඳුනාගත යුතු ගෝලීයකරණයේ අලුත් අභියෝග | සිළුමිණ

අලුත් අවුරුද්දේ අප හඳුනාගත යුතු ගෝලීයකරණයේ අලුත් අභියෝග

මහාචාර්ය එස්.ඩබ්ලිව්.ආර්. ද ඒ. සමරසිංහ

ලෝක ආර්ථික සංසදයේ 2019 වාර්ෂික හමුව පසුගිය ජනවාරියේ ස්විට්සර්ලන්තයේ ඩාවොස් නගයේ පැවැත්විණි. ලෝකයේ බලවත්ම සහ විශාලතම ආර්ථිකයන් ඇති ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ප්‍රංසය, රුසියාව, ඉන්දියාව වැනි රටවල් ගණනාවක නායකයන් මෙවර එම සමුළුවට සහභාගි නොවූවද ඊට සහභාගි වූ ව්‍යාපාරික නායකයන් අතර ලෝක ආර්ථිකයේ නුදුරු අනාගතය පිළිබඳ තිබී ඇත්තේ මිශ්‍ර හැඟීමකි. එහිදී තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය වැනි අංශවල නියැළෙන ව්‍යපාරිකයන්ගේ බලාපොරොත්තු ඉහළ මට්ටමක තිබෙන බව දක්නට ලැබිණි. එහෙත් පසුගිය වර්ෂයේ විවිධ දුෂ්කරතාවලට මුහුණපෑ මෝටර් රථ, ඛනිජ තෙල් වැනි අංශ පෙන්නුම් කළේ කිසියම් වික්ෂිප්ත භාවයකි. ඒ මිශ්‍ර හැඟීම මෙවර 'ඩාවොස් සංසදය' සාකච්ඡාවට තෝරාගත් ප්‍රධාන මාතෘකාව වූ 'ගොලීකරණය 4.0' සංකේතවත් කරන්නකි.

ගෝලීකරණය 4.0

අන්තර්ජාතික දේශසීමා හරහා විහිදෙන පරිසංඛ්‍යාක (Digital) හා අතථ්‍ය (Virtual) තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) වැනි අදහස් සහ දැනුම 'ගෝලීයකරණය 4.0' ලෙස නිර්වචනය කළ හැකිය. ගොලීයකරණය 4.0 හතර වැනි කාර්මික විප්ලවය (IR4) සමඟ සම්බන්ධ කිරීමට සමුළුව වෑයමක් දැරීය. ලෝක ආර්ථිකය විශාල වෙනසකට පත් කළ හැකි නවීනතම තාක්ෂණයන් වන රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය හතරවැනි කාර්මික විප්ලවයකට අඩිතාලම දමයි.

ගෝලීයකරණය 4.0 යටතේ රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය අද ශ්‍රමිකයන් කරන කටයුතුවල යෙදවුව හොත් රැකියා විශාල වශයෙන් අතුරුදන් වන්නට පුළුවන. රියැදුරන් නැති වාහන සහ රොබෝ යන්ත්‍රවලින් අනූන කර්මාන්තශාලා මීට උදාහරණ වේ. ඉන් ඵලදායිතාව සහ ලාභ වැඩි විය හැකි නමුත් රැකියා අඩු වන කල්හි ආදායම් ව්‍යාප්තිය විෂම විය හැකිය. එය දේශපාලන සහ සමාජ ප්‍රශ්න මතු කරන්නකි. ගෝලීයකරණය 3.0 යටතේ දිළිඳු රටවල සිට ධනවත් රටවලට විශාල සංක්‍රමණ සිදු වීමෙන් විශේෂයෙන් බටහිර යුරෝපයේ උද්ගත වී තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ගෝලීයකරණය 4.0ට ඇති තවත් අභියෝගයකි.

ගෝලීයකරණය 3.0 සහ 4.0 යටතේ ශ්‍රී ලංකාවට මුහුණපෑමට සිදු වන වැදගත් ප්‍රශ්න කිහිපයක් අපි මේ ලිපියේ ඉතිරි කොටසේදී සලකා බලමු.

