කුමන කම්කරුවා ගොදුරු කරගත්තේ මහලු කොටියෙක්ද පැටවු ඉන්න කොටි දෙනක්ද | සිළුමිණ

කුමන කම්කරුවා ගොදුරු කරගත්තේ මහලු කොටියෙක්ද පැටවු ඉන්න කොටි දෙනක්ද

කුමන යැයි කියූ විට අපට නිතැතින්ම සිහිපත් වන්නේ කුරුල්ලෝය. එවිට කුමන වනෝද්‍යානය ගැන සුන්දර දසුන් මැවේ. නමුදු දැන් කුමන යැයි කියූ විට සිතට නැඟෙන්නේ සුසුමකි. ඒ පසුගියදා සිදූ වු ඛේදවාචකයත් සමඟය. දිනය ඉකුත් 18 වනදාය. එනම් බ්‍රහස්පනිද්දා ය. කුමන ජාතික වනෝද්‍යානයේ ආරම්භයේ සිට කිලෝමීටර් හතක් පමණ දුරින් එනම් බාගුරේ දිවුල්පල්ල පාර බඹරගස් තලාව ප්‍රදේශයේ කම්කරුවන් කිහිප දෙනෙකු මාර්ගය සකසමින් සිට ඇත. කෙනෙකු සිට ඇත්තේ බිම ඇන තියාගෙනය.

නොසිතූ මොහොතක කැලයෙන් කඩා වැදුණු කොටියා වාඩි වී සිටි පුද්ගලයා ඩැහැගෙන පැන්නේය. අවට සිටියවුන් කෑකෝ ගැසුවද මුගුරකින් පහර දීමට තැත් කළද ඒ කිසිත් සාර්ථක වූයේ නැත. කොටියා විසින් ඩැහැගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූයේ අනපේක්ෂිත මොහොතකය. ඒත් කොටියාගේ ගොදුර සෙවීම එතැනින් නතර වුයේ නැත.

කොටියාගේ ඊළඟ ගොදුර වුයේ මිය ගිය පුද්ගලයා ගැන විපරම් කරමින් සිටි චමීරය. කාටත් වඩා හොඳින් කුමන කැලයත් එහි වෙසෙන සතා සීපාවාත් මාර්ගත් පිළිබඳ හොදින්ම දන්නා චමීර හෙවත් කුමන සපාරි චමීරට සිදු වූයේ කිසිවෙකු හීනෙන්වත් නොසිතූ දෙයකි. අවට සිටිය වුන්ගේ කෑකෝ ගැසිම් හමුවේ ගොදුර අතහැරිය කොටියා යළි කැලෑ වැදුණේය.

එහෙත් කොටි කටින් බේරුණ චමීර මේ මොහොත වන විටත් අම්පාර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. අප ඔබට කීවේ ඉකුත්දා කුමන කැලයේ සිදු වූ ඛේදවාචකය පිළිබඳ අසා දැන ගත් දේය. සැබැවින්ම සිදු වූයේ කුමක්ද යන්න දන්නේ ඒ මොහොතේ එහි සිටි ඇත්තෝය. ඒ පිළිබඳ අප විමසුවේ කුමන වනෝද්‍යාන භාරකරු සිසිර කුමාර මහතාගෙනි.

“ කාලයක් තිස්සෙම කුමන වනෝද්‍යානය වසා දමලා තිබුණේ. ඉන් පසුව මෙහි මාර්ග අලුත්වැඩියා කිරීම් ආරම්භ කෙරුණා. මේ දිනවලත් පාරවල් අලුත්වැඩියා කිරීම් බෝක්කු සෑදීම ආදි දේ සිදු වෙනවා. මේ කියන ස්ථානයේ පස් දෙනෙකු වැඩ කරමින් සිටියා. සාමාන්‍යයෙන් අවදානම් කලාපවල සේවය කරද්දි වනජීවි නිලධාරියෙකුත් ආරක්ෂාවට යොදනවා. නමුත් සිද්ධිය වූ තැන අවදානම් කලාපයක් නෙමෙයි.

කොහොම වුණත් මේ අය සේවයට යෑමට පෙර ඒ ස්ථානවල දි හැසිරෙන්න ඕන විදිහ කියලා උපදෙස් දීලා තමයි යවන්නේ. කොහොම වුණත් පළමු වෙනි වතාවට තමයි මෙහෙම සිද්ධියක් අපට දැනගන්නට ලැබුණේ. අපි කැලේ යද්දි අපේ ඉස්සරහට කොටි හමුවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කුමන කැලේ මේ වන විට කොටි තිහත් හතළිහක් විතර ඉන්නවා. ඒත් උන්ගෙන් කරදරයක් වෙලා නැහැ. උන් හැම වෙලේම මඟහැර යන එක තමයි කරන්නේ. උන් සාමාන්‍යයෙන් නම් මිනිස්සු මඟහැර යනවා.

