උඩින් යටින් අලුත් මාර්ග හැදෙන කඩවත අන්තර් හුවමාරුව | සිළුමිණ

උඩින් යටින් අලුත් මාර්ග හැදෙන කඩවත අන්තර් හුවමාරුව

තාරක වික්‍රමසේකර

කොළඹ නගරයට දිනපතා පැමිණෙන ලක්ෂ ගණනක් වූ වාහන හේතුවෙන් ඇති වන මාර්ග තදබදය සුළු-පටු නොවේ. එයින් සිදු වන රටේ ඉන්ධන හානිය නිසා විදේශයන් කරා ඇදී යන විනිමය ප්‍රමාණයද සුළු-පටු නොවේ. මේ කරුණු හෙයින් කොළඹ නගරයට නොගොස් අනෙක් මාර්ගවලට පිවිසිය හැකි මාර්ගයක් තැනීම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු වූයේ අසූව දශකයේදීය. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ අන්තය වන කොට්ටාවේ සිට කඩුවෙල, කඩවත හරහා කෙරවළපිටිය දක්වා වූ අධිවේගි මාර්ගයක් තැනීම ගැන යෝජනා සම්මත විය. එහි එක් කෙළවරක් දක්ෂිණ අධිවේගි මාර්ගයටත්, අනෙක් අන්තය කොළඹ කටුනායක අධිවේගි මාර්ගයටත් සම්බන්ධ කිරීමට යෝජනා වූයේය.

මේ කොළඹ පිටත වටරවුම් මාර්ගය අදියර 3ක් යටතේ තැනීම ආරම්භ වූ අතර, එහි 1 අදියර යටතේ කොට්ටාවේ සිට කඩුවෙල ‍දක්වාත්, 2 අදියර කඩුවෙල සිට කඩවත දක්වාත් මාර්ගය තැනීම ඇරැඹිණි. 3 වන අදියර කඩවත සිට කෙරවළපිටියට දක්වා තැනීම ආරම්භ කරන ලදි. මේ අධිවේගි මාර්ග පද්ධතියේ පමණක් නොව, මේ වන විට යෝජනා වී ඇති සමස්ත අධිවේගි මාර්ග පද්ධතියේම විශේෂතම අන්තර්-හුවමාරුව වන්නේ ‘සිව්මංසල‘ නමින් හඳුන්වනු ලබන කඩවත අන්තර්-හුවමාරුවයි. මේ වන විට යෝජනා වී ඇති අන්තර්-හුවමාරු අතුරින් දිවයිනේම දක්ෂිණ අධිවේගි මාර්ගයේ අන්දරවැව හා කඩවත පමණක් අධිවේගි මාර්ගවලින් විශේෂිත වන්නේ අධිවේගි මාර්ග හුවමාරුවක් වීමයි. ඒ හුවමාරුවේදී අධිවේගි මාර්ගයෙන් පිට වීමක් හෝ ඇතුළු වීමක් හෝ නොවී, අධිවේගි මාර්ග පමණක් හුවමාරු වීම මෙහි විශේෂත්වයයි. ඇත්තෙන්ම අධිවේගි මාර්ගයක් හරහා අධිවේගයක් ඇදී-යෑම මෙහිදී සිදු වේ.

එයින්ද කඩවත ‘සිව්මංසල‘ මෙහිදී විශේෂිත වන්නේ අධිවේගී මාර්ගයේ අන්තර්-හුවමාරු දෙකක් පිහිටීම නිසාය. එක් අන්තර්-හුවමාරුවකදී රථ වාහන ඇතුළුවීම මෙන්ම පිටවීමද සිදු වන අතර, අනෙක් හුවමාරුවේදී අධිවේගී මාර්ග පද්ධතියේ හුවමාරුව පමණක් සිදු කෙරේ. කඩවත නගරයේ අධිවේගී මාර්ගයට මේ වන විට විවෘතව ඇති අන්තර්-හුවමාරුව එලෙසම පවතින අතර, නුවර පාරට ඉහළින් මේ දිනවල සිතාගැන්මටවත් බැරි මාර්ග පද්ධතියක් හරහා ඉදි වන්නේ ඒ අධිවේගී මාර්ග අන්තර්-හුවමාරුවයි.