ධනවාදයේ ජයග්‍රහණය

1990 පමණ සිට ඩාවොස් සංසදය බොහෝ දෙනා සැලකුවේ ධනවාදයේ ජය පානය කරන එක්වීමක් වශයෙනි. 1989/90 සෝවියට් දේශය බිඳවැටීමත් සමඟ චීනය ඇතුළු සියලු ප්‍රධාන පෙළේ රාජ්‍ය සාම්ප්‍රදායික සමාජවාදි ආර්ථික ක්‍රමය අත්හැර-දැමීය. යුරෝපා හවුල මධ්‍යම සහ නැ‍ඟෙනහිර යුරෝපීය රටවල් බඳවාගැනීමෙන් සිය සාමාජිකත්වය 2004 තිබූ 16 සිට අද තිබෙන 28 දක්වා වැඩි කරගත්තේය.

1980දී ඩොලර් බිලියන 10,800ක් වූ ලෝක නිෂ්පාදිතය ඉන් පසු ශීඝ්‍රයෙන් ඉහළ ගියේය‍. 1990දී ඩො.බිලි 21,800 (වැඩිවීම 102%), 2000දී ඩො.බිලි. 31,500 (වැඩිවීම 44.5%), 2010දී ඩො.බිලි. 66,000 (වැඩිවීම 109.5%), 2017දී ඩො.බිලි. 80,700 (වැඩිවීම 22.3%) වශයෙනි.

ඉහත සඳහන් ආර්ථික වෘද්ධියට ප්‍රධාන හේතුව ලෝක ආර්ථිකයේ ප්‍රධාන රටවල වෙළෙඳාම සහ ප්‍රාග්ධනය පාලනය කරන නීති ලිහිල් වීමය. එක්සත් ජනපදය අය කළ ආනයන තීරුබද්දේ සාමාන්‍ය අනුපාතය 1989දී 5.6%ක් විය. එය 2000දී 4.0%ක් විය. යුරෝපා හවුල මේ අනුපාතය 4.1% සිට 2.4% දක්වා අඩු කළේය. චීනය අය කළ තීරුබද්ද 1992දී 41%ක් විය. 2000දී එය 16.3%කි. ඉන්දියාවේ බද්ද 1990දී 79%ක් වූ අතර, 1999දී 32.5%ක් විය. ශ්‍රී ලංකාවේ තීරු බද්ද 1990දී 28.3% සිට 2000 9.9% දක්වා අඩු විය. ලෝක වෙළෙඳාමේ වාර්ෂික වටිනාකම ලෝක නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 1990 39% සිට 2018 58% දක්වා ඉහළ ගියේය.

පෞද්ගලික විදේශීය ප්‍රාග්ධන ආයෝජනය 1990දී ඩොලර් බිලියන 200 සිට 2000දී ඩො.බිලි. 1,670 දක්වා 14 ගුණයකින් වැඩි විය. 2007දී එහි වටිනාකම ඩො.බිලි. 2,000ක් විය. 2008දී වූ ආර්ථික පසුබෑම හේතුවෙන් එය 2010දී ඩො.බිලි. 1,400 දක්වා අඩු වුවත් 2017 වන විට නැවත ඩො.බිලි. 1,950 දක්වා වර්ධනය විය.

ඉහත වෙනස් වීම්වලින් අතිවිශාල ප්‍රතිලාභයක් ලැබූ රට චීනයයි. 1990 සිට වර්ෂ 27ක් එහි වාර්ෂික ආර්ථික වර්ධනය 10%ක් පමණ විය. 1989දී එරට දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 350කි; ඒක පුද්ගල ආදායම ඩොලර් 300කි (1989දී ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩො. 415ක් විය). 2017දී චීනයේ දළ ජාතික නිෂ්පාදනය ඩො.බිලි. 12,200කි; ඒකපුද්ගල ආදායම ඩොලර් 8,700 කි. 2010දී චීනය ජපානය අබිබවා යමින් ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත් විය.

දිළිඳුකම අඩු කිරීම

ගෝලීයකරණය යටතේ දිළිඳුකමම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය. 1990දී ලෝක ජනගහනයෙන් 36%ක් (මිලියන 1,900) එක අයකුට දිනකට අඩුතරමින් ඩොලර් 1.90ක් වත් උපයාගැනීමට බැරි තත්ත්වයක සිටියහ. 2017 වන විට මේ අනුපාතය 10% (මිලියන 730) දක්වා පහත වැටී තිබිණි. 1990 සිට දුප්පත්කමින් මිදුණු මිලියන 1,200න් මිලියන 400ක් පමණ චීන වැසියෝ වෙති.

