කිරෙන් සපිරි දැයක්! | සිළුමිණ

කිරෙන් සපිරි දැයක්!

කිසියම් පුද්ගලයකුගේ සංස්කෘතික ආඪ්‍යත්වය මෙන්ම ඔහු සතු ආධ්‍යාත්මික වර්ධනය දැන මැන ගත හැකි වන්නේ ඔහු විසින් ස්ත්‍රීන්, දරුවන් හා පීඩිතයන් වෙනුවෙන් දක්වනු ලබන සංවේදී ප්‍රතිචාර අනුව යැයි රුසියානු මහා විප්ලවයේ නියමුවන් වු ලෙනින් හා ට්‍රොස්කි වරක් ප්‍රකාශ කළහ. පුරාණ භාරත සෘෂිවරුන් විසින් අවධාරණය කරන ලද්දේත් මානව වර්ගයා අතර සිටින අතිශය සංවේදී සාමාජිකයන් නම් ස්ත්‍රීන් හා දරුවන් බව ය. මේ අනුව ඕනෑ ම සමාජයක විශිෂ්ටත්වය රඳා පවතින්නේ ඒ සමාජය තුළ ස්ත්‍රියට හා දරුවාට හිමි ව තිබෙන ගෞරවය, අවධානය අනුව බව අපට නිගමනය කළ හැකි ය. මේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ම පසක් කරගත් විරල ගණයේ රාජ්‍ය නායකයකු ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අපට නම් කළ හැකි ය. මෛත්‍රී ජනාධිපතිවරයා දරුවන් වෙනුවෙන් අප්‍රමාණ ස්නේහයක් දක්වන නායකයෙකි. පිතු සෙනෙහස දන්නේ පිතුවරුන් පමණක් යැයි බුදුන් වහන්සේ ද වඳාළහ.

මෛත්‍රී ජනාධිපතිවරයා සිය සමාජ දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් දරුවන් සඳහා ලබා දී තිබෙන්නේ දේශපාලන විලාසිතාවක් ලෙස නොව මෙරටේ සමස්ත දරුවන්ගේ ම අනාගත අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන අව්‍යාජ පියකු හා ළෙන්ගතු මුත්තනුවන් කෙනෙකු බවද තහවුරු කරමින් ය. ඒ සෙනෙහසට කිරි උතුරා යන අපූර්ව මතක සටහනක් ලෙස ජනපතිවරයා විසින් දැයට ඉදිරිපත් කරන ලද ‘කිරෙන් සපිරි දැයක්’ ජාතික සැලැස්ම නම් කළ හැකිය. පළමුවැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා වු ප්‍රාථමික පාසල් දරු දැරියන් සඳහා දියර කිරි වේලක් ලබා දීමේ දීප ව්‍යාප්ත ව්‍යාපෘතියෙහි මංගල පියවර ලබන 22 වනදා කලවාන කජුවත්ත මහා විද්‍යාලයේ දරු දැරියන්ට දියර කිරි ලබා දීමේ ජාතික උළෙලත් සමග ආරම්භ වනු ඇත. අප මේ සටහන තබන්නේ ඒ උදාර දාරක සත්කාරය ඇරඹීමට පෙර සැඳෑවේ ය.

ශ්‍රී ලංකාවේ දිළිඳුකම දුරලීම, රජරට ගොවි ජනතාව ප්‍රමුඛ සමස්ත වකුගඩු රෝගීන් ඒ විපතින් මුදවාලීම ඇතුළු පුළුල් මානව හිතවාදී ව්‍යාපෘති සමඟ පෙරට ඇදී යන මෛත්‍රී දේශපාලනය මෙරටේ දරු පරපුර සුඛිත මුදිත කරවීම සඳහා පියවර ගැනීම ජාතියේ ම පරම භාග්‍යයක් වැන්න. මේ 22 වනදා හෙට කලවාන කජුවත්ත මහ විදුහලෙන් ඇරඹෙන ‘කිරෙන් සපිරි දැයක්’ ව්‍යාපෘතිය ඈත ගම් දනව් වල පොදු ජනතාවගේ දරුවන්ගේ ජීවිත වලට අලුත් බලාපොරොත්තුවක සුබ ආරංචිය රැගෙන යනු නිසැක ය. මෙවර අයවැයෙන් ඒ දියර කිරි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලෙස රුපියල් බිලියනයක් වෙන් කරවා ගත් ජනාධිපතිවරයා ගැමි දරු සෙත සැදීමේ ක්‍රියාන්විතය දීප ව්‍යාප්ත ව සිදු කිරීමට ද සැලසුම් සකස් කර ඇත.