මේ වගේ දෙයක් වෙන්න ඇත්තේ එක්කෝ සතා වයසක එකෙක්. ඒ කියන්නේ වයසට ගිය සතුන් ගොදුරු හොයන්න මහන්සි වෙන්නේ නැහැ. තමන් ආසන්නයේ ඉන්න සතුන් තමයි අල්ලන්නේ. සමහර වේලාවට ගොදුරු හොයාගෙන ගම් වදින්නෙත් එවැනි වයසක සත්තු. චමීර සම්පත්( වයස අවුරුදු 33) දැනට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

දැන් වනය ඇතුළේ පාරවල් කිහිපයක් පමණයි වසා තිබෙන්නේ. දැන් කුමන වනෝද්‍යානය සංචාරකයන් සඳහා විවෘත කර තිබෙන්නේ. උද්‍යාන පාලක සිසිර පවසන්නේය.

කැලේ සතා විශ්වාස කිරීමට බැරිය. ඌ කොයි මොහොතේ වුව දරුණු විය හැකිය. කුමන වනෝද්‍යානයේ කොටියා කිසිවෙකු නොසිතූ මොහොතක දරුණු වන්නට ඇත්තේ ඇයි.? මේ ප්‍රශ්නයට පිළිතුරක් බලා පොරොත්තුවෙන් අප තොරතුරු විමසුවේ පරිසරවේදි නයනක රන්වැල්ල මහතාගෙනි.

“ කැලෑවේ ඉන්න කොටි මිනිසුන් දඩයමක් හැටියට දකින්නේ නැහැ. ඒ වගේම කුමන කැලේ මේ වගේ සිදු වීමක් අහන්න ලැබිලා නැහැ. පුනානිවල මිනී කන කොටියා මිනිස්සු 16 දෙනෙක් කාලා තියෙනවා. කිරිපොකුණ කියන ඉසව්වේ මිනිසුන්ගේ ඇඟට පනින කොටි හිටියා කියලා පැරණි මිනිස්සු කියලා තියෙනවා. ඒත් ඒවා සනාථ කරගන්න හේතු සාධක නැහැ. ඔය කියන ඉසව්වෙම තමයි මේකත් වෙලා තියෙන්නේ. 1950 ගණන්වල යාල පොත්තන කලාප අංක දෙකේ මිනිසුන් කන කොටියෙක් ඉඳලා තියෙනවා.

2014 අවුරුද්දේ යාල දී කොටියෙක් ගෑනු කෙනෙකු මරලා තිබුණා. ඒ ගැනූ කෙනා ශරීර කෘත්‍ය කරන්න ගිය මොහොතක. මේ කාන්තාව වාඩි වෙලා ඉඳලා තියෙන්නේ. වෙන දඩයමක් කර ගන්න බැරි දුර්වල කොටියෙක් එහෙමත් නැති නම් පැටවු එක්ක ඉන්න කොටි දෙනක් තමයි මෙහෙම දේවල් කරන්නේ. එහෙමත් නැති නම් විශාල වේදනාවක් දැනෙන තුවාලයක් තියෙනවා නම් ඒකත් කොටියෙකු කෙනෙකුට පහර දීමට හේතුවක් වෙනවා. කුමන කැලේ කොටියා මිනිසා ගොදුරක් කරගෙන තියෙන්නේ ඒ පුද්ගලයා වාඩිවෙලා සිටියදී. දෙවැනි වර ඌ පහර දීලා තියෙන්නේ තමන්ගේ ගොදුර අල්ලන්න ගිය කෙනාට. ඒ හැරණ විට අපේ රටේ ඉන්න කොටි නිකම්ම මිනිසුන්ට පහර දෙන්නේ නැහැ.

පරිසරය ගැන කැලේ සතා සීපාවා ගැන දන්නා නයනක පවසන්නේ එවැනි කතාවකි.

කොහොම වුණත් කුමන කොටියා විසින් බෙල්ලෙන් අල්ලා මරා දැමු මිනිසා කැලයට ඇද ගෙන ගියා සේම සිරුරේ කොටස් අනුභව කර ද තිබිණි. පසුව උද්‍යාන සේවකයන් කොටියාට ගොදුරු වූ මිනිසාගේ සිරුර සොයාගෙන ඇත්තේ ලේ පාර දිගේ ගමන් කිරීමෙනි. එසේ මිය ගියේ කම්කරුවෙකි.

මේ සංචාරක සමයේදි වනෝද්‍යානවල සංචාරය කිරීමට යෑමේදි ඔබ ආරක්ෂාව ගැන විමසිලිමත් වීමද අත්‍යාවශ්‍ය වේ. මන්ද කැලය අයිති අපට නොව සතා සීපාවාට බැවිනි.

-ඉසවි

අදහස්