ලෝක ආර්ථිකය ගෝලීකරණය වී වර්ධනය වූයේ ඇ.එ.ජ. නායකත්වය යටතේ 1945ට පසු බිහි වූ පොදුවේ පිළිගැනෙන නීති මාලාවක් අනුව ක්‍රියාත්මක වන ආයතන රටාවක් ආශ්‍රයෙනි. එ.ජා. සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතන වන ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එ.ජා. සංවර්ධන වැඩසටහන සහ ලෝක බැංකුව, අන්තර්ජාතික මුල්‍ය අරමුදල, සහ ලෝක වෙළෙඳ සංවිධානය ඒ ආයතනවලින් වඩා වැදගත් කිහිපයකි.

2008 වර්ෂයේ සිට මේ ක්‍රමය 21 වන ශතවර්ෂයේ ලෝකයට සහ එහි අවශ්‍යතාවලට කොපමණ ගැළපෙනවාද යන ප්‍රශ්නය මතු වී තිබේ. 2008දී ඇති වූ ආර්ථික පසුබෑම නිසා විශේෂයෙන් ලෝකයේ තිබෙන බැංකු පද්ධතියේ ශක්තිය සහ ක්‍රියා කලාපය විවේචනයට ලක් විය. 2009දී ලෝක නිෂ්පාදිතය 3.6%කින් පහත වැටුණ'මුත් 2010 සිට ආපසු වර්ධනය වී තිබේ.

දෙවනුව, 1990 සිට 2017 දක්වා ලෝක දරිද්‍රතා අනුපාතය 75%කින් පමණ අඩු වූ නමුත් තව මත් මිලියන 800ක් පමණ දුප්පත්කමින් පෙළෙති. ඉන් 50%ක් ජීවත් වන්නේ දකුණු ආසියාවේය. ගෝලීයකරණය මේ පිරිසට තව මත් පිහිට වී නැත.

ආදායම් විසමතා

ගෝලීයකරණය සමග ධනවත්, මැදි-ආදායම්, අඩු-ආදායම් යන කාණ්ඩ තුනටම අයත් රටවල් බහුතරයක ආදායම් ව්‍යාප්තියේ විසමතාව වැඩි වී ඇත. නාගරික ගැමි ආදායම් පරතරය නාගරිකයන්ට වඩාත් වාසි වන අයුරු වෙනස් වී ඇත. චීනයේ ගැමි පවුලක ආදායම නාගරික පවුලක ආදායමෙන් 20%ක් පමණ තරම් අඩු විය හැකිය. එක්සත් ජනපදයේ නැ‍ඟෙනහිර සහ බටහිර වෙරළබඩ ප්‍රදේශ සහ චීනයේ නැ‍ඟෙනහිර වෙරළබඩ ප්‍රදේශය ගෝලීයකරණය හේතුවෙන් වැඩි වාසි අත් කරගත් ප්‍රදේශ ය.

චීනය ප්‍රජාතන්ත්‍රවාදි රටක් නොවන බැවින් ගෝලීයකරණයෙන් වාසි නොලබන ජනතාවට ඡන්දය මාර්ගයෙන් පාලකයන්ට තම විරෝධ්‍ය පෑමට ඉඩක් නැත. එහෙත් එක්සත් ජනපදයේ එවැනි ජන කොටස් 2016 ජනාධිපතිවරණයෙදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ඡන්දය දීමෙන් තම විරෝධය ප්‍රකාශ කළහ. එක්සත් රාජධානිය යුරෝපා හවුලෙන් බැහැර වීමට 2016දී පක්ෂව ඡන්දය දුන්නේද එවැනි පිරිසකි.

ශ්‍රී ලංකාවේ ආදායම් විසමතා

ගෝලීයකරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආදායම් විසමතාව වෙනත් රටවල තරම් නරක් වී නැත. 1985-86 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් ලබන 20% මුළු ආදායමෙන් 56%ක් ඉපයූ අතර, දිළිඳුතම 20% ලැබුවේ 5%ක් පමණි. 1995දී ඒ අනුපාත 43% සහ 8% වශයෙන් වඩා යහපත් අතට හැරී තිබිණි. 2016 වන විට මේ අනුපාත 48% සහ 7% වී තිබීම සතුටට කරුණක් නොවුවත්, එය දරුණු වෙනසක් නොවේ.