2025 වසර වන විට මෙරටේ ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු ම දරු දැරියන්ට ‘ජනපතිගේ කිරි වරම’ තුළින් උදාවන අලුත් ලොවක මිහිර විඳගත හැකි වනු ඇත. මෙරටේ කිරි ගොවියන්ගේ තත්ත්වය නඟා සිටුවීමේ විධිමත් සැලැස්මක් ද මේ ව්‍යාපෘතිය සමඟ ක්‍රියාත්මක වනු ඇත. කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීමත් එමඟින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමත් ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ. දැනට මේ දියර කිරි වරම හිමි වන්නේ තෝරා ගත් සිසු දැරියන් කණ්ඩායමකට ය. ඒ සඳහා පාසල් ප්‍රමාණයක් ද හඳුනාගෙන තිබේ. ‘කිරෙන් සපිරි දැයක්’ එක්වර ම දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කිරීමට තිබෙන ප්‍රධාන බාධකය වන්නේ ඒ සඳහා අවශ්‍ය කිරි නිෂ්පාදනය මෙරටේ සිදු නොවීම ය. දැනට තිබෙන සීමිත කිරි නිෂ්පාදනය එබඳු පුළුල් සත්කාරයකට කෙසේවත් ප්‍රමාණවත් නොවන බව ද රහසක් නොවේ.

අද මේ රටේ නිදහස් අධ්‍යාපන පිළිවෙතක් ක්‍රියාත්මක වන බව සැබෑ ය. පාසැල් වලට විවිධ ප්‍රදානයන් ලැබෙන බව ද සැබෑ ය. එහෙත් මෙරටේ ජාතික අධ්‍යාපනය තිබෙන්නේ අඳුරක බව සැඟවිය නොහැකි ය. ඈත ගම්වල පාසල් දරුවන්ට හෙට ගැන බලාපොරොත්තුවක් දීමට බොහෝ මවුපියන්ට හැකි වී නැත. දරිද්‍රතාව ඒ බොහෝ දරු පවුල් සමඟ බැඳී පවතී. ගොවිතැන් බතක් කර දරුවන් නඩත්තු කිරීමවත් හරියට කළ නොහැකි මව්පියෝ කොපමණ සිටිත් ද? ගැමි දරුවාගේ ලෝකයට එබී බලන රාජ්‍ය නායකයෝ ද විරල වෙති. දරුවන් සුඛිත මුදිත කිරීම රාජ්‍ය නායකත්වයේ වගකීමක් බව ඉතා නිවැරදි ව වටහා ගත් මෛත්‍රී ජනාධිපතිවරයා ‘කිරෙන් සපිරි දැයක්’ නිර්මාණය කිරීම සඳහා අැප කැප වී සිටීම ‍ඵෙතිහාසික වගකීමකට දක්වන උතුම් ප්‍රතිචාරයක් බව නිසැක ය.