අධිවේගී මාර්ගයේ ගමන් ගනිද්දී තවත් අධිවේගී මාර්ගයක් ඒ හා සම්බන්ධ වනු ඇත. මෙය අපට අලුත්ම අත්දැකීමක්ද වනු ඇත. මේ දක්වා අප අධිවේගී මාර්ගයේ ගමන් ගනිද්දී අන්තර්-හුවමාරු මධ්‍යස්ථානවලදී අධිවේගී මාර්ගයට ඇතුළු වන වාහන අදාළ ඇතුළු වීමේ තීරුවේ මඳ දුරක් ගමන් කර අධිවේගී මාර්ගයට පිවිසෙන නමුත් කඩවත මහනුවර පාරට උඩින් ඉදි වන මේ නව අන්තර්-හුමවාරුවේදී සිදු වන්නේ අධිවේගයෙන් ගමන් ගන්නා මාර්ග දෙකක රථ වාහන එක් මාර්ගයකට පිවිස ගමන් කිරීමයි.

උදාහරණයක් ලෙස: දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණ කොට්ටාවේ සිට කඩවත හරහා කෙරවළපිටිය දක්වා ගමන් ගන්නා රථයක් හා මධ්‍යම අධිවේගයේ මහනුවර දෙස සිට පැමිණෙන වාහනයක් එක්වර මේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමයි. එහිදී ඇති වන අවදානාමට දෙනු ලබන විසඳුම කුමක්ද? මේ නව අත්දැකීමට අප ආරක්ෂිතව මුහුණ දෙන්නේ කෙසේද? යන පැනය අප ඉදිරියේ පැන නඟිනු ඇත.

අපි මේ සම්බන්ධව කොළඹ පිටත වටරවුම් මාර්ගයේ 3 අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ එන්.කේ.එල්. නෙත්තිකුමාර මහතාගෙන් විමසුවෙමු.

‘‘නුවර පාරට ඉහළින් ඉදි වන්නේ අධිවේගී මාර්ග අන්තර්-හුවමාරුවක්. එහිදී රථ වාහන එම මාර්ගයට ඇතුළු වීමක් හෝ පිට වීමක් සිදු වන්නේ නැහැ. කොළඹ පිටත වටරවුම් මාර්ගය කඩවත සිට කෙරවළපිටිය දක්වා යන අතරේදී කඩවත මහනුවර/ කුරුණෑගල මධ්‍යම අධිවේගය එහිදී ආරම්භ වනවා. සාමාන්‍ය මහා මාර්ගයකදී මෙන් නොවෙයි; මෙහිදී වාහන නතරවීමක් සිදු වන්නේ නැහැ. අධිවේගයෙන්ම ඒ මාර්ගයේ ගමන් ගැනීම සිදු වනවා. එහිදී ආරක්ෂාකාරීව වාහන ධාවනය කිරීම පිණිස අධිවේගී මාර්ගයට ඉහළින් අනෙක් අධිවේගී මාර්ගය සකස් කෙරෙනවා. ඒ ආකාරයට ප්‍රධාන අධිවේගී මාර්ගය හා සම්බන්ධිත අතුරු සම්බන්ධිත අධිවේගී මාර්ග 4ක් මෙහිදී ඉදි වනවා. අධිවේගී මාර්ගයෙන් අනෙක් අධිවේගී මාර්ගයට ඇතුළු වීම පිණිස හෝ අනෙක් අධිවේගී මාර්ගයේ පැමිණ ඍජු අධිවේගී මාර්ගයට පිවිසෙන අතුරු අධිවේගී මාර්ගයේ වාහන අතුරු-අධිවේගයේදී පැයට කිලෝමීටර් 80ක පමණ වේගයෙන් ගමන් කළ යුතු අතර, එම අතුරු-අධිවේගයේ ඇති මිටර් 800ක පමණ දුරකදී තවත් වාහනයකට ඉස්සර කර යෑමට හැකියාවක් නැහැ. මේ ආරක්ෂිත ක්‍රමවේදය ලෝකයේ සම්මත ක්‍රමයක්. අපට එය අලුත් අත්දැකීමක් වේවි.‘‘

කඩවත දැනට වාහන අතුළු වීමට හා පිට වීමට භාවිත කරනු ලබන අන්තර්-හුවමාරුව හා මේ හුමවාරුව අතර ඍජු සම්බන්ධයක් නැතත්, දැනට භාවිත අන්තර් හුවමාරුවේ සිට කොළඹ නුවර පාරට දෙසට වන්නට ඊට ඉහළින් ඉදි වන දැවැන්ත කුලුනු මොනවාද යන්න හා එම ගමන් මාර්ග මොනවාද යන්න ජනතාවට මේ වන විට පැනනැඟී ඇති ගැටලුවලට එයින් යම් විසඳුමක් ලැබෙන්නට ඇතැයි අපි සිතමු. මේ සමඟ ඇති සටහනින් එය මනාව පැහැදිලි කරගත හැකිය.