ගෝලීයකරණය හමුවේ මෙරට ආදායම් ව්‍යාප්තියේ විසමතාව වැඩි නොවීමට ප්‍රධාන හේතුවක් වනුයේ අඩු ආදායම්ලාභීන්ට රජයෙන් සපයන සහනාධාරය, ජනසවිය, සමෘද්ධි, නොමිලේ පාසල් පොත් සහ පාසල් නිල ඇදුම්, සුළු ව්‍යාපාරිකයන්ට සහ ගොවීන්ට සහන පොලියට සපයනු ලබන ණය, පොහොර සහනාධාර සහ නිවාස පහසුකම් මීට අයත් වේ.

ගෝලීයකරණය 4.0 ප්‍රතිචාර

පරිසංඛ්‍යාංක (Digital) සහ අතථත්‍ය (Virtual) තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) සහ රොබෝ තාක්ෂණය (Robotics) වැනි අදහස්, දැනුම සහ ක්‍රියාදාම ශ්‍රී ලංකාවේ කෙටිකාලීන ආර්ථික ප්‍රගතියට එතරම් අදාළ නොවන්නට පුළුවන. එහෙත් මූලික වශයෙන් මිනිස් ශ්‍රමය මඟින් යැපෙන ආර්ථිකයක් ඇති මෙරටට දිගුකාලීන සංවර්ධනය සඳහා මේ සාධක අතිශය වැදගත්ය.

ධනවත් රටවල කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය දියුණු වන විට කර්මාන්ත සහ සේවාවල නිෂ්පාදන වියදම අඩු කරගැනීමට ඒ රටවලට හැකි වේ. එවිට ඇඟලුම් කර්මාන්තය වැනි නිෂ්පාදනවල තිබෙන අඩු වැටුප් හේතුවෙන් දැනට අපට තිබෙන වාසිය නැති වීමට ඉඩ තිබේ. එවිට වෙළෙඳපොළ නැති වී, මෙරට රැකියා සහ අදායම් අඩු වීමට පුළුවන.

එහෙත් අප ඉහත සඳහන් කළ නව තාක්ෂණය ශ්‍රී ලංකාවට අලුත් රැකියා සහ ආදායම් මාර්ග විවෘත කිරීමටද පුළුවන. දියුණු වන රටවල ඵදයිතාවේ ඵලදායිතාවේ වර්ධනයෙන් 40%ක් පමණ අලුත් දැනුම නිසා ඇති වන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වාර්තා කර තිබේ. අලුත් දැනුම මත රැඳෙන ව්‍යාපාර දියුණු කිරීමට මෙරට අධ්‍යාපනය සහ ව්‍යවසායකත්වය දියුණු කිරීමට අපට හැකි විය යුතුය. ඉන්දියාව දැන් වැඩි-වැඩියෙන් අවධානය දක්වන්නේ නවීන තොරතුරු තාක්ෂණය භාවිත කර වැඩි ආදායමක් ඉපයිය හැකි, වඩා නිර්මාණාත්මක අංශවලින් ලෝක වෙළෙඳපොළට සේවා සැපයීම කෙරෙහිය. අපටද එවැනි වැඩපිළිවෙළක් දියත් කිරීමට පුළුවන.

ගොලීයකරණයේ නවතම දිශානතිය වී ඇත්තේ රටක් පිහිටි කලාපයෙන් පිටත සමඟ කරන වෙළෙඳාම සහ සේවා සැපයීමට වඩා වේගයෙන් රට පිහිටි කලාපයේ අසල්වාසි රටවල් සමඟ කරන ගනුදෙනු දියුණු කිරීමයි. මේ අනුව අප ඉන්දියාව සහ චීනය වැනි ආසියායනු රටවල් සමඟ තිබෙන ආර්ථික සම්බන්ධතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. ඒ අතර සිංගප්පූරුව සමඟ මෑතක අස්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමේ අඩු-පාඩු තිබේ නම් ඒවා නිවැරදි කළ යුතුය.

එහෙත් ශ්‍රී ලංකාව වැනි කුඩා සහ ආර්ථික අතින් කේවල් කිරීමේ ශක්තිය හීන රටකට ලෝක ආර්ථිකය හෝ කලාපීය ආර්ථිකය වෙනස් කිරීමට හැකියාවක් නැත. අපට කළ හැක්කේ අලුතින් ඉස්මතු වන ආර්ථික අවස්ථා පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇතිව, දේශීය ප්‍රතිපත්ති සහ ප්‍රතිපාදන ඊට අනුරූපි අයුරු සකස් කර, ඒ අවස්ථාවලින් උපරිම ප්‍රතිලාභ අත් කරගැනීමය.

අදහස්