දරුවන් ජාතියේ මල් සම්පත බවට වේදිකාවල මොරදෙන බොහෝ දෙනෙක් ඒ දරුවන්ගේ සුපෝෂණය අධ්‍යාපනය යනාදිය පිළිබඳ දැක්වූ අවධානය මඳ බව අපි නොපැකිළ ව කියමු. විශේෂයෙන් මෙරටේ ප්‍රාථමික දරුවන්ට දියර කිරි වීදුරුවක් ලබා දීම ඔවුන්ගේ ශාරිරික මෙන් ම මානසික වර්ධනයට ද හේතු වන්නකි. අප මැනවින් දන්නා පරිදි මෙරටේ වතුකරයේ දරුවන්ගේ ජීවිත හා බැඳී ඇති ඉතා දුක්බර කථාන්තරය නම් ඔවුන් බොහෝ දෙනෙකුට හෝඩි පොත අතට ගැනීමට වත් වරම් නැති වීම ය. තේවත්තේ දලු නෙළන අම්මා සමඟ ඔවුන්ගේ ජීවිත රෝදය ද කැරකෙයි. ඇතැම් පියවරු බේබද්දෝ ය. මේ අතර මිනිස් වෙසින් සරණ මෘගයෝ ද සිටිති. යන්තම් හිරු එළියෙන් පිබිදෙන වතුකරයේ බාල ළමා ලියකගේ ඉරණම ද බොහෝ විට ශෝකීය එකකි. උතුරේ යුද පීඩිත දරුවන්ගේ ඉරණම ද තවමත් දරිද්‍රතාව සමඟ පෙර බඳිමින් තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි ප්‍රදේශයේ අච්චුවේලි ගමට මෙන්ම උතුරු නැගෙනහිර බොහෝ ගම්වලට අලුත් බලාපොරොත්තු දීම සඳහා මෛත්‍රී ජනාධිපතිවරයා විවිධ ක්‍රියාකාරකම් සැලසුම් කර තිබේ. අලුත් අවුරුද්දට කලින් මඩකලපුවේ නිල සංචාරයක යෙදුණු ජනාධිපතිවරයා ඒ ජන කොටස් වල ජීවිත අරගලය සියැසින් ම දැක බලා ගත්තේ ය. උතුර, නැගෙනහිර පළාත් සංවර්ධනය ද ජනපතිගේ ප්‍රබල අපේක්ෂාවකි.

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය බල ගැන්වීමේ මූලික අරමුණ වන්නේ සියලු ම ග්‍රාමීය පළාත් වලට සංවර්ධනයේ හිරු එළිය ලබා දීම ය. රුපියල් මිලියන 1000 ක ප්‍රතිපාදන වෙන් වූ ‘කිරෙන් සපිරි දැයක්’ සද් මෙහෙවර දියර කිරෙන් මව් බිම සුපෝෂණය කිරීමට අමතරව මෙරටේ කිරි ගොවියන්ගේ අභාග්‍ය සම්පන්න ඉරණම වෙනස් කිරීමේ ක්‍රියාන්විතයක් ද වනු ඇත. කොළඹ කේන්ද්‍ර ප්‍රභූ ආර්ථික දැසට අසු නොවන ගමත් ගැමි ජනතාවත් පිළිබඳ අප්‍රමාණ කැපවීමකින් ක්‍රියා කරන රාජ්‍ය නායකයකු ලෙස මෛත්‍රී ජනාධිපතිවරයාට ප්‍රසාදයක් ද ඇත. අද දේශපාලන බල අරගල වල හිස් සටන් පාඨ වල ද අඩුවක් නැත. රටට වඩා පක්ෂයත් බලයත් ප්‍රමුඛ ව තිබේ. එහෙත් රට හදන සැලැස්මේ රටේ අනාගත සම්පත වන දරුවාට හිමි වී තිබෙන්නේ අඩු අවධානයකි. ග්‍රාමීය ප්‍රදේශවල සමහර දරුවෝ මන්ද පෝෂණයට ගොදුරු ව සිටිති. සමහර දරුවන් පාසල්වලට එවනු ලබන්නේ දෙමවුපියන්ට කුඹුරක හේනක වැඩපල කර ගැනීමට වුවමනා විවේකය ලබා ගැනීමට ය. දේශපාලන පළිගැනීමක් ලෙස ගමට යන සමහර ගුරුවරුන්ට දරුවන්ට ඉගැන්වීම ද එපා වී තිබේ. මේ සියල්ල ඉඳුරා දත් ගම හඳුනන නායකයකු ලෙස මෛත්‍රී ජනාධිපතිවරයා ‘කිරෙන් සපිරි දැයක්’ ළමා සිසු පරපුර උදෙසා ක්‍රියාත්මක කර තිබේ.