කඩවත යනු මුරකපොලු පැන යා යතු වූ ගමකි. කඩවත් සතර යනු එවැනි ආකාරයට සිවු දෙසින් පැමිණ එසේ මුරකපොලු පැන යා යුතු වූ ගමකි. සිවුමංසල නමින් හැඳින්වෙන කඩවත අද සිවු දෙසින්ම පැමිණෙන වාහන තදබදය මැඬලීම පිණිස නැඟී සිටි යෝධයකු වැනිය. අද කඩවත ඒ ලෙසින්ම මාර්ග පද්ධතියක ආරම්භය සටහන් කර ඇත. ඒ සතර දෙසටම අධිවේගයෙන් ගමන් කිරීම සඳහාය. තවත් මාස කිහිපයකින් කඩවත මේ සිවුමංසල විවෘත වනු ඇත. පමා වී ආරම්භ වූ නිසා කඩවත - මීරිගම දක්වා වන මධ්‍යම අධිවේගය පමණක් විවෘත කිරීම ලබන වසරට කල් යනු ඇත.

කෙසේ වෙතත් කඩවත නව අන්තර්-හුවමාරුවේ ක්‍රියාකාරිත්වය ගැන අප මඳක් විමසා බැලිය යුතුය. කොට්ටාවේ සිට කෙරවළපිටිය දක්වා හා කෙරවලපිටියේ සිට කොට්ටාව දක්වා ගමන් කරන රථයකට කිසිදු බාධාවකින් තොරව පැමිණෙන (උපරිම වේගය: පැයට කිලෝමීටර් 100) වේගයෙන්ම ගමන් කළ හැකිය.

එසේ වුවත් කොට්ටාවේ සිට මහනුවර දෙසට ගමන් කරන වාහනයකට දැනට අධිවේගී මාර්ගයේ වාහන පිට වන ආකාරයෙන් වම් පසින් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට ගොස් තමන් පැමිණි අධිවේගී මාර්ගයට ඉහළින් මධ්‍යම අධිවේගයට ගමන් කළ යුතු වේ. ඒ පැයට කිලෝමීටර් 80ක පමණ උපරිම වේගයෙන් පමණි. එසේම මධ්‍යම අධිවේගයේ සිට පැමිණ කොට්ටාව දෙසට ගමන් කරන විටද පෙර ලෙසම වම් පසින් මාර්ගයෙන් ඉවත්ව කොට්ටාව දෙසට ගමන් කළ යුතු අතර එහිද උපරිම වේගය පැයට කිලෝමීටර් 80කි.

මධ්‍යම අධිවේගයේ සිට පැමිණ කෙරවළපිටිය හරහා කටුනායක හෝ කොළඹ දක්වා ගමන් ගන්නා වාහන පැමිණි අධිවේගී මාර්ගයේ දකුණු පසින් අධිවේගී මාර්ගයට ඉහළින් ගමන් කර අධිවේගී මාර්ගයට පිවිස ගමන් කළ යුතු අතර, එහිද උපරිම වේගය පැයට කිලෝමීර් 80කි. කෙරවලපිටියේ සිට පැමිණ මධ්‍යම අධිවේගයේ ගමන් කරන වාහනද එසේ වම් පසින් ඉවත්ව ගොස් පැයට කිලෝමීටර් 80ක වේගයෙන් අධිවේගී මාර්ගයට පිවිසිය යුතුය. පැයට කිලෝමීටර් 80ක වේගය රඳා පවත්වාගත යුත්තේ අනෙක් අධිවේගී මාර්ගයට ඇතුළු වන තෙක් පමණි. ඒ මීටර් 500ක් 800ක් පමණ දුරක් දක්වාය.

කඩවතදී මහනුවර - කොළඹ මහා මාර්ගයට ඉහළින් අද අප දකින මේ මහා පාලම් ආරුක්කු, එක උඩ එක නැංවූ පලංචි තව නොබෝ දිනකින් නව මාර්ග පද්ධතියක් ලෙස දිස් වන ආකාරය මේ ග්‍රැෆික් සටහනින් තේරුම් ගත හැකිය. අප කළ යුත්තේ මේ මාර්ග ආරක්ෂාකාරිව පරිහරණය කිරීමය. තවත් අයකු ඔබ වැනිම වේගයකින් එන බව සිතා මාර්ගය භාවිත කළ හොත් සැමගේ ආරක්ෂාව තහවුරු වනු ඇත.

සේයාරුව - ශාන් රූපස්සර

අදහස්