ගලේවෙල ගෙවිලියගේ ඝාතනය අබිරහසක් | සිළුමිණ

ගලේවෙල ගෙවිලියගේ ඝාතනය අබිරහසක්

අනුලා අක්කා කියන්නෙ අපේ ගමට හිටිය වස්තුවක්... අපේ ගමේ නම ලෝකෙට අරන් ගියේ අනුලා අක්කා... ගමේ කොයි කාටත් පිහිට වුණේ ඇය තමයි... ඇත්තටම අනුලා අක්කයි ගාමිණි අයියයි ඝාතනය කළා කිව්වම අපට අදහගන්නවත් බැරි වුණා. මොකද එතරම්ම හිත හොඳ දෙන්නකුට කොහොමද එවැනි අපරාධයක් කළේ කියා හිතාගන්නවත් බෑ....

ඒ අවුරුදු සිරියෙන් බැබළෙමින් තිබූ ගලේවෙල, දේවහූව, සුන්දර එකේ ඇළ ගම්මානයම හඬවමින් සම්මානනීය ගෙවිලියක වූ 51 හැවිරිදි අනුලා සූරවීර මහත්මිය සහ ඇගේ සැමියා වූ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියකු ලෙස කටයුතු කළ 53 හැවිරිදි ගාමිණි සුරවීර යන දෙදෙනා සාහසිකයන් පිරිසක් විසින් කුරිරු ලෙස සිය නිවෙසේදී ම ඝාතනය කිරීමේ ශෝකාන්තයෙන් වැළපෙන ගම්වාසියෙක් කී කතාවයි.

පසුගිය 15 වැනිදා රාත්‍රි අටත් නවයත් අතර කාල පරාසයේදී සිය නිවෙසට ම පැමිණි අපරාධකරුවන් පිරිසක් ඒ අඹු-සැමි යුවළ ඝාතනය කොට තිබුණේ අමානුෂික ලෙසිනි. කපා-කොටා ඝාතනය කර තිබූ දෙදෙනාගෙන් ගාමිණිගේ අතකට වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර තිබූ බව ගලේවෙල පොලිස් ස්ථානාධිපති නිලංග ප්‍රනාන්දු කීවේය.

ඔවුන් දෙපළගේ පුතුන් දෙදෙනා වූ 25 හැවිරිදි ධනංජය සහ 21 හැවිරිදි දමිත් රුවන් දෙදෙනා එදින නිවෙසේ සිටියත් ඔවුන් සිය මවුපියන් ඝාතනය වන මොහොතේ ගලේවෙල නගරයට ගොස් තිබුණේ මූල්‍ය ආයතනයක ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමකටයි. එසේම දෙවැනි පුත්‍රයා වූ දමිත් රුවන් නාවික හමුදාවට බැඳි පසුගිය 10 වැනිදා විසිර යෑමේ පෙළපාළියෙන් අනතුරුව සිය නිවෙසට පැමිණ සිය පළමු නිවාඩුව අවුරුදු සිරියෙන් ම විඳිමින් සිටියදී මේ සාහසික අපරාධය සිය මවුපියන්ට සිදුවී තිබිණි.

අඹු-සැමි යුවළ නිවෙසේ තනි වන තෙක් කල්යල් බලා අපරාධකාරයන් එවන් අහස-පොළොව නුහුලන අපරාධයක් කර ඇත්තේ ඉඩම් ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන් බව පැවසේ. අනුලා සහ සිය සහෝදරයන් පිරිසක් සමඟ කලෙක සිට ම පවතින ඉඩම් නඩුවක් මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන බවට වාර්තා වේ. ඒ නඩුවේ තීන්දුව ද නුදුරේදී ම ලබාදීමට නියමිතව තිබූ බවත්; එහි වාසිය බොහෝ විට තම පාර්ශ්වයට වාසි සහගත වීමට ඉඩකඩ ඇති බවත් අනුලා ඝාතනය වන්නට පෙර සිය හිතවතුන් සමඟ පවසා තිබූ බව ගම්වාසීන් අනාවරණය කළේ ය. එසේම අනුලාගේ දිරිය ශක්තියෙන් ඇය මෑතකදී ලබාගත් ශීඝ්‍ර දියුණුවද අපරාධකාරයන්ට ‍නොරිස්සුම් දෙන්නට ඇතැයි ද සැකයක් පවතී.