මේ රටේ ක්‍රියාත්මක වන බොහෝ සාධනීය ව්‍යාපෘති වලින් පවා අවශ්‍ය ප්‍රතිලාභ නොලැබීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ඒ ව්‍යාපෘතිවල අන්තර් සබඳතාවක් නොමැති වීම නිසා ය. කොළඹ සීත කාමරවල සිට සැලසුම් හදන විශේෂඥයන් අතර ගම හඳුනන්නෝ ද හිඟ වෙති. සමහරු මෙරටේ අතීත උරුමය හෝ නිවැරදිව නොදත්තෝ ය. ගමකට පය නොගැසූ නිලධාරිහු අද වුව ද සිටිති. මේ සියලු තතු ඉඳුරා දත් රාජ්‍ය නායකයකු වන මෛත්‍රී ජනාධිපතිවරයා ගමත් ගැමි ජන ජීවිතයත් වෙනස් කිරීම තම දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රථම අංකය බවට පත් කර ගැනීම පුදුමයක් නොවේ. පොළොන්නරුව ඉතිහාසයේ රමණීය මතක සටහන් ඔස්සේ අතීතයට සක්මන් කරන මෛත්‍රී ජනපතිගේ දෑසට හමු වන්නේ තම උරුමය මහ පොළව හා සොබාදහම සමඟ අනුයෝජනීය ලෙස බැඳී තිබෙන බව ය. පරාක්‍රමබාහු යුගයේ සමෘද්ධිය මෙන්ම එහි වූ සදොස් තැන්ද සිය අන්තර්ඥානයෙන් වටහා ගැනීමට මෛත්‍රී ජනාධිපතිවරයා සමත් විය. අද මෙරටේ රාජ්‍ය ආදායම තහවුරු කරන නිශ්චිත ක්‍රමවේදයක් බවට බදු අය කිරීම පත් ව තිබේ. පරාක්‍රමබාහු රජු විසින් ද බදු අය කරන ලද බව පසුගිය දිනක කියනු ඇසුණි. එහෙත් බදු පැනවීම හා බදු අයකිරීම ජනතාවගේ යහපත සඳහා හිතකර නොවන බව නිශ්ශංකමල්ල වැනි නරපතීන්ගේ අවධාරණයකි. හේන් ගොවිතැනින් ද දූගී බවින් මිරිකී සිටි ගොවියන්ගෙන් ද බදු අය නොකළ යුතු යැයි ඔහු ප්‍රකාශ කළ බව සෙල්ලිපි වල ද සඳහන් ව තිබේ. කෙත්වතු වලින් හා ඉඩම් වලින් බදු අය කිරීමේදී සරු නිසරු බව පදනම් කරගත යුතු බව ද එදා නීතියක් බවට පත් ව තිබුණි. එහෙත් අද ජනතාවට බදු පනවන පාලකයෝ මේ ඉතිහාසය නොදනිති; නැතහොත් එයට උඩින් පනිති.

පොළොන්නරු යුගය මෙරටේ විශිෂ්ට කාල වකවානුවක් බවට පත් වූයේ වාරි තාක්ෂණය හා කෘෂි කර්මය සංවර්ධනය ද නිසා ය. පරාක්‍රමබාහුගේ අයෝමය හස්තය සටන් වලට මෙන්ම ජනජීවිත නැංවීම සඳහා ද යොදා ගෙන තිබුණි. මෛත්‍රී දේශපාලන චින්තනයේ පදනම වන්නේ ද ගමත් ඒ ගම හා බැඳුණු ජන විඥානයත් ය. පොළොන්නරු ස්වරණ භූමියේ කොතැනින් වුව ද ඇස ගැටෙන්නේ සාඩම්බර ඉතිහාසයක මතක සටහනකි. මෙරටේ වාරි කර්මන්තයේ සනාතන සැමරුම් බඳු අදත් මේ මහපොළවට ජීවය දෙන මින්නේරිය, මාඳුරුඔය, කවුඩුල්ල වැනි මහා ජලාශ හා වැව් අතැඹුලක් සේ තෝරා ගත් රජරට නායකයා වන්නේ ද මෛත්‍රී ජනාධිපතිවරයායි. ගමත් වැවත්, කුඹුරත් ඔහුට සුවිශේෂි වෙයි. ඒ ගම් දොර පිස ඇදෙන මඳනල ඔහුට සුව දනවයි. ඒ ගම් දනව් නැංවීමටත් එහි සිටින ජාතියේ අනාගතය බඳු දරුවන්ට අලුත් ලොවක් නිර්මාණය කර දීමටත් මෛත්‍රී ජනාධිපතිවරයාට අවශ්‍ය ව තිබේ. ගමෙන් ආ නායකයකුට ගම සම්පතක් වීම අරුමයක් නොවේ. ග්‍රාම ශක්ති වැනි සාධනීය ව්‍යාපෘති මෙන්ම මොරගහකන්ද වැනි විස්මිත වාරි විජයගහණ ද ජාතියට පිරිනැමෙන්නේ ඒ පසුබිම තුළ ය. සැබැවින් ම ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීමේ කාර්ය සාධනයට ගමට කිරි ඉතිරවීම අත්‍යාවශ්‍ය ම දෙයකි. මෙතෙක් මෙරටේ පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ක්‍රියාත්මක වූයේ ද ‘කොළඹට කිරි - ගමට කැකිරි’ පිළිවෙතක් බව ද කියනු ලැබේ. ගැමි ශ්‍රම බාලකාය නොතකන සමාජ ආර්ථික පිළිවෙතක අතරමං වූ ගමට සංවර්ධනයේ ආලෝකය ලබා දීමේ අවශ්‍යතාව මෛත්‍රී ජනාධිපතිවරයා හොඳින් දනී. කිරෙන් සපිරි දැයකින් ගම පිබිදෙන අයුරු මේ වනවිටත් දෑස් අබියස දැක ගත හැකි යථාර්ථයක් වී තිබේ.

කෙසේ හෝ ග්‍රාම ශක්ති ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන දියර කිරි නිෂ්පාදන ක්‍රියාවලියෙන් දැයෙහි දරු පරපුරට නිරෝගී සුපෝෂණයක් හිමිවීමට අමතරව මේ දෙරණ කිරෙන් නොඅඩු ස්වයංපෝෂිත කිරි ගොවීන්ගේ සාරභූමියක් බවට පත් කර ගැනීමට ද අවකාශ ලැබෙනු ඇත. මෙරටේ කිරි ගොවියාගේ දුක්ඛිත ඉරණම වෙනස් කළ හැක්කේ ද ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සවිබල ගැන්වීම් තුළින් ම ය. අද වන විට ලංකාව පිටිකිරි ආනයනය සඳහා පමණක් ඩොලර් මිලියන 400 ට අධික මුදලක් වාර්ෂික ව වැය කරයි. එමඟින් රටට අහිමි වන විදේශ විනිමය නතර කර ගත හැකි එක ම මාර්ගය වන්නේ ද රට ම ඇබ්බැහිවී සිටින පිටිකිරි පරිභෝජනය ක්‍රමයෙන් අඩු කිරීමෙන් පමණි. පිටිකිරි වෙනුවට දියර කිරි පාරිභෝජනය හුරු කිරීමෙන් ආර්ථික වශයෙන් පමණක් නොව ආහාර වශයෙන් ද සුරක්ෂිතතාවක් ලබා ගත හැකිය. කිරි පිටි සමාගම් විසින් ගෙන යනු ලබන දැවැන්ත ප්‍රචාරක මෙහෙයුම් තරමටම ඒ කිරිපිටිවල හානිදායක කරුණු ද ජන මනස තුළ පාවෙමින් තිබෙන බව අපි දනිමු. කිරිපිටි සමාගම් හා සෞඛ්‍ය බලධාරීන් අතර තිබෙන බව කියන සහජීවනය හා වෙනත් බැඳීම් ගැන එල්ල වන චෝදනා කුමක් වුවත් දියර කිරි නිෂ්පාදනය දියුණු වුවහොත් ජනතාව පිටිකිරි පාරිභෝජනය අත්හැර දමනු ඇත. දියර කිරට තිබෙන ඉල්ලුම වැඩිවීම කිරි ගොවියාගේ ආර්ථිකය වර්ධනය වීමට ඔවුන්ගේ මෙන්ම ජීවන දුක් දොම්නස් දුරලීමට ද හේතු වනු ඇත.