'අනුලා කෘෂි ආශ්‍රිත නිෂ්පාදන' නමින් මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටපුරා විසිරුණු ගැනුම්කරුවන් ජාලයකින් සමන්විතව සිටි අනුලා, සම්මාන රාශියකින් පිදුම් ලැබූ ගෙවිලියකි. කුඩා ව්‍යාපාර අංශයෙන් පමණක් නොව හොඳ ම කෘෂි ව්‍යවසායිකාව ලෙසින් ද සම්මානයට පාත්‍ර වූ ඇය, 2006 වසරේ මධ්‍යම පළාතේ හොඳම ගෙවිලිය ලෙස ද සම්මානයට පාත්‍ර වී තිබුණා ය. ඇගේ දිවියට ශක්තියක් වූ සිය ස්වාමියා සමඟ දයාබරිත දිවියක් ගත කළ දෙදෙනා ඝාතනය වන මොහොතේ ද එක් ව රාත්‍රී ආහාරය ගනිමින් සිටි බවට ද අනාවරණය වේ.

2018 වසරේ ලෝක කාන්තා දිනයේදී රටට ආදර්ශවත් කාන්තාවක් ලෙස මාධ්‍ය මඟින් ඇය ගැන පුළුල් ප්‍රචාරයක් දී තිබිණි. සිය කටුක දිවිය ජයගත් අනුලා ගැන මාතලේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා මල්කාන්ති මහත්මිය පවසන්නෙ‘ මෙවැන්නකි.

‘ඇත්තටම ඇය අපට සිටිය දිරිය කාන්තාවක්... ඇයගේ වියෝව මුළු රටට ම කියා නිම කරන්න බැරි පාඩුවක්. 2002දී තමයි අපට මුලින් ම සම්බන්ධ වෙන්නෙ. කොහොමහරි ඇයට ඒ කාලේදී ම සමෘද්ධි සංවර්ධන පත්වීමක් ලැබිලා ඒකට ගියේත් නෑ. අපිත් සමඟ කෘෂි අංශයෙන් රටට සේවයක් කරන්න එකතු වුණා.

ඇය ශීඝ්‍රයෙන් ඉදිරියට ආවා... පුදුමාකාර ධෛර්යයක් තිබූ කාන්තාවක්. මුල් කාලෙ පාපැදියෙනුයි සිය ව්‍යාපාරය කරගෙන ගියේ... ධාන්‍ය වර්ග එකතුකොට පැකට් කරලා 'අනුලා කෘෂි ආශ්‍රිත නිෂ්පාදන' යනුවෙන් නම් කොට බෙදා හැරීමයි කළේ. පස්සෙ ඒ අවට ගම්වල බොහෝ දෙනෙක් ඇයට සිය කෘෂි නිෂ්පාදන ලබාදෙන්න එකතු වුණා. ඇත්තට ම අනුලා මහත්මිය නිසා අවට ගම්වල බොහෝ පිරිසක් සිය ජීවිකාව සරිකරගත්තා. ඇය රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් සැපයූ කාන්තාවක්. ඇගේ නිෂ්පාදනවලට රට පුරාම ඉල්ලුමක් තිබුණා. කිසිම අවස්ථාවක අනුලා නිෂ්පාදනවලට වස-විස එක් කළේ නෑ; ඒකයි වටිනාකම. ඒ වගේ නිෂ්පාදන පනස් ගණනකට වැඩිය ඇය හඳුන්වා දුන්නා. ධාන්‍ය වර්ගවලින් පිටි වර්ග, ක්ෂණිකව හදාගත හැකි කැඳ වර්ග සේම දේශීය සහල් වර්ග වගේම ඇයගේ සුදු පොල්තෙල් නිෂ්පාදනයට බොහෝ ඉල්ලුමක් තිබුණා. එසේ පැමිණි ගමන්මඟේදී අනුලාට ශක්තියක් වූයේ ඇය සමඟම ජීවිතයෙන් සමුගත් ස්වාමියායි. ඒ පිළිබඳව ද මල්කන්ති මහත්මිය අපට කීවේ,

‘මේ දෙන්නා හරිම සමඟියෙන් ජීවත්වූ දෙපළක්... අන්තිමට අපේ කුඩා ව්‍යාපාර සංවර්ධන වැඩසටහන්වලට ලොකු පුතාත් එකතු කළා. ඒ වගේම ඇයට පුදුම වුවමනාවක් තිබුණා, සිය නිෂ්පාදනවලට නවමු තාක්ෂණය උපයෝගී කරගැනීමට. ඒ වෙනුවෙන් අනුලා බොහෝ ආයතනවලට ගොස් හැදෑරීම් කළා. මට මතකයි ඇය ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනයෙනුත් හැදෑරීමක් කළා‘ .

කුරිරු ඝාතකයන් විසින් ඝාතනයට ලක් කළ අනුලා සුරවීර ගිය වසරේ දිනමිණ පුවත්පතට සිය ජීවිත කතාව සැකෙවින් ප්‍රකාශ කර තිබුණාය. ඒ මෙසේය.