මෙරටේ කෘෂිකර්ම, ග්‍රාමීය කටයුතු, පශු සම්පත් ආදී කේෂ්ත්‍ර ගණනාවක ම ඇත්තේ පසුබෑම් හා අපේක්ෂා භංගත්ව බවද නොරහසකි. මෙරටේ ගව සම්පත පිළිබඳ තිබෙන අප්‍රමාණ ගැටලු ගැන බොහෝ විට ඇසෙයි. ගවයන්ට වැළදෙන ලෙඩ රෝග මෙන්ම ගවයන් හොරකම් කිරීම ද ඒ අතර කැපී පෙනේ. රටේ සත්ව ගහණය මෙන් ම ඒ සඳහා දිරිදීම්, ගැටලු වලට විසඳුම් ලබාදීම් ආදිය යහපත් නොවන බව ද බොහෝ විට ඇසෙයි. පශු සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් මේ රට තවමත් තිබෙන්නේ ඉතා ළදරු අවදියක ය. කිරි නිෂ්පාදනය අතින් ඉහළ ම ප්‍රතිඵල ලබා ගත් රටවල් සමඟ සසඳන විට මෙරටේ කිරි ගොවියා දැනුමෙන්, තාක්ෂණයෙන් හා ආත්ම අභිමානයෙන් ද දිළින්දෙකි. බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල මහත් වෙර වෑයමින් කිරි ගොවිපලවල් පවත්වා ගෙන යන ගොවීන්ගේ දුක්බර මුහුණු අපි බොහෝ විට මාධ්‍ය මඟින් ද දකිමු. පසුගිය දිනවල අපට ඇසීමට ලැබුණේ මෙරටේ කිරි ගොවියන් සඳහා ලබා දෙන ලද කිරි දෙනුන් රෝගී හා අවශ්‍ය කිරි ප්‍රමාණ ලබා දීමට අපොහොසත් වූ කිරි ගොවියන්ට බරක් වූ විපතක් බව ය. අදාළ කේෂ්ත්‍රවල නිල බල ජනතා මුදල් මංකොල්ල කෑම සඳහා ඒ කිරිදෙනුන් ආනයනය යොදාගත් බවට බරපතල චෝදනා ද නැඟුණි. ලක්ෂ ගණනින් මුදල් ගෙවා මෙරටට ගෙන්වා ගෙන ඇත්තේ ලෙඩ දෙනුන් බව ද ගොවි සංවිධාන කියා සිටියේ ඒවා පසු පස සිදු වූ මූල්‍ය වංචා පිළිබඳ දත්ත පවා ඉදිරිපත් කරමින් ය. එහෙත් ඒ පිළිබඳ බලධාරීන් විසින් ගන්නා ලද පියවරක් ගැන නම් වාර්තා නොවීය.

මේ රට 2025 දී දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂණය වීම සඳහා අවශ්‍ය මූලික කරුණු ගණනාවක් ම ඒ කේෂ්ත්‍රවල විශේෂඥයන් හා පෞද්ගලික ආයතන වල නියෝජිතයන් විසින් ද පෙන්වා දී ඇතැයි වාර්තා වී තිබේ. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපරයෙන් ඒ සඳහා සාධනීය බලපෑමක් කළ හැකි බවද නිසැක ය.

මේ සියල්ලෙන් අපට සුපැහැදිලි ව ම සඳහන් කළ හැක්කේ කිරෙන් සපිරි දැයක් ව්‍යාපෘතිය මෙරටේ ජාතික අධ්‍යාපනයේ යෝද පිම්මක සමාරම්භක පියවරක් පමණක් නොව දේශීය කිරි ගොවියන්ගේ අනාගතය පිළිබඳ අපේක්ෂාවන් ඉහළ නැංවීමක් ද බව ය. ජාතියේ දරු පරපුර නිරෝගී බවට පත් කර දේශීය දියර කිරි නිෂ්පාදනය ඵලදායි කර්මාන්තයක් ලෙස තහවුරු වීම ද මුළුමහත් ජාතියට ම හිමි වූ භාග්‍යයක් වැන්න.

Comments