‘මම මුල ඉඳලම අලුත් දෙයක් කරන්න තමයි කල්පනා කළේ. මුලින්ම කිරි හරක් පාලනය පටන් ගත්තා. සත්තුන්ට ඕන කරන පුන්නක්කුවල මිල වැඩි වෙනකොට මං කල්පනා කළා ගමේ වී කොටන මෝලක් තිබුණේ නැති නිසා මෝලක් පටන් ගන්න. ඒ නිසා මෝලකුත් හැදුවා. ඒකෙන් පුන්නක්කු අවශ්‍යතාව සපුරා ගත්තා. පස්සෙ මං කල්පනා කළා වස විස නැති ආහාර නිෂ්පාදනය කරලා අළෙවි කරන්න. ඊට පස්සෙ තමයි මම දේශීය ආහාර වගා කරන්න පුරුදු වුණේ. තල, මෙනේරි, මුං ඇට, සෝයා බෝංචි, කව්පි, කුරක්කන් වගේ දේවල්. මේවා ඇට සහ පිටි කරලා විකුණන්න ගත්තා. ඊට පස්සේ මං කල්පනා කළා මේ නිෂ්පාදනවලින් අතුරු නිෂ්පාදනවලට ගියොත් හොඳයි කියලා. ඒ අනුව කොස් කාලෙට ගස්වල තියෙන කොස් ටික එකතු කරගන්නවා. දෙල් කාලෙට දෙල් ටික එකතු කර ගන්නවා. ඒ වගේම ගස්වලින් වැටිලා විනාශ වන නෙල්ලි එකතු කරලා ඒවාගෙන් කල්තබා ගන්න පුළුවන් ආහාර නිෂ්පාදනය කළා. ඒ වගේම ධාන්‍ය වර්ගවලින් කැඳ වර්ග, පිටි වර්ග නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. දේශීය ආහාර සොයාගෙන විවිධ නිෂ්පාදන වර්ග පනස් දෙකක් පමණ කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මම, අක්කර එක හමාරක පමණ බිත්තර වී වගා කරනවා. මගේ ගෙදර සෑම එළවළුවක් ම වගා කරල තියෙනවා. ඒ සියල්ලට ම කිසිම වස විසක් කලවම් කරන්නේ නෑ. ඒව තමයි අපි ආහාරයට ගන්නෙත්; වැඩි හරිය විකුණන්නෙත්. පුතාලා දෙන්නගේත් මහත්තයාගේත් සහයෝගය ලැබෙනවා. මේවා අළෙවි කරලා මාසෙකට රු.50,000 ට වැඩියෙන් ලාභයක් හොයාගන්න පුළුවන්.

ඒ වගේම තමයි මම, ප්‍රදේශයේ කාන්තාවන් 35කට පමණ මේ වෙනකොට රස්සා දීලා තියෙනවා. ඒ අය කරන්නේ මට අවශ්‍ය ධාන්‍ය වර්ග වස විස නැතුව වගා කරන එක. වැඩි මිලක් දීලා ඒ අයට සහයෝගය දුන්නාම, මට ඒවා වගා කරලා ලබා දෙනවා. රජයේ නිලධාරින් ගොඩ දෙනෙක් මට උදව් කළා මේ තත්ත්වයට එන්න. තව දුරටත් තාක්ෂණය තියෙනව නම් මට මේ ආහාරපාන ඕන තරම් නිෂ්පාදනය කරන්න හැකියි.

එසේ සිය ජීවිතය ගෙවූ ලොකු පොඩි කා අතරත් ඉතා ම ප්‍රියමනාප දෙපළක් වූ අනුලාගේත්, ගාමිණිගේත් අකල් මරණයෙන් මේ වන විටත් එකේ ඇළ ගම්මානය පමණක් නොව මුළු ගලේවෙල ප්‍රදේශයම සලිත ව සිටී. එම ගම්මානයේ පමණක් නොව ගලේවෙල ප්‍රදේශයේ බොහෝ සමිති සමාගම්වල ඉදිරිපෙළ සාමාජිකයෙක් ලෙස අනුලා කැපී පෙනෙන සේවාවක් ඉටුකර තිබූ හෙයිනි.

එසේ රටටම වැඩදායි ව්‍යවසායිකාවක, සමාජ සේවිකාවක පමණක් නොව ගමේ කාහටත් ප්‍රියමනාප චරිතයක් වූ අනුලා මහත්මියටත්, ගාමිණි මහතාටත් එවන් අපරාධයක් කළ අපරාධකාරයන් නුදුරේදීම කොටුකර ගැනීමට සූක්ෂ්ම දැලක් එලා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීවේය. කුඩා ව්‍යාපාර සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතා රටට දිරියක් වූ අනුලා මහත්මිය ගැන සිය සමාජ ජාලා පිටුවක සඳහන් කර තිබුණේ, ‘කිසිදු වටිනා පැළයක් පැළ වෙන්න තරම් මේ සමාජය යහපත් නැති වග අහිංසක අනුලාගේ ඝාතකයන් මොනවට ඔප්පු කර තිබේද‘ යනුවෙනි.

අදහස්